පමණ දැන ගන්නා ආහාර නිරෝගි සුව සදයි
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
බුදුදහම අනුව අප ගන්නා ආහාර සිව් ආකාරය. කබලිංකාර ආහාරය. එනම් පිඬු වශයෙන් භුක්ති
විඳින හෙවත් දත්වලින් කඩා හපමින් භුක්ති විඳින භෞතික වූ ආහාරය. ඵස්ස ආහාරය, එනම්
චක්ෂුරාදි සලායතනයන් පාදක කොට ගෙන උපදනා ස්පර්ශය, ස්පර්ශ වින්දනය නම් වූ ආහාරය, මනෝ
සංචේතන ආහාරය එනම් කුසලාකුසල චේතනා නම් වූ ආහාරය. විඤ්ඤාණ ආහාරය, අරමුණු දැනගැනීම
විජානනය නම් වූ ආහාර යනුවෙනි.
එහෙත් සාමාන්‍ය ව්‍යවහාරය තුළ අප ආහාර යනුවෙන් හඳුන්වන්නේ මේ සිරුරෙහි, කයෙහි
පැවැත්මට උපකාරී වන කබලිංකාර ආහාරය පමණකි. එය ම, පාලියෙහි ‘අන්න’ යනුවෙන්ද, ‘භෝජන’
යනුවෙන් ද ඛජ්ජ භොජ්ජාදී ව්‍යවහාරවලින් ද දැක්වෙයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත්
වන්නෝ ය යනු බුද්ධ වචනයයි. විටෙක බුදුරජාණන් වහන්සේ හමු වූ එක්තරා දේවතාවෙකු විමසූ
ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාරන ලද්දේ ද ‘දෙවියෝද, මිනිස්සු ද ආහාරයෙන්ම සතුටට
පත්වන්නෝ ය’ යනුවෙනි. ඒ ඉහත කී කබිලිංකාර ආහාරයෙනි. ආහාර දානය කරන්නා බලය දානය
කරන්නෙකු බව ද එම දෙසුමෙහි ම දැක්වෙයි. මෙකී භෞතික වූ ඕජස් සහිත ආහාරය නම් සැබවින්
ම පමණ දැන භුක්ති විඳිය යුතු ය.
පසේනදි කොසොල් රජතුමා පමණ ඉක්මවා ආහාර ගත් අයෙකු ලෙස ප්‍රකටය. හෙතෙම නැලි තුනෙක
සහලින් පිසූ බත් අනුභව කිරීමට පුරුදු වී සිටියේ ය. දිනක් එලෙස පමණ ඉක්මවා බත් අනුභව
කළ රජු බුදුරදුන් හමුවීමට පැමිණියේ අපහසුවෙන් මහත් කොට සුසුම් හෙළමිනි. එසේ පැමිණ
වැඳ එකත්පස්ව සිටි පසේනදි කොසොල් රජතුමාට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“හැම කල්හි මනා සිහි ඇති ව ලද ආහාර පමණ දැන වළඳන මිනිසාගේ දුක් වේදනාවෝ තුනී වෙත්.
වැළඳූ දේ සෙමින් දිරවයි. ආයුෂ ද ආරක්ෂා වේ. එනම් නීරෝගි දිවි පැවැත්මට මෙන්ම
දීර්ඝායුෂ ලැබීමටද පමණ දැන අහර ගැනීම උපකාරී වන්නේ ය.”
ආහාර අනුභවයෙහිලා පුද්ගලයකු තුළ තිබිය යුතු මූලික ශික්ෂණය වන මාත්‍රාව හෙවත්
ප්‍රමාණය එනම් සීමාව දැන ක්‍රියා කිරීම විවිධාකාරයෙන් නොයෙක් පැතිවලින් ඵලදායක
වන්නේ ය. මාත්‍රාව දැන ආහාර වළඳන්නැයි බුදුරදුන් උක්ත උපදේශනය තමන් ආහාර අනුභව
කරද්දී සිහිපත් කරවන්නැයි සුදර්ශන නම් මානවකයෙකුට පවරමින් ඒ සඳහා දහසක වැටුපක්
ගෙවීමට ද කොසොල් රජතුමන් එකඟ වූ බව පෙළ දහම සඳහන් කරයි. එය එලෙසින් ම සිදුවිය. පෙර
නැලි තුනක සහලින් බත් වැළඳූ රජු එක් නැලියක් පමණක් වැළඳීමට පසුව හුරු වූ බව ද ඒ
හේතුවෙන් කායික සැහැල්ලුව ද, සුවය ද ලැබ පසු කලෙක බුදුරදුන් හමු වී සතුට ප්‍රකාශ කළ
බව ද දේශනාවෙහි දක්වා තිබේ.
කුලයෙක, පවුලක නොවේ නම් කිසියම් ආයතනයෙක භෝග සම්පත් එනම් ධන ධාන්‍ය පිරිහීමට
පත්වන්නට, විපුලත්වයට වැඩිදියුණුවට පත් නොවන්නට, තුඩු දෙන කරුණු සතරක් ඇතැයි විටෙක
බුදුරජාණන් වහන්සේ වදාළහ. එනම්,
1. නැසෙන, වැනසෙන දේ සොයා සපයා නොගැනීම.
2. දිරන, පරණ වන දේ පිළිසකර කර නොගැනීම.
3. පරිමාණයක්, මාත්‍රාවක් නැති ව ආහාර පානාදිය සඳහා වැය කිරීම.
4. චරිතයෙන් පිරිහී ගිය ගැහැනියක හෝ පිරිමියෙකු ආධිපත්‍යයෙහි තබා ගැනීම. (අ.නි. කුල
සූත්‍රය)
මෙම දේශනාවෙහි තෙවැනි ව දක්වන ලද්දේ අපරිමිත වූ පාන භෝජනයයි. සීමාවක් නැති ව ආහාර
පානාදිය ගැනීමයි. මේ අනුව බුදුදහම පෙන්වා දෙන්නේ පවුලක්, නිවසක් නොවේ නම් කිසියම්
ආයතනයක් මාත්‍රාව නොදැන ආහාර පානාදිය ගැනීම නිසා ආර්ථික වශයෙන් පිරිහීමට පත්වන බවය.
අපරිමිත පාන භෝජනය ඇතුළු ඉහත දක්වන ලද පිරිහීමේ කරුණු සතරින් තොර වූ කල්හි එම කුලය,
පවුල හෝ ආයතනය සතු සම්පත් වර්ධනය වන බව ද එම දේශනාවෙහි ම දැක්වෙයි.
දම්පියා අටුවාව අනුව ගිහි කල ධනවත් වෙළෙන්ෙඳකු වූ මහා කාල නම් සෘද්ධි බල ලබා සිටි
මහ තෙරණුවන් සිවුරු හරවා යළි තම වසඟයට ගැනීමට පුරාණ භාර්යාවන් කළ වෑයම ලත් තැන ම
ලොප් විය. උන්වහන්සේ රහත් ව සිටි බැවින් සෘද්ධි බලයෙන් වැඩ සිටි ගිමන්හළ කැණිමඬල ද
බිඳ ගෙන බැහැරට වැඩම කළහ. ඒ නිමිති කොට මහා කාල හිමියන්ගේ ගුණ වදාළ බුදුරජාණන්
වහන්සේ අසුභ වූ රූපා දී අරමුණු සුබ වශයෙන් ගෙන වසන ඉන්ද්‍රිය සංවරයෙන් තොර භෝජනයෙහි
පමණ නොදන්නා කුසීත වූ හීන වීර්යය ඇති තැනැත්තා වාත වේගයෙන් දුර්වල ගසක් මුලිනුපුටා
දමන්නාක් මෙන් මරු වසඟයට යන බවත්, අසුබ වූ අරමුණු අශුභ ලෙසින් ම සලකා ගන්නා
භෝජනයෙහි මාත්‍රාව දන්නා ශ්‍රද්ධා ගුණය හා අරඹන ලද වීර්යය ද ඇති තැනැත්තා මාරයාට
මැඩලිය නොහැකි වන බවත් වදාළහ. මේ අනුව අසුභානුපස්සනාව ශ්‍රද්ධාව හා වීර්යය මෙන්ම
අහරෙහි පමණ දැනීම නම් වූ භෝජන මාත්‍රාඥතාව ද රහත් ගුණ ලෙස ම දක්වා තිබෙන බව ද පෙනේ.
බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රාතිමෝක්ෂය දේශනා කොට විනය
නීති පනවා වදාරණ ලද්දේ බුද්ධත්වයෙන් විසි වසරකට පසුවය. එකී මුල් විසි වසර හඳුන්වනු
ලබන්නේ ප්‍රථමාභිසම්බෝධිය ලෙසයි. එම අවධිය තුළ භික්ෂු සමාජයේ සාමාජික භික්ෂූන්ගේ
ආයති සංවරයට, පෞද්ගලික චරිත සංවර්ධනයට හා සමගියට ද අන්‍යොන්‍ය බැඳීමට ද උපකාරි වූ
විවිධ කරුණු අතර ඕවාද ප්‍රාතිමෝක්ෂය ද ඇතුළත් වෙයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ
ශික්ෂාවන් සම්පූර්ණ කිරීමට මෙන් ම අහරෙහි පමණ දැන විසීමට ද එහි දී භික්ෂූන්ට අවවාද
කර ඇති බව ප්‍රකට ය. එයට අත්‍යවශ්‍ය වූ මූලික ශික්ෂණයක් ලෙස ඒ අනුව සලකා තිබේ.
අහරෙහි පමණ දැනීම, මාත්‍රාව දැන අහර ගැනීම පුද්ගලයෙකුගේ කායික නීරෝගිභාවයට මෙන්ම
සැහැල්ලු කායික පැවැත්මට ද උපකාරි වන්නකි. එම කායික වූ යහ පැවැත්ම මානසික සංවර්ධනය
ඇතිකර ගැනීමට උපකාරී වන්නේ ය. කය සිතට ද, සිත කයට ද එකිනෙකට නිසැකව ම බලපාන බැවිනි.
කායික පරිහාණිය මානසික පරිහාණියට තුඩු දෙන්නාක් මෙන් ම මානසික පරිහාණිය කායික
පරිහාණියට ද තුඩු දෙයි.
ආහාර පාන වැළඳීම අරබයා භික්ෂූන් වහන්සේලා වෙත සුවිශේෂ ශික්ෂණයක් තිබීම බුදුරජාණන්
වහන්සේගේ අපේක්ෂාව විය. ඊට අදාළ ව කර ඇති අනුශාසනා මෙන් ම පනවා ඇති ප්‍රඥප්ති ද
සූත්‍ර හා විනය මූලාශ්‍රවල හමුවෙයි. පිණ්ඩපාත ප්‍රත්‍යවෙක්ෂාව ඉන් එකකි. භික්ෂුව
විසින් පිණ්ඩපාත භෝජනය වැළඳිය යුත්තේ මනා ප්‍රත්‍යවේක්ෂණයකිනි. එනම් මනා නුවණින්
කල්පනා කරමිනි. විමසුම් සහිත ව සිහි කරමිනි. ‘මේ මම පිණ්ඩාහාරය වළඳනුයේ විනෝදය,
සතුට සඳහා නොවේ. මද වඩනු පිණිස ද නොවේ. සිරුර තර කර ගැනීම සඳහා ද නොවේ. පැහැපත්
වීමටද නොවේ. හුදෙක් මා ආහාර අනුභව කරනුයේ මේ කයෙහි සිරුරෙහි පැවැත්ම සඳහා පමණකි.
යැපීම සඳහා පමණකි. බඹසර වසන්නට උපකාරයක් වශයෙන් පමණකි. මේ ආහාර වැළඳීම නම් උපන්
සාගින්න නිවීමට ය. නූපන් සාගින්න වළකා ගැන්මටය. හුදෙක් දිවි පැවැත්මට ය. පහසු
විහරණයට’ යැයි භික්ෂූන් වහන්සේලා විසින් සිහි කළ යුතු ය. මෙකී නුවණින් හා සිහියෙන්
ආහාර ගැනීම යනු නිතැනින් ම මාත්‍රාව ප්‍රමාණය දැන දන් වැළඳීම ය. භික්ෂුව ලද දෙයින්
තුටු පහටු විය යුතු ය. අල්පේච්ඡ විය යුතු ය. අවම පරිභෝජනයෙන් උපරිම සතුටට පත්වීමට
හුරු පුරුදු විය යුතු යැයි උගන්වා තිබේ. කුසට ප්‍රමාණවත් වූ පිණ්ඩාභාරයෙන් සතුටු
විය යුතු ය. පමණ දැන ආහාර නොගන්නා කල්හි ඉහත කී අපිස් පැවැත්ම පෙරටු කොට ගත් කිසිදු
පරමාදර්ශයක් අර්ථවත් නොවන්නේම ය. භික්ෂු සමාජය යනු ගෘහස්ථයාට පරමාදර්ශය සපයන
ශ්‍රාවක සමාජයයි. ඒ අනුව ඉහත කී සාරධර්ම හා පැවතුම් ගිහියන් විසින් ද ආදර්ශයට ගෙන
ක්‍රියා කළ යුතු වෙයි. මනා ශික්ෂණයකින් යුතු ව පමණ දැන ආහාර ගැනීම පැවිද්දාට මෙන් ම
ගිහියාට ද නන් අයුරින් ඵලදායකය. භෝජනයෙහි පමණ දැන වැළඳීම යනු පුරාණාචාර්යවරුන්
විසින් බුද්ධාවවාදයට අනුව දක්වා ඇත්තේ පාත්‍රයෙහි, තැටියෙහි හෝ පිඟානෙහි ඇති ආහාර
මුළුමනින් නිමා වන තුරු නොවැළඳීම යනුවෙනි. අවසන් ආහාර පිඬු සතරට හෝ පහට ඉඩ තිබිය දී
නොවළඳා පැන් වැළඳිය යුතු ය. එය පමණ දැන වැළඳීමයි.
විජ්ජාචරණ යනු නව අරහාදී බුදුගුණ අතුරින් එකකි. එහි විජ්ජා යන්නෙන් විපස්සනා ඤාණය
ආදී අෂ්ට විද්‍යාවන් අර්ථවත් වන බව ද, චරණ යන්නෙන් ශීලාදී පසළොස් චරණධර්ම අදහස් වන
බවද සාම්ප්‍රදායිකව පිළිගනු ලැබේ. අහරෙහි පමණ දැනීම ද ඉන් එකකි. ඒ අනුව පමණ දැන
ආහාර ගැනීම බුදුරදුන්ගේ ම ආදර්ශයක් වේ.
අධි පරිභෝජනය අප ජීවත් වන මෙම සමාජයෙහි වෙසෙසින්ම දක්නා ලැබෙයි. මහිච්ඡතා නම් වූ
බොහෝ ඉච්ඡාවන්, අපේක්ෂාවන් ඇති නිබඳව ම මදිකමින් ඌණ බවින් පෙළෙන ලෝකය අතෘප්තිකර ව
තණ්හාදාස ව ක්‍රියා කරන බව බුදුරජාණන් වහන්සේ ද වදාළහ. මෙකී අසීමිත අපේක්ෂාවන්
විසින් පොළඹවන ලද නූතන මිනිසා අධි පරිභෝජනයට පෙළඹී ඇති බව රහසක් නොවේ. අල්පේච්ඡතාව
අවම පරිභෝජනයට අප යොමු කරයි. ඒ පිළිබඳ පරමාදර්ශ බුදුසිරිත තුළින් ද, භික්ෂු චර්යාව
තුළින් ද දත හැකි ය. ආහාර පාන මෙන්ම තවත් බොහෝ පරිභෝජන භාණ්ඩ ද සීමා මායිම් නැතිව
පරිභෝග කිරීමට නූතන මිනිසා යොමු කරයි. ඒ පිළිබඳ පරමාදර්ශ බුදුසිරිත තුළින් ද,
භික්ෂු චර්යාව තුළි න් ද දත හැකි ය. ආහාර පාන මෙන් ම තවත් බොහෝ පරිභෝජන භාණ්ඩ ද
සීමා මායිම් නැති ව පරිභෝග කිරීමට නූතන මිනිසා යොමු වීම නිසා අධි තරගකාරීත්වයක් ද
සමාජයෙහි නිර්මාණය වී ඇත්තේ ය. ආයෝජනය ද, රක්ෂණය ද ඉක්ම වූ පරිභෝජන රටාවක් බිහිවීම
නිසා විවිධ ආර්ථික ගැටලු ද නිර්මාණය වී ඇත. පමණ දැන සීමාව දැක මාත්‍රාව තේරුම් ගෙන
ආහාර පාන මෙන්ම වෙනත් සම්පත් ද, අල්පේච්ඡතාවෙන් යුතුව පරිභෝග කිරීමෙන් මෙකී නොකී
බොහෝ සමාජ ආර්ථික ගැටලු අවම වන බව පෙන්වා දිය හැකි ය. |