කයෙහි බර හැරීම හා සිතෙහි බර හැරීම
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ
අධිකරණ නායක
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති,
මකුලෑවේ
විමල නාහිමි
සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි ‘සන්තකාය’ භික්ෂුව ඉතා තැන්පත් ය. උන්වහන්සේගේ
ඉරියව් දකින අය අතිශයින් පහදින්නෝය. බණ දේශනා කරන විට, දානය වළඳන විට කය නිශ්චලය.
සංඝයා රැස් වූ විටද එබඳු ය.
සත්වැදෑරුම් බොජ්ඣංග නාමාවලියේ පස්වැන්න වශයෙන් දැක්වෙන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගයයි.
“පස්සද්ධි” යන වචනයේ සරල සිංහල අර්ථය බර හැරීම, සංසිඳීම ලෙස ශබ්ද කෝෂයන්හි දක්වා
ඇත. ඒ අනුව කාය පස්සද්ධි (කයෙහි බර හැරීම) චිත්ත පස්සද්ධි (සිතේ බර ඇරීම) යනුවෙන්
පස්සද්ධිය දෙයාකාරය.
වේදනාස්ඛන්ධය , සංඥා ස්ඛන්ධය, සංස්කාර ස්ඛන්ධය යන ස්ඛන්ධයන්ගේ සංසිඳීම කාය
පස්සද්ධිය ලෙස සැලකේ. වේදනා (විඳීම) සඤ්ඤා (හැඟීම) සංඛාර (රැස් කරගත් පින් – පව් යන
මේවා නිසා ඇති වන්නේ කාය පස්සද්ධියයි. රාගය, දෝසය, මෝහය මුල් කරගෙන සිතේ හටගන්නා
දැවීම සංසිඳුවා ගැනීම චිත්ත පස්සද්ධියයි. එසේ සංසිඳුවා ගත හැක්කේ යෝනිසෝ
මනසිකාරයෙනි. එනම් යථා තත්ත්වය නුවණින් සලකා බැලීමෙනි.
පස්සද්ධි සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතු වන කරුණු හතක් දක්වා ඇත.
ප්‍රණීත භෝජන සේවනය කරන බව (පණීත භෝජන සේවනතා)
සියලු සත්ත්වයන් ජීවත් වන්නේ ආහාර කරණ කොට ගෙනය. ඔවුන්ගේ කයත්, සිතත් මැනවින්
වැඩෙන්නට ගනු ලබන ආහාර ප්‍රධාන වශයෙන් බලපායි. ආහාරය ප්‍රමාණවත් මෙන්ම පථ්‍ය විය
යුතුය. පෙරවරුවේ පමණක් ආහාර ගැනීමත් කුසෙන් භාගයක් පිරෙන සේ විය යුතුය. ඉතිරි
භාගයෙන් අඩක් පිරෙන සේ ජලය පානය කළ යුතු ය. එසේ විධිමත් ව ආහාර ගැනීම සඳහා භික්ෂු
විනයෙන් අවශ්‍ය උපදෙස් දී ඇත. කයේ සිතේ පවත්නා බර සැහැල්ලු වීමට එය බලපායි. මෙහි
පණීත භෝජන යන්නෙන් අදහස් කරන්නේ කෙලෙස් වැඩීමට හේතු වන ආහාරපාන නොවේ. නීරෝගී භාවය
වර්ධනය වන බුද්ධිය නුවණ වර්ධනය වන ආහාරපානය.
වාසය කිරීමට නුසුදුසු සෙනසුන් ආවාස, ගම් ගෙවල් , දුර්භාෂිත පුද්ගලයන්, දුර්භෝජන
,දුර්ඍතු, නො සැප, ඉරියව් අතහැර දැමීම ද පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට මහෝපකාරි වේ.
තම තමන්ගේ කර්මයන් තම තමන්ට ස්වකීය වන බව නුවණින් මෙනෙහි කිරීම .(මජ්ඣත්ත පයෝගතා)
කෙදින හෝ සිය දිවි අතහැර පරලොව යන ගමනේදී තම – තමන් කළ කුසලා කුසල කර්ම විපාක එයට
අනුරූප වන පරිදි තම – තමාට ලැබෙයි. චුල්ලධම්මපාල ඛන්තිවාදී, සීලව, මහාකපි ජාතක කථා
විචාරාත්මකව කියවීමෙන් මේ කරුණු වඩාත් පැහැදිලි කර ගැනීමට පුළුවන.
තද ගති ඇති පුද්ගලයන්ගේ ඇසුරින් ඈත්වීම. (සාරද්ධ පුග්ගල පරිවජ්ජනතා)
නිතර බිහිසුණු අවි ආයුධ පරිහරණය කරමින් අනුන්ට හිංසා පීඩා කරන පුද්ගලයන්ගේ,
මිනීමරුවන්ගේ, ගැට කපන්නන්ගේ, හොරුන්ගේ ඇසුරින් වෙන් විය යුතුය. එසේ වෙන්වීම, ඇසුරු
නොකිරීම පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට අත්‍යවශ්‍යය.
සියලු දුකින් මිදීමට මහෝපකාරි වන කායික, වාචසික හා මානසික සංචරයෙන් යුතු උතුම්
පුද්ගලයන් ඇසුරු කිරීම, (පස්සද්ධ කාය පුද්ගල සේවනතා)
මෙයද පස්සද්ධි සම්බෝජ්ඣංගය වැඩීමට මහත් සේ උපකාරි වේ. ගිහි පැවිදි දෙපක්ෂයටම එක සේ
සාධාරණය. “සන්තකාය තෙරුන් වහන්සේගේ කතාව දන්නා කෙනෙකුට පස්සද්ධ කාය පුද්ගල සේවනතාව
කුමක්දැ’යි වටහා ගත හැකිය.
සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි ‘සන්තකාය’ භික්ෂුව ඉතා තැන්පත් ය. උන්වහන්සේගේ
ඉරියව් දකින අය අතිශයින් පහදින්නෝය. බණ දේශනා කරන විට, දානය වළඳන විට කය නිශ්චලය.
සංඝයා රැස් වූ විටද එබඳු ය. සන්සුන් කය ඇති උන්වහන්සේ මෛත්‍රී සහගතව කථා – බහ කරති.
මෙත් සිතැඟි ඇති කෙනෙකි. උන්වහන්සේ ගේ එම කායික , වාචසික, සංයමය ගැන ඇසූ බුදුරජාණන්
වහන්සේ සන්තකාය තෙරණුවන් මෙන් සෑම භික්ෂුවක්ම හැසිරිය යුතු බව දේශනා කොට වදාළහ.
තදධිමුත්තතාව
මෙසේ පස්සද්ධි සම්බොජ්ඣංගය කෙරෙහි ඇලී ගැලී සිව් ඉරියව්වෙන්ම ඇති තතු විමසමින්
ක්‍රියා කරන යෝගාවචරයා සසර දුකින් මිදී නිවන් පසක් කර ගනී. |