සත්ත්වයා යනු
සසරට ඇලුම් කරන්නායි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ සම්මා දිට්ඨි සූත්‍රය ඉතාම ගම්භීරවූත්,
සුන්දරවූත් සූත්‍ර දේශනාවකි. මෙම සම්මා දිට්ඨි සූත්‍රය වාර දහසයකට බෙදා ඇත. එහි ජරා
මරණ වාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරමු
ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ජරා මරණ මනාලෙස දැනගනීද, ජරා මරණ සමුදය මනා ලෙස දැන ගනීද,
ජරා මරණ නිරෝධය මනා ලෙස දැන ගනීද, එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි.
ධර්මය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. දහම දැන පැහැදුනේ වෙයි. ධර්මයට පැමිණ වාසය
කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, ජරා මරණ යනු කවරේද? ජරා මරණ සමුදය යනු කවරේද? ජරා මරණ නිරෝධය යනු
කවරේද? ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව යනු කවරේද?
ජරාවට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන් ඒ ඒ සත්ත්ව කොටස්වල යම් දිරීමක්, දිරන
බවක්, කැඩුණු බවක්, කෙස් ආදියෙහි පැසුණු බවක් රැළි ගැසුණු බවක්, ආයුෂ පිරිහීමක්
ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද එය ජරාවයි.
මරණය යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වලින් යම් චුතවීමක්, බිඳීමක්,
අතුරුදහන් වීමක්, මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරය බහා තැබීමක්
වේද, එය මරණය වෙයි. මෙසේ ජරාවත් මේ මරණයත් දෙක එක්වීමෙන් ජරා මරණ නමින් නම් වේ.
ඉපදීම හේතුවෙන් ජරා මරණ දෙක ඇතිවේ. ඉපදීම නැති කිරීමෙන් ජරා මරණ දෙක නැති වෙයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ජරා මරණ නැති කිරීමේ මාර්ගය වේ.
ජරාව සහ මරණය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මෙසේ ජරා මරණ දනීද, ජරා මරණ සමුදය දනීද, ජරා මරණ
නිරෝධය දනීද, ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව දනීද හෙතෙම රාගය අත්හැර ද්වේශය අත්හැර
මානය අත්හැර, අවිද්‍යාව අත්හැර විද්‍යාව උපදවා මේ ආත්මභවයෙහිදීම දුක් කෙළවර
කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි.
දහම පිළිබඳව ව වන ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මයෙහි අචල වූ පැහැදීමකින් යුක්ත වූයේ
මේ නිර්වාණ ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි. මේ සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවෙහි ජරා
මරණ ගැන දක්වා ඇති ආකාරයයි.
මෙහිදී සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ජරා සහ මරණ යන ධර්මතා දෙක පදනම්ව චතුරාර්ය
සත්‍යය වටහා ගන්නා ආකාරය පැහැදිලි කර දීමක්. මෙහිදී ජරාව සහ මරණය අයත් වන්නේ දුක්ඛ
සත්‍යයටයි. ජරා, මරණ සමුදය ජාතිය ලෙසත්, ඉපදීම දුක්ඛ සමුදය ලෙසත්, ඉපදීම නැතිකිරීම
හෙවත් ජාති නිරෝධය වූ කල්හි එය දුක්ඛ නිරෝධය ලෙසත්, ජරා මරණය නිරෝධය සිදුවන්නේ ජාති
නිරෝධය සිදු වන විට බවත් ජාති නිරෝධය සිදු කිරීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය
කළයුතු බවත්, එය දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව හෙවත් ජරා මරණ නිරෝධගාමිනි
ප්‍රතිපදාව ලෙස වදාළ සේක.
හේතුව සහ ඵලය
පටිච්චසමුප්පාද ධර්මයට අනුව දුක ඇතිවීමට හේතුවන කාරණාව විටෙක ඵලයක් ලෙසින්ද,
ක්‍රියාත්මක වන බැවින් හේතුවද, ඵලයද යන දෙකම නැතිකිරීම දුක්ඛ නිරෝධගාමිනි
ප්‍රතිපදාව ලෙස දැකිය යුතුයි. ජරා මරණ නම් වූ කාරණය දුකක් නම් ඒ දුකට මුල් වූයේ
ඉපදීමයි. ඒ අනුව ඉපදීම හෙවත් ජාතිය යනු ජරා මරණ සමුදය යි. දුක්ඛ සමුදයයි.
කිසිවෙකුත් හෝ කිසිවක් ඉපදුනේ නැතිනම් හට ගත්තේ නැතිනම් ජරා මරණයන්ට ගොදුරුවීමක් ද
සිදුවන්නේ නැහැ. ජරා මරණ දුකට පත්වීමක් වන්නේ නැහැ. එතැන ඇත්තේ ජරා මරණ නිරෝධය යි.
නැත්නම් දුක්ඛ නිරෝධය යි. ඒ ජරා මරණ දුකින් මිදෙන්නට නම් ඉපදීම නවතාලිය යුතු වෙනවා.
ඒ සඳහා අනුගමනය කළයුතු මාර්ගය වන්නේ ඉපදීම නිරුද්ධ කරන මාර්ගය යි. ඉපදීම නැතිකරන
ලෙසින් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ නම් එය ජරා මරණ නිරෝධගාමිනි
ප්‍රතිපදාව සේම ජාති නිරෝධගාමිනි ප්‍රතිපදාව හෙවත් දුක්ඛ නිරෝගාමිනි ප්‍රතිපදාවයි.
ඒ වගේම සම්මා දිට්ඨි සූත්‍රයෙහි සඳහන් වෙනවා සත්ත්වයා යනු භවයෙහි ඇලුන තැනැත්තායි.
පංචස්කන්ධය උපාදානය කර ගත් සත්ත්වයන්ට පැවැතිය හැකි ප්‍රධාන ස්ථාන තුනක් තිබෙනවා. ඒ
ත්‍රිවිධ භවය යි. කාම භව, රූප භව හා අරූප භවය යන ත්‍රිවිධ භවයනුයි. මේ භවත්‍රයෙහි ඒ
ඒ සත්ත්වයන්ට පැවැතිය හැකි අනු කොටස් තිබෙනවා. ඒවා නිකාය නමින් හඳුන්වයි. මිනිසුන්
ජීවත් වන කොටස මනුෂ්‍ය නිකාය, දෙවියන් ජීවත්වන කොටස දේව නිකාය වශයෙන් දක්වා තිබේ.
මරණයකදී සිදු වන්නේ මේ විවිධ කොටස්වල ජීවත්වන සත්ත්වයන් ඒ තමන් ජීවත්වන කොටසින්
ඉවත් ව යාමයි. මේ ජරා මරණ තුළින් මරණය පිළිබඳව මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කෙරේ.
ඉපදීම කොටස් හතරකි
මරණය සිදුවන්නේ මේ ලෝකයෙහි සත්ත්වයන් පහළවන ස්වභාවයට සාපේක්ෂවයි. පහළවීමේ ස්වභාවය
අනුව ඒ ලොව සිටින සත්ත්වයන් ප්‍රධාන කොටස් හතරකට බෙදෙයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ,
ඕපපාතික යනු ඒ වර්ග හතරයි. අණ්ඩජ යනු, බිත්තර වලින් උපදින සත්ත්වයන්, ජලාබුජ යනු
මව්කුස ඇසුරෙහි උපදින සත්ත්වයන්, සන්සේදජ යනු කුණු වූ පලතුරු, මඩ මිශ්‍ර තෙත්
පරිසරයේ උපදින සත්ත්වයනුයි. ඕපපාතික යනු දෙවියන් බඹුන් වැනි ඉබේ පහළ වන සත්ත්වයන්ය.
ජීවිතය බිඳී යාම මරණයයි
මරණය විස්තර කිරීමේදී 'චුති' යන වචනය දක්වා ඇත්තේ ඕපපාතික සත්ත්වයන්ගේ මරණයයි.
චුතවෙනවා යනු රූප කාය ඉතිරි කරන්නේ නැතිව අතුරුදහන් වීමයි. දෙවියන් බඹුන් ආදීන් චුත
වන විට ඔවුන්ගේ සිරුර එම ලෝකයේ ඉතිරි වන්නේ නැහැ. එයද අතුරුදහන් වෙනවා. චවනතා යනු
ඉතිරි කොට යාමයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ යන ක්‍රමවලින් උපදින සත්ත්වයන් සියල්ලන්ම
මරණයේදී තම රූපකායයන් මේ ලොව ඉතිරි කර යනවා. එය චවනතා වශයෙන් දක්වා තිබෙනවා.
සර්පයෙක් හැව අතහැර යන්නා සේ මරණයට පත්වීමේදී සිරුර ඉතිරි කොට මැරෙන සත්ත්වයන් ගැන
මෙහි දක්වා තිබෙනවා. භේදෝ යනු ජීවිතින්ද්‍රියෙහි බිඳී යාම හෝ සිඳීයාමයි. ජීවිතය
බිඳීයාමෙන් සිදු වන්නේ ද මරණයයි. සත්ත්වයෙකුට ජීවත්වීමට නියමිත වයස් සීමාවක් ඒ ඒ
සත්ත්ව නිකායවල සම්ප්‍රාප්තියක් ලෙසින් පවතිනවා. එහෙත් ඒ ඒ නිකායවල පහළ වෙන සෑම
සත්ත්වයෙකු ම ඒ වයස් සීමාව පසුකොට මැරෙනවා යැයි නියමයක් නැහැ. කර්මානුරූපීව එය
වෙනස්විය හැකිය. සම්මත ලෝකයෙහි ආයුෂ අවසන්වීමෙන් සිදුවෙන මරණය ආයුක්ඛය මරණය වශයෙන්
දක්වා තිබෙනවා. එසේ ආයුක්ඛය මරණයට පත්වීම මෙහිදී කාලකිරියා වශයෙන් දක්වනවා.
සත්ත්වයෙක් බිහිවන්නට හේතුවෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ
එක්වීම, බිඳවැටීම, කොටස් නම් රූපස්කන්ධය ඇසුරේ පවතින වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
යන ස්කන්ධ හතර ඒ රූපස්කන්ධයෙන් බිඳීයාම බන්ධානං භේදෝ යනුවෙන් දක්වනවා.
එසේ රූපයෙන් නාමයන් ඉවත් වූ විට එම රූපය තුළ ජීවයක්, ජීවිතින්ද්‍රියක්, ප්‍රාණයක්
ක්‍රියාත්මක වන්නේ නැහැ. එම රූපය සත්ත්ව පුද්ගල සඤ්ඤාවෙන් හඳුන්වන්නේ නැහැ. ඉන් පසු
රූපය මෘත දේහය හෝ මළ සිරුර යන නාමයන්ගෙන් හඳුන්වයි. නාම ධර්ම රූපයෙන් නික්ම යාම තුළ
මළ සිරුරක් බවට පත්වෙන රූපය පසුව පොළොවට පස්කර දමනවා. නිවසින් ඉවත්කර දමනවා.
තවද මරණය ක්ෂණික මරණය හා සංවෘත මරණය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබෙනවා.
ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවන නාමරූප ධර්මයන්ගේ බිඳීම ක්ෂණික මරණය යි. සත්ත්වයන්ගේ
ජීවිතය සිඳීයාම සංවෘත මරණය හෙවත් සම්මුති මරණය යි.
මරණයේ ක්‍රම හතරකි
එසේම මරණ ක්‍රම හතරක් ගැන ධර්මයෙහි සඳහන්.
1. ආයුක්ඛය මරණය – ලෝකයෙහි සම්මත ආයු ප්‍ර‍්‍රමාණය අවසන් වී සිදුවන මරණය
2. කම්මක්ඛය මරණය – ජනක කර්මයට අනුව මෙලොවට එන විට ගෙනා කර්ම ශක්තිය ගෙවීමෙන් සිදු
වන මරණය
3. උභයක්ඛය මරණය – ආයුෂ හා කර්මය යන දෙකම එකවර අවසන් වන මරණය
4. උපච්ඡේදක මරණ – ආයුෂත්, උපත ලබා දුන් ජනක කර්ම ශක්තියත් තිබියදී සංසාරගත වෙනත්
කර්මයක් බලවත්ව නැඟී ඒමෙන් සිදුවන මරණය ලෙස මරණය කොටස් කර ඇත.
-
නයනා නිල්මිණි |