බුදුපිළිමයේ උපත - 48:
ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත
සාරානාත්හි
හිඳි බුදු පිළිමය
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
ජම්බුද්වීපය පුරාණ භාරතය යනුවෙන්ද හැඳින්වේ. ඒ අනුව පුරාණ භාරතයට අයත්වන ඉතා
විශිෂ්ඨතම සාහිත්‍ය, මූර්ති කැටයම් හා විවිධ ශිල්ප ශාස්ත්‍රවල ස්වර්ණමය යුගය ලෙසින්
සැලකෙන්නේ ගුප්ත රාජ යුගයයි. එම යුගය ක්‍රිස්තුවර්ෂ 320 දී ආරම්භ වූ අතර වසර 200
පමණ කාලයක් පැවතුණි. භාරත දේශයේ විශේෂයෙන්ම මූර්ති කලාවේ ද ඉතා විශිෂ්ටතම කාලය
ලෙසින් කලා විචාරකයින් මෙන්ම ඉතිහාසඥයින් විසින්ද හඳුන්වා තිබේ.
අසෝක රජතුමා අයත්වන මෞර්යරාජ වංශය කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවස තුළ ඇරඹුණු මෞර්ය
සංස්කෘතිය අසෝක අධිරාජයාගේ සමයේදී (ක්‍රි.පූ. 272-232) කාලයේදී උච්චතම අවස්ථාවට
පත්විය. ඒ කාලයේදී බුදුසමය භාරත දේශයෙන් පිටත පවා ව්‍යාප්ත වීම දැකිය හැකිය. ලංකාවට
බුදුසමය ලැබුණේද ඒ කාලයේදීය. මෞර්ය අධිරාජ්‍යය අසෝක රජුට පසු පරිහානියට පත්විය.
ක්‍රි.පූ. 185 දී ශුග රාජවංශිකයින් විසින් මෞර්ය වංශික අවසාන රජු පරාජය කර බලය
ලබාගත්තේය. ඒ කාලයේ ශුංග වංශික රජවරුන්ගෙන් සමහරු බුදුසමයට එරෙහිවුවද සමහර ශුංග
රජවරු විශේෂයෙන් බෞද්ධ කලාව දියුණුවට බෙහෙවින්ම උපකාර කළ බව සාංචි ස්තූපයේ තොරණවල
ඇති මූර්ති කැටයම්වලින් හෙළිවේ. ඉන්පසු කුශාන රජවරුන් අතරේ කනිෂ්ක රාජ යුගයේදී
ඇතිවූ මහායාන බෞද්ධ ප්‍රබෝධයන් සමඟ පුරාණ භාරතයේ බුදුපිළිම නිර්මාණය වූ බව අපි මීට
ඉහත සඳහන් කළෙමු. මහායාන බෞද්ධ දර්ශනය මත වර්ධනය වූ බෞද්ධ ශිෂ්ටාචාරය ගන්ධාර සහ
මථුරා බෞද්ධ මූර්ති කලාව වර්ධනයට බලපෑවේය. ඉන්පසු නැවත භාරතීය බෞද්ධකලාව ගැන සඳහන්
කරන විට එහි විශිෂ්ටතම යුගය එළඹුණේ ගුප්තරාජ සමයේදීය. ඒ ගුප්ත රජවරුන් අතරේ දෙවැනි
චන්ද්‍රගුප්ත (ක්‍රි.ව. 375-412 ) කාලයේදී ඉතා ප්‍රකට සංස්කෘත කවීහු වාසය කළහ. ඒ
අතරේ කාලිදාස කවියා ප්‍රමුඛය. සාහිත්‍ය සංගීත ආදි විවිධ කලාවන්ගේ දියුණුව ඒ රාජ
යුගයේදී උච්ච අවස්ථාවට පත් වූ බව භාරත ඉතිහාසයේ ලියැවී ඇති කරුණකි. එම ප්‍රබෝධය
බෞද්ධ මූර්ති කලාවේද දක්නට ලැබුණි. කුශාන රාජයුගයේදී ගංගා යමුනා ප්‍රදේශයේ දියුණුවට
පත්වූ මථුරා මූර්ති කලාවේ තවදුරටත් වර්ධනයක් දක්නට ලැබෙන්නේ ගුප්ත රාජ යුගයේදීය.
ඉහතින් සඳහන් කළ රාජ යුගයෙන් ඇරඹුණු ඒ යුගය තුළ මථුරාහි හිටි බුදුපිළිමයක්
(නවදිල්ලියේ කෞතුකාගාරයයෙහි ඇති) මේ සඳහා දිය හැකි සුදුසුම නිදසුනකි.
මීට අමතරව සාරානාත් කෞතුකාගාරයෙහි ඇති ඉතා විශිෂ්ටතම හිඳි බුදුපිළිමය අප රටේ
අනුරාධපුරයේ මහමෙවුනා උයනේ පිහිටි සමාධි පිළිමය තරමටම ලොව ප්‍රකට වී ඇත.
සාරානාතය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද පුදබිමය. ඒ පුදබිමෙහි අසෝක
රාජ යුගයේ පිහිටුවන ලද අසෝක ස්තම්භයේ ශීර්ෂය මෙන්ම ගුප්ත යුගයේ නිර්මාණය කරන ලද මෙම
හිඳි බුදු පිළිමයද ප්‍රථම ධර්ම දේශනය පස්වග මහණුන්ට දේශනා කරන අන්දම මෙයින්
නිරූපිතයි.
|
ප්‍රථම ධර්ම
දේශනය, සංචි ස්තූප අංක 1 |
බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙන ධර්මචක්‍ර මුද්‍රාව බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශය
සංකේතවත් කරයි.
ධර්ම චක්‍ර මුද්‍රාව හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය නම් දකුණු අත්ල පිටතට හරවා පපුවේ
මට්ටමට තබාගෙන එහි දබර ඇඟිල්ලේ හා මාපට ඇඟිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා
ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවැතීමයි. (බුදු පිළිමය මුද්‍රා
හා ආසන පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි)
මෙම බුදු පිළිමය සංයමයකින් යුක්තව නිරූපණය කර ඇත. උප ශාන්ත භාවයකින් ද මන්දස්මිත මද
සිනහවකින් යුක්තව නිරූපිත මෙම බුදු පිළිමය හිස වටා දර්ශනීය ප්‍රභා වළල්ලක් ද
නිර්මාණය කර තිබීම මූර්ති ශිල්පියාගේ දක්ෂතාවය පිළිබිඹු කරවන්නකි.
මෙම බුදු පිළිමයට පහතින් ඇති ප්‍රතිමා රූප පස්වග මහණුන් වහන්සේලා නිරූපණය වෙතැයි
සැලකේ.
සාරානාත්හි මෙම පුදබිම ද අන්‍යාගමිකයන්ගෙන් බේරාගෙන බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම්
කිරීමට ලබාදුන්නේ අනගාරික ධර්මපාල තුමා නිසා බව අප නැවත ද සිහිපත් කළ යුතුව ඇත.
සාරානාත්හි ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත වූ මෙම බුදු පිළිමයේ දෙපා මූර්තිමත් කර
ඇති අන්දම පද්මාසන යනුවෙන් හැඳින්වේ. අප රටේ සමාධි පිළිමය (අනුරාධපුරයේ ) දෙපා
නිර්මාණය කර ඇත්තේ වීරාසන ක්‍රමයටය. වම්පාදය මත දකුණු පාදය සිටින සේය.
ධර්ම චක්‍රය නිරූපණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයයි. අංක එක දරණ
සාංචි ස්තූපයේ බටහිර තොරණෙහි දෙවන පේළියෙහි සාරානාත්හි (බරණැස) තථාගතයන් වහන්සේ
ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ බැව් එහි හරි මැද විශාල ධර්ම චක්‍රයක් කැටයම් කිරීමෙන්
පෙන්වා ඇත. ධර්මචක්‍රය දෙපස සතා සිව්පාවුන් ඇතුළු පිරිසක් බුදුරජාණන් වහන්සේට
නමස්කාර කරන ආකාරයෙන් සිහිපත් කරවන්නේ එම දේශනාව අවසානයේ අකණිටා බ්‍රහ්මලෝකය තෙක්
දෙව් මිනිසුන් සාධුනාද පවත්වන අවස්ථාව යැයි අනුමාන කළ හැකිය. (බුදු පිළිමයට පෙර
බුදුහාමුදුරුවෝ, බෙල්ලන්විල විමලරතන අනු නා හිමි)
මේ අනුව චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලා ශිල්පවල යොදා ගෙන
තිබුණ ද ප්‍රථම ධර්ම දේශනාව අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත්
සංකේතය බවට පත්ව ඇති ආකාරය සාංචි අමරාවතී භාරුත් හා ගන්ධාර වැනි පුදබිම්වල ඇති
මූර්ති කැටයම්වලින් පැහැදිලි වේ.
|