Print this Article


නිවන් මඟ පසක් වන සතර සතිපට්ඨානය

නිවන් මඟ පසක් වන සතර සතිපට්ඨානය

“දියුණුවේ දොරටුව“ ලිපි පෙළින් පසුගියදා බාහිර දියුණුව සහ අධ්‍යාත්මික දියුණුව යනු කුමක්දැ’යි සඳහන් කළා. එසේනම්, ඔබ අප සියලු දෙනාම නිවන් සම්පත් පතාගෙන යම් දියුණුවක් අපේක්ෂා කිරීමත් අත්‍යවශ්‍යම දියුණුවක්. එය සතර සතිපට්ඨානයෙන් පුරුදු පුහුණු කරන්නේ කෙසේදැ’යි පහදාදීම මෙම ලිපියේ අරමුණයි.

සතර සතිපට්ඨානය සිව් වැදෑරුම් වෙයි. එය කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව යනුවෙන් හැඳින්වෙයි. කය අනුව බලමින් සිත දියුණු කිරීම කායානුපස්සනාවයි. එය ආනාපානසති භාවනාව, කායගතාසති භාවනාව, චතු සම්පජඤ්ඤය, ඉරියාපථ මනසිකාරය ලෙස සීවතික නවයක් සහිතව කායානුපස්සනා භාවනා ක්‍රමය දාහතර කොටසකට බෙදා දැක්වෙනවා. සීවතික යනු සොහොනට ගෙනියන මෘත ශරීරයයි. එය දෙස බලා අරමුණ මනසට ගෙන සුදුසු තැනක මෙනෙහි කළ යුතුයි. මෘත ශරීරය විවිධාකාරයි. ඉදිමිණු ශරීරය, නිල් පැහැති මෘත ශරීරය, ඕජස් ගලන මෘත ශරීරය, ආදී විවිධාකාර ක්‍රමයන් දෙස බලා මෙනෙහි කළ යුතුයි. එමෙන්ම කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් කුණප කොටස් තිස්දෙක මෙනෙහි කිරීම කායගතාසතියයි. ආශ්වාස, ප්‍රස්වාශයන් දෙස බැලීම ආනාපාන සතියයි.

විශේෂයෙන්ම කල්පනාවෙන් සතර ඉරියව්වෙන් වැඩ කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ අපට දේශනාකර වදාළේ අපේම දියුණුව පිණිසයි. සිහිකල්පනාවෙන් වාසය කිරීම දියුණුවට ඉමහත් රුකුලක්.

එක්තරා දවසක උකුස්සෙක් පියාසරකරමින් කැටි කිරිල්ලියක් පසු පස ලුහු බැන්ඳා. එහිදී “පියාසතු භූමියේ සිටියානම් මා අසුවෙන්නේ නැහැ”යි’ කියමින් කිරිල්ලිය අඬන්න, වැළපෙන්න පටන් ගත්තා. එවිට කැටි කිරිල්ලිය කොහේ සිටියත් අල්ලා ගන්නා බවට උකුස්සා උදම් ඇනුවා. පසුව කැටි කිරිල්ලිය තමන්ගේ වාසභවන වූ පියාසතු බිමෙහි පස් පිඬැල්ලක පිහිටි බෙනයට පිවිසෙමින් පුළුවන් නම් මා අල්ලා ගන්නැ’යි කිව්වා. ඒ පසු පස හඹා ආ උකුස්සාගේ වේගය පාලනය කළ නොහැකිව උකුසු හොටේ පස්පිඬැල්ලේ වැඳී ගෙල කැඩී එතනම මරණයට පත්වුණා.

එසේනම්, සිහිකල්පනාවෙන් සිටින ඕනෑම අයකුට බේරෙන්න පුළුවන්. බණ අහන්න, භාවනා කරන්න සිල් ගුණ දියුණු කරන්න අවශ්‍යවන්නේ සිහි කල්පනාවයි. මෙය පුළුවන් තරම් දියුණු කළොත් අපේ මෙලොව පරලොව ජීවිත යහපත් . නිවන් දකින්නත් පුළුවන්. ඒ නිසා කායානුපස්සනාවෙන්, බණ භාවනා කිරීමෙන් අපට ඉමහත් දියුණුවක් ලබන්න පුළුවන්.

දෙවැන්න වේදනානුපස්සනාවයි. වේදනාව අනුව බැලීම ද විවිධාකාරයි. සැප වේදනා, දුක් වේදනා, මැදහත් වේදනා, ආමිස වේදනා, නිරාමිස වේදනා යනුවෙන් ක්‍රම නවයක් තිබෙනවා. මේවා හොඳින් නුවණින් පිරික්සීම වේදනානුපස්සනාවයි. තමන්ට සැප හෝ දුක් වේදනාවක් හෝ දැනුණු විගස වේදනාවයි...., වේදනාවයි..., යනුවෙන් මෙනෙහි කිරීම වේදනානුපස්සනාවයි. එය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් මෙනෙහි කළොත් එය විදර්ශනාවට අයත්. මෙයත් ලොකු දියුණුවක්.

දවසක්, තිස්ස හාමුදුරුවන්ටත් පුදුම විපතක් සිදු වුණා. මේ ස්වාමීන් වහන්සේ දොළොස් වසරක්ම එකම නිවසකින් දානය වැළඳුවා. එක්තරා දිනෙක මේ නිවසේ මේසය මත තිබූ මැණික් ගලක් නිවසේ ඇති කරන ගිජුලිහිණියෙක් ගිල දැමුවා. මේ ගැන නොදත් ගෙහිමියා මැණික් ගල ගත්තේ ස්වාමීන් වහන්සේ යැ’යි සැක කළා. අසරණ ස්වාමීන් වහන්සේගේ ගෙල ලණුවක් දමා සිර කළා. ගෙහිමියාගේ මේ පාපකාරී දඬුවමින් ස්වාමීන් වහන්සේගේ ඇස් , කන්, නාස් ආදී පුපුරා ඔලුකටුවටත් හානි වී සිවුර පොට මතින් රුධිරය බිම දිගේ ගලා ගියා. ඒ වෙත ගිජුව පැමිණි ගිජුලිහිණියා ගෙහිමියාගේ පා පහරින් මරුමුවට පත්වුණා. වේදනාවෙන් පෙළුණු ස්වාමීන් වහන්සේ මැණික් ගල ගිල දැමුවේ පක්ෂියා බව පැවසුවා. පෙර සත්‍යය පැවසුවානම් පක්ෂියා මරණයට පත්කරන බව දැනගත් භික්ෂූන් වහන්සේ තමන්ට ලැබුණු දඬුවම පෙර අකුසලයක් බව සිතා වේදනාව ඉවසමින් වේදනාවයි..., වේදනාවයි... යනුවෙන් මෙනෙහි කළා. මෙයින් සමාධිය, විදසුන් නුවණත් පහළ වී ආශ්වාස ප්‍රස්වාස දෙක නතරව මරණයත් රහත්ඵලයත් එකවරම සිදු වුණා.

එසේනම් වේදනානුපස්සනාවම මෙනෙහි කිරීමෙන් අපට අර්හත්වයට පත්වෙන්න පුළුවන්. තමන්ට ලැබෙන සැප වේදනාව හෝ දුක වේදනාව හොඳින් මෙනෙහි කරන්න. එයින් තමන්ට විශාල ශක්තියක් බලයක් ගොඩනංවා ගන්න පුළුවන්. වේදනාව යනු තමන්ගේ කයට , සිතට ලැබෙන හැඟීමයි. මේවා ගැන හොඳින් සිතෙන් බලමින් මෙනෙහි කරද්දී කාටවත් වරදින්නේ නැහැ. සැපෙන් සතුටින් ඉදිරියට යන්න පුළුවන්. ඒ අනුව කල්පනා කර සති, සමාධි, ඥාන, දියුණු කර කොයි කාගෙත් සත්‍ය, බලය, ජවය පෙන්වලා වේදනාවම මෙනෙහි කර කටයුතු කළොත් වේදනානුපස්සනා භාවනාවෙන් අර්හත්වයට පත් වෙන තුරා සිත දියුණු කරගන්න පුළුවන්.

තෙවැන්න චිත්තානුපස්සනාවයි. සිත අනුව බැලීමයි. සිත යනු එකයි. එහි වේද අසූනවයකි. කාමාවචර සිත් පනස්හතරක්, රූපාවචර සිත් පහළොවක්, අරූපාවචර සිත් දොළහක්, ලෝකෝත්තර සිත් අටක් වශයෙන් බෙදෙනවා. එසේනම් අපි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත් හඳුනාගෙන අවබෝධයෙන් මෙනෙහි කළ යුතු වෙමු. මේ මොහොතේ මට දැන් මතු වුණේ තණ්හා සිතක්, එය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි, දැන් මා තණ්හාවෙන් තොරයි, එයත් අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. මේ මොහොතේ මතු වුණේ තරහා සිතක්. එයත් අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි, දැන් මට ඇත්තේ මෛත්‍රී සිතක්. එයත් අනිත්‍යයයි. දුක්ඛයි, අනාත්මයි මේ මොහොතේ මතු වුණේ අමෝහ සිතක් (අවීත මෝහිකයි) එයත් අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් සිතට දැනෙන සියලු අරමුණු මෙනෙහි කිරීම චිත්තානුපස්සනා භාවනාවයි. මෙය දාසය ආකාරයකට සිදු වුණා. නිබඳවම සිත දෙසම බලන්න පුළුවන්නම් එයත් වටිනවා. එවිට කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීන මිද්ධ නීවරණය, උද්ධච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, ආදී පංච නීවරණ ගැන හොඳ දැනීමක් ඇති කරගන්න පුළුවන්. ඒ ගැන හොඳ දියුණුවක් ඇති වුණොත් අපට ලොකු ශක්තියක් ගොඩ නංවාගන්න පුළුවන්.

පංච නීවරණ යනු සිත විනාශ කරන අපායට ඇද දමන දුකට පත් කරන ධර්ම පහක්. මේවා භාවනාවෙන් යටපත් කරන්න පුළුවන්. එහි පාප සිතිවිලි තුරන්කර කුසල් වෙත යොමු වෙන්න. එසේනම්, සිත පිළිබඳ අවබෝධයෙන් හොඳ දැනීමකින් සිතේ තත්ත්වය වෙනස්වෙන බව වටහා ගන්න. බුදුරජාණන් වන්සේට සිතේ තත්ත්වය දකින්න , ප්‍රකාශ කරන්න පුළුවන්. සිත ගැන දේශනාවන් වදාළා. එතරම් දියුණු සිතක් බුදුරජාණන් වහන්සේට තිබුණා. මේ මොහොතේ පහළවන සිත කුමක්දැ’යි බුදුන් වහන්සේට වදාරන්න පුළුවන්. වසර දහයකින් ඉදිරියට වෙනදේත් බුද්ධ ඥානයට දැනෙනවා.

ඉතිරි කොටස දුරුතු පුර පසළොස්වක(ජනවාරි 05) පත්‍රයේ පළ වේ.