Print this Article


දේවතා සංයුත්තය : නොපෙනෙන සැප හැර පෙනෙන සැප සෙවීම

දේවතා සංයුත්තය : නොපෙනෙන සැප හැර පෙනෙන සැප සෙවීම

සංයුත්ත නිකාය ප්‍රධාන කොටස් පහකට බෙදෙයි. ඒවා හඳුන්වන්නේ වර්ග නමිනි. එනම් සගාථ වර්ගය, නිදාන වර්ගය, ඛන්ධක වර්ගය, සළායතන වර්ගය සහ මහා වර්ගය ලෙසයි. දෙවියන් විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටි දේශනා සගාථ වර්ගයේ ඇතුළත් වෙයි. එය දේවතා සංයුත්තය යි.

දේවතා සංයුත්තය තුළින් අද බලාපොරොත්තු වන්නේ සමාජමය වශයෙන් අදාළ වන දෙවියන් විසින් ඇසූ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීමටයි.

දේවතා සංයුත්තයේ ඇති “සමිද්ධි සූත්‍රය” විශේෂ කරුණු ඉදිරිපත් කළ සූත්‍ර ධර්මයක්. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩ වසන කාලයක ආයුෂ්මත් සමිද්ධි නම් තෙරුන් උදේම අවදිව ස්නානය සඳහා තපෝදා නදියට වැඩි සේක. බොහෝ රූප ස්වභාවයෙන් යුතු මනා ජවි වර්ණ ඇති උන්වහන්සේ ස්නානයෙන් පසු නදියෙන් ගොඩ වී එක් සිවුරක් පමණක් ඇඳ සිරුරේ තෙත සිඳවමින් වැඩ සිටි අවස්ථාවේ එක්තරා දෙව්දුවක් මුළු තපෝදා වනය බබුළුවාගෙන සමිද්ධි තෙරුන් වැඩසිටි නදිය අසළට පැමිණ අහසේම සිට මෙසේ කියා සිටියේය.

දෙව්දුව - පින්වත් භික්ෂුව, ඔබවහන්සේ (කම්සැප) නො වළඳවා පිණ්ඩපාතය පමණක් වළඳනවා නේද? ස්වාමිනි කම්සැපත් වළඳාගෙනම පිණ්ඩපාතය වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මඟ නො හැරේවා.

සමිද්ධි තෙරුන් - දෙව්දුව ඔබ කියන දේ මට නොතේරෙයි. කාලය අවස්ථාවෙන් වැහුන විට ඇත්ත පෙනෙන්නේ නැත. ඒ නිසා මම (කම්සැප) නො වළඳවා පිණ්ඩපාතය පමණක් වළඳමි. මා හට මේ උතුම් අවස්ථාව ඉක්ම නො යාවා.

දෙව්දුව අහසින් බිමට බැස මෙසේ කීය.

දෙව්දුව - පින්වත් භික්ෂුව, ඔබ තවම තරුණයි. ලස්සනයි. කළු කෙස් තිබෙන සොඳුරු යොවුන් වයසේ නේද සිටින්නේ? කම්සැපයෙහි නොයෙදී නේද ඉන්නේ? මේ මනුස්ස කාම සම්පත් වළඳන්නට මේ ජීවිතේදී ලබන්නට තිබෙන සැප අත්හැර පරලොව දී ලැබෙන කාලයට අයිති සැප පසු පස්සේ නො දුවන්න.

සමිද්ධි තෙරුන් වහන්සේ - දෙව්දුව මම මෙලොව සැප අතහැර නො පෙනෙන සැපක් පසුපස්සේ ලුහු බඳින්නෙක් නොවෙමි. නො පෙනෙන සැප හැර දමා මෙලොව සැප පසුපසම ලුහු බඳිමි. දෙව්දුව කම්සැප තාවකාලික ය. බොහෝ දුක් සහිතය. වෙහෙස ගෙනදෙයි. දොස් අපමණයි. මේ ධර්මය තමා විසින් දැකිය යුතු අතර කල් නොයවා විපාක දෙයි. එන්න බලන්නට කීමට සුදුසුයි. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා එය දත යුතු බවයි භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කොට දේශනා කොට ඇත්තේ.

දෙව්දුව එවිට මෙසේ කියන්නීය.

පින්වත් ස්වාමින් වහන්ස, කම්සැප තාවකාලික වන්නේ කෙසේද? බොහෝ දුක් සහිතය. බොහෝ වෙහෙස ගෙනදෙන සුළුය, අපමණ දොස් ඇත්තේ යැයි කියන්නේ කොහොමද? ධර්මය තමා විසින්ම දැකිය යුතු දෙයකි. කල් නොයවා විපාක ලබා දෙන්නේ යැයි කියන්නේ කොහොමද? එව බල යැයි කීම සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන්ගේ නුවණින් දැකිය යුතුයැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කළේ කෙසේද?

සමිද්ධි තෙරුන් වහන්සේ - දෙව්දුව මම නවකයෙක්. අලුත මහණ වූයෙමි. විස්තර වශයෙන් කීමට අපහසුය. අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩ සිටින සේක. උන්වහන්සේ අසලට ගොස් මෙහි තේරුම අසා දැනගනු මැනව. උන්වහන්සේ වදාළ අයුරින් සිහිතබා ගැනීම ඔබ සතු දෙයකි.

දෙව්දුව - පින්වත් ස්වාමින් වහන්ස, මහේශාක්‍ය දෙවි දේවතාවන් පිරිවරා ගෙන සිටින ඒ බුදුරදුන් අසලට යාම අපට ලෙහෙසි කටයුත්තක් නොවේ. ඒ නිසා ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අසලට ගොස් මේ කරුණු විමසන්නේ නම් අපටද එය අසා දැනගත හැකිය.

මේ අවස්ථාවෙන් අපට පැහැදිලි වෙන්නේ දේවතා සංයුත්තයේ ඇතුළත් වන්නේ සාමාන්‍ය දෙවි දේවතාවන්ගේ ප්‍රශ්න බව. බුදුරජාණන් වහන්සේ වටා මහේශාක්‍ය දෙවිවරුන් සිටින විට මෙවැනි අල්පේශාක්‍ය දෙවි දේවතාවන් විසින් බුදුරජාණන් වහන්සේ හමුවීමට යම් යම් ස්වාමින් වහන්සේගේ සහයෝගය ලබාගෙන තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

සමිද්ධි තෙරුන් වහන්සේ - හොඳයි දෙව්දුව කියා බුදුරජාණන් වහන්සේ අසලට ගොස් වන්දනා කොට එකත්පසක සිට මේ පුවත සැළකොට ඉතින් ස්වාමිනි ඒ දෙව්දුවගේ කතාව ඇත්තක්නම් ඒ දෙව්දුවත් මේ ළගම ඇතැයි කීය. දෙව්දුව පැමිණ සිටින බවට ඉඟි කර සිටි අතර, භාග්‍යවතුන් වහන්සේ දෙව්දුවට මෙසේ වදාළ සේක.

තථාගතයන් වහන්සේ - සත්ත්වයෝ මේ පංචස්කන්ධයේ සත්ත්ව, පුද්ගල යන සංඥා ඇත්තෝය. එහි තෘෂ්ණා, දෘෂ්ඨි ලෙසද පිහිටා සිටියි. පංචස්කන්ධය තේරුම් නො ගෙන මාර වසඟයට පැමිණෙති. පංචස්කන්ධය දැන ගැනීමෙන් සත්ත්ව පුද්ගල වශයෙන් කිව යුත්තක් නැති බව පිළිගනී. එබඳු පිළිගැනීම් ඔහුට නැති බැවින් රාගාදියෙන් ඇලුණේයැයි වරද පැවරීමක්ද නො කළ හැකිය. දෙව්දුව එබඳු කෙනෙක් දන්නේ නම් කියව.

දෙව්දුව -ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් කෙටියෙන් කළ මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මම නො දනිමි. මෙම කෙටි දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මට වැටහෙන පරිදි දේශනා කරතොත් මැනවයි කියා සිටියේය.

භාග්‍යවතුන් වහන්සේ - පින්වත් දෙව්දුව, අනුන් සමඟ විවාද කරන විට තුන් වැදෑරුම් මාන්නයෙන් කම්පා නොවන්නාට සම, විශිෂ්ට, හීන යන අදහසක් නැත. දෙව්දුව එබන්ඳෙකු දන්නේ නම් කියව.

දෙව්දුව - ස්වාමිනි, මේ කෙටි දේශනාව මට විස්තර ලෙස වැටහෙන සේ දේශනා කරන්නේ නම් මැනව.

භාග්‍යවතුන් වහන්සේ - සත්ත්වයා, පුද්ගලයා යන නම් අත් හැරියේය. මානය ප්‍රහාණය කළේය. නාමරූප පිළිබඳව තණ්හාව මුළුමනින්ම උපුටා දැමීය. ඒ කෙලෙස් ගැට බිඳ දැමූ නිදුක් වූ ආශා රහිත වූ රහතන් වහන්සේ මෙලොව, පරලොව, දෙව්ලොව හා වෙනත් සත්ත්ව ලෝකවල දෙව් මිනිසුන් විසින් සොයා බැලුවද දන්නට නො ලැබෙති. දෙව්දුව, එබන්දෙක් දන්නේ නම් කියව.

දෙව්දුව - ස්වාමිනි, ඒ කෙටි දේශනාවේ විස්තර වශයෙන් මම මෙසේ දැන ගත්තෙමි. සිතින්, කයින්, වචනයෙන් මුළු ලෝකයාම කිසිදු පාපයක් නොකළ යුතුය. කාමයන් දුරුකොට සිහියෙන් සහ මනා නුවණින් යුක්තව අවැඩදායක දුක් සේවනය නොකළ යුතු බව මම තේරුම් ගත්තෙමි.

දෙව්දුවගේ ඒ කියමන භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කොට වදාළ සේක.

මෙසේ විමසා බලන විට සමිද්ධි සූත්‍රය තුළින් දෙවියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවද එය මිනිස් අපට ද අදාළ බව, ප්‍රයෝජනවත් බව පැහැදිලි වෙයි. සිතින්, කයින්, වචනයෙන් මුළු ලෝකයම කිසිදු පාපයක් නොකළ යුතු බව සියලුම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යි.

සබ්බ පාපස්ස අකරණං - සියලු පව් නොකළ යුතුය
කුසලස්ස උපසම්පදා - කුසල් කළ යුතුය
සචිත්තපරියෝ දපනං - සිත දමනය කර ගත යුතුය
ඒතං බුද්ධානු සාසනං - සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි