මාරපන විජිත නා හිමි
ධර්ම ශාස්ත්‍ර විෂයෙහි වූ පාණ්ඩිත්‍යය මඟින් පෝෂණය වූ විචිත්‍ර මධුර ධර්ම
කථිකත්වයෙන් බහුජන ප්‍රසාදයට පාත්‍ර වූ මාරපන විජිත නා හිමිපාණන් වහන්සේ පාරිවේණික
අධ්‍යාපනික සේවයෙහි විදේශීය ධර්මදූත සේවයෙහි හා ධර්මශාස්ත්‍රීය ලිපි සම්පාදනයෙහි
නියැලෙමින් ලෝකශාසනෝන්නතියෙහි ලා අතිශයින්ම උපස්ථම්භක වූ යතිවරයාණ නමකි. රත්නපුර
දිස්ත්‍රික්කයේ හංගමුවේ ඇම්. ඇම්. මද්දුම බණ්ඩාර හා මාරපන ගඟ අද්දර වලව්වේ ඩබ්.ඇම්.
මද්දුම මැණිකේ කුමාරිහාමි දම්පතීන්ගේ කනිටු පුත්කුමරුව 1939 පෙබරවාරි 20 වැනි දින
ජන්මලාභය ලත් උන්වහන්සේ ඇම්.ඇම්. ජයසේකර බණ්ඩාර නමින් හංගමුවේ රතනෝදය මහා
විදුහලින්, හා ර/මාරපන මහ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී සම්බුදු
සසුන්ගත වූහ. 1952 සැප්තැම්බර් 10 වැනි දින පැවිදි බිමට පත් උන්වහන්සේට
ආචාර්යත්වයෙන් අනුග්‍රහය දැක්වූවාහු දකුණු කළුතර පරණ පාරේ සිරිනිවාසාරාම මහා විහාරය
හා හැඩිගල්ලේ ශ්‍රී විපුලසිරි විහාරය යන උභයවිහාරාධිපති කලුතර පළාතේ ප්‍රධාන සංඝ
නායක විද්‍යා විශාරද ශ්‍රී සංඝබෝධි හැඩිගල්ලේ ශ්‍රී විපුලසිරි හිමිපාණන් වහන්සේ සහ
ශ්‍රී ලංකා බෞද්ධ ආයතනයේ අධ්‍යක්ෂ දර්ශන විශාරද ඉඳුරුවේ පඤ්ඤාතිස්ස හිමිපාණන්
වහන්සේය.
මාරපන විජිත හිමිපාණන්ගේ මූලික ශාසනික අධ්‍යාපනයෙහි ගුරුකුලය වූයේ අගලවත්තේ පතිරාජ
පිරිවෙනයි. එහි මූලික අධ්‍යාපනය ලබා 1956 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්
වූ උන්වහන්සේට එහි මහවියත් පඬිහිමිවරුන් ඇසුරෙහි සිංහල පාලි සංස්කෘත ඉතිහාස
පුරාවිද්‍යා තර්ක න්‍යායාදී භාෂා ශාස්ත්‍රීය ඥානයත් ධර්මවිනය පිළිබඳ ප්‍රවීණත්වයත්
අත්පත් කරගත හැකි විය. ශාසනික යෝග්‍යතාවන් උසස් මට්ටමින් හිමිකරගෙන සිටි උන්වහන්සේ
මල්වතු මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයෙහිදී උපසම්පදා විය. ශ්‍රී ලංකා විද්‍යාලංකාර
විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනයෙහි නිරත වූ උන්වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී
උපාධිය හිමිකර ගැනීමට සමත් වූහ.
තමන් ලද දැනුම මෙරමාගේ යහපත සඳහා යෙදවීමෙහි රිසි මාරපන විජිත හිමිපාණන් වහන්සේ 1965
දී අකුරැස්සේ ගොඩපිටිය ජේතවන පිරිවෙනෙහි උපාචාර්යවරයකු ලෙස සේවයට බැඳී ස්වකීය
පාරිවේණික අධ්‍යාපන සේවය ඇරඹූහ. 1966 සිට උන්වහන්සේගේ සේවා අනුග්‍රහය හිමි වූයේ
දෙමටගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට පාරිවේණික අධ්‍යාපනයෙහි පමණක් නොව රජයේ පාඨශාලීය
අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිද උන්නතිය සඳහා සේවය කිරීමේ අවස්ථාව උන්වහන්සේට උදාවිය. රජයේ
උපාධිධාරී ගුරුවරයකු ලෙස උන්වහන්සේ යාපනය පුත්තූර් ශ්‍රී පඤ්ඤාසීහ විදුහල, ක/
පොතුපිටිය මහ විදුහල හා ගම් / ධර්මාලෝක මැදි මහ විදුහල යන විදුහල්හි සේවය කරමින්
විශාල ශිෂ්‍ය පිරිසකට ශාස්ත්‍රදානයෙන් අනුග්‍රහය දැක්වූහ. 1988 දී අධ්‍යාපන
ඩිප්ලෝමා සහතිකය දිනාගනිමින් තම අධ්‍යාපන සේවය වඩාත් ඵලවත් ලෙස ක්‍රියා කිරීමට
උන්වහන්සේට හැකි විය.
මාරපන විජිත හිමිපාණන් වහන්සේ විදේශීය ධර්මදූත සේවයටද තම අනුග්‍රහය දැක්වූ යතිවරයාණ
නමකි. 1967 දී ඉන්දියාවට වැඩමවා මහාබෝධි සමිතිය හා එක්ව දෙවසරක ධර්මදූත කටයුතුවල
නියැලීමට උන්වහන්සේට අවස්ථාව ලැබිණ. කළුතර දකුණ පරණ පාරේ සිරිනිවාසාරාමයෙහි හා
හැඩිගල්ලේ ශ්‍රී විපුලසිරි විහාරයෙහි ආධිපත්‍යය හොබවන උන්වහන්සේ සුප්‍රකට
ධර්මදේශකයාණ නමක් ලෙස බහුජන ගෞරවයට පාත්‍ර වී සිටිති. සුමධුර වාග් විලාශයකින්
ධර්මදේශනා කිරීමේ කුශලතාව හිමිකරගෙන ඇති උන්වහන්සේ විසින් ගුවන්විදුලි හා
රූපවාහිනිය මාධ්‍යයෙන් පැවැත් වූ ධර්ම දේශනා අතරින් තෝරා ගත් ධර්මදේශනා සංග්‍රහ
තුනක් දම්පවන 1, 2, 3 වශයෙන් ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ප්‍රේමසිරි කාරියවසම් මහතාගේ
සංස්කාරකත්වයෙන් පළකොට තිබේ.
පුවත්පත් සඟරා ආදියට ධර්ම ශාස්ත්‍රීය ලිපි සම්පාදනයෙන් ද අනුග්‍රහය දක්වන මාරපන
විජිත හිමිපාණන් වහන්සේ ස්වකීය, අධ්‍යාපනික, ආගමික හා සාමාජික සේවාවන් අගයමින් 1997
දී ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාරීය මහා සංඝ සභාව මඟින් පිරිනමන ලද
සද්ධර්මවාගිශ්වර ශ්‍රී අත්ථදස්සී යන ගෞරව නාමයෙන් හා කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක
ධූරයෙන් සම්මානික වූ ධර්ම විනයධර බහුශ්‍රැත සංඝ පීතෘන්වහන්සේ නමකි.
මොදරවාගේ ගුණරතන හිමි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොදරවාන ග්‍රාම
නිලධාරී වසමේ වතුමුල්ල උඩුගල්මොටේ ගෙදර විසූ වැවගෙදර රත්නායකගේ ඩිංගි අප්පුහාමි
මහතාගේත් කංකානම්ගේ ගිමාරහාමි මාතාවගේත් දරුවන් හත්දෙනා අතරින් බාලම දරුවා ලෙස
1928.12.28 දින උපන් වැවගෙදර රත්නායකගේ ගුණපාල නමැති පින්වත් කුමරුවා 1949.11.04
දින එවකට වාව්ව පුරාණ විහාරාධිපතිව වැඩ විසූ කදුරුලියද්දේ රතනපාලාභිධාන මාහිමියන්ගේ
ශිෂ්‍යවරයෙකු ලෙස මොරදවානේ ගුණරතන නමින් ප්‍රව්‍යජ්‍යාභූමියට ඇතුළත් වූහ.
මොදරවාන මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ පැවිදිවීමෙන් පසු මුලගිරි පිරිවෙනින් හා
මාතර ශ්‍රී සුදර්ශී මහ පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ 1953.05.30
දින මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදා වූහ.
කොළඹ මාලිගාකන්ද මහ පිරිවෙනට ඇතුළත්ව ත්‍රිපිටකාචාර්ය උපාධිය ලබාගත් ගුණරතන හිමියෝ
එවකට වාව්ව පුරාණ විහාරාධිපති ධුරය දරමින් වැඩ විසූ නිහිළුවේ සිරි පඤ්ඤාසිරි රේවත
මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1974 ජනවාරි 04 දින වාව්ව පුරාණ විහාරාධිපති ධූරයට පත්
වූහ. මොදරවානේ ගුණරතන හිමියන් විහාරාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම විහාරස්ථානයේ
විහාරංගයන්හි පෞරාණික බව ආරක්ෂා වන අයුරින් ඒවා ප්‍රතිසංස්කරණය කරවා ඇත.
ශ්‍රීරතනපාල දහම්පාසල සහ වාව්ව, දලුවක්ගොඩ එක්සත් තරුණ බෞද්ධ සංගමය හා විහාරස්ථානය
කේන්ද්‍රකරගනිමින් ආගමික හා සමාජයීය සංවිධාන රැසක් ආරම්භ කිරීම ඇතුළුව මහඟු ශාසනික
හා සමාජීය සේවාවන් රැසක් ඉටුකර ඇත. 89 වැනි වියට පාතබන ත්‍රිපිටකාචාර්ය මොදරවානේ
ගුණරතන මාහිමියන්ට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙම
දෙසැම්බර් 28, 29 දෙදින තුළ විහාරස්ථානයේ ආශිර්වාද පූජාවක් ඇතුළුව පින්කම් රැසක්
සංවිධානය කොට ඇත.
උන්වහන්සේට දීර්ඝායුෂ පතමු. !!!
දළුවක්ගොඩ එක්සත් තරුණ බෞද්ධ සංගමගේ ලේකම්
සාම විනිසුරු ගුණපාල රාජපක්ෂ
හඟුරන්කෙත සද්ධානන්ද හිමි
තලාතුඔය, පින්නගොල්ල ශ්‍රී සද්ධම්මාරාමය, බුටාවත්ත පුරාණ විහාරද්වයාධිපති ශ්‍රී
ධම්ම ලෝකාර්ථචාරි වෛශාරද්‍ය සමස්ත ලංකා සාමදාන විනිසුරු හඟුරන්කෙත සද්ධානන්ද
හිමියන්ගේ 64 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් සමාජ සත්කාර සේවාවන් හා ශාසනික කටයුතු
ක්‍රියාත්මක කෙරේ. දෙසැම්බර් 24 වෙනි දින තලාතුඔය බෝපිටිය වැඩිහිටි නිවාසයේදී
නේවාසිකයින්ට දිවා ආහාරය පිරිනැමුණි.
පාතහේවාහැට ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් දශක තුනකට ආසන්න කාලයක්
තිස්සේ දහම් පාසල් අධ්‍යාපනය ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළහ. සද්ධානන්ද හිමියන්
මහනුවර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී වශයෙන් ද දශකයක කාලයක් කටයුතු කරමින්
මහනුවර දිසාවේ දහම් දරුවන් සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් කිරීමෙහිලාද ක්‍රියාශීලී
වූහ. හඟුරන්කෙත සද්ධානන්ද හිමි ග්‍රාම සංවර්ධන ව්‍යාප්තියට සමිති මට්ටමෙන් දියත්කර
ඇති සමාජ සංවර්ධන සේවාවන් නිසා ප්‍රදේශයේ ගම්මට්ටමින් බිහිකළ ව්‍යාපෘතිවලින්
ප්‍රතිඵල රැසක් ලබා ඇත. ශ්‍රී සද්ධම්මාරාමය අද අංගසම්පූර්ණ පුදබිමක් බවට පත් වී
ඇත්තේ සද්ධානන්ද හිමියන්ගේ ශාසනික කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සද්ධානන්ද හිමියන්ට
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සේවය කිරීමට නිරෝගිභාවය දළදා සමිඳුන්ගේ
ආශිර්වාදය ලැබේවායයි ප්‍රාර්ථනා කරමු.
කේ. බණ්ඩාරනායක |