Print this Article


ලස්සන හිත් අවලස්සන කළ අත්

ලස්සන හිත් අවලස්සන කළ අත්

වැට දිගේ පිපුණු නිල්, සුදු, කටරොලු මල් දමක ඇමිණූූ සේ ය. මඟ දෙපස පෙළට සිටවූ කහ මල්, අශෝක, වතු සුද්ද මල් සිත අළවන්නේය. රාස්සිගේ අව් රැල්ල බොරළු පාරේ සෙවණැලි අඳින යාමයේ නේක පැහැයෙන්, සුවඳ මලින් හැඩවෙන හෙන්දිරික්කා ගස් දවසේ මෙහෙවරෙන් විඩාබර වූ සිත් සනසවන්නේ ය. පෝදාට, ඉරිදාට එකක් දෙකක් නොව මල් වට්ටි දහයක්, දොළහක් පිරෙන්නට මල් නෙළන ළමෝ ඒ මඟ වෙති. දුමිරිය පළක් වෙත දිවෙන මේ කුඩා මාර්ගය බොහෝ කලක සිට මට හුරු පුරුදුය. ගමටත් නගරයටත් අතර මැද පරිසරයක පිහිටි එහි කෙළවරක ගුරු බිමකි.

එහි, තැන තැන දිය අගල් සැරැසූ ඕළු, නෙළුම්, මහනෙල් මල්ය. දිය අගලින් වටවුණු කුඩා බිම් තීරුවල සාවුන් , කුකුළන්, තාරාවන්, කළුකුම් ආදී සිව්පාවෝ ද, පක්ෂීහු ද නිදැල්ලේ සරන්නේ පුදුමය ද ඇති කරවමිනි.

මේ මඟ මෙලෙස අලංකාර වූයේත්, ආරක්ෂා වූයේත් ආගමට දහමට අනුව හැඩ ගැසුණු අවට මිනිසුන්ගේ ශ්‍රමය නිසා ය. එහෙත් දැන් දැන් ගමට ආගන්තුකයෝ බොහෝ ය. මඟ යන එන්නෝ ද බොහෝ ය. ටික දිනෙක සිට මල් සුවඳ පරයමින් එහි දුර්ගන්ධයක් හමායන සැටිත්, පාර දෙපස කුණු වී පණුවන් ගැසූ කසළ මලු ගොඩ ගසා ඇති සැටිත් ගමේ අය දුටුවහ. එකාමෙන් එක්ව ඔවුහු හත් අට වතාවක්ම පාර පිරිසුදු කළහ. ‘කුණු දමන්නට එපා. මේ ඔබේත් මාවතයි’ දැන්වීම් පුවරුද එල්ලූහ. එහෙත් ඒ පුවරු අසළ ද කුණු මලු ගොඩ ගැසුණි. ගමේ අය ද ටිකෙන් ටික උත්සාහය අත් හළහ. පාරේ යන එන අයගේ ඇස් වසා දහවල ද, රාත්‍රියේ ද, පාන්දර යාමයේ ද වාහන කවුළුවලින් එළියට විසි කරන කුණු මලු වලින් ඒ මඟ දැන් අපිරිසුදු වී අවසන් ය. වැසිදාට පාර පුරා පණුවන් ය. ආහාර සොයාගෙන පොර කන සුනඛයන් ය. දැන් ඒ පාරේ මල් සුවඳ නැත. මල් ගස් ද කොළ හැලී කණාටු වී ය. නාස් හකුළුවමින් ද , විටෙක ශාප කරමින් දෙපයින් යන්නෝ එහි ඇවිද යති.

මෙහි පමණක් නොවේ. මේ අද අපේ රටේ බොහෝ මාර්ගයන්හි දැකිය හැකි දසුනකි. තමන් ගැන පමණක් සිතා කරන මෙවැනි අකටයුතුකම් මිනිස්කමට නොගැළපෙන්නකි.

පරිසරයත් මිනිසාත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. පරිසරයට හිතකාමී නොවන, පරිසරය රැක ගන්නට නොදන්නා පුද්ගලයා එයින් තමාද විනාශ වන බව නොදනී. ගෙදර කුණුටික මහ මඟට දමා ගෙදර පිරිසුදු යැයි සිතන්නේ නම් එය තමන්ම රවටා ගැනීමකි. ප්‍රතිඵල කෙදිනක හෝ තමන්ට ද හිමිය. පරිසරයේ පිවිතුරු බව බුදු දහමේ නිරන්තරයෙන් අගය කළ කරුණකි. සංයුක්ත නිකායේ වන රෝපා සූත්‍රයේ සඳහන් වන්නේ යම් පුද්ගලයෙක් මල් ඵල සහිත තුරුලතා වවයිද, ඒ ද¾ඩු, පාලම්, පැන්හල් තනවයි ද ඔහුට දිවා රෑ පින් වැඩෙන බවයි. බෞද්ධ දර්ශනයට අනුව ‘ අත්තානං උපමංකත්වා’ තමා තමාට උපමාවක් කොට ගෙන ජීවත් විය යුතුය. තමන් උපමාකොට අනුන්ට කරදරයක් හිංසාවක් නොවන සේ ජීවත් විය යුතුය. එවිට තමන්ට අහිත දේ අනුන්ට ද අහිත බව වටහා ගැනීම අපහසු නොවනු ඇත.