UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස දක්ෂිණාරාමයේ සියවසක ගමන් මග

ගල්කිස්ස දක්ෂිණාරාමයේ සියවසක ගමන් මග

දකුණු සිරිලක වූ කලී මෙරට බිහි වූ වියතුන්ටත් බුද්ධිමතුන්ටත් සුගතශාසනය බබුළුවාලීමට සමත් ශාසනානුලෝමී යති පරම්පරාවකටත් නිජභූමිය විය යන්න අතිශෝක්තියක් නොවේ. එවන් උත්තුංග භූමියෙන් අගනුවරට සම්ප්‍රාප්ත වී බොදු දන මන පුබුදු කරවන යතිවරුන්ගෙන් සුශෝභිත ගල්කිස්ස දක්ෂිණාරාමය නමැති පින් බිම 2016 ජූලි 03 වන දිනට ශතවර්ෂ පූර්ණ සංවත්සරය සමරනුයේ අභිමානවත් ඉතිහාසයක් නිමවා නවමු මං පෙතකට පියවර තබමිනි. මෙම සටහන තදානුස්මරණය සඳහා ය.


වාහල්කඩ

1916 ජූලි 03 වන දින ගල්කිස්ස වතුමුල්ල ප්‍රදේශයේ පර්චස් 17 ක පමණ කුඩා පෙදෙස දක්ෂිණාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය ලෙස ස්ථාපිත විය. මුල් වකවානුවේ දී ‘ආවාසය පන්සල’ යැයි ව්‍යවහාරයට පැමිණි මෙම අරමට පළමු පියවර තබා නේතෘත්වය හොබවූවෝ දික්වැල්ලේ ශ්‍රී ගුණරතන නාහිමියෝය. උන්වහන්සේගේ කලණ බව හිතාධ්‍යාශය නිසාවෙන් දකුණු පළාතේ මහ සඟරුවනට අගනුවර නේවාසිකාගාරයක් බඳු වූයේ නම් ඒ අප විහාරස්ථානයයි. එහෙයින් ම එය ‘දක්ෂිණාරාමය’ ලෙස හඳුන්වනු ලැබීය.


දෙවිනුවර අරියවංස නා හිමි


අතුරලියේ ආනන්ද නාහිමි

අධිරාජ්‍යවාදී පාලනය හමුවේ වුවද නොසැලී නිර්භීත අධිෂ්ඨානයකින් සිය ශාසනික මෙහෙවර සිදු කළ අප කර්තෘවරයාණෝ 1957 දී දිවංගත වූහ. ඉන්පසුව දක්ෂිණාරාමය ජීවමාන කරවීම සඳහා ගුණරතන නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර දික්වැල්ලේ උත්තමවංස නාහිමිපාණෝ විහාරාධිපතිත්වයට පත් වූහ. උදාර ශ්‍රමණ ලක්ෂණයන්ගෙන් ගතත්, නොකිළිටි අදහසින් සිතත් සරසා ගත් උන්වහන්සේගේ සසුන් පිළිවෙත සාතිශය ප්‍රශංසාර්හ වේ. 1970 දී උන්වහන්සේගේ අපවත්වීමෙන් විහාරාධිපතිත්වයට පත් වූවෝ දෙවිනුවර අරියවංශ නා හිමිපාණෝ ය.

දක්ෂිණාරාම ඉතිහාසයේ ස්වර්ණමය යුගය සනිටුහන් කිරීමට උන්වහන්සේ ක්‍රියාකාරී වූහ. සකලවිධ අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමේ පුරෝගාමී වූවෝ ද උන්වහන්සේ ය. චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා ඉදිකළ අටවිසි මුනි සෑය, බුදුපිළිම හා බැඳුනු මුද්‍රාවන් සහිත භාවමය නිර්මාණය ප්‍රදේශයේ අන් කිසිඳු විහාරස්ථානයක නොදැකිය හැකි අනර්ඝ නිමැවුමකි. ජාතික, ආගමික හා සමාජයීය වශයෙන් සක්‍රීය වූ උන්වහන්සේගේ මෙහෙවර අධ්‍යාපනික ක්ෂේත්‍රය තුළද විහිද යයි.

පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම, යටතේ ධර්ම විනය ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ධර්ම විනයධර ශික්ෂාකාමී දැන උගත් භික්ෂු පිරිසක් ඇති කිරිම යන උසස් පරමාර්ථයන් පෙරදැරි කරගෙන නාලන්දා ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන ආරම්භ කෙරිණි. 1984 ජනවාරි මස 14 වන දින පැවිදි සිසුන් හතර නමකට අත්පොත් තබා ආරම්භ කරන ලද මෙහි පසුකාලීනව දෙස් විදෙස් දහම් අධ්‍යාපනය උදෙසා දොරටු විවර කළ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ඤාණ ප්‍රදීපයන් දල්වාලන, දැයට වියතුන් බිහි කරන දම් පියසක් බවට නාලන්දා ත්‍රිපිටක ධර්මායතනය පත්විය. වත්මන් යුගය වන විට දේශ දේශාන්තරයන්හි ධර්ම ප්‍රචාරයෙහි යෙදවීමට සමත් භික්ෂු පරපුරක් බිහි වී තිබීම දෙවිනුවර අරියවංශ නාහිමිපාණන්ගේ ආධ්‍යාශය පළදැරීමක් සේ සැලකිය හැකිය.

වසර විසිදෙකක් මුළුල්ලේ සේවයක් සිදුකොට 1992 දී උන්වහන්සේ නාලන්දා ධර්මායතනය ම සෝ සයුරේ ගිල්වමිනි. උන්වහන්සේගෙන් පසු ආයතනය අඳුරු යුගයකට යා නොදී බලසම්පන්න ස්ථම්භයක් සේ දරා සිටීමට සමත් ශිෂ්‍යවරයෙක් පැවිදි භූමියට ඇතුළත් කරතිබීම යථෝක්ත නාහිමියන්ගේ දූරදර්ශී ක්‍රියාවකි.

එනම් වර්තමාන ගල්කිස්ස දක්ෂිණාරාමය, දික්වැල්ල අශෝකාරාමය යන උභය විහාරාධිපති, නාලන්දා පිරිවෙන් පරිවේණාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝ නායක අතුරලියේ ආනන්ද නාහිමියන්ගේ සසුන් ගතවීමයි. ගුරුහිමියන්ට නොදෙවෙනිව මනා දැක්මකින් සසුන් වැඩ වඩන ආනන්ද නාහිමියෝ ශ්‍රේෂ්ඨ සංඝපිතෘන් වහන්සේ නමකි.

දක්ෂිණාරාම විහාරයත්, නාලන්දා ත්‍රිපිටක ධර්මායතනයත් ජෝති ජෝති පරායන කරවන්නට දිවා රෑ නොතකා අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කරන යතිවරයාණන් කෙනෙක් වෙත් නම් ඒ උන්වහන්සේ ය.


දක්ෂිණාරාම විහාර වතගොත

ගල්කිස්ස දක්ෂිණාරාම පාරේ පිහිටි දක්ෂිණාරාම මහා විහාරස්ථ පුණ්‍ය භූමිය 1916 ජූලි මස 03 දින පූජා පත්‍රයකින් සම්බුදු සසුනට පූජා කොට විහාර භුමියක් ලෙස ස්ථාපිත විය. මුල් වකවානුවේ වූ දික්වැල්ලේ ගුණරතන නාහිමිපාණෝ විහාරාධිපතිව වැඩ විසූහ. පර්චස් 17ක පමණ කුඩා භූමි ප්‍රමාණයකින් සමන්විත වූ මෙම පින්බිම දක්ෂිණාරාමය බවට පත් විය.

1957 දී ආදි කර්තෘ දික්වැල්ලේ ගුණරතන නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ දික්වැල්ලේ උත්තමවංස නාහිමිපාණෝ විහාරාධිපති ධුරය දරමින් නිහඬ ශාසනික දිවි පෙවතක් ගත කළහ. උන්වහන්සේ 1970 දී අපවත්වීමෙන් පසු දෙවිනුවර අරියවංස නාහිමිපාණෝ විහාරාධිපතිත්වය දරමින් පුණ්‍ය භූමියේ විශාල පරිවර්තනයක් සිදුකරමින් විහාර භුමියේ සියලුම විහාර අංග ඉදිකිරීමට පුරෝගාමි වූහ. උන්වහන්සේ හරහා ගොඩනැගුණු සමාජ පරිසරය අතිශයින් ප්‍රශංසනීයය.

සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා තම දිවිය කැප කළ උන්වහන්සේ, පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම,යටතේ ධර්ම, විනය ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම ධර්ම විනයධර ශික්ෂාකාමී දැන උගත් භික්ෂු පිරිසක් ඇතිකිරීම යන උසස් පරමාර්ථයන් පෙරදැරි කරගෙන නාලන්දා ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන 1984 ජනවාරි මස 14 වන දින පැවිදි සිසුන් හතර නමකට අත්පොත් තබා ආරම්භ කරන ලදී. එවකට එහි ගිහි අනුශාසකත්වය දරණ ලද්දේ ලලිත් ඇතුලත්මුදලි ඇමැති තුමාය. පසුකාලීනව දෙස් විදෙස් ධර්ම රසය සොයා යන ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සිසුනට නාලන්දා පිරිවෙන් භූමිය දම් පියසක් විය. අද දින වන විට උන්වහන්සේලා ධර්ම ප්‍රචාරණයෙහි යෙදෙමින් ශාසනික උන්නතිය උදෙසා තම දිවි කැපකරමින් සිටිති.

දෙවිනුවර අරියවංස නාහිමිපාණෝ 1992 දී අපවත්වී වදාළහ. එම සේවාව ඉදිරියටත් කරගෙන යාම සඳහා දෙවිනුවර අරියවංස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් වර්තමානයේ ගල්කිස්ස දක්ෂිණාරාමය දික්වැල්ල අශෝකාරාමය යන උභය විහාරාධිපති නාලන්දා පිරිවෙන් පරිවේණාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක අතුරලියේ ආනන්ද නාහිමියෝ ආගමික ශාසනික ,සාමාජීය මෙහෙවරෙහි යෙදෙන සංඝ පීතෘන් වහන්සේ නමකි.

දක්ෂිණාරාම පුණ්‍ය භුමියට වසර සියයක් සපිරෙන මොහොතේ ආදි කර්තෘන් වහන්සේලා ද දායකකාරකාදීන් ද සිහිපත් කරමින් සිදු කරන පින්කමේදී එළිදක්වන ශාස්ත්‍රීය සමරු කලාපය දහම් හමුව, සියවස් සමරු ගීතය, තෝරාගත් පවුල් කීපයකට තිළිණ ප්‍රදානය කිරීම, නාලන්දා සංවර්ධන අරමුදල ඇරැඹීම, සත්බුදු වන්දනා පින්කම, රෝද පුටු ප්‍රදානය කිරීම ආදී පින්කම් මාලාවක් දෙසැම්බර් මස 24,25,26 දිනයන්හි පැවැත්වීමට දක්ෂිණාරාම කාර්යසාධක සමිතිය, නාලන්දා පිරිවෙන් ආචාර්ය මණ්ඩලය, සිරිගුණරතන දහම් පාසල හා උත්සව කමිටුව කටයුතු සංවිධානය කර ඇත.


සියවස් සැමරුම් වැඩසටහන

* සියවස් සමරුවට ධර්ම දේශනා 100 ක් පැවැත්වීම.
* සියවස් සමරු කලාපය එළිදැක්වීම.
* දරුවන් පැවිදි කිරිම.
* සියක් නමක් විෂයෙහි දානය පිරිනැමීම.
* තෝරා ගත් දායක පවුල් සීයකට තිළිණ ප්‍රදානය කිරීම.
* සියවස් සමරු ලිත එළිදැක්වීම.
* සියවස් සමරුව නිමිතිකරගෙන දොරටුව අභියස වාහල්කඩ විවෘත කිරීම. (දෙසැ. 4 පස්වරු 2.30 ට)
* සියවස් සමරුව නිමිත්තෙන් අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම.
* සියවස් සමරුව නිමිති කරගෙන වැඩ සිටි අපවත් වී වදාළ නාහිමිවරුන්ගේ ගුණ සැමරීම.
* සියවස් සැමරීම නිමිති කරගෙන දක්ෂිණාරාම නාලන්දා ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් අරමුදල ඇරඹීම.
* දක්ෂිණාරාම සිරිගුණරතන දහම් පාසලේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දක්ෂිණාරාම කාර්ය සාධක සමිතියේ හා ශාසන හිතකාමී හැම දෙනාගෙන් ලද දායකත්වය මෙත් සිතින් සැදැහැවතුන් අගය කර සිටිමු.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]