ගල්ටැම්වත්තේ චන්දජෝති නා හිමි
අලුත්වෙල තිබ්බටුවාව පුරාණ
රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රවේදී
යුදගනාවේ පේමානන්ද හිමි
ගල්ටැම්වත්තේ චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ බුත්තල, ගල්ටැම්වත්ත ගම්මානයේ විසූ
කේ.ඇම්. අප්පුහාමි රත්තරංකිවුලේ ආරච්චි මහත්තයාට සහ ආර්. ඇම්. සුදුමැණිකේ උපාසිකා
මාතාවට පුත්‍රයෙකුව 1927 නොවැම්බර් 27 දින උපත ලදහ. මේ පුණ්‍යවන්ත කුමරු කුඩා කල
සිටම ආගම ධර්මය විෂයෙහි ඉමහත් ශ්‍රද්ධාවකින් යුක්තව කටයුතු කළේ ය. එහි ප්‍රතිඵලයක්
ලෙස 1942 දී අලුත්වෙල පුරාණ විහාරාධිපති රත්තරංකිවුලේ පේමානන්ද ස්වාමීන් වහන්සේ
විසින් අලුත්වෙල තිබ්බටුවාව පුරාණ රාජ මහා විහාරස්ථානයේ දී මෙම කුමරු ගල්ටැම්වත්තේ
චන්දජෝති නමින් පැවිදි කරනු ලැබීය.
මෙම පැවිද්දෙන් අනතුරුව උන්වහන්සේ ස්වකීය අධ්‍යාපන කටයුතු සඳහා සඳලංකාව ශාස්ත්‍රෝදය
පිරිවෙනට ඇතුළත් වූහ. එහි කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ උන්වහන්සේ පාලි, සංස්කෘත,
සිංහල, ත්‍රිපිටක ධර්මය ආදී විෂයයන් මැනවින් හදාළහ.
1948 වසරේදී උන්වහන්සේ ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මංගල
උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබීය. අනතුරුව ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සාමර්ථ්‍යය
ලබන්නට ද උන්වහන්සේ සමත් වූහ.
මේ අයුරින් ලද අධ්‍යාපනය අකැමැත්තෙන් වුවද අතරමග නවතා දමන්නට උන්වහන්සේට සිදු විය.
ඒ අන් කිසිවක් නිසා නොව පරාර්ථකාමීත්වය වෙනුවෙන්මය. 1953 වර්ෂයේ ඔක්කම්පිටිය
දෙමටමල් විහාරයේ වස් විසීම සඳහා පැමිණීමත් සමඟ එහි ආරම්භය සිදු විය.
දෙමටමල් විහාරය ඒ සඳහා තෝතැන්නක් විය. ගම්වාසීන්ගේ බලවත් ඉල්ලීම මත නා හිමියන්
විසින් තරුණ බෞද්ධ සමිතියක් සහ විහාර සාධක සමිතියක් ආරම්භ කරන ලද්දේ විහාර මන්දිරයේ
වැඩ ආරම්භ කිරීමේ අරමුණ පෙරදැරිවය. බලාපොරොත්තු වූ පරිදිම 1957 එම කටයුතු නිම
කරන්නට හැකි වූ අතර 1968 වර්ෂයේ සංඝාවාසයක්ද, 1974 වර්ෂයේ සුවිශාල තොරණ සහිත
ඝණ්ටාස්තම්භයක් ද නිම කරන්නට හැකි වීම පෙන්වා දෙන්නේ අන් කිසිවක් නොව නා හිමියන්ගේ
අප්‍රතිහත ධෛර්යයයි. දෙමටමල් විහාරයේ ප්‍රෞඪත්වය කියාපාන සුවිශාල දාගැබ ද පැවතියේ
ගරා වැටී නටඹුන්වය. එය නැවත ගොඩනැංවීම ආරම්භ කරන ලද්දේ ද 1957 වර්ෂයේදීය.
1986 වන විට චෛත්‍යයේ සියලු වැඩ අවසන් වෙමින් පැවති අතර ජරාවාස වී පැවති බෝධි
ප්‍රාකාරය වෙනුවට නව බෝධි ප්‍රාකාරයක් තැනවීමට ද නා හිමියෝ සමත් වූහ. ඵම කටයුතුවලට
අමතරව 1953 දී මාලේවන ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ගැමුණු දහම්
විදුහල ආරම්භ කිරීම, විහාරස්ථානය අවට කුඹුරු ඉඩම් මිලදීගෙන ඒවායෙහි පඤ්චාවාස
ගොඩනැගිලි අවට නටඹුන් මතු කර විශේෂ මලු, දිය අගල් ආදිය පෞරාණික ස්වරූපයෙන් ම යථා
තත්ත්වයට පත් කිරීම, ඔක්කම්පිටිය ගමට විදුලිය ලබාදීම, 1978 ළමා වර්ෂය නිමිත්තෙන්
ළමා කාර්යාංශයේ මෙහෙයවීම මත ගමේ ළදරු පාසල් හතරක් ආරම්භ කිරීම, 1983 වර්ෂයේ බුත්තල,
ඔක්කම්පිටිය මාර්ගයේ කුඹුක්කන් ඔය හරහා දිග අඩි 150 කට අධික කෝස් වේ එකක් රජයේ
සහයෝගයෙන් සෑදීම, 1992 බුත්තල ගම්උදාව ලබා ගැනීම, පෞරාණික ප්‍රතිමා ගෘහය
ප්‍රතිනිර්මාණය, අභිනව ධර්ම ශාලා මන්දිරය ඉදි කිරීම ආදී සියලු කටයුතුවල මූලිකත්වය
ගෙන ක්‍රියා කළේ ද නා හිමියන්ය. බුත්තල යුදගනාව රාජමහා විහාරය, වගුරුවෙල පෝයමලු
විහාරය, අලුත්වෙල තිබ්බටුවාව පුරාණ රාජමහා විහාරය, පැල්වත්ත චන්ද්‍රමධුරාරාමය යන
විහාරස්ථානයන්හි ද ආධිපත්‍යය දරන නායක ස්වාමීන් වහන්සේ ඒවායෙහි දියුණුව පිණිස ද
කටයුතු කළහ.
මෙසේ පරාර්ථකාමීව කටයුතු කළ නා හිමිපාණන් වහන්සේ පදවි, තනතුරු ලබන්නට උත්සුක නොවූහ.
එහෙත් උන්වහන්සේ ඒවාට සුදුසු වන බැවින් උන්වහන්සේට ඒවා ලැබෙන්නට විය.
1992 දී ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මොනරාගල දිස්ත්‍රික්කයේ
ප්‍රධාන සංඝ නායක පදවියෙන් නා හිමියෝ සම්මානිත වූහ. අනතුරුව 2008 වර්ෂයේ
ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන්
මහෝපාධ්‍යාය ධූරයට පත් කරනු ලැබීය.
කිහිප වරක්ම දඹදිව වැඩම කළ නා හිමි 2007 වර්ෂයේ දඹදිව බුද්ධගයාවේ වස් එළඹීම සහ කඨින
මහා පුණ්‍යෙීත්සවයට සහභාගි වීම විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ධර්ම දේශනා සහ පිරිත්
දේශනා පැවැත්වීමෙහි විශේෂ කුසලතාවක් ද උන්වහන්සේ සතුව පවතී.
1945 වර්ෂයේ සිට නායක හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ප්‍රමාණය පන්දහස ඉක්මවා
ඇතැයි පැවසේ. එහි ආරම්භය එනම් මංගල ධර්ම දේශනය පැවැත්වීම සිදු වූයේ 1945 වර්ෂයේ
අලුත්වෙල තිබ්බටුවාව විහාරස්ථානයේ දීය.
නොවැම්බර් මස 27 වන දින 89 වන ජන්ම දිනය සැමරූ උන්වහන්සේට ශ්‍රීමත් දළදා වහන්සේගේ
සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයෙන් තවත් දිගු කලක් ලෝ සසුන බබළවන්නට
ශක්තිය ලැබේවා. |