Print this Article


බෞද්ධ ආර්ථික දර්ශනය – 17 : අපරාධයට හේතුව දිළිඳු බවද
බෞද්ධ ආර්ථික දර්ශනය – 17 :

අපරාධයට හේතුව දිළිඳු බවද

"නුවණින් විමසා බැලුවහොත් දිළිඳුකම නැතිකර ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට අවශ්‍ය දැහැමි ක්‍රම රැසක් තිබේ. ඒ සියල්ල හඳුනාගෙන නිසි පිළිවෙතකට අනුව ක්‍රියා කිරීමේ ක්‍රමයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් විය හැකි බව චුල්ලසෙට්ඨි ජාතකයෙන් පෙන්වා දෙන ආදර්ශයයි. "

බුදුසමයට අනුව අධ්‍යාත්මික දිළිදුකම හා භෞතික දිළිඳුකම යනුවෙන් දිළිඳුකම කොටස් දෙකකට බෙදිය හැකිවේ. සමාජ අපරාධ ඇතිවීමෙහිලා මෙම අවස්ථා දෙකම මුල් වේ. එයින් භෞතික දිළිඳුකම යනුවෙන් අදහස් වන්නේ මිනිසාට අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවීමයි. ආහාර ඇඳුම් නිවාස හා සෞඛ්‍ය යන මූලික අවශ්‍යතා පහසුවෙන් සම්පාදනය කරගැනීමට නොහැකි අවස්ථාවලදී මිනිසා දැඩිලෙස පීඩනයට පත්වෙයි.

මූලික අවශ්‍යතා පදනම්කරගත් සෙසු ද්විතීයක අවශ්‍යතාද මැනවින් සම්පාදනය නොවන විට අපරාධ ඇතිවීම ස්වාභාවිකය. ආර්ථික දරිද්‍රතාව විවිධ අපරාධ ඇති වීමෙහිලා පදනම් වන අයුරු චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. ආර්ථික දරිද්‍රතාව මුලිනුපුටා දැමීමට කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම පුද්ගලිකව එයින් මිදීමට උත්සුකවන අය ද මෙම සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත්කරන කරුණු සැළකිල්ලට භාජනය කළයුතු වන්නේ එමගින් ඔවුන්ගේ ව්‍යාපෘති තුළ පවතින අඩුපාඩු මගහරවා ගැනීමට හැකිවන හෙයිනි. පුරා කතාවක ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත්කරන චක්කවත්තිසීහනාද සූත්‍රය ගිහි බෞද්ධ සදාචාරයේ පාරප්‍රාප්තිය ලෙස හැඳීන්විය හැකිය. එය පරමාදර්ශි බෞද්ධ රාජ්‍යයක පාලකයාගේ හා ඔහුගේ ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතුද යන්න පෙන්වා දෙයි.

බෞද්ධ රාජ්‍යයක් සතු ප්‍රධානම කාර්යභාරය වන්නේ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා ඉටුවන අර්ථ ක්‍රමයක් රාජ්‍යතුළ නිර්මාණය කිරීමයි. එපමණක් නොව එම ආර්ථික වැඩපිළිවෙළ හුදෙක් තනි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් අරමුණුකරගත්තක් නොව සමස්ත ප්‍රජාවම අරමුණුකරගත් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් විය යුතුය යන්න මෙම සූත්‍රයෙන් අවධාරණය කෙරේ. පැරැණි සිංහල බෞද්ධ රජවරුන් මෙය මැනවින් වටහාගත් බව කෘෂිකර්මාන්තය සඳහා තම රාජ්‍ය තුළ වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමෙන් පැහැදිලි වේ. මෙම පිළිවෙත ලංකාවේ ආර්ථික සමෘද්ධියට මෙන්ම ධාර්මික විමුක්තියට හේතුවක් විය. චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන පුරා කථාවට අනුව සත්වන සක්විති රජතුමා තෙක් සියලු රජවරු දස සක්විති ප්‍රතිපදාව අනුව රට පාලනය කළහ. එහෙත් සත්වන සක්විති රජුගේ පුත්‍රයා දස සක්විති ධර්ම නොසළකා ස්ව මතයට අනුව කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ රජධානිය ආර්ථික හා සදාචාරමය වශයෙන් පරිහාණියට පත්විය. අනතුරුව මැති ඇමැතිවරුන්ගේ උපදෙස් අනුව දස සක්විති අනුව දැහැමි රැකවල යෙදුවත් දිළින්දන්ට ධනය නොදීම හේතුවෙන් දිළිඳුකම වර්ධනය වන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් පුද්ගලයෙක් අනුන්සතු නොදුන් දෙයක් සොරකම් කළේය. මිනිස්සු සොරා අල්ලාගෙන ගොස් රජුට ඉදිරිපත් කළ අතර රජු කුමක් නිසා සොරකම් කළේදැයි විමසීය. අනතුරුව සොරා ප්‍රකාශ කළේ ජීවත් විමට ක්‍රමයක් නොමැති හෙයින් සොරකම් කළ බවයි. රජතුමා ඔහුට ධනය දී සොරකම් නොකර තමාද, මව්පියන් ද, අඹුදරුවන් ද පෝෂණය කොට කර්මාන්ත පවත්වාගෙන යමින් පින් දහම් කරගන්නා ලෙස අනුශාසනා කළේය. ඉන් අනතුරුව දෙවන සොරාටත් එසේම ධනය ලබාදුන්නේය.

මේ ක්‍රමයට රජු සොරුන්ට ධනය දෙතියි යන පිළිගැනීම මත බොහෝ දෙනෙක් සොරකමට පෙළඹුනහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිළිවෙළින් ප්‍රාණඝාතය, අවි ආයුධ භාවිතය, මං පැහැරීම, බොරුකීම, කේලාම් කීම, කාම අපරාධ වර්ධනය විය. ආර්ථික දරිද්‍රතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පළමු පියවරේදී සමාජ සදාචාරය පිරිහීමට පත්විය. මූලික මිනිස් අයිතිවාසිකම් නොසළකා කටයුතු කරන ප්‍රචණ්ඩ සමාජ පරිසරයක් තවදුරටත් නිර්මාණය විය. දෙවන පියවරේදී පුද්ගලයා තුළ අවිද්‍යාව, ව්‍යාපාදය, අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්ම සමාදානය, වර්ධනය වී මව්පියන්, මහණ බමුණන් හා වැඩිහිටියන්ට නොසළකන යටත් පැවතුම් නොමැතිව කටයුතු කරන සමාජයක් නිර්මාණය විය. අවසානයේදී මිනිස්සු සදාචාරයෙන් පිරිහී කුල සිරිත් නොසළකා එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන් බල්ලන් හා සිවලුන් වැනි තිරිසන් සතුන් සේ හැසිරෙන අතර තිරිසනුන් මෙන් එකිනෙකා මරාගන්නා පිරිසක් බවට පත් වූහ. මේ අනුව දිළිඳුකම හේතුවෙන් ආරම්භ වූ සොරකම අවසානයේ අපරාධ රැල්ලක් දක්වා වර්ධනය විය.

මූලික අවශ්‍යතා ඉටුවෙන ජීවන ක්‍රමයක් නොමැති වූ විට පුද්ගලයා සොරකමට පෙළඹෙන බව මෙම පුරා කතාවෙන් පැහැදිලි වේ. සොරකම මූලික කරගත් අපරාධ රැල්ල හේතුඵලවාදීව ඇතිවන්නකි. මූල හේතුව දිළිඳුකම වුවද අපරාධ රැල්ලෙහි අවසන් අදියරයට යනවිට ඒ කෙරෙහි බලපාන හේතු රැසක් දක්නට ලැබේ. මෙහිදී පැහැදිලිවන තවත් කරුණක් වන්නේ සොරකම පාලනය කිරීම පිණිස රජු අනුගමනය කරන ක්‍රමයේ අසාර්ථකත්වයි. දිළිඳුකම නැති කිරීම පිණිස ක්‍රමවත් ආර්ථික සැලැස්මක් වෙනුවට සොරකමෙහි නිරත වන්නාට ධනය දීමෙන් සිදුවන්නේ තවදුරටත් අර්බුද රැසක් නිර්මාණය වීමයි. එසේම දිළිදුකම පිළිබඳ අර්බුදය විසඳීමට රජු අනුගමනය කරන්නේ ඒකපාර්ශ්වීය විසඳුමකි. ආර්ථික දිළිඳුකම එවැනි ඒකපාර්ශ්වීය විසඳුමකින් වැළක්විය නොහැකිය.

දිළිඳුකම තනි පුද්ගලයෙකුගේ ගැටලුවක් වුවද එයට නිසි විසඳුමක් ඉදිරිපත් නොකළ විට එය සමස්ත සමාජයේම පැවැත්මට බාධාවක් වේ. ඒ සඳහා බලපාන සමස්ත හේතු මැනවින් හඳුනාගෙන එම හේතු වැළක්වීම පිණිස ක්‍රියාත්මක වියයුතු බව මෙයින් පෙන්වාදෙන ආදර්ශයයි. දිළිඳුකම පිටුදැකීමේ බෞද්ධ පිළිවෙත වන්නේද පැලැස්තර විසඳුම් වෙනුවට පොදු හේතුව සොයා එයට ප්‍රතිකර්ම යෙදීමයි. මූලික අවශ්‍යතා ඉහළ යාමත් සමඟම එකී අවශ්‍යතා සම්පාදනය කරගැනීමේ විධිමත් ක්‍රමයක් නොමැති වූ විට පුද්ගලයා නිසර්ගයෙන්ම වැරැදි ජීවන ක්‍රමවලට හුරු වේ. නිසි රැකියාවක් ප්‍රමාණවත් තරම් ආදායම් මාර්ගයක් නොමැති වූ විට මෙම තත්ත්වය තවත් උග්‍රවේ. එහෙත් නුවණින් විමසා බැලුවහොත් දිළිඳුකම නැතිකර ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට අවශ්‍ය දැහැමි ක්‍රම රැසක් තිබේ. ඒ සියල්ල හඳුනාගෙන නිසි පිළිවෙතකට අනුව ක්‍රියා කිරීමෙන් ක්‍රමයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් විය හැකි බව චුල්ලසෙට්ඨි ජාතකයෙන් පෙන්වා දෙන ආදර්ශයයි. එහි දැක්වෙන පරිදි මහමඟ තිබුණු මළ මීයෙකු, බළලුන් ඇතිකරන්නෙකුට විකුණා ලද ආදායමෙන් පසුව පිළිවෙළින් ධනවතෙකු බවට පත්වූ චුල්ලන්තේවාසිකයා රජගහ නගරයෙහි සිටු තනතුර පවා ලැබීය. මෙම ජාතක කතාව තමා දිළිඳුයැයි කල්පනා කරමින් පසුතැවෙන පුද්ගලයන්ට එයින් නිදහස් වීමට අත්වැලක් වේ.

දිළිඳුකමෙන් නිදහස්වීම එක සැනෙකින් කළ හැකි දෙයක් නොවේ. එය ක්‍රමයෙන් නැතිකළ යුත්තකි. ජීවත් වීමට ක්‍රමයක් නැතැයි සිතමින් ඒ සඳහා වැරැදි ක්‍රම අනුගමනය කිරීම තවදුරටත් ජීවිතය අවුල් කරගැනීමක් වේ. සිඟාලෝවාද සූත්‍රයේ එන අලසකමේ ආදීනව මැනවින් වටහා ගන්නෙකුට උට්ඨාන වීර්යෙන් යුක්තව තම ආර්ථික දරිද්‍රතාව නැතිකරගත හැකිවේ. මහා ගංගාවක් නිර්මාණය වන්නේ කුඩා දියබිඳු එක්වීමෙන්ය. ලොව ධනවත් පුද්ගලයන් එම තත්ත්වය අත්පත්කරගෙන තිබෙන්නේ පියවරෙන් පියවර ඉදිරියට යාමෙන්ය. සෑම ධනවතෙකුගේම පරම්පරා කථාව විශ්ලේෂණය කළහොත් මෙය මැනවින් වටහාගත හැකි වේ. ආරම්භයේදීම නිවන නොලැබෙන බව බුදුරදුන්ගේ අනුශාසනයයි. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාව ක්‍රියාත්මක කළයුතුවේ. දිළ¼ිදුකම නැතිකොට ධනවත් වීමද ඒ හා සමාන වේ. නුවණ මෙහෙයවා පොඩි තැනින් ආරම්භ කරන ව්‍යාපාර හා ආදායම් මාර්ග පුද්ගල උත්සාහය හා කැපවීම තුළින් ලාභ ලබන මහා ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ හැකි වේ.