දියුණුවට සුදුසු පුද්ගල ඇසුර
කොළඹ 06, වැල්ලවත්ත
ශ්‍රී සද්ධර්මාරාමාධිපති
කොළඹ නාලන්දා විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති
වතවන සිරිසුමන හිමි
සිඟාලෝවාද සූත්‍රයෙහි වදාළ පරිදි පාප මිත්‍රයින් සිව් දෙනෙකි. හිස් අතින් නිවසට
පැමිණ නොයෙක් හිතවත්කම්, ඇඟෑලුම්කම් පෙන්වා නොයෙක් ලෙසින් ඇති නැති ගුණ වර්ණනා කොට
මිතුරාගෙන් යම් කිසිවක් ගෙන යන්නට මාන බලන ‘අඤ්ඤදත්ථූහර’ මිත්‍රයා ඉන් පළමුවැන්නාය.
න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධමෙ
භ ජෙථ මිත්තෙ කල්‍යාණෙ
භ ජෙථ පුරිසුත්තමෙ
සැදැහැවත් පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව ධම්මපදයෙහි ඇතුළත් ඉහත දැක් වූ ගාථා
ධර්මයෙහි අදහස නම් පවිටු මිතුරන් ඇසුරු නො කළ යුතුය, අධම මිනිසුන් භජනය නො කළ
යුතුය. කල්‍යාණ මිත්‍රයන් ම සේවනය කළ යුතුය. උතුම් මිනිසුන් ම සේවනය කළ යුතුය.
යන්නයි.
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආනන්ද හිමියන් සඳහන් කළේ “භාග්‍යවතුන් වහන්ස, මේ බුදු
සසුනෙහි දියුණුවෙන් අඩක් ම කල්‍යාණ මිතුයන් ආශ්‍රය කිරීම තුළින් ලැබේ ය” යන්නයි.
එහෙත් ඊට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. ‘ආනන්දය, එසේ නොවේ.
බුදු සසුනේ අඩක් නොව සම්පූර්ණ දියුණුවම කලණ මිතුරන් ඇති බව නිසාම ලැබේය’ යන්නයි.
මෙහි සම්පූර්ණ දියුණුව නම් ත්‍රිපිටක ධර්මය ඉගෙනීම නම් වූ පර්යාප්ති ශාසනයත් එම
උගත් ධර්මයට අනුව පිළිපැදීම නම් වූ තෙරුවන් සරණ යාමේ පටන් රහත් මඟ දක්වා ඇති
ප්‍රතිපත්ති ශාසනයත්, මෙම ධර්මයෙන් බලාපොරොත්තු වන නව ලොව්තුරා දහම නම් වූ
ප්‍රතිවේද ශාසනයත්, යන තුන් වැදෑරුම් බුදු සස්නයි.
පුද්ගලයකු ගේ මෙලොව ජීවිතය සාර්ථක කරලීමට හේතුවන උතුම් මංගල කරුණු තිස් අටක් වදාළ
බුදුරදුන් එහි පාප මිත්‍ර වර්ජනය හා කල්‍යාණ මිත්‍ර සේවනය කෙරෙහි මුල් තැන් ලබා
දුන් සේක. සිඟාලෝවාද සූත්‍රයෙහි වදාළ පරිදි පාප මිත්‍රයින් සිව් දෙනෙකි. හිස් අතින්
නිවසට පැමිණ නොයෙක් හිතවත්කම්, ඇඟෑලුම්කම් පෙන්වා නොයෙක් ලෙසින් ඇති නැති ගුණ
වර්ණනා කොට මිතුරාගෙන් යම් කිසිවක් ගෙන යන්නට මාන බලන ‘අඤ්ඤදත්ථූහර’ මිත්‍රයා ඉන්
පළමුවැන්නාය. දෙවැන්නා වනුයේ වචනයට උසස් ම සංග්‍රහය කොට ඇති හෙවත් විපතක දී පමණක්
උපකාර බලාපොරොත්තුවෙන් පැමිණෙන ‘වචී පරම’ මිත්‍රයාය. මිතුරාගේ චරිතයට ගැළපෙන පරිදි
යහපත් වූ හෝ අයහපත් වූ හෝ ඔහු ප්‍රිය කරන බසක් ම කියනසුළු වූ මිත්‍ර ප්‍රතිරූපකයා
පිළිබඳ තෙවනුව උගන්වයි. ඔහු ‘අනුප්පියභාණී’ මිත්‍රයා ය. සිවුවැන්නා ‘අපාය සහාය’
මිතුරා ය. ඔහුගේ ස්වභාවය අවැඩට සහායවීම හෙවත් අනර්ථය සැලසෙන දේට එකතුවීමයි.
කල්‍යාණ මිත්‍රයන් සිව් දෙනෙක් පිළිබඳව මෙහිදී උගන්වා ඇති අතර ඉන් පළමුවැන්නා නම්
අවශ්‍ය තැනදී, නොමසුරුව නොපැකිලව උපකාර කරන ‘උපකාරක’ මිත්‍රයාය. දෙවැන්නා සැප දුක්
දෙකෙහිම සමව ඇසුරු කරන ‘සමාන සුඛ’ දුක්ඛ මිත්‍රයාය. දෙලොව දියුණුවට මඟ කියා දෙන
‘අත්ථක්ඛායී’ මිත්‍රයා තෙවැන්නාය. සිව්වැන්නා මිතුරා කෙරෙහි නිතරම අනුකම්පා කරන
ස්වභාව ඇති ‘අනුකම්පක’ මිත්‍රයාය.
තමාගේ දියුණුවක් බලාපොරොත්තු වන්නෙකු විසින් මෙකී කල්‍යාණ මිත්‍රයන් සිව්දෙනා ඇසුරු
කළ යුතු ය. යම්කිසි මිත්‍රයෙක් පි‍්‍රයවේද, ගරු කටයුතු බුහුමන් කටයුතු ගුණ ඇත්තේද,
දුටු වරද කරුණාබර මෙත් සිතින් කියා දෙන්නේ ද, තමාගේ වරදක් මිතුරා දුටුවහොත් ඔහු එය
කියාදෙන කල නොකිපී සාදරයෙන් පිළිගන්නේ ද හිස් බස් ඕපාදූප නොදොඩා ගැඹුරු වූ සාරවත්
කතා කරන්නේ ද මිතුරා නොමග නොයවන්නේ ද ඔහු ඉතා උතුම් කල්‍යාණ මිත්‍රයෙකු බව මේ අනුව
මනාව පැහැදිලි ය.
ළමා කාලයෙහි සැමටම මව්පියෝ මිත්‍රයෝ ය. ගෘහපති කාලයෙහි භාර්යාව මිතුරියයි. මේ හැම
කාලයන්ගේම ආත්ම මිත්‍රයා හෙවත් තමනට තමාම මිතුරාය. යන මෙම තුන් මිතුරන් හිතවත් විය
යුතු ය. සෑම කෙනෙක්ම මෙම කරුණු හොඳින් වටහාගෙන හොඳ මිත්‍රයන් වීමටත්, මේ ආකාරයේ
ගුණවත් මිතුරන් ම ඇසුරු කිරීමටත් තරයේ සිතට ගත යුතු ය. |