Print this Article


ජීවන අත්දැකීම්වල සැඟවුණු කහවණු

ජීවන අත්දැකීම්වල සැඟවුණු කහවණු

‘සුතනු’ගේ අම්මා නැත. තාත්තා ද නැත. රැකවරණය දුන්නී ආච්චි අම්මා ය. හොඳ, නරක ගැන, ජීවිතය ගැන සුතනුට කියා දුන්නී ද ඇයයි. වීරකතා, චරිත කතා කියාදෙමින් මේ පුංචි පුතාගේ සිත එඩිතරකම් මතු කළේද ඇයයි.

සුතනු ජීවත් වූ රටේ රජතුමා දිනක් මහවනයේ මුව දඩයමේ ගියා. වෙහෙසට පත් වූ රජු රූස්ස ගස් සෙවනක ගිමන් හැරියා. එවේලේ ඒ ගසට අධිගෘහිත වූ රාක්ෂයෙක් ලොමු දැහැ ගන්වමින් රජතුමා ඉදිරියට ආවා. “මේ ගස යටට එන ඕනෑම කෙනෙක් ආහාරයට ගන්නට මට ‘වෙසමුණි’ අවසර දී තිබෙනවා. දැන් මම නුඹව කා දමනවා” යි ගිගිරුවා. බියපත් රජුගේ සිරුරෙන් දහදිය වැගිරුණා. දෙපා වෙව්ළන්නට වුණා.

‘රකුසාණෙනි, මම මේ රටේ රජු. මා නිදහස් කරනු මැනවි. ඒ වෙනුවට මා ඔබතුමාගේ ආහාරය වෙනුවෙන් එක දවසකට එක මිනිහෙක් එවන්නම්. තව බත් පාර්සලයකුත් එවන්නම්.”

රජු රකුසා ඉදිරියේ පින්සෙණ්ඩු වුණා. හිතුවාටත් වඩා වැඩිවාසියක් අත්වෙන බව දුටු රකුසා යෝජනාවට එකඟ වුණා. ලැබූ නිදහසින් වහ වහා එතැනින් පිටවුණ රජු පොරොන්දු ලෙසම, දවසක් නෑර එක මිනිසෙක්, බත් පාර්සලයක් බැගින් රකුසා වෙත යැව්වා. මේ විදිහට මුලින්ම රටේ සිරකරුවන්ගෙන් රකුසාගේ කුස පිරුණා. කාලය ගෙවුණා. දැන් රටේ එකම සිරකරුවෙක් හෝ සොයාගත නොහැකියි. ඊළඟ වාරය මහලු අයටයි. මේ විදිහටත් දවස් ගෙවී ගියා. ඊළඟ වාරය එන්නේ ‘සුතනු’ ගේ ආච්චි අම්මාටයි.

ඔහුගේ එකම නෑදෑයා ඇයයි. ආච්චි අම්මාට අත්වෙන්නට යන ඉරණම සුතනු කෙසේ නම් දරා ගන්නද? පුංචි දරුවා රටේ රජතුමා හමුවෙන්නට ගියා.

“රජතුමනි, හෙට දිනයේ රකුසාගේ ආහාරය පිණිස යන්නට මට අවසර දෙනු මැනවි”.ස්ව කැමැත්තෙන්ම සුතනු ඉල්ලා සිටියා. රජු, ඉල්ලීමට එකඟ වුණා. තවත් ප්‍රශ්නයක්. “රජතුමනි” මට ඔබතුමාගේ කඩුව දෙනු මැනවි. මිරිවැඩි සඟළත්, ඔටුන්නත්, බත් පාර්සලයකුත් දෙනු මැනවි.” සුතනු, බැගෑපත්ව රජුගෙන් ඉල්ලා සිටියා. මරණයට යන මේ දරුවාගේ ඉල්ලීම ඉටුකරන්නට රජතුමා, පොරොන්දු වුණා. දැන්, සුතනු වෙනුවෙන් ඒ සියල්ල සූදානම්.

පසුදිනට පහන් වුණා. සුතනු ඔටුන්න හිස පැළඳ ගත්තා. දෙපයට වඩා ලොකු මිරිවැඩි සඟළින් සැරසුණා. කඩුවත් සමඟ බත් පාර්සලයද රැගෙන මහ වන මැද රකුසා අධිගෘහිත රුක්සෙවනට ගියා.

සුතනු දුටු රකුසා “නුඹ මාගේ එක කටටත් මදි. රජතුමා මා රවටනවාද? යි. කේන්තියෙන් ඇසුවා. “නෑ,නෑ, රකුස, ඔබ එහෙම කියන්නට එපා. ඇති වුණත් මදි වුණත් නුඹට මා නම් ආහාරයට ගන්නට ලැබෙන්නේ නෑ. “පුංචි කොල්ලාගේ කතාවට රකුසා පුදුම වුණා.

“හොඳයි, වෙසමුණි රජතුමා නුඹට අවසර දී තිබෙන්නේ කවර ආහාරයක් අනුභව කරන්නද?”

සුතනු නැවතත් රකුසාගෙන් විමසුවා.

“මේ ගස් සෙවනට එන,මේ සෙවනේ පස් පෑගූ ඕනෑ කෙනෙක් ආහාරයට ගන්නට මට අවසර තිබෙනවා.” රකුසා බොහොම ගාම්භීරව කීවා.

“හා,රකුස” නුඹට නොපෙනේද? මා මේ ගස් සෙවනේ පස් පා ගා නැති වගක්. මා දෙපයේ මිරිවැඩි සඟලක් තිබෙනවා. ගසේ සෙවනින් නොවෙයි, මා හිස ඔටුන්නෙන් සෙවන වෙනවා. ඉතින් නුඹට මා අනුභව කරන්නට ලැබුණේ කාගේ අවසරය ද?”

නිර්භීතව පැවසූ සුතනු කඩුව ඇද රකුසාගේ ගෙලට තබා, “මින් මතු අපේ රටේ කිසිම මනුෂ්‍යයෙක් නුඹට ආහාරය වන්නේ නෑ. එහෙම වුණොත් මම නුඹව එක කඩු පහරින් මරා දමනවා’ හේ රකුසාට අනතුරු හැඟෙව්වා. බිය පත් රකුසා සුතනුට නිදහස දුන්නා. එදා පටන් සුතනුගේ රටේ මිනිසුන්ටත් නිදහස ලැබුණා.

මේ අපේ ජාතක කතා සාහිත්‍ය පෝෂණය කළ තවත් කතා පුවතක්. රකුසෙක්, රජකෙනෙක් හා කුඩා දරුවෙක් සම්බන්ධව ගෙතුනු කතාවක් වුවද මීට දශක තුන හතරකට එහා අපේ දරුවන්ගේ ලෝකයේ වීරයන් වුණේ මෙවැනි කතාන්දරවල ජීවත් වූ චරිත. අම්මෙක්, තාත්තෙක් නැති දරුවෙක් වුණත් අසාධාරණයට නුවණින් මුහුණ දෙන ‘සුතනු’ පුංචි පුතා වගේ ඔවුන් හිතන්නට පෙළඹුණා. තමන් ගේ ජීවිතයට වඩා තමන්ට ආදරය කරන, රැකවරණය දෙන වැඩිහිටියන්ට ආදරය කරන හැටි, ඔවුන් සුරක්ෂිත කරන හැටි ඉගෙන ගත්තා. නෑදෑකමක ඇති බැඳීමට ගරු කළා. කළ ගුණ සැලකීම ගැන ඉගෙන ගත්තා. රට,ජාතිය ගැන හැඟීමක් ඇති කරගත්තා. ළමා හදවතට කතා කළ මේ චරිත ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කළා. නැති බැරිකම්, අහිමි වීම් මැද දිරියෙන් නැඟී සිටින සැටි, ජීවිතයේ නැතිවීම් දරා ගන්නා සැටි ගැන ළමයින්ට කියා දුන්නේ සාහිත්‍ය රසයද ලබා දෙමින්. අනෙක් අතින් වැඩිහිටියන්ටද තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්, වගකීම් ගැන කියා දෙමින්.

‘සුතනු’ ගේ අම්මා, තාත්තා නැතත් ඒ අඩුව පිරිමැහුණේ ආච්චිගෙන්. ඇය සිය වගකීම ලෙස සැලකුවේ සුතනු ගේ කුස පුරවා ජීවත් කරවීම පමණක් නොවේ. ඔහු මිනිසෙක් කිරීමටයි. සංවේදී හදවතක් ඇති, එහෙත් ප්‍රශ්නවලින් පලා නොයන, ජීවිතයට නොබියව මුහුණ දෙන මනුෂ්‍යයෙක් බවට පත් කිරීමටයි. සිය මුණුපුරා අසරණකම් කියා කියා පිහිට ඉල්ලමින් යදින්නෙක් වනවා දකින්නට රිසි නොවූ ඇය, ඔහුට දිරියෙන් නැඟී සිටින සැටි උගන්වා ඇති ආකාරය වචනයෙන් විස්තර නොකළත් සුතනුගේ චරිතය, නිර්භීත හැසිරීම, අවස්ථාවෝචිත නුවණ ඒ බවට සාක්ෂි ලබා දෙනවා.

වර්තමානයේ අපේ අම්මාවරුන්ට, පියවරුන්ට පමණක් නොවේ. කිරිඅම්මලා, කිරිඅත්තලාට ඇයගේ චරිතය කියාදෙන පාඩම ගැන නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබෙනවා.දරු මුණුපුරන්ට ජන කතාවක්, ගම කතාවක් කියා දෙන්නට අද අපේ සමහර ආච්චිලා සීයලාට වේලාවක් නැති බවක් පෙනෙනවා. සමහර විට ඒ අවස්ථාව මඟ හරවනු ලබන්නේ දරුවාගේම අම්මා තාත්තා විසින්. උසස් රැකියාවක් ලැබුණ ගමන් අම්මා තාත්තා වෙනුවෙන් අසංවේදී වන දරුවන්ගේ හිත් වක්‍රව සිඳ බිඳලන්නේ මුණුපුරු මිණිපිරියන් හා ආච්චි අම්මලා, සීයලා අතර ඇති බැඳීමයි. ඒ බිඳ වැටීම දරුවන්ගේ ජීවිතය කඩා වැටීමේ ආරම්භය වන බව මවුපියන්ට වැටහෙන්නේ කලක් ගෙවුණ පසුවයි. මළගමක දී කඳුළක් නොවැටෙනා, ගැටලුවක්, තවත් ගැටලුවක් උද්ගත නොවන ලෙස විසඳාගන්නට බැරි, හිතන්නට දන්නේ නැති තරුණ දරුවන් අපේ සමාජයේ මොනතරම් සිටිනවාද? ඒ ඔවුන්ගේ වරද නම් නොවේ. ඔවුන් හදාවඩා ඇති ආකාරයේ වරදයි. වයෝවෘද්ධ වුවද වැඩිහිටියන් දරුවන් සමීපයට ගෙන කියාදෙන කුඩා අවවාදයක, කතාවක, උපහැරණයක ඔවුන් වසර ගණනාවක් පුරා ජීවත්වීමෙන් ලද අත්දැකීම් අන්තර්ගතයි. දුක, සතුට, ශෝකය, අභියෝග , ජය සහ පරාජය ආදී බොහෝ ජීවන සංසිද්ධීන් ඒ අත්දැකීම් සමඟ මුසුව තිබෙනවා.මේ සියල්ල දරුවන්ගේ ජීවිතය හසුරුවන්නට ඉතා වැදගත් වෙනවා. මේ නිසා වැඩිහිටියන් හා ළමා පරපුර අතර දුරස්ථ බව අඩුකර ඔවුනොවුන් සමඟ සමීප සම්බන්ධතා ඇතිකරගන්නට නැවත අවස්ථාව පැමිණ තිබෙනවා. මේ ඒ ගැන සිතන්නට හොඳම කාලයයි.