Print this Article


නුගුණ බැහැර කර සුගුණ ප්‍රගුණ කරමු

නුගුණ බැහැර කර සුගුණ ප්‍රගුණ කරමු

අද මාතෘකාව සඳහා තෝරාගනු ලැබූයේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවයි. එනම් කියත උපමාකොට වදාළ දේශනාවයි.

භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන නම් ස්වාමීන් වහන්සේ භික්ෂූණීන් වහන්සේලා සමඟ පමණට වඩා එකතුව, ඇසුරු කරමින් සිටිනවා. මේ ආකාරයට කාලයක් ආයුෂ්මත් මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් සමඟ අනවශ්‍ය ලෙස කතා කරමින් සංවාදයෙහි යෙදෙමින් කල්ගෙවන විට යම් හෙයකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව හට ඒ හැසිරීම ගැන දොස් කිව්වොත් ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුවට කේන්ති යනවා. නොසතුටු වෙනවා. එපමණක් නොවෙයි කලහ කරගන්නවා. යම් විදිහකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුවට දොස් කිව්වොත් ඒ භික්ෂුණීන්ටත් කේන්ති යනවා. නොසතුට පළ කරනවා. කලහ කරගන්නවා. මේ විදිහට ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව හා බොහෝ භික්ෂුණීන් වහන්සේලා අතර එක්ව වාසය කිරීමේ නිතර කතාවේ යෙදීමේ සිරිතක් ඇති වී තිබුණා.

තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුදු සසුන සකස්ව පවතින්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසගෙන්මයි. භාග්‍යවතුන් වහන්සේ ඇසුර පිළිබඳව ඉතා වටිනා දහම් උපදේශාත්මක සහ අනුශාසනාවන් ලෙස පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම යම් වූ දේශනාවන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස කර්මස්ථාන හැටියටත් යොමු කර ගන්නවා.

කරණීය මෙත්ත සූත්‍රය ඒ වගේ සූත්‍ර දේශනාවක්. යම් පිරිසක් කම්මාරාමථා, බස්සාරාමථා, නිද්ධාරාමථා, සංඝනිඛාරාමථා ආදියෙහි යෙදෙනවා නම් ඒක ධර්ම මාර්ගයේ පිරිහීමක් ඇති කරන කරුණු හැටියටයි පෙන්වා දෙන්නේ.

කම්මාරාමථා - යනුවෙන් සඳහන් කරන්නේ ධර්ම මාර්ගයෙන් බැහැරව ලෞකික ජීවන මාර්ගයට බොහෝ සේ උපකාරවන කටයුතුවලම යෙදී සිටීමයි. පැවිදි ජීවිතයක් නම් ඒවා නිසා වඩාත් ම ඇලීම් සහ ගැටීම් ඇතිවෙනවා. උපාසක, උපාසිකා ස්වභාවයේදීත් ලෝභ, දෝස, මෝහ ආදී කෙලෙස්වලට මුල්වන නිවන් මඟ අහුරන මාර්ග බවට පත් වෙන්නට පුළුවනි. ඒ නිසා එදිනෙදා ජීවිත ගමනේ කටයුතු පවත්වාගෙන සිටියත් ධර්ම මාර්ගයෙන් බැහැර නොවීම පිණිසම කටයුතු පවත්වා ගැනීම අවශ්‍යයයි.

කරණීය මෙත්ත සූත්‍රයේ දී අප්පකිච්ච - අල්ප වූ කටයුතු හැටියටත්, සල්ලහුකවුත්තී - සැහැල්ලු ඇවතුම් පැවතුම් හැටියටත් සුභර – පහසුවෙන් පෝෂණය කළ හැකි බවටත් පත්විය යුතු බව පෙන්වා දුන්නේ මේ නිසයි.

ඒ වගේ ම බස්සාරාමථා - නිතරම කතා කරමින් ඉන්නවා නම් කණ්ඩායම් වශයෙන්, එකට එකතු වී සංවාදයේ යෙදී සිටීමත්, ධර්ම මාර්ගයේ පෙන්වා දෙන්නේ පිරිහීමක් හැටියටයි.

නිද්ධාරාමථා - නිතර නිදා ගැනීමත්,

සංඝනිඛාරාමථා - ඒ ඒ කණ්ඩායම් ලෙසින් හැදිලා ඒ ඒ තැන එකතුවෙලා කතා කරමින් සිටිීම ධර්ම මාර්ගයෙන් බැහැර වීමක් ලෙසයි පෙන්වා වදාළේ. ධර්ම සාකච්ඡාවකට වැනි කරුණකට මෙලෙස එකතුව කතා කිරීම අදාළ වන්නේ ද නැහැ. ඉන් අදහස් කළේ මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේගේ හා භික්ෂුණීන් වහන්සේලාගේ මේ නොගැළපෙන එකතුවත් සංවාදයත් බුදු සසුනේ පෙන්වා දෙන නිවන අරමුණු කරගත් වීතරාගී මඟට නොගැළපෙන බව සඳහන් කිරීමටයි.

දිනක් එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කළා. එසේ වැඩම කර භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එකත් පසෙකින් වාඩි වී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කරනවා. ස්වාමිනී, ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වී වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්ස ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතුව සිටීම ගැන යම් ආකාරයකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ දී ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුවට වැරැද්ද පෙන්වා අවවාද කළොත් ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුවට කේන්ති යනවා. නොසතුටු වූ සිත් ඇති කර ගන්නවා. කලහ කර ගන්නවා. යම් ආකාරයකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන තෙරුන්ට ඒ ගැන දොස් කියන විට ඒ භික්ෂුණීන්ටත් කේන්ති යනවා. නොසතුටු සිත් ඇතිවෙනවා.කලහ කර ගන්නවා. භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව භික්ෂුණීන් සමඟ බොහෝ ම එකතුවෙලා කාලය ගත කරනවා, මේ ආකාරයෙන් ඒ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කර සඳහන් කළා.

මේ උතුම් ධර්ම මාර්ගයෙහි අනතිමානී ගුණය බොහෝම උතුම් ගුණයකි. එනම් සාමාන්‍ය ලෝකයා හඳුන්වන්නේ නිහතමානීකම හැටියටයි. මානය මුළුමනින් ම නැති කළේ රහතුන් වහන්සේයි. එහෙත්, ඒ රහත් බවට පත්වන තෙක් අනතිමානී ගුණයෙන් යුක්තව හැකිතාක්දුරට තමාගේ කුමන හෝ ගුණයක් නිසා අන් අය පහත් කොට හා තමා උසස් කොට සරසා නොගත යුතුයි. යම් වූ ගුණ ලෞකික වූ ගුණයන් වෙන්නට පුළුවනි. එනම් ඉගැනීම, බාහිර පෙනුම, ධනය, තනතුරු වැනි දෑයි. ලෝකෝත්තර මාර්ගයේ දී රහත්වීම හා සමගින් ම මානය බැහැරවීම නිසා රහතුන් වහන්සේ නමක් කිසිවිටකවත් එවැනි මානයකට පත්වන්නේ නැහැ. රහත් බව අරමුණුකරගත් දුකින් නිදහස් වීමේ මඟ අනුගමනය කරන ධර්මයෙන් සැනසෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසම අනතිමානී ගුණයෙන් තමන්ගෙ ජීවිතය සරසා ගත යුතුයි.

එයට යහපත් වූ ම නිදසුන ලෙස පෙන්වා දිය හැකි වන්නේ සැරියුත් මහ රහතුන් වහන්සේ හා සමඟිනුයි. සැරියුත් මහ රහතුන් වහන්සේ දිනක් සක්මනෙහි යෙදී සිටින විට උන්වහන්සේ නොදැනුවත්වම උන්වහන්සේගේ සිවුරේ කොනක් බිම ඇතිල්ලෙමින් තිබුණා. මෙය දුටු එදිනම පැවිදි වූ සත් හැවිරිදි කුඩා සාමණේර නමක් සිවුර මනා කොට පොරවගන්නා ලෙස සැරියුත් මහ රහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නිහතමානී ගුණයෙන් ශෝභමාන වූ සැරියුත් මහ රහතන් වහන්සේ මනාකොට සිවුර පොරවාගෙන භාග්‍යවතුන් වහන්සේ දෙසට හැරී වන්දනා කරමින් කුඩා සාමණේර නමට ප්‍රශංසා කළා.

අද දවසේ පැවිදි වූවත් උපතින් සත්, හැවිරිදි වූවත් එවැනි අයෙක් මට යහපත් වූ අවවාදයක් දෙන්නේ නම් එය හිස් මුදුනින් පිළිගන්නා බවයි. ඒ දහම් කතාව මෙහි සඳහන් කරනු ලැබූයේ අවවාදයේ නොසතුටුව, කිපී දබර කරගන්න උත්සාහ කරන බුදු සසුනෙහි භික්ෂුවක් හැටියට කල්ගෙවන මෝලිය ඵග්ගුන තෙරුන්ගේ හා ඒ භික්ෂුව හා ඇසුරට පත්ව සිටින භික්ෂුණීන්ගේ ක්‍රියාදාමය පිළිබඳව සඳහන් කිරීමටයි.

යම් වූ ද උතුමෙක් තමන්ට වඩා වයසින් අඩු වූවත් යහපත් වූ අවවාදයක් දෙන්නේ නම් ඒ ගැන නොකිපී ඒ අවවාදය පිළිගත යුතු බව දහම් කතාවයි. එය පිළිගත යුත්තේ,

“නිධීනංව පවත්තාරං

යං පස්සේ වජ්ජ දස්සිනං” එනම් නිධානයක් පෙන්වා දෙන කල්‍යාණවන්තයෙක් දෙස බලනවා හා සමානවමයි.

මේ කියවන ඔබත්, අපත් තම වරද දැකීමෙහි අනතිමානී ගුණයෙන් යුක්ත කෙනෙක් විය යුතුමයි. අඥාන පුද්ගලයාගේ ස්වභාවය නම් තම වරද නොදැකීමත්, වරද දුටුවත් එය වරදක් හැටියට නොපිළිගැනීමත්, පෙන්වා දුන් වරදට නිවැරැදි වීම පිණිස පිළියම් නොකිරීමත් වරදක්, වරද පෙන්වාදුන් අය කෙරෙහි අමනාපවීමත්ය.

මෝලිය ඵග්ගුන තෙරුන්ගේ කතාවෙන් පැහැදිලි වන්නෙත් ඒ අදහසමයි. මෙවැනි දහම් කතාවක් කියවන ඔබත් අජ්ජත්ථ වශයෙන් තමා කෙරෙහිම ගළපාගෙන නුගුණ බැහැර කොට සුගුණ ජීවිතයට එකතු කර ගැනීමේ මඟම අධිෂ්ඨාන කරගත යුතුමයි.

තවත් කොටසක් අව අටවක (දෙසැ. 21)පෝදා පත්‍රයේ පළ වේ.