දෙලොව
සැනසෙන
අමා දහම
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට සම්බුදු සසුන මෙසේ යැ’යි අසූහාරදහසක දිගු
ධර්මස්ඛන්ධයක් වදාළා. අසම සම වූ සම්බුදුරදුන්ගේ ධර්මය සිත, කය, වචනය සංවරය පිණිසයි.
කයේ සංවරයට දස කුසල කර්මයන් වදාළා. සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම
මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන්
වැළකීම, හිස් වචනයෙන් වැළකීම, දැඩි ලෝභයෙන් වැළකීම, තරහවෙන් මිසදිටුකමෙන් වැළකීම දස
කුසලයි. පවට නැඹුරු වුණොත් දස අකුසලයි.
එසේනම් මේ දෙයාකාරයෙන්ම සිදු වන්නේ මිනිසාගේත්, සත්ත්වයාගේත් දියුණුව සහ පිරිහීමයි.
දියුණුව අපේක්ෂා කරන්නන් දස කුසල කර්ම පථ සහ පිරිහීම අපේක්ෂා කරන්නන් දස අකුසල කර්ම
රැස්කර දුකට පත් වෙනවා. යම් කිසිවෙක් මනුලොව සම්පත්, දෙව්ලොව සම්පත්, බඹලොව සම්පත්
ලැබුවා නම් ඒ සියල්ල දස කුසල කර්මයන්ගෙන් ලැබූ විපාකයි. පේ‍්‍රත ලෝකයක, තිරිසන්
ලෝකයක, නරකාදියක, අසුර අපායක උපත ලබන්නෝ දස අකුසල කර්ම රැස් කරන්නෝය. කෙනෙකු උපත
ලබන තිස්එකක් වූ ලෝකයන් මෙසේය. සතර අපාය, මනුෂ්‍යලෝකය, දිව්‍යලෝක හයක්, රූපාවචර
බ්‍රහ්ම ලෝක දාසයක් සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරකි. මෙම ලෝකයන්ගෙන් සිත, කය දෙකම
පවතින ලෝක, කය පමණක් ඇති ලෝක, සිත පමණක් ඇති කය නැති ලෝක ඇත. කය නැති සිත පමණක් ඇති
බඹලොව සතරකි. (අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි) කය ඇති සිත නැති බඹ ලොවක් ද ඇත. ඇතැම්
උතුමෝ බවුන් වඩා සිතට විරුද්ධව නැගී සිටිමින් සිතට නිග්‍රහ කර ධ්‍යාන උපදවා ගනිති.
ඒ අය රූපාවචර බඹතලේ අසංඥතරව උපත ලබා කල්ප පන්සියයක දිගු ආයු කාලයක් විඳිති. අනෙක්
සෑම දෙනාටම ඇත්තේ නාම රූප දෙක පමණයි. සතර අපාය, මනුලොව, දෙව්ලොව, බඹලොව නාම, රූප
දෙක පැවතුණොත් එතන ඇත්තේ පංචස්ඛන්ධයයි. ඒ අය හඳුන්වන්නේ පංච උපාධානස්ඛන්ධ සත්ත්වයන්
ලෙසයි. එසේනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ඇති සත්ත්වයෝ පංචඋපාදානස්ඛන්ධයි.
මේ පංච උපාදානස්ඛන්ධය යම් කිසිවෙක් ළග ඇත්නම් ඒ පුද්ගලයා පංචඋපාධානස්ඛන්ධයෙන්
සමන්විත සත්ත්වයා ලෙස හඳුන්වනවා. රහතන් වහන්සේ යනු පංච උපාදානස්ඛන්ධයේ උපාදානය ඉවත්
කරගත් උතුමයි. එසේනම්, ඒ උත්තමයාට ඇත්තේ පංචස්ඛන්ධය පමණයි. උන් වහන්සේට නැවත උපතක්
නොහොත් පංචඋපාදානස්ඛන්ධයක් නැහැ. දස කුසල්, දස අකුසල් රැස්වන්නේ නැහැ. ඒ උත්තමයාට
ඇත්තේ ක්‍රිියා මාත්‍රය පමණයි. උන්වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර පුද්ගලයායි. රහතන්
වහන්සේ උත්තරීතර වූයේ සසරේ පුරන ලද දාන, ශීල, පින්කම් නිසයි. සීල, සමාධි, ප්‍රඥා,
ගුණාංගයන්ගෙන් බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් දාන ශීල, නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමිතාවෝ
දියුණු කළ පුද්ගලයාට එම තත්ත්වය ලබන්න පුළුවන්. ජීවන සම්පත් ලැබීමට සෑම කෙනෙකු ළගම
ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි,ඥාන, තිබීම අවශ්‍යයයි. මේ ගුණාංගයන් සිතේ යෙදුණොත්
තමන් කරන පින්කම බොහොම සාර්ථකයි. අඩු ලුහුඬුකම්, මදි පුංචිකම් වුණොත් ඒ අයට නිවන්
සම්පත් ලබන්න බැහැ.
කුසල කර්මයක් සඵලවීමට පංච ආනන්තරීය පාප කර්මයෙන් වැළකිය යුතුයි. එනම්, අන්තරාය
ක්ලේෂයන්ගෙන් වැළකිය යුතුයි. විපාක අන්තරාය හේතු , ද්විහේතුක, ත්‍රිහේතුක හේතුවලින්
අත් මිදිය යුතුයි. ශ්‍රද්ධාවෙන්, නුවණැති බවින් සමන්විතව කරන පින්කම සාර්ථකයි.
පංචානන්තරීය පව් කරපු ඇත්තාට පින් කරන්න බැහැ. සිත ගත දෙකම දැවෙනවා. මා පව් කළා
යැ’යි සිතමින් පින් කරනවා. පව්කාරයා පින්කමක් කළත් එය අසාර්ථකයි. ඒ මොහොතේම විපාක
දෙන්නේ පංචාආනන්තරීය පාප කර්මයයි. එම ක්ලේෂාන්තරයේ ලෝභ. ද්වේශ ,මෝහ බහුල නිසා පිනක
දහමකින් දියුණුවක් ලබන්න බැහැ. විපාක අන්තරාය ත්‍රිහේතුක, ද්විහේතුක ආත්මයක්
ලැබුවානම් ඒ අයටත් පින් කරන්න බැහැ. ඒ මන්දෝත්සායී බව නිසයි. ශ්‍රද්ධාව,නුවණ නැහැ.
නුවණ නැති වුණොත් පින් කරන්න බැරි බව බුදු දහමේ කරුණු පහකින් සඳහන් වෙනවා. පින්
දහම් කරන්න අවස්ථා පහකදී පුළුවන්. ඉන් අන්‍ය අවස්ථාවන්හිදී පින් කරන්ට බැහැ.
සතුටින් නුවණැතිව පින් දහම් පිරුවොත් එය සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතයි.
යමිකිසිවෙක් උතුම් පින්කමක් කළොත් ඒ පිනැති සිතට ලැබෙන්නේ අපමණ දියුණුවක්.
සත්ත්වයාගේ, දියුණුව සහ පිරිහීම ඇති කරගන්නේ අන්‍යයන් නෙවෙයි, ලෝකය නෙවෙයි,
තමන්මයි. තමාගේ දියුණුවසහ පිරිහීම උදාකරගනු ලබන්නේ තමා විසින්මයි.
දියුණුව උදෙසා අල්පේච්ඡතාව අත්‍යවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
එසේනම්, ඊර්ෂ්‍යාවෙන් දුරුවීම, මහා තණ්හාවෙන් දුරුවීම, අල්පේච්ඡතාව උතුම්
ගුණාංගයක්. ශීලය, ධූතාංග ප්‍රත්‍ය, අධ්‍යාපනය, අල්පේච්ඡතාව ගැන නිබඳව කතා කිරීම
තමන්ට විශාල යහපතක් මෙන්ම ඉමහත් දියුණුවක්.
දෙවැන්න ලද දෙයින් සතුටුවීමයි. තමාට යම් ප්‍රමාණයක් ලැබෙන්නේද පිනේ ස්වභාවයටයි.
එසේනම් ලද දෙයින් සතුටුවීමේ ගුණය බුදු දහමේ බහුලව සඳහන් කරුණක්. එය සන්තුට්ඨිකයි.
ලද දෙයින් සතුටුවීමේ ගුණය දියුණු කිරීමෙන් තමාට ලැබෙන්නේ විශාල දියුණුවක්. ලද
දෙයින් සතුටු නොවන්නෝ අධාර්මික වෙළෙඳාමෙන් ජීවිකාව ගෙනයන්නෝය. එසේ වන්නේ
අසන්තුට්ඨිකා ධර්මය නිසයි. ලද දෙයින් සතුටුවීම මෙලොවටත්, පරලොවටත්, නිවනටත්
මහෝපකාරී ගුණයක්. ඇලීමෙන් තොරව නොඇලීම ගැන සඳහන් කළොත් එය අසංසග්ගයි. බොහොම වැදගත්
වූ මෙය බුදුදහමට අනුව සැමටම උගන්වන සුවිශේෂී කථාවක්.
වීර්ය ගුණාංගය බුදු දහමේ විශේෂිතයි. නියතව ජය ලබන්නේ වීර්යවන්තයා පමණයි. සෝවාන්,
සකෘදාගාමී, අනාගාමී , අර්හත් මාර්ගඵල ලබා නිර්වාණය සමඟ නව ලොවුතුරා ධර්මය අවබෝධ කළේ
උත්සාහවන්තයයි. කම්මැළිකම, උදාසීනබව, අලසකම, ඇත්තා නිබඳවම ඇද වැටුණා. අධ්‍යාපනයෙන්,
රැකියාවෙන්, ආර්ථිකයෙන්, බාහිර වස්තූන්ගෙන් ඇද වැටුණා. ශීල, සමාධි, ප්‍රඥා
ගුණාංගයන්ගෙන් පිරිහීමක් මිස දියුණුවක් ලැබුවේ නැහැ. කම්මැළියා බුදු දහමෙන් කිසිදු
ඵල ප්‍රයෝජනයක් නොලැබීමෙන් හිමිකම් ලබන්නේ සතර අපායෙයි. එසේනම්, බුදු දහම
උත්සාහවන්තයාට පමණයි. තම ශක්තිය, බලය නැඹුරු කළ යුත්තේ උත්සාහය වෙතයි. අපාය ගැන
සිතද්දී උත්සාහය වැඩෙනවා. තම ගමන් මග සිහි කරද්දී උත්සාහය වැඩෙනවා. දානමාන සිහි
නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී උත්සාහය වැඩෙනවා. වීර්යයේ අනුසස් සැලකීමෙන් උත්සාහය
හොඳින් මතු වෙනවා. කම්මැළි පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වළකින්න. උත්සාහවන්තයා ආශ්‍රය
කළොත් වීර්යය සඳහා ගැඹුරු සිතකින් කටයුතු කළ යුතුයි. එවිට උත්සාහය හොඳින් වැඩෙනවා.
මේ නිසා උත්සාහය වැඩෙන ක්‍රම හඳුනාගෙන ඒවා දියුණුකර ගැනීම බොහොම අගෙයි. මේ නිසා
බුදු දහමේ උත්සාහය හඳුන්වන්නේ වීර්යය පාරමිතාව ලෙසයි. මේවා සම්මා වායාම , වීර්යය
ඉන්ද්‍රිය , වීර්ය බලය, ‘වීර්ය බොක්‍ධ්ඣංග’ නමින් හඳුන්වනවා. මෙසේ වීර්යය විවිධාකරව
පෙන්වා දී තිබෙන්නේ වීර්යවන්තයාට ජය නියත නිසයි. එවැන්නෝ වීර්යය ප්‍රගුණකර කෙලෙස්
යටපත්ව නිවනට සමීප වෙනවා.
තවත් සුවිශේෂී කරුණක් වන්නේ ශීලයයි. එය පංච ශීලය, අටසිල් , දස සිල්, සාමණේර සිල්,
උපසම්පදා සිල් ලෙස විවිධාකාරයි. එයින් තමන්ට උසස් දියුණුවක් ලබන්න පුළුවන්. නිති
පන්සිල් රකින්නා සංසාරයේ ධනවතෙක්. යස, ඉසුරු සැප සම්පත් ,කීර්ති, ප්‍රසංසා
ලබන්නෙක්. මෙම පින්වතුන් සිහි නුවණින් මිය ගියොත් උපත ලබන්නේ දෙව්ලොවයි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |