දුමින්දාගමනයේ
සංස්කෘතික විප්ලවය
අටමස්ථානාධිපති,උතුරු මධ්‍යම පළාතේ
ප්‍රධාන සංඝ නායක, ආචාර්ය
පල්ලේගම සිරිනිවාස නා හිමි
ශ්‍රී ලංකාද්වීපයේ ඉතිහාසය වෙනස් කරමින් නව මඟකට යොමු කළ ඓතිහාසික සිදුවීම් තුනක්
පැහැදිලිව හඳුනාගත හැකිය. එයින් පළමුවැන්න ක්‍රි.පූ. හයවැනි සියවසේ දී සිදු වූ
‘විජයාගමනයයි’ එහිදී උතුරු දඹදිව ‘ලාට’ නම් රටෙහි සිට විජය කුමාරයා ප්‍රධාන සත්
සියයක් පිරිස ශ්‍රී ලංකාද්වීපයට පැමිණියහ. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ විශාලතම
ජන සංක්‍රමණය එය විය. වංශකතාවලට අනුව මෙරට සිංහල ජාතියේ ආරම්භය විජයාගමනයයි.
දෙවැනි ඓතිහාසික සිදුවීම ක්‍රි.පූ. 236 දී සිදුවූ ‘මහින්දාගමනය’යි අනුබුදු මිහිඳු
මහ රහතන් වහන්සේ දඹදිව සිට වැඩම කර, නිර්මල බුදුදහම, මෙරටට නිල වශයෙන් හඳුන්වාදීම
එහිදී සිදුවිය. එතෙක් මෙරට බිහි වී වැඩෙමින් තිබුණු සිංහල සංස්කෘතිය ‘සිංහල බෞද්ධ
සංස්කෘතිය’ බවට පත් වූයේ එමඟිනි. විද්වතුන්ට අනුව පසුකාලයක ලෝකයේ ශ්‍රේෂ්ඨ
සංස්කෘතියක් බවට පත්වූයේ එම සිංහල බෞද්ධ සංස්කෘතියයි.
තුන්වැනි ඓතිහාසික සිදුවීම, ක්‍රි.පූ. 236 උඳුවප් මස දී සිදුවුණු ‘දුමින්දාගමනය'ය.
දඹදිව බුද්ධගයාවේ වැඩ හිඳින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා
මහ රහත් තෙරණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීම දුමින්දාගමනය ලෙස
හැඳින්වේ. මෙම අතිපූජනීය බෝධීන් වහන්සේ රෝපණය කරනු ලැබුවේ අනුරාධපුර මහමෙවුනාවේ
පිහිටි මහාවිහාරයේ ය. එතෙක් බිහි වී වැඩෙමින් තිබුණු සිංහල බෞද්ධ සංස්කෘතිය, ශ්‍රී
ලංකා ධරණී තලයේ ස්ථිරසාර ලෙස මුල් බැසගනිමින් අතු ඉති පුරා විහිදී වැඩුණු මහා
වනස්පතියක් බවට පත්වූයේ මෙම ඓතිහාසික දුමින්දාගමනයෙනි. එකිනෙකට ඉතා සමීප කාලයක දී
සිදුවුණු මෙම මහින්දාගමනය සහ දුමින්දාගමනය යන ඓතිහාසික සිදුවීම් දෙකම එකිනෙක හා
බැඳී පවතින සිදුවීම් බව පෙනේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියැවී ඇති මහාවංශය සහ ලෝකයේ
වෘක්ෂයක් පිළිබඳ ලියැවී තිබෙන එකම වංශකතාව වූ ‘ බෝධිවංශය’ යන ග්‍රන්ථ ප්‍රධාන
කොටගත් කෘති රැසකම මෙම ඓතිහාසික සිදුවීම් පිළිබඳ ඉතා මැනවින් වාර්තාගත වී තිබේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමකරවා ඇත්තේ දේවානම්පියතිස්ස
රජතුමාගේ කාලයේදීය. මහින්දාගමනයට මෙන්ම දුමින්දාගමනයට හේතුවුණු ප්‍රධාන කාරණාව,
දේවානම්පියතිස්ස රජතුමා සහ එවකට දඹදිව රජකළ ධර්මාශෝක අධිරාජයා ඉතා සමීප මිත්‍රයන්
වීමයි. දේවානම් පියතිස්ස රජතුමා රාජ්‍යත්වයට පත් වූ විට එතුමාගේ පුණ්‍ය මහිමය නිසා
ශ්‍රී ලංකා ධරණී තලයෙන් විවිධ අගනා මුතු මැණික් ඇතුළු වස්තු රැසක් පැන නැඟී ඇති
බවත් එතුමා ඒවා සිය අදෘෂ්ඨ මිත්‍රයා වූ ධර්මාශෝක අධිරාජයාට තිළිණ කර යැවූ බවත්,
මහාවංශයේ සඳහන් වේ.
අරිට්ඨ කුමාරයා ප්‍රධාන රාජ දූතයන් විසින් රැගෙන ගිය එම අගනා තිළිණය දැක ධර්මාශෝක
මහා අධිරාජයා මහත් සේ සතුටු වී තිබේ. එතුමා සිය අදෘෂ්ඨ මිත්‍රයාගේ දූතයින්ට මහත්සේ
ගරු සත්කාර කර උසස් තනතුරු ද ප්‍රදානය කළේ ය. අනතුරුව එතුමා එම දූත පිරිස ආපසු
පිටත් කළේ තිස්ස රජතුමාට ‘දේවානම්පිය’ යන අභිධානයත්, එතුමා නැවත අභිෂේක කිරීමට
ද්‍රව්‍යය ද පරිත්‍යාග කරමිනි. මේ ඉතා වැදගත් පුවත මහාවංශයේ සඳහන් වේ.
මෙම දෙවන අභිෂේකය, මෞර්ය සිරිත් විරිත් ප්‍රකාර මෞලි මංගල්‍යයකි. විද්වතුන් පෙන්වා
දී තිබෙන්නේ මෙය වූ කලී ධර්මාශෝක අධිරාජයාගෙ සිය ප්‍රබල ආධිපත්‍යය ඉතා සියුම් ලෙස
ශ්‍රී ලංකාද්වීපයේ පතුරුවා හැරීමක් බවයි. මෙම අභිෂේකය සමඟ තිස්ස රජතුමාට ‘දෙවියන්ට
පි‍්‍රය වූ’ නමැති අභිධානය ද පිරිනමා තිබේ. තිස්ස රජතුමා දේවානම්පිය තිස්ස වූයේ
එතැන් සිටය. අනාගතයේ දී බුදු සසුන ශ්‍රී ලංකාද්වීපයේ ස්ථාවර කිරීමට අවශ්‍ය
සංස්කෘතියක් සඳහා පදනම දැමීමේ ඉතා වැදගත් මූලාරම්භයක් මෙමඟින් සිදුවී තිබෙන බව අපගේ
අදහසයි.
ක්‍රි.පූ. 236 පොසොන් පුන් පොහෝ දිනයේ දී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මල
බුදුදහම ශ්‍රී ලංකාද්වීපයට රැගෙන එන්නේ. එහි ප්‍රතිඵලය මිහිඳු මහරහතන් වහන්සේ
විසින් ශ්‍රී ලාංකිකයින්ට බුදු දහම සහ ශාසනය ඉතා ප්‍රායෝගිකවම හඳුන්වා දුන් විශිෂ්ට
ආකාරය මහාවංශය ඇතුළු වංශකතාවල මැනැවින් දක්වා තිබේ. එම වසරම උඳුවප් මස දී
දුමින්දාගමනය සිදුවන්නේ එහි ඊළඟ පියවර වශයෙනි. එහිදී සංඝමිත්තා මහ රහතන් තෙරණිය
ප්‍රධාන උත්තරා, හේමා, පසදමාලා, අග්ගිමිත්තා, මල්ල, මහාදේවී, පදුමා සුමා ඇතුළු
මෙහෙණින් වහන්සේලා, එකොළොස් නමක් මෙරටට වැඩම කළ බව මහාවංශය සමන්තපාසාදිකාව ආදී
ග්‍රන්ථවල සඳහන් වේ. සංඝමිත්තා මහරහත් තෙරණියගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ මෙරට
භික්ෂුණී ශාසනය ඇති කිරීමය.
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන අතිපූජනීය වස්තුවක් වූ ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ, අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කිරීම මෙරට ආගමික ඉතිහාසයේ සිදුවූ අසමසම
සිදුවීමක් බවට තර්කයක් නැත. ඒ සමගම එම ක්‍රියාව පසුපස සිදු වූ ක්‍රියාදාමය, මෙරට
සංස්කෘතියේ නව පරිච්ඡේදයක ආරම්භය බවට පත් වී තිබෙන බව කිව යුතු ය.
වංශ කතාවලට අනුව, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ ශ්‍රී ලංකාද්වීපයට පැමිණ ඇත්තේ,
සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා පමණක් නොවේ. ඉතා
අර්ථවත් සමාජ සංයුතියකින් සමන්විත පිරිසකි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ දඹදිව සිට මෙරටට පැමිණි පිරිස් පිළිබඳ, මහාවංශය,
සිංහල බෝධිවංශය, බෝධිවංශ ගැටපද විවරණය ආදී ග්‍රන්ථවල විවිධ සංඛ්‍යා සඳහන්ව තිබේ.
ඒවා මැනවින් විමර්ශනය කරන විට අපට පැහැදිලිවනුයේ, බෝධීන් වහන්සේ සමඟ නිසැක වශයෙන්ම
විශාල පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. ඔවුන් එසේ මෙරටට පැමිණියේ කවර අරමුණකින් ද
යන්න ඊළඟට අප විමර්ශනය කළ යුතු කාරණයයි. ඒ සඳහා හොඳම ක්‍රමය, ඔවුන්ට පවරා ඇති
කාර්යයන් හඳුනා ගැනීමයි.
පිරිසේ ප්‍රධානීන් වූ බෝධිගුප්ත කුමාරයා මහා බෝධිය රැකීම (ලක්දිව ජයමහලේනා තනතුර)
සුමිත්ත කුමාරයා - කුලවැස්සන් සමඟ මහා බෝධියට පෙරහැර කිරීම ( ජයමහලේනා තනතුර) පවරා
තිබේ. ඉතිරි රාජකුමාරවරු සය දෙනාගෙන් චන්ද්‍රගුප්ත කුමාරයා මහබෝ මඟුලෙහි රන්බෙර
වැයීම (මලය රජ තනතුර) දේවගුත්ත කුමාරයා පිරිත් පැන් ගෙන නුවර පැදකුණුකිරීම (ලක්මහ
රැකිනා තනතුර) ධර්මගුත්ත කුමාරයා - සක් පිඹීම (මෝරිය සිටු තනතුර) සුරියගුත්ත
කුමාරයා - මහා බෝධියට රන් කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉසීම (කොතුරුගානා තනතුර) ගෝතම
කුමාරයා - බෝධීන් වහන්සේට ඉහළින් ධවල ඡත්‍ර දැරීම (සත්ගන්නා තනතුර) ඡුතින්දර
කුමාරයා - ආරක්ෂක කටයුතු (අරක්මේනා තනතුර) බෝධීන් වහන්සේ සමඟ පැමිණි රාජ කුමාරවරුන්
අටදෙනාට ලබා දී තිබෙන බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
මහාවංශයේ සඳහන්, බෝධිය සමඟ මෙරටට පැමිණි ‘අටළොස් කුලෙක දෙවියන්’ කවුරුද යන්න මීළග
ගැටලුවයි. යම්කිසි පූජනීය වස්තුවක් හෝ පුද්ගලයෙක් උදෙසා පැවැත්වෙන ‘මෙහෙය’ හෙවත්
‘තේවාව සිදුකිරීමට කැපවුණු පවුල් හෝ ජනතාව ‘තේව කුල’ හෙවත් ‘දේව කුල’ වීමට ඉඩ ඇති
බව මහාචාර්ය ජේ.බී. දිසානායක පෙන්වා දී තිබේ. මේ ජනතාව බෝධීන් වහන්සේගේ තේවාව
ප්‍රධාන කරගත්තේ වුවද ඔවුහු නිසැක වශයෙන්ම සමාජයක පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය විවිධ
කර්මාන්ත හා සේවා පිළිබඳ හසළ දැනුමක් සහිත අය හෙවත් විවිධ කර්මාන්ත ශ්‍රේණීන්
පිරිසක් බව ආචාර්ය කේ.එම්. අයි ස්වර්ණසිංහ පෙන්වා දෙයි. මේ අදහස යතාර්ථවත් එකක් බව
එම කුල සහ ඔවුන්ගේ සේවාවන් විමසීමෙන් වටහාගත හැකිය. වර්තමානයේ පවා ශ්‍රී ලාංකික ජන
සමාජයේ විවිධ කුල වශයෙන් හැඳින්වෙන්නේ විවිධ කර්මාන්ත ශ්‍රේණීන්ම බව වටහා ගත යුතු
ය. සිංහල බෝධිවංශයේ මෙන්ම පාලි බෝධිවංශ ගැටපදයේ ද බෝධාහැර කුල නමින් හැඳින්වෙන එම
දහඅට කුලයේ සේවාවන්් දක්වා ඇත.
මහා බෝධි රෝපණයේ දී පැන නැඟුණු, අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේලා ‘දඹකොළ පටුන, තිවක්ක
බමුණුගම, ථූපාරාමය, ඉසුරුමුණිය, පඨමකචේතිය, සෑගිරි අරම, කතරගම, සඳුන්ගම’ යන ස්ථානවල
රෝපණය කළ බව මහාවංශයේ සඳහන් වේ. ඉන්පසුව හටගත් දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලා
‘මල්වැස්සා වෙහෙර තන්ත්‍රිමාල ,මහාජල්ලික කෙවුල්ගම, කොට්ටියාරාම, පොළොන්නරුව, මාතලේ
රුසිගම, රුහුණේ මාගම, විල්වල, මහියංගනය, සේරුවිල, විල්ගම්වෙහෙර, මුතියංගනය, බුත්තල,
හප්පෝරුවෙහෙර, සිතුල්පව්ව, වනවාස විහාරය, වැලිගම්වෙහෙර, කරගොඩ බැද්දේගම, ගණේගම,
පුසුල්පිටිය, මායාරට වතුරේ, බෙලිගල, බෙල්ලන්විල, වඳුරව, වට්ටාරාම, හුළුගල්ල,
රැස්සේරුව, කටියාව, ගිරිබාවෙහෙර, යාපහුව, කසාගලවෙහෙර,ඇඹලව රත්ගලවෙහෙර යන ස්ථානවල
රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ දැක්වේ.
මහින්දාගමනයෙන් තමන් ලද නව දහම නිසා සිදු වූ චින්තන විප්ලවයෙන් පිබිදී සිටි ශ්‍රී
ලාංකික ජනතාව, මහා බෝධිය පිළිගත්තේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් අප්‍රමාණ
ශ්‍රද්ධාවෙනි. මේ අති පූජනීය බෝධීන් වහන්සේගෙන් හටගත් බෝධීන් වහන්සේලා රටපුරා රෝපණය
කරවා ඇත්තේ ද ඒ හා සමාන මහත් ශ්‍රද්ධාවකින් බවට සැක නැත. එම බෝධීන් වහන්සේලා සමඟම
බෝධීන් වහන්සේගේ තේවාවට පැමිණි බෝධිහාර කුලවල ජනතාවද රටපුරා පැතිරී ස්ථාවර වීම
සිදුවිය යුත්තකි. එහි ප්‍රතිඵලය ඔවුන් දඹදිව සිට මෙරටට ගෙනා කර්මාන්ත සහ ඒ හා
බැඳුණු සංස්කෘතිය ශ්‍රී ලංකාද්වීපයේ මුල් බැසගනිමින් පැතිරවීමයි.
එහි බලපෑම කොතෙක් වී ද යන්න, රාජකීයයන්ගේ නම්වල සිට පොදු ජනයාගේ නම්වලට ද ‘බෝධි’ යන
කොටස එකතු කිරීමෙන් ද බෝධිඝරවල සිට විවිධ ගෘහනිර්මාණ සඳහා එහි ආභාසය ලැබීමෙන්ද
වඩිම්බුවක ඇති බෝ කොළ රටාවක සිට ස්ත්‍රී ආභරණවලට බෝ කොළ මෝස්තරය පිවිසීමෙන්ද
විද්‍යමාන වේ. සුවිශේෂ හැඩයකින් යුක්ත බෝපත සහ බෝධි වෘක්ෂය සිංහල චිත්‍ර කලාවෙහි
අනවරයෙන් නිරූපණය කෙරී ඇති බව ආනන්ද කේ. කුමාරස්වාමි මහතා ද පෙන්වා දී තිබේ.
මෙසේ නව සංස්කෘතියකට උපත දෙන කර්මාන්ත මෙරටට ගෙනා බෝධිභාර කුලවල ජනතාව, අදටත්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට තම රාජකාරිය ඉටුකරමින් ඒ අවට ඇති විහාර
පාලුගම, විහාර මැදවච්චිය, විහාර බුලංකුලම, විහාර කල්ලංචිය, විහාර ඉලුප්පුලම, විහාර
පුසීයංකුලම විහාර හල්මිල්ලකුලම, විහාර තිරප්පනේ සහ විහාර කැප්පෙටියාව යන ගම් නවයේ
පදිංචිව සිටින බව සැලකිය යුතු ය. එබැවින් දේවානම් පියතිස්ස රජතුමා සහ ධර්මාශෝක
අධිරාජයා සිය මිත්‍රත්වයේ නාමයෙන් බොහෝ දුර දක්නා නුවණින් සිදු කළ දුමින්දාගමනයේ
බලපෑම, ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත්පතුළ කිඳා බැසි ආකාරය පෝල් ඊ.පීරිස් මහතාගේ පහත
ප්‍රකාශයෙන් මනාව තහවුරු වේ.
“සිංහල ජනතාවගේ දීර්ඝ ඉතිහාසයෙහි වෙනත් එකද සිද්ධියක් හෝ මහා බෝධි වෘක්ෂ රෝපණය තරම්
තදින් සිංහලයාගේ සිත් ගත්තේ ද යනු සැක සහිතය. තනි ගල්තලයක් මතුයෙන් පෝෂ්‍යය ලබමින්
ඉතාම ශක්තිසම්පන්න ගොඩනැගිල්ලක් ඇතුළට පවා පලාගෙන යන එහි මෘදු මුල් මෙන් මෙම
වෘක්ෂයෙන් නිරූපණය වන බලය මිනිසුන්ගේ අභ්‍යන්තරයට විනිවිද ගොස් ඇත්තේ ය.”
(Ceylon and the Portuguese) |