බෞද්ධ ආර්ථික දර්ශනය – 16 :
ධනය සහ සමාජීය සම්බන්ධතාද ඉතිරි කරමු
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය
පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
දැහැමි ක්‍රමවේදයකින් හැකිතාක් ධනය ඉපැයීමට බුදුදහමෙහි කිසිදු තහනමක් නොමැත. එසේ
උපයන ධනයෙන් කොටසක් අනාගතය සඳහා තැන්පතුවක් ලෙස තබා ගැනීමට බුදුසමයෙන් උපදෙස්
සැපයේ. උපයන ධනයෙන් එක් කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් කර්මාන්ත ආදී ආයෝජනය
සඳහාත්, අවසන් සිව්වන කොටස තැන්පතුවක් ලෙස තබාගැනීමටත් බුදුසමයෙන් උගන්වයි. කොතෙක්
ධනය ඉපැයුවද එය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ප්‍රයෝජනයට නොගෙන විනාශ වීමට ඉඩ
තැබීමක් වේ.
උපයන ධනයෙන් කොටසක් තැන්පත්කොට තබා ගැනීම සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වේ.
ජිවිතය අනියතය. එසේම අවිනිශ්චිතය. අනාගතය සෑම අතින්ම යහපත් වේ යැයි පූර්ව නිගමනයකට
එළඹිය නොහැකිය. විවිධ ලෙඩ රෝග ස්වාභාවික විපත් හා වෙනත් උවදුරු වලට මුහුණ දීමට
සිදුවිය හැකිය. මෙම අවිනිශ්චිත ස්වභාවය දකින තැනැත්තා අනාගතයේ විය හැකි ආපදාවන් ගැන
සළකා උපයන ධනයෙන් කොටසක් තැන්පතුවක් ලෙස පවත්වාගෙන යයි. එසේ කිරීම බෞද්ධ පිළිවෙත
වේ.
ගිහි දිවියට දෙආකාර තැන්පතුවක්
තරුණ අවදියේ ධනය උපයාගෙන එයින් කොටසක් තැන්පත් නොකරගෙන සියල්ල වියදම් කළ තැනැත්තා
මහලු වියට පත් වූ පසුව මසුන් නැති විලක් දෙස බලමින් වැළපෙන මහලු කොස්වා ලිහිණියෙකු
සේ දුකට පත්වන බව ධම්මපදයේ දැක්වේ. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ජීවිත මෙම උපමාව සමඟ
සම්බන්ධ කළ හැකිය. ධනය ලැබෙන විට අතදිගහැර වියදම් කොට පසුව දුකට පත්වන පුද්ගලයන්
කොතෙකුත් දක්නට ලැබේ. අන්ධානුකරණය හා ලෝලත්වය පුද්ගලයාගේ විනාශයට හේතුවේ. ඉතා
කඩිනමින් පොහොසත් විය නොහැකිවා මෙන්ම කෙටි කලකින් විශාල තැන්පත් ධනයකට හිමිකම් කිව
නොහැකිය. ඒ සඳහා කාලයක් අවශ්‍ය වේ. ධනය ඉතිරි කිරීමේ පුරුද්ද ගිහි කාමභෝගී ජීවිතයක්
ගත කරන කෙනෙකු තුළ පිහිටා තිබිය යුතු සත් ගුණයක් වන අතර එය ක්‍රමයෙන් ක්‍රියාවට
නැංවිය යුත්තකි. බෞද්ධ ගිහි ජීවිතයකට දෙයාකාරයේ තැන්පතුවක් තබා ගැනීම අවශ්‍ය වේ.
ආධ්‍යාත්මික විමුක්තිය පිණිස අවශ්‍ය පුණ්‍යමය නිධානය එක් තැන්පතුවකි. එහි අරමුණ
පරලොව සුවපත්කරගැනීමය(පුඤ්ඤානි පරලෝකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං). පෙර රැස්කරන ලද
පුණ්‍යමය නිධානය වර්තමාන ජීවිතය සැපවත් කිරීමට හේතුවිය(පුබ්බේච කත පුඤ්ඤතා). මෙම
ආත්මභාවය තුළ අනාගත ජීවිතය සැපවත් කෙරෙන භෞතික ධනය දෙවන තැප්පතුවයි. සංසාරය නැතහොත්
පුනර්භවය පිළිබද බෞද්ධ විග්‍රහයෙන් අපේක්ෂා කරන්නේද මෙම දෙයාකාර තැන්පතුවක් සහිත
සැපවත් ජීවිතයකි. පුද්ගලයෙකුගේ ජීවිතය අර්ථවත් වන්නේ මෙකී ආධ්‍යාත්මික හා භෞතික
සමෘද්ධියෙන් සමෘද්ධිමත් වීමය. එවන් ජීවිතය දෑසම පෙනෙන පුද්ගලයෙකු හා සමාන කොට සළකා
ඇති අයුරු ද්විචක්ඛු සූත්‍රයෙන් පැහැදිලි වෙයි. උපයන සම්පත් විනාශ නොකර පරිභෝජනය
කිරීම ගිහි ජීවිතයට පමණක් නොව පැවිදි ජීවිතයටද අදාළ බව බුදුරදුන්ගේ විවිධ දේශනා
මගින් පැහැදිලි වේ. ඉතිරි කිරීමේ පුරුද්ද සිංහල බෞද්ධ ජීවිතයට එක් වූයේ බුදුසමයේ
ආභාසයෙන්ය. ධනය විනාශ වීමේ දොරටු වසා දමන නුවණැති බෞද්ධයා උපයන ධනය නිසි පරිදි
කළමනාකරණය කරගනිමින් අනාගතයට යමක් ඉතිරි කරයි. සිංහල බෞද්ධ සමාජයේ ඉතිරි කිරීමේ
පිළිවෙත කොතෙක්දුරට විධිමත් අයුරින් ක්‍රියාත්මක වී ඇත්ද යන්න තෝණිගල ශිලා ලිපියෙන්
පැහැදිලි වේ. එහි දැක්වෙන පරිද ධ්‍යාන්‍ය තැන්පත්කිරීම සිදුකර තිබෙන්නේ විහාරස්ථාන
ආශ්‍රය කරගෙනය. තැන්පත්කරුවන්ට ඒ වෙනුවෙන් පොලියක් ගෙවීමෙන්ද එහි පැවතී විධිමත්
ස්වරූපය පැහැදිලි වේ. මෙවැනි ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධ
සමාජය තුළ පැවතී ඉතිරි කිරීමේ පුරුද්දයි. සිංහල බෞද්ධ ගෘහණියගේ ඉතිරිකිරීමේ පුරුද්ද
පෙන්වන තවත් අවස්ථාවක් ලෙස මිටිහාල් ක්‍රමය දැක්විය හැකිය. බත පිසීම සඳහා ගන්නා
සහලින් මිටක් වෙන්කොට වෙනත් බඳුනක එක්රැස් කිරීමේ පුරුද්ද එම ක්‍රමයයි. මෙසේ
එක්රැස්කරගන්නා සහල් විවිධ අවශ්‍යතා සඳහා භාවිතයට ගනු ලැබේ. විවිධ ආහාර වර්ග සුලභ
කාලවලදී එම අහාර වර්ග පසුවට ප්‍රයෝජනයට ගැනීම පිණිස නොයෙක් උපක්‍රම භාවිතකරමින්
කල්තබා ගැනීම සිංහල සමාජයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මුදල් වෙනුවට ද්‍රව්‍ය
භාවිතා කළ පැරණි යුගයේ අනාගත ප්‍රයෝජනය සඳහා එක්රැස්කොට තබාගෙන තිබෙන්නේ විවිධ
ද්‍රව්‍යයන්ය. ඇතැම් විටෙක ගේ දොර ඉඩකඩම් වතුපිටි හරකබාන ආදී අත්‍යවශ්‍ය දේපළ
එක්රැස් කොට තබාගැනීම සිංහල බෞද්ධයාගේ ලක්ෂණයකි. වර්තමානයේ ද්‍රව්‍ය වෙනුවට බහුලව
මුදල් භාවිතා කෙරෙන හෙයින් මුදල් තැන්පත්කර තබා ගැනීම වැදගත් වේ. උපයන ධනයෙන්
කොටසක් තැන්පතුවක් ලෙස තබාගැනීමේ පුරුද්ද කුඩා කල සිටම ඇතිකළ යුත්තකි. අනාගත
ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම පිණිස මුදල් තැන්පත්කර තබාගැනීම වැදගත් වුවද එය අන්තවාදී
ලෙස සිදුකිරීම අනුමත කළ නොහැකිය. මූලික අවශ්‍යතා ගැන සැලකිලිමත් නොවී උපයන ධනය පමණ
ඉක්මවා තැන්පත් කිරීම යෝග්‍ය නොවේ. ඉහතින් දැක්වූ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය අනුව එසේ
අන්තවාදී ලෙස ධනය ගොඩගසා තබාගැනීම නොකා මරණයට පත්වීමක් වේ(අජද්ධුමාරික). එහි අනෙක්
අන්තය වන උපයන ධනය විනාශ කිරීමද බුදුසමයෙන් අනුමත නොවේ. ලැබෙන දෑ සියල්ල විනාශ
කිරීම අතු නසා මොර කෑමක් වැනියැයි දැක්වේ. ඉතිරිකිරීමට මෙන්ම වැය කිරීමත්
මැදුම්පිළිවෙත අනුව සිදුවිය යුතුය යන්න මෙයින් පෙන්වාදෙන ආදර්ශයයි.
ආත්ම දමනයක්
වර්තමානයේ බොහෝ දෙනෙක් මහන්සියෙන් ධනය උපයන ආකාරය දැනගත්ත ද එය ඉතිරිකරගන්නා ආකාරය
නොදනී. ධනය ඉතිරීකිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. පංච ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු
නිසි ලෙස පාලනය කරගත නොහැකි පුද්ගලයා එම අරමුණු පිටුපස හඹා යයි. අවසානයේදී
ඉන්ද්‍රියානුසාරී අරමුණුවල වහලෙකු බවට පත්වන හෙයින් අනුවණ ලෙස අන් අය අනුකරණය
කිරීමට යාමෙන් තමාගේ ධනය අහේතුකව විනාශ කරගනී. තම ආදායම හා වියදම පිළිබඳ නිසි
වැටහීමක් නොමැති පුද්ගලයා ඉහළ ආදායමක් සහිත පුද්ගලයෙකුගේ ජීවන විලාශය අනුකරණය
කිරීමට යාමෙන් පරිහානියට පත් වෙයි. සිහින හා අනාගත බලාපොරොත්තු කොතෙකුත් පැවතියද ඒ
සියල්ල සාකල්‍යයෙන්ම සම්පූර්ණ කරගත නොහැකිය. මෙය කාටත් පොදු තත්ත්වයකි. එවන්
පසුබිමක් තුළ ආත්ම දමනයක් නොමැති වූ විට තැන්පත් ධනයක් ගොඩනගා ගත නොහැකිය. අනාගතයට
ප්‍රයෝජනයක් ගතහැකි වන පරිද්දෙන් ධනය ඉතිරි නොකරන තැනැත්තාට හදිසි ආපදාවන්ට මුහුණ
දීමට සිදුවුවහොත් ඔහු හෝ ඇය තවදුරටත් ආර්ථික වශයෙන් දිළිඳු බවට පත්වන අතර අන්‍යයන්ට
ණය වීමට සිදුවේ. එක් අතකින් තැන්පත් ධනයක් නොමැති නිසා දුකට වේදනාවට පත්වන අතර ණය
වීමෙන් තවදුරටත් එම දුක හා වේදනාව වර්ධනය වේ. සම්බුදු වදන අනුව ධනය ඉතිරිකිරීම යනු
ලෝභ කමෙන් ගොඩගසා ගැනීමක් නොවේ. පවුලේ යුතුකම් හා වගකීම් අමතක කොට ධනය ඉතිරිකිරීමක්
ගැන බුදුසමය එකඟ නොවේ. තම වගකීම් හා යුතුකම් සියල්ල ඉටුකරමින් තැන්පත් ධනයක්
ඇතිකරගැනීම බෞද්ධ පිළිවෙත වේ. සැළකිය යුතු ධනයක් තිබියදී පවුලේ යුතුකම් ඉටු නොකිරීම
පිරිහීමට කරුණක් මෙන්ම වසල ධර්මයක් ලෙස පරාභව හා වසල සූත්‍ර දේශනා මගින් අනාවරණය
වේ. මෙයින් පෙන්වාදෙන උපදේශනය නම් යුතුකම් ඉටු නොකර ආත්මාර්ථකාමී අයුරින් සම්පත්
ගොඩ ගසා ගැනීම සදාචාර සම්පන්න නොවන බවයි.
සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම අනෙක් අතට ඉතිරිකිරීම යනු හුදෙක් භෞතික ධන සම්පත්
ඉතිරිකිරීමක් පමණක් නොවේ. සමාජ සුරක්ෂිතතාව තහවුරු කරගැනීමද අනාගත ජීවිතයේ පැවැත්ම
පිණිස අවශ්‍ය වේ. ධනය ඇතොත් සියල්ල ලබාගත හැකිය යන අදහස සහ ආකල්පය ඇතැම් පුද්ගලයන්
තුළ දක්නට ලැබෙන්නකි. පැරණි බෞද්ධ සමාජය තුළ පැවති උදාර පුරුෂාර්ථයකි ශ්‍රම
සහභාගිත්වය. කිසියම් කටයුත්තක් පැමිණි කල්හී ධනයෙන් පමණක් නොව ශ්‍රමයෙන්ද සහය වීම
සිංහල බෞද්ධ සමාජයේ පිළිගත් චාරිත්‍රයකි. එවැනි සහයක් අන්‍යයන්ගෙන් අපේක්ෂා කළ
හැක්කේ තමාගේද සහාය අන් අයට ලබාදීමෙන්ය. මෙයද එක්තරා ආකාරයක වැදගත් ඉතිරිකිරීමක් සේ
සැළකිය හැකිය. එබැවින් භෞතිකව කෙරෙන තැන්පත් කිරීම් පමණක් නොව සමාජීය වශයෙන් කෙරෙන
තැන්පතුවද අනාගත ජීවිතය සුරක්‍ෂිත කරගැනීමට උපකාරීවේ. ඉහතින් දැක් වූ පරිදි
ඉතිරිකිරීම පිළිබඳ බෞද්ධ පිළිවෙත අතිශය පුළුල් එකකි. පරලොව ජීවිතය සුරක්‍ෂිත
කරගැනීම පිණිස පුණ්‍යමය තැන්පත්කිරීම අවශ්‍ය වන අතර මෙලොව ජීවිතයේ අනාගත
සුරක්‍ෂිතතාව සඳහා භෞතික ධනය පමණක් ඉතිරිකිරීම නොව සමාජීය වශයෙන් වටිනා
පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජ සම්බන්ධතා ද ඉතිරිකිරීම අවශ්‍ය වේ. |