UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිනමාහල් බොදු ජනතාවගෙන් පිරුණු යුගයක් තිබුණා

සිනමාහල් බොදු ජනතාවගෙන් පිරුණු යුගයක් තිබුණා

දෙසැ 15 දෙසැ 15 නෙළුම් පොකුණේදී පැවැත්වෙන 33 වැනි සරසවිය සම්මාන උළෙල නිමිත්තෙනි

1901 දී නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනයත්, 1929 දී කතා නාද චිත්‍රපට ප්‍රදර්ශනයත් අප රටේ ඇරඹුණු බවට සාක්ෂ්‍ය තිබේ. චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නට වූ මුල් කාලයේ කොළඹ නගරයේත්, ප්‍රධාන උපනගර කීපයකටත් චිත්‍රපට දර්ශන සීමා වී ඇත. එසේ වූ නමුදු පසු කාලයක මුළු රට පුරාම තාවකාලික සිනමා ශාලා විවෘත කෙරිණි. මේ ශාලාවන්හි පහසුකම් නොවීය. ඉන්දියානු සහ හොලිවුඩ් බොළඳ චිත්‍රපටයි, එම ශාලාවන්හි. ප්‍රදර්ශනය කෙරුණේය, රුසියානු විප්ලවයෙන් 1917 දී එරට දිනූ වී. අයි. ලෙනින් චිත්‍රපට කර්මාන්තයේ කලාවේ බලය, ශක්තිය එහි ප්‍රයෝජනය මැනවින් වටහාගෙන සිටි බුද්ධිමතෙකි. ඔහු රුසියාවට අවශ්‍ය ජනවිඥානය සකස් කිරීම පිණිස චිත්‍රපට කර්මාන්තය උපයෝගී කර ගත්තේ දැඩි උනන්දුවෙනි.

අජාසත්ත චිත්‍රපටයේ රූපරාමු

ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය පවා සිනාමාවේ ප්‍රබලත්වය වටහාගෙන තිබූ නිසා චිත්‍රපට, විචාර, ප්‍රදර්ශන, ක්‍රියාවට නැංවුණි. ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රේක්ෂක පිරිසකගේ වුවද රසඥතාව වර්ධනය කිරීම පිණිස විවිධ උත්සාහ ගෙන තිබේ. කොළඹ සිනමා සංගමය (1945) මගින් බොහෝ දිරි ගැන්වීම් කර ඇත. ජනතාවගේ රුචිය යොමු වු චිත්‍රපට වර්ග සම්බන්ධ වැටහීමකින් යුක්ත වූ ප්‍රදර්ශකයෝ එහි වෙනත් අය නුදුටු පැති දුටුවාහුය. බෞද්ධ පසු බිමකින් යුක්ත වූ චිත්‍රපට (නිහඬ) ප්‍රේක්ෂකයන් අතර වෙසෙසින්ම කොළඹින් බැහැර අතිශයින් ජනපි‍්‍රය වූ බව කියැවේ. කල්කටාවේ ධර්ම රාජික විහාරයට සර්වඥධාතූන් පූජා කිරීමේ උත්සවයට අනගාරික ධර්මපාලතුමා සහභාගිවීම අළලා නිපද වූ කෙටි වාර්තා චිත්‍රපට නිදසුනකි. මේ ප්‍රවණතා තියුණු නිරීක්ෂණය කළ නූර්බායි ප්‍රථම ශ්‍රී ලාංකික නිහඬ චිත්‍රපටය රාජකීය වික්‍රමය, නිපදවීය. මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වූයේ නැත. මේ රටේ ප්‍රදර්ශනය වූ ප්‍රථම දේශීය නිහඬ චිත්‍රපටය පළිගැනීමයි. 1936 ඉන්පසු කථානාද චිත්‍රපටයක් නිපදවීමට දැරූ ප්‍රයත්න සියල්ල 1947 වනතුරුම අසාර්ථක වූ බව ගාමිණී වේරගම පවසයි.

සිනමා කලාව මෙන්ම කර්මාන්තය හොලිවුඩ් වේවා ඉන්දියානු සිනමාවේ වේවා දළු ලා වැඩී ගියේ ජන ආකර්ෂණශීලී, ධනය වගා කර ගත හැකි, උල්පතක්, නිධානයක්, ධන කෙතක් හැටියටය. විශාල පුළුල් තිරයක් මත පතිත වන රූප හා ශබ්ද මගින් කතාවක් අපේ ඇසේ, ඒ ආශි‍්‍රතව මනසේ මැවේ. ගම් කරළියක, රූකඩයක මතුවුණු බෞද්ධ කතන්තර කලාව නැටුමින්, ගැයුමින්, වැයුමින් ආලෝලනය විය. පසුකාලය වන විට අප රටේ ද ලෝකයේ වෙනත් රටවල මෙන් බොහෝ විට ඉස්මතු වූයේ රාගිකත්වය, කාමුකත්වය හා ප්‍රචණ්ඩත්වයයි. කුතුහලයයි. හුදු කතන්දරයයි. ඒ අතරතුර ඇතැම් චිත්‍රපට කරුවෝ ජීවිතාවබෝධය පිණිස හරවත් රසවත් නිර්මාණ කළහ. බෞද්ධ චිත්‍රපට යනුවෙන් වර්ගීකරණයක් අපට සුවිශේෂ වශයෙන් දැකීමට අසීරු වුවත් ලෝක සිනමාවේ ඉන්දීය සිනමාවේ මෙන්ම දේශීය ශ්‍රී ලාංකික සිනමාවේද බෞද්ධ ජාතක කතා, බෝසත් සිරිත, බුද්ධ චරිතය, ථෙර ථෙරීන්ගේ චරිතාවලෝකන දිටිය හැකිවිය. බොහෝ විට අපට මතකයේ ඇත්තේ චිත්‍රපට ඇසුරින් හුදෙකලාව ජනතාව අතරට පැමිණ රැව්පිළිරැව් දෙන බෞද්ධ තේමා රැගත් ගීත සමුදායකි. අමරදේව ගායනා කළ පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ, තණ්හා ආශා ඔලොගු කරේලා, සිරිපා පියුමේ රොන් සුනු තැවරේ, හිමබිම පාලන සුරිඳේ, ඔබෙ රා ගී මන කැලඹේ දෝ(මොහිදින් බෙග්) ආශා දෑසින් දකිනා සිහිනේ, මිහිර මැකී යනවා( දේවානන්ද වෛද්‍යසේකර) වැනි ගීත අතළොස්සක් පමණි. දහසකට ආසන්න ශ්‍රී ලාංකික චිත්‍රපට නිර්මාණ ඉතිහාසයේ බෞද්ධ තේමා රැගත් චිත්‍රපට ගණනාවක් බිහි වී ඇත. වෙසතුරු සිරිත, රන්සළු, අංගුලිමාල, පටාචාරා, අජාසත්ත, කුණ්ඩලකේසී, සතර පෙර නිමිති, අධිෂ්ඨාන, දෑස නියා, උප්පලවණ්ණා, කුසපබා, පත්තිනි, සිද්ධාර්ථ ගෞතම, වැනි චිත්‍රපට ඒ අතරින් නිදසුන් කීපයක් පමණි. මේවායින් ඇතැම් චිත්‍රපට ඉන්දියාවේ නිපදවූ චිත්‍රපට වෙයි. ඒ සිනමා කෘතින්ට සිංහල දෙබස් කවා ලාංකික ප්‍රේක්ෂකයා අබිමුව ප්‍රදර්ශනය කර ඇත. භික්ෂු භික්ෂුණීන්, ථෙර ථෙරීන් පිළිබඳ චිත්‍රපට කිහිපයක් නිර්මාණය කෙරුණද සෘජුවම බුද්ධ චරිතය සිදුහත් යසෝධරා චරිත සිනමාවට නගන්නට කිසියම් හේතු නිසා නොහැකි වූයේ ය. බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතාපදානය කාටුන් හෝ චිත්‍ර මගින් හෝ සංකේත මගින් නිරූපණය කළද සැබෑ නළු නිළියන් මගින් එම උත්තරීතර කතාව තිරයේ මැවීමට නොහැකි වීමට සංස්කෘතිකමය හේතු ගණනක් විද්‍යාමාන වන්නේ ය. ඒ අතරතුර හතර පෙරළිය වැනි චිත්‍රපටයක බෞද්ධයන් කෙරෙහි පූජාවට වන්දනාවට යොමුවී ඇති ලුම්බිනිය, බුද්ධගයාව, බරණැස ඉසිපතන මිගදාය, කුසිනාරාව ඇතැම් චිත්‍රපටවලට දර්ශන වශයෙන් ඇතුළත් කිරීමෙන් බොදු ජනතාව සිනමාහල් කරා රොද බැදී ඇදී එන්නට වූ අත්දැකීම් රාශියක් ගැන අපට කරුණු කිව හැකිය. ආදායම් වාර්තා බිඳ හෙලූ අජාසත්ත වැනි චිත්‍රපට බොදු ජනකායගේ සැදැහැබැති සිත නංවාලන්නට සමත් විය. ඩී.බී. නිහාල්සිංහ හැදූ භක්ති වැනි කෙටි චිත්‍රපටයකත් සිනමාවට සකස් කළ විවිධ බෞද්ධ පුදබිම් සහ බෞද්ධ සංස්කෘතික ක්ෂේත්‍ර පිළිබඳ වූ වාර්තා චිත්‍රපට පවා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් වී තිබේ. මේ සියලු නිදසුන් හා සංකල්පයන්ගෙන් අප විසින් තේරුම් බේරුම් කර ගත හැකි අංශ ගණනාවක් දිස් වන්නේ ය. “පෙදෙන් බුදු සිරිතැ” යනුවෙන් අනුරාධපුර යුගයේ පටන් ගලා ආ කල්පනාවක් ආකල්පයක් කවියෙන් කීවේ බුදු සිරිත නම් කතා මගින් පැවසුවේ බුදුසිරිත බෝසත් සිරිත නම් සිනමාවෙන්ද බුදු සිරිත බෝසත් සිරිත ජනානන්ද කර ආකාරයට පැවසියහැකි බවයි. සුළවතුන්ගේ ගුණ නුවණ ඉන් අවදි කළ හැකිය.

තිසරණ සහිත පංචශීලය, ආජීව අෂ්ටමක ශීලය, දශශීලය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණය දාන, සීල, භාවනා, ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ, පුණ්‍ය පාප, කුසල අකුසල පාරමිතා හොඳ නරක ආදී බෞද්ධ ඉගැන්වීම් අනිත්‍යය පිළිබඳ යතාර්ථය පිළිබිඹු කරන ජනපි‍්‍රය මෙන්ම දුර්ලභ ගැඹුරු කතා, සිද්ධි, අවස්ථා, නිරූපණ රූප හා ශබ්ද, සංවාද, කවි ගායනා, සංගීත නැටුම් පාදක කොට පවා මැනවින් පුහුදුන් මිනිසාට කියාදීමට චිත්‍රපට මාධ්‍යය අතිශය ආකර්ෂණශීලී ප්‍රබල මාධ්‍යයක් බැව් පැවසීම අවශ්‍යයි. අපේ රටේ ඇතැම් සිනමා කරුවෝ දශක ගණනක් තිස්සේ මේ පිළිබඳ ඉඳ හිට හෝ නොයෙක් උත්සාහ දැරූහ. බුදුදහමත් බුදුන් වහන්සේ පිළිබඳවත් තොරතුරු හැකිතරම් තිරයේ මවා පෙන්වාලූහ. මේ සිනමා මාධ්‍ය, අතිශය නිෂ්පාදන වියදම් අධික ක්ෂේත්‍රයකි. එම ධන ආයෝජනය ඵල දරන්නට තව බොහෝ වෑයම් දැරිය යුතු ය. ඒවා තව ජයගත හැකි අයුරින් අවංක අරිපිරිමැස්මෙන් ක්‍රියා කළ හැකි බවත්, ජීවිතාවබෝධය පිණිස බුදුදහම තේරුම් කොට දිය හැකි බවත් නොබියව පැවසිය හැකිය.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]