සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය අවබෝධයයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු වන මාර්ගාංගය වන
සම්මා දිට්ඨිය පිළිබඳව නිවැරැදි අවබෝධයක් බෞද්ධයකු සතු විය යුතු වෙයි.
සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේදී ස්වාමින් වහන්සේ අමතා වදාළේ
මහණෙනි, යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා දුක දනීද, දුකට හේතුව දනීද, දුක නැති කිරීම
දනීද, දුක නැති කිරීමේ මඟ දනී ද මේ කාරණාවෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙක්
වෙයි. දහම පිළිබඳව ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත
වෙයි. නිවනට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, දුක නම් කවරේද දුකට හේතුව කවරේද දුක නැති කිරීම නම් කවරේද දුක නැති
කිරීමේ මඟ නම් කවරේද
ඉපදීම දුකකි (ජාතිපි දුක්ඛා) ජරාවට පත්වීම දුකකි (ජරාපි දුක්ඛා) ලෙඩවීම දුකකි
(ව්‍යාධිපි දුක්ඛෝ) මරණයට පත්වීම දුකකි (මරණම්පි දුක්ඛං) (ශෝක) සෝක වැළපීම දුකකි.
(පරිදේව) කායික දුක්, මානසික දුක් (දෝමනස්ස) හිල්ලීම (උපායාස) යම් දෙයකට කැමැති නම්
එය නොලැබෙන විට ලැබෙන දුක (යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං) සැකෙවින් පවසන්නේ නම්
පංච උපාධානස්කන්ධයම දුකකි (සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා) මහණෙනි, මෙය දුක
යැයි කියයි.
දුක හට ගැනීමේ හේතුව කුමක්ද පුනර්භවය ඇතිකරවන සුළු (පෝනෝභවිකා) යම් සතුටින්
ඇලීයාමක් (නන්දිරාග) වේද, ඒ ඒ භවයන්හි වන අරමුණුවල සතුටින් ඇලීයාමක් (තත්‍ර
තත්‍රාභිනන්දිනී) වේද, යම් තෘෂ්ණාවක් වේද එවන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
වශයෙන් දක්වන තෘෂ්ණා වර්ග තුනකි. ඇවැත්නි මෙය දුක හට ගැනීමට හේතුව හෙවත් දුක්ඛ
සමුදය යැයි කියයි. (යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී
සෙය්‍යථිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා)
ඒ වගේම දුක්ඛ නිරෝධය කවරේද ආර්ය මාර්ගයෙන් ඒ දුකට හේතු වන්නා වූ තණ්හාවන්ගේ යම්
අතිශයින්ම ප්‍රහාණයක්, හැරලීමක්, දුරුලීමක්, මිදීමක්, නොඇලීමක් වේද (යෝ තස්සායේව
තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ) මේ දුක්ඛ නිරෝධය යැයි
කියයි.
ඒ වගේම දුක්ඛ නිරීධගාමිනි ප්‍රතිපදාව කවරේද සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වන මේ ආර්ය
අෂ්ටාංගික මාර්ගය ම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව යි. (අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ
දුක්ඛ නිරෝධගාමිනි පටිපදා. සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා,
සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි)
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මේ දුක දනීද, දුක්ඛ සමුදය දනීද, දුක්ඛ නිරෝධය දනීද,
දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව දනීද ඔහු සද්කාරයෙන් ම රාගානුසය ප්‍රහාණය කොට
පටිඝානුසය ප්‍රහාණය කොට මම වෙමි යන දෘෂ්ටිය අත්හැර අස්මිමානානුසය ප්‍රහාණය කොට
අවිද්‍යාව අත්හැර විද්‍යාව උපදවා මේ භවයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ චතුරාර්ය
සත්‍යය දැන ගැනීමෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳ ඔහුගේ
දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයහි ගුණ දැන පැහැදෙයි. මේ නිර්වාණ ධර්ම මාර්ගයට පැමිණ වාසය
කරන්නෙක් වෙයි.
ඒ වගේම චතුරාර්ය සත්‍යය කියන්නේ කුමක්දැයි අවබෝධ කරගත යුතු වෙනවා. “චතු” කියන්නේ
හතරටයි. “ආර්ය” කියන වචනයේ වචනාර්ථ කිහිපයක් ම තිබෙනවා. මේ චතුරාර්ය සත්‍යය අවබෝධ
කර ගැනීම තුළින් ආර්ය භාවයට පමුණුවන නිසාද, ආර්යයන් විසින් අවබෝධ කරනු ලබන සත්‍යයක්
නිසාද, ආර්යයන්දී වඩ වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන නිසාද ආර්ය නාමය භාවිතා කරනවා.
සත්‍යය යන වචනය හැදී ඇත්තේ සත් ධාතුව මුල් වීමෙන් “සත්” කියන්නේ නො වෙනස්ව පවතින යන
අදහසයි. නො වෙනස් ව පවසන යම් දෙයක් වේනම් එය සත්‍යයක්. යමක් වෙනස් වන්නේනම් එය
සත්‍යයක් නොවේ. අසත්‍යයක්. මේ ආර්ය සත්‍යය හතර කිසිදු හේතුවක් නිසා හෝ කිසිඳු දිනයක
කාලානුරූපී ව හෝ වෙනස් වන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා හතරට චතුරාර්ය සත්‍යය යන නම
භාවිතා වෙන බව අප වටහා ගත යුතුයි. චතුරාර්ය සත්‍ය යනු
1. දුක්ඛ ආර්ය සත්‍යය , 2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, 3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය,
4. දුක්ඛ නිරෝධගාමිනි පටිපදා ආර්ය සත්‍යය යන ආර්ය සත්‍ය හතරටයි. මේ ආර්ය සත්‍යය හතර
ගැන සාමාන්‍ය ලෝකය දැන ගන්නවාට වඩා ගැඹුරින් දැන ගැනීම තුළ සම්මා දිට්ඨිය ඇතිකරගත
හැකියි.
දුක්ඛ ආර්ය සත්‍යය – දුක්ඛ ආර්ය සත්‍යය ගැන මනා දැන ගැනීම ආර්ය ශ්‍රාවකයාගේ
ස්වභාවයක්. සැරියුත් තෙරුන් වහන්සේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ,
මරණම්පි දුක්ඛං ආදී වශයෙන් මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන විස්තර කරයි. එම විස්තරය අගට
යෙදෙන සුවිශේෂ අර්ථ විවරණයක් තිබෙනවා. “සංඛිත්තේන පංචඋපාදානස්ඛන්ධා දුක්ඛා” යනුවෙන්
සඳහන් වන්නේ එයයි. එම ප්‍රකාශයට අනුව ඉපදීමත්, වයසයට යාමත්, ලෙඩවීමත්, මරණයට
පත්වීමත්, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසයන්ට ගොදුරුවීමත් අපි‍්‍රයයන් හා
එක්වීමත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමත්, කැමැති දේ නොලැබී යාමත් යන මේ කාරණා සියල්ලම
නිසා ඇතිවන දුකට මුල් වන්නේ පංච උපාධානස්කන්ධය බව අවබෝධ කරගත යුතු වෙනවා. ඉහත කියන
ලද සියලු දුක්වලට මුල් වී තිබෙන්නේ පංච උපාධානස්කන්ධය බව මනා නුවණින් වටහා ගැනීමටයි
“දුක්ඛේ ඤාණං” යනුවෙන් අදහස්. කරන්නේ. සැබැවින්ම දැක දැන ගන්නවා. දුක දැන ගත්තා.
දුක දැක්කා කියන්නේ එයටයි.
දුක්ඛ සමුදය සත්‍යය - දුක්ඛ සමුදය සත්‍යය හෙවත් තණ්හාව තුළින් අනෙක් සත්‍ය තුන
අවබෝධ කර ගන්නේ කෙසේදැයි විමසා බලමු. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස
කොටස් තුනකි. මේ තණ්හා වර්ග තුන නිසා කාම භව රූප භව හා අරූප භව යන භවත්‍රයෙහි ඉපදීම
සිදුවෙයි. එසේ ඉපදීම නිසා දුකට පත්වෙන්නට සිදුවෙයි. එය දුක්ඛ සත්‍ය ලෙසින්ද, ඒ උපතට
මුල් වූ තණ්හාව නැති කිරීම නිසා දුක නැති වීම සිදුවෙන බවත් එය දුක්ඛ නිරෝධ ආර්ය
සත්‍ය ලෙසත්, ඒ තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අංෂ්ටාංගික මාර්ගය බවත් වටහා ගන්නවා.
එතැන සිදුවන්නේ තණ්හාව මුල් කර ගත් චතුරාර්ය සත්‍යවබෝධය යි.
දුක්ඛ නිරෝධ සත්‍යය - දුක්ඛ නිරෝධ සත්‍යය හෙවත් නිවන මුල්කරගෙන අනෙක් සත්‍ය තුන
අවබෝධ කර ගන්නේ කෙසේද දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හා නිරෝධය යි. යමෙක් තණ්හාව නැති
කරනවා කියන්නේ ඒ තැනැත්තා දුකද නැතිකළා කියන එකයි. කාම තණ්හාදී තණ්හාවන්ගේ යම්
ඉතිරි නොවී නැතිව යාමක් ඇත් හැරීමක් නොඇලීමක් වේද එය නිවන හෙවත් දුක්ඛ නිරෝධය යි.
මේ කියන අවබෝධය ඇති වන විට දුක ගැනද, දුකට හේතුව වන තණ්හාව ගැනද, ඒ තණ්හාව නැති කරන
මඟ හෙවත් දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව ගැනද, අවබෝධයක් ඇතිවෙයි.
දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදා සත්‍යය - යමෙකුට මාර්ග සත්‍යය ගැන යම්කිසි අවබෝධයක්
ඇතිවෙනවා නම් ඒ තුළින් ද ඒ තැනැත්තා අනෙක් සත්‍ය තුන වටහා ගැනීමේ හැකියාව ඇති
වෙනවා. මාර්ග සත්‍යය තුළින් සිදුවන්නේ දුක්ඛ නිරෝධය සිදු කරන වැඩ පිළිවෙල පුරුදු
කිරීමයි. මාර්ග සත්‍යයේ කෘත්‍යය වන්නේ මාර්ගාංග වැඩීම හෙවත් දියුණු කිරීමයි. ආර්ය
අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංගය දියුණු කළයුත්තේ තණ්හාව තුළින් දුක ඇතිවෙන නිසායි.
තණ්හාව නැති කරනවා යනු නිවන සාක්ෂාත් කිරීමයි. එයට පුරුදු කළ යුතු කාරණා පුරුදු
කිරීම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාවෙන් හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සිදුවෙයි.
මේ අනුව අප වටහා ගත යුත්තේ චතුරාර්ය සත්‍යයෙන් එක් ආර්ය සත්‍යයක් ගැන හෝ මනා වූ
දැනුමක් ඇතිවන්නේ යම් මොහොතකද ඒ අවස්ථාවේදී අනෙක් ආර්ය සත්‍ය ගැනද අවබෝධ වන බවයි.
චතුරාර්ය සත්‍යයම එකට බැඳී පවතින බැවින් මේ හතරෙන් කුමකින් හෝ සත්‍යාවබෝධය සඳහා
ප්‍රවේශයක් ලබා ගත හැකිය යන්නයි.
- නයනා නිල්මිණි |