Print this Article


මවුපියන්ට සැලකීම පින්වැඩෙන පින්කමක්

මවුපියන්ට සැලකීම පින්වැඩෙන පින්කමක්

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ධම්මේන මාතා පිතරෝ භරෙය්‍ය
පයෝජනයේ ධම්මිකං සො වණිජ්ජං
එතං ගිහි වත්තයං අප්ප මතෙතා
සයං පභෙ නාම උපෙති දෙවේති

පින්වත්නි, අම්මා සහ තාත්තා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය කියාපාන (ධම්මික සූත්‍රයේ) ගාථාවකුයි අද මගේ දහම් ලිපියේ මාතෘකා ගාථාව ලෙස තෝරාගත්තේ.

මෙහි තේරුම සඳහන් කරනවා නම් ධාර්මිකව ලබන දෙයින් මවුපියන් පෝෂණය කරන ධාර්මික දේම වෙළෙදාම් සඳහා යොදන නොපමාව ගිහියන් විසින් කළ යුතු යහපත් වත් පිළිවෙත් ආරක්ෂා කරන තැනැත්තෝ ප්‍රභාමත්ව කාමාවචර දෙව්ලොව උපදී.

මවුපියන්ට සැලකෙන බෝධිසත්ව දරුවන්ට දෙව්ලෝ සිරි සැපත උදාකර ගන්නට පුළුවන් බව එහි මනාව පැහැදිලි කරල තිබෙනවා. අම්ම, තාත්තා දෙන්නා ළඟින් තබා ගෙන පෝෂණය කරන්න පුළුවන්නම් එය දරුවෙකුගේ පුදුම භාග්‍යයක් පින් වැඩෙන උදාර පින්කමක්.

ඇතැම්විට සමහර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ගේ ගේ දොර අතුගාල, උයල පිහල දරුවන්ගේ දරුවො පාසලට අරගෙන යන්න, ආපසු එක්ක එන්න පමණක් නොවෙයි, රෙදි ටික මැදල, වළං මුට්ටි හෝදල මුළු දවස තිස්සෙම මවුපියන්ගෙන් වැඩ ගන්න දැරුවෝ අම්මට තාත්තට ඉන්න හිටින්නවත් හරියට තැනක් නොදී හැරීම හරිම කනගාටුවට කාරණයක්. දරුවෙක් ලෝකෙට බිහිවෙන කොටම අනාගතය ගැන සිහින ප්‍රාර්ථනා මවාගෙන දරුවන්ට හොඳට සිප් සතර ලබාදී සමාජයේ ඉහළ තැනක ඔසවා තැබුවාට පස්සෙ අම්මගෙ තාත්තාගේ දෑතේ එල්ලී මේ තැනට ආව බව සමාජයේ ඇතැම් දරුවන්ට අමතක වෙලා යනවා. ඊට පස්සේ මේ අම්ම, තාත්තා කතා කළත් වැරැදියි, කෑවත් වැරැදියි, ළඟින් ගියත් වැරැදියි. එබඳු මානසිකත්වයකින් අම්ම, තාත්තා දෙන්නා කොන් කරල දමන පරිසරයක් ගොඩ නැගීම කනගාටුවට කාරණයක් නොවේද ගෙදර හදන තිරිසන් සතාට ඊට වැඩිය සළකන දරුවො ඇතැම් විට දැකල තියෙනවා.

මවුපිය වන්දනා වැඩසටහන්වලදී සමහර දරුවන් හඬ හඬා කියා සිටින්නෙ. සමාවෙන්න මගේ රත්තරං අම්මේ තාත්තෙ, ඔය දෙන්නට මගෙන් ගොඩාක් වැරදි වුණා. අද මට ඒ ගැන ගොඩාක් වැටහුණා. මගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි. මම සමාව ඉල්ලනවා වුණ වැරදිවලට.අද පටන් ඔයාලට දුකක් නොදී බලාගන්නවා. බලන්න ඒ ප්‍රකාශ වල ගැබ්වෙලා තියෙන්නේ ආදරය කරුණාව. ඒවා සැඟවීලා තිබිල තියෙන්නෙ.

එසේනම් දෙමාපියනුත් දරුවන් නොසලකා හරිනම් එයින් කොටසක් බාරගත යුතුයි. ඉස්සර මවුපියන් පුංචි කාලයේ ඉඳලම හරිම සංයමයමකින් තමයි දරුවන් හැදුවෙ. ඉපදුනදා ඉඳල කථා කරන භාෂාව සිට කන බොන විලාසය. හැසිරීම් රටාව පමණක් නොවෙයි. වැඩිහිටියන් ගරු කරන අයුරු මේවා පුරුදු පුහණු කළා.

උදේ හවසට බුදුන් වඳින විට තමන්ගෙ දරුවනුත් ළගින් තියාගෙන බුදුන් වැන්දා. අද බලන්න කීයෙන් කීදෙනාද අම්මට තාත්තට ගාථාව කියල වඳින්නෙ. ගාථාව කෙසේ වෙතත් අඩුම තරමෙ වැඳලවත් යනවද කියන ප්‍රස්නාර්ථය ළඟයි අප ඉන්නෙ. සමහර ගෙවල්වල දරුවන්ට අම්මල තාත්තල කතා කරන විලාසය ඉතාම පහත් මට්ටමට වැටිලා.

එවැනි වැරදි වලින් අනාගතයේ ඔබේ ජීවිතයට නරක අත්දැකීමක් වන්න පුළුවන්. දරුවාට ආදර්ශමත් නොවී ගුණදහම් පුරුදු නොකළොත් යහපත් පරපුරක් දැකීම සිහිනයක් වේවි. අම්මා තාත්ත කියන්නෙ දරුවගේ දුක වේදනාව කලින්ම දැනෙන, දරුවගේ ජීවිතය එළිය කරන කල්‍යාණ මිත්‍රයන් දෙදෙනාටයි.

උසුලා කුසේ දරමින් දස මසක් පුරා
මා බිහි කළේ ඉවසනු බැරි දුකක් දරා
ලේ ටික කිරි කරල බොන්නට දුන්න උරා
රැක ගමි මගේ අම්මා පණ තිබෙන තුරා

බලන්න මාස දහයක් තිස්සේ අප කුස තුළ තියාගන මොන තරම් නම් දුකක් විඳලද මේ ලෝකයට ඔබ බිහිකළේ .අන්තිමේදී තමන්ගේ රතුපාට රුධිරය කිරි කරල පොවල ඇති දැඩි කරන්නෙ. ඒ රත්තරං අම්මා මගේ පණ නල තිබෙන තුරා රැක ගන්නව කියල සිත තුළ ඇති කරගන්න පුළුවන්නම් ඔබ තරම් භාග්‍යවන්ත දරුවෙක් තවත් නෑ පුතේ. අම්මා සෙනෙහසින් දරුවන්ට තමන්ගේ ආදරය, කරුණාව බෙදා දෙන විට හදවත යට නොපෙනෙන සෙනෙහසක් දරුවන්ගේ ලෝකය ගොඩ නඟන තාත්තා කවම කවදාවත් අමතක කරන්න එපා.

හසරැලි පිරුණ මූණෙන් මට පුතේ කියා
මගෙ මුව සිඹල හැම උදෙයම වැඩට ගියා
දහදුක් දරා වැඩ කරලා මොකුත් සොයා
අප කුස පිරෙව්වේ ආදර මගෙ පියා

තාත්තා කියන්නෙ අපගේ දියුණුවේ බර ඇද්ද ප්‍රතාපවත් යුග පුරුෂයායි. සෙනෙහස මුළු හදවතින්ම දරුවන්ට දුන්නා විතරක් නොවෙයි. කන්න බොන්න අඳින්න ,පළඳින්න පොත්පත්. බේත්හේත්, පන්ති ගාස්තු මේ හැම දෙයක්ම තාත්තාගේ කඳුලු දහඩිය මුසුව ඔබ යහමගට ගත්ත කෙනා තමයි තාත්තා කියන්නෙ. ඔබේ දිවිය ගොඩ නඟන්නට අත දුන්න . තාත්තා සෙනෙහසින් බලාගන්න.

මවුපිය උපස්ථානය කිරීම බුදුරදුන්ට හා රහත් උතුමන්ට කරන උපස්ථානයක් වැනි පින් වැඩෙන පින්කමක් මවුපියන් කෙරෙහි ගරු සැළකිලි නොකරන ඔවුන් කෙරෙහි වරදවා කටයුතු කරන පුද්ගලයන් නිරයට යන බවත් එහිදී යම පල්ලන් විසින් ඔවුන් යම රජුට දක්වා දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටින බවත් මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ සුඤ්ඤක වග්ගයේ දේවදූත, සූත්‍රයේ සඳහන් වෙනව.

දෙවියන්ගෙන් ආරක්ෂා වෙන්න හොඳ යන්ත්‍රයක් හා සමානයි මවුපියන්ට සැලකීම.

මේ ලෝකයේ යමෙක් මවුපියන් ධාර්මිකව පෝෂණය කරයිද

ඔහු ගොඩ දිය දෙකේදීම දෙවියෝ ආරක්ෂා කරති.

අම්මල ,තාත්තල බොහෝ දෙනෙකුට අවසානයේ උරුම වන්නේ තනිකම පමණක් ද සමහර අම්මල තාත්තලා කතා කරලා අඬ අඬා කියන දෙයක් තමයි අනේ අපේ හාමුදුරුවනේ, මගේ දරුවන්ට මම හොඳට ඉගැන්නුවා.

දැන් ඒ ගොල්ලො හොඳ තැන්වල ඉන්නවා. අපට අම්මේ, තාත්තේ කියන්නවත් ඒ දරුවන් කැමැති නෑ කියලා. මවුපියන්ගෙ හිත් රිදවලා සතර අපායට යනවද නැත්නම් ඔවුන් ආරක්ෂා කර ආදරයෙන් රැකගෙන නිවන් දකින බොදු දරුවන් පිරිසක් වෙනවද යන වග ඔබම තීරණය කරන ගමන් යහපත් ගුණගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් කටයුතු කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි