දැහැමි ධනෝපායනය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය,
දර්ශනපති
වවුනියාවේ පඤ්ඤාසේකර හිමි
කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරක් නොමැති බව දුඟී වීමට හේතුවක් බව අප පසුගිය කලාපයෙන්
විස්තර කළා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ දුකට පත් වන දුගී බව නැති කර
ගැනීමට පශු පාලනය හෙවත් සත්ත්ව පාලනයද වැදගත් වනවා. ධාර්මික ධනෝපායන මාර්ගයක්
ලෙසින් බුද්ධ දේශනාවේ සඳහන් වන පශු පාලනය හෙවත් සත්ත්ව පාලනයද අපට මනාව කළ හැකි
වුවත් සත්ත්ව පාලනය කළ යුත්තේ ඝාතන අරමුණකින් තොරව වෙනත් අවශ්‍යතාවයන් සඳහා බවයි
බුදු දහමේ දැක්වෙන්නේ.
එහිදී විශේෂයෙන් ම ගව පාලනය පිළිබඳව අවධානය යොමු වී ඇති ආකාරයක් අපට දැකගත හැකියි.
ගාවො නො පරමා මිත්තා අන්නදා බලදා චෙතා වණ්ණදා සුඛදා තදා” යන්නෙන් පැහැදිලි වන්නේ
ගවයින් මිනිසාගේ පරම මිතුරන් බවයි. ගවයා මිතුරන් මෙන් බලා ගත් අයට ලැබුණු සැප
සම්පත් ආදිය ගැනත් බුද්ධ ධර්මයේ දැක්වෙනවා. ගවයින් හා සම්බන්ධ ජාතක කතාද බුදු දහමේ
දැක්වෙන අතර නන්දිවිසාල ජාතකය එයින් මුල් තැනක් ගන්නවා.
එසේම ගවයන් ආහාර බල වර්ණ හා සැප ලබා දෙන බවත් එහෙයින් ගවයන් රැක බලාගත යුත්තේ
මිත්‍රශීලි ආකල්පයකින් යුක්තවම බවයි බුදු දහමේ දැක්වෙන්නේ. ගවයා අපට විශේෂිත
සත්ත්වයකු බවත් ගවයාගේ ගොම පවා අපට පොහොර ලෙසින් එක් කළ හැකි නිසා ගව සම්පතක්
ලෙසින් හැඳීන්වීමට අතීත හෙළයා පුරුදුව සිටියේ බුදු දහම අනුව කටයුතු කළ නිසයි.
ගවයාට වයිරා, පුල්ලියා වැනි ආදර නම් මෙන්ම ගව පැටියාටහඳයා‘ යන සුරතල් නම් පවා
අතීතයේ සිට භාවිත කර ඇති අතර හෙළයා කිසි විටෙක ගව මස් අනුභව නොකළ අතර විදේශීය
ආක්‍රමණිකයන් විසින් ගව මස් මෙරට ජනතාවට හුරු කළ බව අතීතය පිළිබඳ විමසීමේදී අපට දැක
ගත හැකිය. සත්ත්ව පාලනයට අමතරව ධාර්මික ධනෝපායන මාර්ගයක් ලෙසින් හමුදා සේවය ද බුදු
රජාණන් වහන්සේ විසින් අනුදත් සේවාවක්. හමුදාවෙන් සිදු වන්නේ ජාතික ආරක්ෂාව හා
පුරවැසියන්ගේ සුරක්‍ෂිතභාවයයි. හමුදා බලය තිබුණ ද පාලකයා රට පාලනය කළ යුත්තේ
දඬුවමින් හා ආයුධ පාවිච්චි කිරීමෙන් තොරව දැහැමින් හා සාමයෙන් බවයි බුදු දහමේ
දැක්වෙන්නේ. එමෙන් ම රාජ්‍ය සේවය ද දැහැමි ධනෝපායන මාර්ගයක් ලෙසින් දේශනාවේ පෙන්වා
දී තිබෙනවා.
තමාට නියමිත යුතුකම් හා රාජකාරී කටයුතු ඉටු නොකර එය පැහැර හැර වැටුප් පමණක් ලබා
ගැනීම එක්තරා ආකාරයක සොරකම් කිරීමක් හැටියට ද සඳහන් කළ හැකි වනවා. වර්තමාන සමාජය
දෙස බැලීමේදී අතීත ධනෝපායන මාර්ග ඔස්සේ රැඳී සිටිමින් ධනය ඉපැයිය නොහැකිය. එසේ
හෙයින් මේ ධනෝපායන මාර්ගයන් හැර තමන්ටත් අන් අයටත් හිංසාවක් නොවන ආකාරයේ ශිල්පයකින්
කලාවකින් හෝ ශාස්ත්‍රයකින් පුද්ගලයාගේ ආජීවය සලසා ගැනීම බුදු දහමින් අනුමත කර
තිබෙනවා.
මෙසේ ධනෝපායන මාර්ගයන්හි නිරතවන පුද්ගලයාට මානසික පීඩනයකින් තොරව අවශ්‍යතාවන් සපුරා
ගනිමින් ජිවත්වීමට හැකියාවක් තිබෙනවා. ඒ හරහා දුඟීකම තුරන් කර ගැනීමට හැකියාව තිබෙන
බව සක්සුදක් සේ පැහැදිලි වේ. දිළිඳුකම තුරන් කිරීමේ දී කිසියම් සැලැස්මකට පැමිණ
සංවිධානාත්මකව එය සිදුකළ යුතු බව ද බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. රටක ආර්ථික
ගැටලු පැන නඟින විට තැනින් තැන දන්සල් පවත්වමින් ආහාර වස්ත්‍ර බෙදා දීමෙන් පමණක්
ස්ථිරසාර විසඳුමකට පැමිණිය නොහැකි නිසා ස්ථිර සැලැස්මක් අනුවම සිදුවිය යුතු බව
කූටදන්ත සූත්‍රයේ පැහැදිලිව දක්වා තිබෙනවා.
එහි සඳහන් වන ආකාරයට රාජ්‍යයේ කෘෂිකර්මාන්ත සත්ත්ව පාලන කටයුතු ආදියෙහි යෙදෙන
ජනතාවට අවශ්‍ය ධාන්‍ය ආහාර, කෘෂි උපකරණ හා අරමුදල් කිසියම් සැලැස්මකට අනුව, සැපයිය
යුතු වේ.වාණිජ කටයුතුවල යෙදෙන අයට මූල ධනය හෙවත් ප්‍රාග් ධනය දී ඔවුන් දිරිමත් කළ
යුතු බවත් රාජ්‍ය සේවයේ යෙදෙන අයට ප්‍රමාණවත් වේතන දීම හා දක්ෂකම් අනුව සුදුසු
තැන්වලට යොදා රාජ්‍ය සේවය ඉතා කාර්යක්ෂම කළ යුතු බව ද එහි දී පෙන්වා දී තිබෙනවා.
වර්තමානයේ ලංකාවේ වුවත් පොහොර සහනාධාරය ලබා දීම මෙන්ම බීජ නොමිලයේ ලබා දීම වැනි
කරුණු මේ සඳහා හොඳම උදාහරණ ලෙසින් අපට ගත හැකියි. එසේ වුවත් ඒ මුවාවෙන් ගසා කන්නන්ද
සිටින බව අප අමතක කළ යුතු නොවේ. ඔවුන් සිදු කරන්නේ එක් සොරකමක් පමණක් නොවේ. ඔවුන්ගේ
ක්‍රියාව නිසා එය ලැබිය යුත්තා අපහසුතාවයට පත් වනවා සේම ඔහු විසින් කළ යුතු කාර්යයද
නිසි පරිදි සිදු කර ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා ඒ හරහා රටේ ආර්ථික සංවර්ධනයටද
විශාල ගැටලුවක් පැන නඟී. එම නිසා ධනය සම්පාදනය කරගැනීමේ දී එය උත්සාහයෙන් යුතුව
ධාර්මිකව ලබාගත යුතු බවත් උට්ඨාන සම්පදා ඒවා සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතු බවත්
ආරක්ඛ සම්පදා යහපත් මිතුරන් ඇසුරු කරමින් ධනය කළමනාකරණය කර ගත යුතු බවත් කල්‍යාණ
මිත්තතා හා සාධාරණ ලෙස සමාජයේ ජීවත්විය යුතු බවත් සම ජීවිකතා පෙන්වා දී ඇත. එසේ මනා
අවබෝධයකින් යුක්තව සමාජයේ ජීවත්වෙමින් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ දී දිළිඳුකම
තුරන්වන බව බුදුදහමේ සඳහන් කර තිබෙනවා. ඒ සඳහා ධාර්මික ධන නිෂ්පාදනය අත්‍යවශ්‍යම
කරුණක් බවයි බුදු දහමේ දැක්වෙන්නේ. |