Print this Article


දන් දීමෙන් ලැබෙයි අනුසස්

දන් දීමෙන් ලැබෙයි අනුසස්

දක්ඛිණා විභංග සූත්‍ර දේශනාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දන් දිය යුතු ආකාරය, දන් දිය යුතු ප්‍රතිග්‍රාහක පිරිස හා ප්‍රතිග්‍රාහක හා දායක පිරිස අතර පැවැතිය යුතු සීල, සමාධි, ප්‍රඥාවන්ගෙන් යුතු ගුණ සම්බන්ධය පිළිබඳවත් දේශනා කරනු ලැබුවා. එමෙන් ම එහි දී ඒ ඒ පුද්ගලයන් විසින් දන් පූජා කිරීමෙහි ඇති ආනිසංස පිළිබඳවත් සඳහන් කරනු ලැබුවා.

නිදසුනක් ලෙස දැක් වූ තිරිසන් සතෙකුට යමක් දීමෙන් සියක් අනුසස් ලැබෙන බව පැහැදිළි කරනු ලැබුවා. සීලය හා ගුණය ඉහළ ස්වභාවයට පත්වන විට පුද්ගලික දාන අතර බලවත් වූ කුසලයක් සකස් වෙන ආකාරය දේශනා කරනු ලැබුවා. එමෙන් ම පොදුවේ සතර ආකාරයකින් සාංඝික දානයක් පූජා කළ යුතු ආකාරයත් පෙන්වා දෙනු ලැබුවා.

තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින සමයෙහි දිනක් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දානයේ ඇති අනුසස් විමසනු ලදුව එම ගාථා රත්නයෙන් පිළිතුරු අදහස දේශනා කරනු ලැබුවා.

දානය දිය යුතු අයුරු

එම ගාථා රත්නයේ අදහස නම් කුමක් දෙන තැනැත්තා බලය දුන්නා වෙයිද කුමක් දෙන තැනැත්තා වර්ණය දුන්නා වෙයි ද කුමක් දෙන තැනැත්තා සැපය දුන්නා වෙයි ද කුමක් දෙන තැනැත්තා නුවණැස දුන්නා වෙයි ද කුමක් දෙන තැනැත්තා සියල්ල දුන්නා වෙයි ද යනුවෙනුයි.

එම ප්‍රශ්නයට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පිළිතුරු ගාථා රත්නය මෙසේයි.

අන්නදො බලදො හෝති
වත්ථදො හෝති වණ්ණදො
යානදො සුඛදො හෝති
දීපදො හෝති චක්ඛුදො
සෝ ච සම්බදදො හෝති
යො දදාති උපස්සයං
අමතං දදොච සෝ හෝති
යො ධම්මානුසාසති

ආහාර දෙන තැනැත්තා බලය දුන්නා වෙයි. වස්ත්‍ර දෙන තැනැත්තා වර්ණ දුන්නා වෙයි. කුඩ සෙරෙප්පු, යාන වාහන ආදිය දෙන තැනැත්තා සැපය දුන්නා වෙයි. පහන් පුදන තැනැත්තා නුවණැස දුන්නා වෙයි. නිවසක් සාදා දෙන තැනැත්තා සියල්ල දුන්නා වෙයි යනුයි.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් එම දේවතාවාගේ ප්‍රශ්නයට ලබාදෙන පිළිතුර අනුව නිවන් මඟ අරමුණු කරගත් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ මාර්ගය කෙසේ විය යුතු දැයි පැහැදිළිය. ප්‍රථමයෙන් ම ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව අපට කරුණු දැක්විය හැකියි.

ගිහි ගෙදරක ඇති සම්බාධ පිළිබඳ අවබෝධයෙන් සසරෙහි කළ කිරීමෙන් යුතුව පැවිදි ජීවිතයට පත්වෙන භික්ෂුවක් හෝ භික්ෂුණියක් විසින් තමාගේ මාර්ග තුළ සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩිය යුතුමයි. භික්ෂුවක් හෝ භික්ෂුණියක් ගෘහස්ථ ජීවිත ගත කරන පිරිස මෙන් රැකියා වෘත්තීන්හි නියුක්ත නොවන බැවින් ආමිසයෙන් කරන දාන එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වස්ත්‍රාභරණ ආදියෙන් කරන දාන තනිවම කළ නොහැකියි. උන්වහන්සේලාට කළ හැක්කේ දායක පිරිස එයට ධර්මානුකූලව, තම සීලයට බාධාවක් නොකටගෙන එමෙන් ම තමාගේ අරමුණ වන සමාධි, ප්‍රඥාමය ගුණ වැඩීමට බාධාවක් නොකොටගෙන එම පිරිස මෙහෙයවීමයි. එනමුත් උන්වහන්සේට කළ හැකි උතුම්ම දානයක් පවතියි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇති දාන අතර පරමාර්ථ වශයෙන් අපට පැවැත්විය හැකි දාන හයක් ධර්මයෙන් පෙන්වා දී තිබේ. එනම්, රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, ස්පර්ශ දාන, ධම්ම දාන ආදී වශයෙනුයි.

මෙයට අමතරව උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයෙහි හැසිරීමෙන්, තමා විසින් අවබෝධකර ගත් ශ්‍රී සද්ධර්මය සියලු සත්වයන් කෙරෙහි කරුණා, මෛත්‍රීයෙන් යුක්තව අන් අයට දේශනා කළ හැකියි. තථාගත බුදුරජාණන් වහන්සේ පළමු රහත් හැටනම අමතා දේශනා කරනු ලැබුයේ එම අදහසයි. එනම්

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය ලෝකානු කම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං” යනුවෙනුයි.

මහණෙනි, ධර්ම චාරිකාවේ හැසිරෙන්න, දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න, දෙවි මිනිසුන්ට සහ ලෝකයාට අනුකම්පාවෙන් ධර්ම චාරිකාවේ හැසිරෙන්න යනුවෙනි.

ධර්ම දානය

ඒ අනුව තමන් වහන්සේට ධර්ම දානය සකස් කර ගැනීමේ අවස්ථාවක් ඇත. මෙහි දී සෝතාපන්න ස්වභාවයටවත් පත් නොවූ පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දානයේ ආනිසංස හැටියට පැවිදි ජීවිතයේ ලෞකික මෙන් ම ලෝකෝත්තර අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට පහසුවෙනවා ඇත. ලෞකික අභිමතාර්ථ යැයි සඳහන් කරනු ලැබුයේ පැවිදි ජීවිතය ලෙඩදුක් කරදර බාධකවලින් තොරව නිදුක්ව, නීරෝගීවත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුතුවත් මැසි මදුරු ආදී සතුන්ගෙන් පවා පීඩාවක් නොලැබ පහසුවෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස නම් වූ ප්‍රත්‍යයන් අවශ්‍ය ආකාරයෙන් ලබාගෙන පැවිදි ජීවිතය සම්පූර්ණ කර ගැනීමයි.

ලෝකෝත්තර වශයෙන් දක්වන්නේ සංසාරගත හෝ දෝස වේ නම් ඒවා දුරුකරගෙන මෙලොව ජීවිතයම ආර්ය මාර්ගයට පත්වීමට දස සංයෝජනයන් බිඳගෙන නව මහා විදර්ශනාව ඔස්සේ තෘෂ්ණාව නැති කිරීම පිණිස කටයුතු කිරීමයි.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේට දේශනා කරනු ලැබූයේ තමන් වහන්සේට නිතර සිව් පසයෙන් උපස්ථාන කරන ගිහි පින්වතුන් වෙනුවෙන්,

“කරෝථ ධම්මදානේන
තේසං පච්චූපකාරකං”

ප්‍රත්‍ය උපකාර පිණිස ධර්ම දානයෙන් උපකාර කරන ලෙසය. මේ නිසා සෑම භික්ෂුවක් විසින් ම මහත් වූ කරුණාවෙන් යුතුව ගෘහස්ථ ජීවිත ගතකරන පිරිස වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම, මාර්ගය පෙන්වාදීම, ප්‍රිය ස්වභාවයෙන් යුතු සම්භාවනීය වූ පැවිදි චරිතයකින් යුතුව කායික වාචසික සංවරය නම් වූ ආයති සංවරයෙන් ද යුතුව කටයුතු කිරීමයි. එය උතුම්ම දානයක් හැටියට පුරුදු කරගත හැකිය.

මීළඟට ගිහි පින්වතුන්ගේ ජීවිත වෙනුවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ එම දේවතාවාගේ ප්‍රශ්නයට දෙන ලද පිළිතුර මනා සේ ගළපාගත හැකියි. ආහාර දෙන තැනැත්තා බලය දුන්නා වෙයි. ආහාරපාන පූජා කිරීම නිසා ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව නම් වූ පංච විධ සම්පත්තියක් එම දුන් තැනැත්තාට ලැබිය හැකිවෙයි. නිදසුනක් ලෙස යම් වූ දායකයෙක් විසින් ස්වාමීන් වහන්සේට සඟ සතු දානයක් පූජා කිරීමේ දී එම ආහාර දානය හා සමඟින් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා නම් වූ පංච විධ සම්පත්තියක් පූජා කෙරේ. එසේ ම එම දානය පූජා කළ දායක ඇත්තන්ට ද එම පංච විධ සම්පත්තිය මෙලොව හා පරලොව වශයෙන් ලැබිය හැකිවනු ඇත.

තුන්සිත පහදවා ගැනීම

නිවන අරමුණු කොට ගෙන අවබෝධයෙන් ම තුන් සිත පහදවාගෙන අලෝභ, අදෝශ, අමෝහ නම් වූ කුසල මූලික සිත් මතුකොටගෙන දන් දීමෙන් මෙලොව පරලොව වශයෙන් බලවත් වූ දානානිසංසයක් ලැබිය හැකිවනු ඇත. එමෙන් ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මහත් සේ උපකාර වන ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට ද උපකාර වනු ඇත. තුන් සිත පහදාගෙන දන්දීම යැයි සඳහන් කරනු ලැබූයේ දානයට පෙරාතුව ද දානය පිරිනමන විට සහ ඉන් පසුවද ප්‍රසාදයෙන් යුක්තව හා අවබෝධයෙන් යුක්තව දානය පූජා කිරීමයි.

එය මෙසේ සඳහන් කළ හැකියි. “සෝමනස්න සහගත ඤාණ සම්ප්‍රයුක්ත, සසංකාරික සිතක් හැටියටයි. දානය කෙරෙහි අවබෝධයෙන් යුතු ප්‍රසාදයෙන් ද කර්මය හා ඵලය පිළිබඳ විශ්වාසයෙන් ද අනුන්ගේ මෙහෙයවීමකින් නොව තමන්ගේ ම පසු බෑමක් නැතිව තමා කෙරෙන් ම උපදවා ගත් කැමැත්ත උත්සාහය හා වීර්යයෙන් යුතුව දානය පූජා කිරීමයි. මෙය පූර්ව චේතනා හැටියටත් දක්වනු ලබයි. එය මුල සිට හෙවත් දානයේ කාර්යභාරයයි. මැද සිට හෙවත් මුඤ්චන චේතනාවෙන් නම් දානය පූජා කරන අවස්ථාවේදීත් ඉහත සඳහන් කළ අයුරින් ම සිතෙහි අවබෝධයෙන් ඇති කරගත් ප්‍රසාදයෙන් යුතුව දානය පූජා කිරීමයි. අග සිට හෙවත් අපර චේතනා නම් ඉහත සඳහන් කළ ආකාරයෙන් ම අවබෝධයෙන් යුතු ප්‍රසාදයෙන් ද කර්මය හා ඵලය පිළිබඳ විශ්වාසයෙන් ද අන් අයකුගේ මෙහෙයවීමෙන් නොව තමා කෙරෙහි ඇති වූ පසුබෑමකින් තොරව ඇති කරගත් උත්සාහය හා අධිෂ්ඨානය හා වීර්යයයෙන් යුතුව එය සිදුකළ බව මෙනෙහි කොට සිතේ ප්‍රසාදයක් ඇති කර ගැනීමයි. මේ මුල මැද අග කියන අවස්ථා තුනටම කිසිදු ආකාරයෙන් ලෞකික වශයෙන් නැවත ලැබිය යුතු යමක් පිළිබඳව තෘෂ්ණාවක් ඇති කර නොගත යුතුයි. එය පිනක් හැටියට, කුසලයක් හැටියට සිතෙහි පුරුදු කරගත යුතුයි. එසේ නොමැති වූවොත් ලැබෙන ආනිසංසයට ද බාධා විය හැකියි, එනම් ආනිසංසයෙන් ලැබෙන ප්‍රතිඵලය අඩුවිය හැකියි.

සීවලී මහ රහතන් වහන්සේගේ චරිතය අපට නිදසුනක් ලෙස ගත හැකිය. ලාභීන් අතර අග්‍ර වූයේ සීවලී මහ රහතන් වහන්සේයි. උන්වහන්සේ යම් තැනකට වැඩියේ ද උන්වහන්සේ සමඟ වැඩිය පිරිසට පවා ආහාර පානාදියෙන් හිඟපාඩු වූයේ නැත. එහෙත් එම බුදු සසුනේ ම වැඩ සිටි ‘ලෝසක’ ස්වාමින් වහන්සේ කුස පිරෙන්නට දන් වැළඳුවේ එකම එක අවස්ථාවක දී පමණකි. පිරිනිවන්පාන්නට මත්තෙන් තම ගුරුවරයා වූ සැරියුත් මහ රහතන් වහන්සේ විසින් උන්වහන්සේගේ දෑත මතම චතු මධුර පාත්‍රයක් තබාගෙන ශිෂ්‍යයා වූ ‘ලෝසක’ තෙරුන්ට වළඳන්නට සැළැස්සීමෙනි. ලෝසක තෙරුන්ගේ අතට එම චතු මධුර පාත්‍රය දුන්නා නම් වෙනදා ලෙස ම එම පාත්‍රයේ තිබුණු ආහාර පවා අතුරුදහන් වීමට ඉඩ තිබුණි. දානයේ ඇති ප්‍රබල ආනිසංස සීවලී මහරහතන් වහන්සේගේ චරිතයෙනුත්, දන් නොදීමෙහි හෝ දීමෙහි දී අඩු පාඩු ඇතිව දීමෙන් ලැබෙන දුර්විපාක පිළිබඳව ලෝසක තෙරුන් වහන්සේගේ කතා පුවතින් ද පැහැදිළි වේ.

දස පාරමී

මේ නිසා නිවන් මඟ සම්පූර්ණ කරන බෝධිසත්ව උතුමෝ දාන, සීල, නෙක්ඛම්ම වශයෙන් දස පාරමී ගුණයන් ම මනා සේ සම්පූර්ණ කරති. වස්ත්‍ර දෙන තැනැත්තා වර්ණය දුන්නා වෙයි. යම් කෙනෙක් හැකි ආකාරයෙන් වස්ත්‍ර පූජා කරනවා නම් එයින් එම වස්ත්‍රය ලබන අයට වර්ණය දුන්නා හා සමානයි. ඉන් අදහස් කරන්නේ තමන්ට ද ආනිසංස වශයෙන් වර්ණ සම්පත්තියක් අනුව සසරෙහි ජීවිත ලැබිය හැකි වන බවයි. මෙහි දී වර්ණය හැටියට අප සිහිපත් කරන්නේ එකම පාටක් කියන අදහස නොවේ. උපන් රට, දේශය හා කාලගුණය හා මව් දෙමව්පියන්ගේ ගතියන්ට අනුව ලබන ලද වර්ණයයි. එය නීරෝගී නම් පැහැපත් නම් එය වර්ණ සම්පත්තිය හැටියට දක්වයි. මේ නිසා ආහාර දීම වගේ ම වස්ත්‍රදීමත් බොහෝ අනුසස් ලැබිය හැකි බලවත් වූ පිනකි. ජීවිතයක් පහසුවෙන් පැවැත්වීමට අවශ්‍ය කුඩ, සෙරෙප්පු ආදිය දෙන තැනැත්තා සැපය දුන්නා වෙයි. කුඩයක්, සෙරෙප්පු දෙකක්, ගමන් කිරීමට යානාවක් යනුවෙන් අදහස් කරන්නේ එම ජිවිතය පහසුවෙන් පවත්වන බවයි. එහෙම නම් ඒ පුද්ගලයාට සැපය දුන්නා හා සමානයි. එහි ආනිසංස වශයෙන් ඒවා දුන් තැනැත්තාටත් නැවත විවිධ ආකාරයෙන් සැප ලැබෙයි. දුන්නා හා සමානව ම බොහෝ අනුසස් ඇතිව උපතේ පටන් ම ලැබීමටත් තම උත්සාහයෙන් පහසුවෙන් ම ඒවා ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙයි.

පහන් පුදන තැනත්තා නුවණැස දුන්නා බවට පත්වෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහන් පූජා කරන විට ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ අදහස මතු කර ගනිති. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයේ පවතින මෝහාන්ධකාරය දුරු කරනු ලැබූයේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය නමැති ප්‍රඥා ආලෝකයෙනි. මෙහි පවතින අන්ධකාරයත් දුරු කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට මේ පහන් පූජාව පූජා කරනවා යැයි එහි දී සිහිපත් කෙරේ. එමෙන් ම යම් කෙනෙකුට එසේ අවබෝධයෙන් යුක්තව පහන් පූජා කිරීමෙන් තමාටත් නුවණැස ලබන්නටත් අවස්ථාව සැළසේ. ඒ නුවණ ලෞකික දියුණුවට හේතුවන නුවණක් විය හැකියි. එමෙන් ම එම නුවණ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අවශ්‍ය ලෝකෝත්තර නුවණ ද විය හැකියි. මෙහි දී වඩා වැදගත් වන්නේ පහනක් හෝ පූජා කරන ආලෝකයේ සංඛ්‍යාව හෝ ප්‍රමාණය නොවේ. ඉහත සඳහන් කළ අයුරින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා ආලෝකයෙන් මෝහන්ධකාරය දුරු කළා කියන අදහස සිතට ගෙන තමනුත් එක ද පහනකින් නමුත් තමා කෙරෙහි පවත්නා වූ ලෝභ, දෝෂ, මෝහ වශයෙන් අන්ධකාරයක් වේනම් එම අන්ධකාරය මෙම දල්වන පහනේ ආලෝකයට සමාන කරගෙන පරමාර්ථ ධර්මය අනුගමනය කිරීමෙන් සක්ඛායදෘෂ්ටිය එනම් මමය, මාගේය කියන වැරැදි දැක් ම මුල්කොට ගත් අනවබෝධය නම් වූ අන්ධකාරයෙන් මිදෙනවා. මිදෙන්නට සීල, සමාධි, ප්‍රඥා මග අනුගමනය කරනවා යැයි යන අධිෂ්ඨානයෙන් පූජා කිරීමයි. එය පිළිවෙත් මාර්ගයට බැසගෙන ම කරන පූජාවක් නිසා සැබෑම පහන් පූජාවක් බවට ආනිසංසක් බවට පත් කරගත හැකියි.

එමෙන් ම නිවසක් සාදා දෙන තැනැත්තා සියල්ල දුන්නා වේ යැයි සඳහන් කරනවා. අටමහා කුසල් අතර ආවාසයක් සාදවා පූජා කිරීම උතුම්ම කුසලයක් බවට පත්වෙයි. මේ නිසා යම් කෙනෙක් නිවසක් පූජා කරන්නේ නම් සියල්ලම දුන්නා බවට පත්වෙනවා. බෝධිසත්ව උතුමෝ පාරමීගුණ අතර පළමුවෙන්ම සම්පූර්ණ කරන්නේ දාන පාරමිතාවයි. සසර මඟට සත්වයා බැඳ සිටින්නේ තෘෂ්ණාව නිසා නම් ඒ තෘෂ්ණාව නම් වූ රැහැන්පට කඩා බිඳ දැමීමට දානය නම් වූ දීම අවබෝධයෙන් යුතු අත්හැරීම ප්‍රබල සාධකයක් වනු ඇත්තේය.

දානය ආකාර තුනකට සම්පූර්ණ කළ හැකියි. එනම් පුරුදු පුහුණු කළ හැකියි. මෙය පාරමිතා ගුණයක් හැටියටත් දක්වනවා. පළමු කොටස නම් පාරමී නම් වේ. එනම් ඉහත සඳහන් කළ අයුරින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස හෝ වස්ත්‍ර, ආහාර ඉඳුම් හිටුම් බෙහෙත් හේත් වශයෙන් මේවා පරිත්‍යාග කිරීමයි. උප පාරමී නම් – ඇට, ලේ, මස්, නහර වශයෙන් ශරීර අංග පරිත්‍යාග කිරීමයි. පරමත්ථ පාරමී නම් බෝධිසත්ව උතුමන් මෙන් ජීවිතය පවා පරිත්‍යාග කිරීමයි. මේ ලෙසින් අවබෝධයෙන් යුතුවම දානය සම්පූර්ණ කිරීමත් එහි ආනිසංස බලවත් ලෙසත් ලැබිය හැකිවනු ඇත.

දානයක් දීමේ දී බලවත් වූ ආනිසංස ලබා ගැනීමට, දෙන තැනැත්තාගේ සිත මේ ආකාරයෙන් සකස්විය යුතුයි. එනම් මුත්ත චාග - දෙන දෙය කෙරෙහි තෘෂ්ණාවෙන් හෝ ඇලීමෙන් මිදී දිය යුතුයි. පයථපානී – පිරිසුදු අත්ලක් පවත්වාගත යුතු බවයි.

මෙහි දී පිරිසුදු අත්ල යනු අතෙහි පවත්නා දැලි කුණු ආදී අපවිත්‍ර දෑ සෝදා ගැනීම කියන අදහස නොවෙයි. සිතේ සකස් වූ තෘෂ්ණාවෙන් ඒ මොහොතේ මිදෙන විට දෙන අත සංකේතවත් කළේ පිරිසුදු අත්ලක් පවත්වාගැනීම යනුවෙනි. වොස්සග්ගරතෝ - දීමට ඇලුණු යොමුවුණු අතක්, අත් දෙකක් යන අදහසයි.

යාචයෝගෝ - ඉල්ලන කෙනෙකුට යදියෙකුට ඉල්ලන්න සිතෙන ආකාරයෙන් දන් දීමයි ජීවිතය පැවැත්වීමයි. දාන සංවිභාගරතෝ - මින් අදහස් කරන්නේ පරික්ෂාකොට නුවණින් මෙහෙයවාගෙන ම දානය දිය යුතු බවයි. සකසා දිය යුතුයි. මනාකොට සකසා දිය යුතුයි. සියතින් ම පිළියෙළ කළ යුතුයි. සියතින් ම පරිත්‍යාග කළ යුතුයි. හොද දෙයක් ම දිය යුතුයි. පරිත්‍යාග කළ යුතුයි. කර්මය හා ඵලය පිළිබඳව විශ්වාසයකින් හා අවබෝධයකින් යුතුවම දිය යුතුයි පරිත්‍යාග කළ යුතුයි.

දානය දෙන්නා

මී ළඟට භාග්‍යවතුන් වහන්සේ දන් දෙන පුද්ගලයන් කොටස් තුනකට බෙදා දක්වා තිබෙනවා. දාන දාස නම් – තමා පරිහරණය කරන දේට වඩා අඩු යමක් හෝ නොවටිනා යමක් දීමයි. පරිත්‍යාග කිරීමයි. දාන සහාය නම් – තමා පරිහරණය කරන දේට හා සමාන දෙයක් දීමයි, පරිත්‍යාග කිරීමයි. දානපති නම් – තමා පරිහරණය කරන දේට වඩා ඉහළම දෙයක් උසස් දෙයක් ම පරිත්‍යාග කිරීමයි. දන් දීමයි. දන් දෙන තැනැත්තා වැස්සකට, වළාකුලකට හා සමානයි. වැසි නැති නියං සමයක රස්නය නසා වැහි වළාකුළු පායා එනවිට මනුෂ්‍යයන්ගේ සිත්වල සකස් වෙන්නේ, සැනසිලිමත් සිතිවිලිය. දන් දෙන තැනැත්තා දකින විට ම ඒ දර්ශනයත් සිතට සුවයක් වෙයි. වැසි වළාකුළු මහ වැසි සේ ඇද වැටී පොළවේ පවත්නා රස්නය නැති කොට කැළිකසල අපවිත්‍ර ඉවත්කොට පොළොව සනහා, ගහකොළ පවා පළ දරන්නට මාර්ගය සැකසීම වගේ දන් දෙන පුද්ගලයෙක් නිසා සියලු සිත්වල ලෞකික වශයෙන් පවත්නා දුක් නිවා, ඒ අයගේ ජීවිත පහසුකොට ජීවත්වන්ට මනුෂ්‍යයන්ට ආයුෂය දීමත්, ජීවිතය දීමත් හා සමානයි. දානයේ ආනිසංස තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් තවත් ආකාරයකින් අප සිහිපත් කරමු.

යම් සේ ගෙයක් ගිනි ගන්නා කල්හි එම ගෙය තුළ වූ යම් භාජනයක් එළියට ගනී නම් එය ඔහුට නැවත ගෙයක් තනා ගත් කල් හි ප්‍රයෝජනවත්වෙයි. යම් දෙයක් එළියට නොගත්තේ නම් එය එහි දී දැවී අළු වී යයි. ඒ අදහසට සමාන කරගෙන මේ දහම් පණිවුඩය අපේ සිත්වල තැන්පත් කර ගත හැකියි. එනම් මේ ලෝකයේ ජාති,ජරා,ව්‍යාධි,මරණ,ශෝක,පරිදේව, කායික දුක්, මානසික දුක්, උපායාස නම් බලවත් සිත් තැවුල්, ප්‍රියවිප්පයෝගය, අප්‍රිය සම්පයෝග යන එකොළොස් ගින්නකින් දිවා රාත්‍රී දෙකෙහි ම දැවෙමින්, පිළිස්සෙමින් සිටින මනුෂ්‍යයන්ට දන් දීමෙන් යමක් එළියට ගත්තේ නම් නැවත භවයක් හට ගත් කල්හි එය මහත් සේ ප්‍රයෝජනවත් වේ.

දුන් දෙය මැනවින් බැහැර කරන ලද්දක් හා සමාන යැයි සඳහන් කළේ ඒ අදහසයි. දුන් දෙය සැප පිණිස පවතියි. නොදුන් දෙය එසේ සැප පිණිස නොපවතී. එය ඇතැම්විට සොරුන් විසින් පැහැර ගනු ලැබේ. ඇතැම් විට රජවරුන් විසින් රාජසන්තක කරනු ලැබේ. එසේ නොමැති වූ විට යම් විටක ගින්නෙන්, ජලයෙන්, වේයන් වැනි සතුන් නිසා විනාශයට පැමිණේ. තමා විසින් දැහැමිව උපයාගත් යමක් වූවත් මරණය හා සමඟින් එය මෙලොව තබා යන්නට සිදුවේ. එසේ නම් උට්ඨාන වීර්යයෙන්, දෑතේ බාහු බලයෙන්, දහඩිය මහන්සියෙන් උපයාගත් ධනය තමාත් සුවසේ භුක්ති විඳිමින්, මව්දෙමව්පියන්ට, අඹු දරුවන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට, ආගන්තුකයන්ට ඉල්ලා පැමිණි කෙනෙකුට හෝ අවශ්‍ය තැනක නිවැරැදි ලෙස පරිත්‍යාග කිරීමෙන් ද ඒ වගේ ම අවබෝධයෙන් යුතුව තෘෂ්ණාව බැහැර කරනවාය කියන අදහසින් දන් දීමෙන් ද, පරිත්‍යාග කිරීමෙන් ද මනා සේ ප්‍රයෝජන ගත හැකියි. එසේ නොමැතිව තමාත් නිසි ලෙස පරිහරණය නොකොට ‘මහිච්ඡතා’ නම් වූ තමන් පරිභෝජනය නොකොට අනුන්ටත් නොදී ඇති කරගත් තෘෂ්ණාවෙන් යුතුව බියෙන්, සැකයෙන් තද ආශාවෙන් යුතුව කල්ගත කරමින් ඒ නිසා ම මානසික පීඩාව මෙන් ම කායික රෝගයන්ට ද ගොදුරු වී අඩු ආයුෂ ඇතිව තෘෂ්ණාවෙන් හා ශෝකයෙන් යුතුව ම මිය යා හැකියි. එපමණක් නොව මරණයෙන් මතු ඔසවාගෙන ගොස් බිම තබනවා සේ සතර අපායේ තැනක ඉපදීමට ද සිදුවිය හැකියි. මේ නිසා දැහැමින් ලද වස්තුව තමාත් මනා සේ පරිහරණය කොට අවබෝධයෙන් යුතුව පරිත්‍යාග කරන්නට දන් දෙන්නට හැකි නම් එය දෙලොව වශයෙන් ම සැප පිණිස හේතුවේ.

දන්දීම නිසා බොහෝ දෙනාගේ ප්‍රශංසාවට පත්වෙනවා. කීර්තිය පැතිරී යනවා. නැවත නැවතත් ධනය ලැබෙනවා. සාමාන්‍ය සමාජ අදහස නම් දෙන්න දෙන්නට නැවත නැවතත් වැඩි වැඩියෙන් ලැබේ යන අදහසමයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා.

පැතුම නිවනය
‘දානං ඛලු සභාවෙන
සග්ගමානුසභෝගදං
පරිණාමවසෙනේව

හෝති මොක්ඛුපනිස්සයං දන් දීම වනාහි ප්‍රාර්ථනා කළත් නොකළත් ස්වර්ග සම්පත් හා මානසික සම්පත් ලබා දෙනවා. එම දන් දීම අවබෝධයෙන් යුතුව සිදු කිරීමෙන්, එනම් අත්හැරීම නම් වූ පරමාර්ථ ධර්මයට එකතුවීමෙන් තෘෂ්ණාව නැතිකොට මෝක්ෂය හෙවත් නිවන ලැබීමට ද හේතුවන බවයි. දන් දීමේ දී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අරමුණ විය යුත්තේ චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධයෙන් ලබන්නා වූ නිර්වාණයමයි. ලෞකික සම්පත් ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙන බව ඉතා පැහැදිලියි.

“ප්‍රීති මුදාරං වින්දති දාථා

ගාරවමස්මින් ගච්ඡති ලෝකේ” දන් දෙන තැනැත්තා මෙලොවදීම උදාර ප්‍රීතියක් ලබයි. මෙලොවදීම උසස් ගෞරවයකට බඳුන් වේ.

ඉහත සඳහන් කළ අයුරින් අවබෝධයෙන් යුතුව දන් දෙන කෙනෙකුගේ සිතෙහි ඇතිවන උදාර වූ ප්‍රීතිය තමන්ට ම මනා සේ වැටහෙනවා. ඒ වගේ ම මහත් සේ සියලු දෙනාගේ ම ගෞරවයට ම යොමුවන බව එහි දක්වා තිබෙනවා.

දීපංකර බුදුරජාණන් වහන්සේ රම්‍ය නගරවාසී වූ උපාසක උපාසිකාවන්ට දන් වැළඳීමෙන් අනතුරුව භුක්තානුමෝදනා වශයෙන් දේශනා කරනලද උතුම් ගාථා රත්න කිහිපයක් ‘බුද්ධවංසට්ඨ කතාවන්හි සඳහන් වෙනවා. එහි සඳහන් අදහස් පෙළ ඔබගේ ශ්‍රද්ධා ගුණය දියුණු වී දන්දීමට සිත් යොමුවීම පිණිස සඳහන් කරන්න කැමැතියි.

දානය මනුෂ්‍යයාට සා පිපාසාදී දුක් නසන්නා වූ ආරක්ෂාවයි. සියලු නැත්හි උපකාරක වන දානය මනුෂ්‍යයනට නෑයෙකි. නොයෙක් දුක් නමැති සතුරන්ට ලංවිය නොහැකි බලකොටුවකි. දුකින් පීඩිත වූ සත්වයන්ට උතුම් වූ පිහිටකි.

දානය දුකින් එතෙර කොට සුගතියට හා නිවනට සත්වයන් පමුණුවන බැවින් නැවකයි කියන ලදී. එනම් නැවක් බැව් උපමා ද කොට කියන ලදී. නානාප්‍රකාර බයවලින් රක්නා බැවින් නගරයකැයි වර්ණනා කරන ලදී.