Print this Article


ගුණ මකා නැණ ඉතිරි කිරීම

ගුණ මකා නැණ ඉතිරි කිරීම

" එදා ළමයින්ට ‘ගුණ’ එන්නත් කළේ බුද්ධගජ්ජය නම්පොත, මඟුල් ලකුණ ආදී පොත පත විෂයය නිර්දේශයට අන්තර්ගත කරමිනි. ලංකාවේ වීරයෝ බිහි වුණේ ඒ පොත පත ඇසුරු කිරීමෙනි. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මුනිදාස කුමාරතුංග, රැපියෙල් තෙන්නකෝන්, ගුණපාල මලලසේකර වැනි විශිෂ්ට චරිත බිහිවුණේ අහම්බයකින් නොවේ.'

චරිත සංවර්ධනයේ දී පරමා දර්ශී චරිත පිළිබඳව ඇසෙන්නට, දකින්නට, කියවන්නට අවස්ථාව ලබා දීම අතිශය වැදගත් වේ. අවාසනාවකට වර්තමානයේ එවැනි චරිත වෙනුවට

ළමා මනසට වැඩි වශයෙන් ග්‍රහණය වන්නේ කාටුන් චරිතය. ඒ අනුව හැදෙන වැඩෙන ළමයාද වැඩිහිටියෙක් වන්නේ ඊටම සරිලන ලෙසය. පැරණි සමාජය සංකීර්ණ නොවුණ නිසා අපේ වැඩිහිටියන් ජීවිතයට ධනාත්මක සිතිවිලි උකහා ගත්තේ චරිත කතා ඇසුරිනි. උදාහරණ ලෙස ‘දුටුගැමුණු’ චරිතය පෙන්වා දිය හැකිය.

මාගම්පත්තුවේ සිට අනුරාධපුරයට පැමිණ එළාර රජු පරදා ලංකාවේ අගරජු බවට පත්වීම, දුටුගැමුණු චරිතයේ අප කවුරුත් දන්නා කෙටිකතාවයි.

එහෙත් ගැමුණු කුමරු එතැනට එන්නේ අතිශය දීර්ඝ දුෂ්කර කාර්යයක් අවසන් කිරීමෙන් පසුවය. ඒ කාර්යභාරයෙහි වූ වගකීම් සහගත බව, කැප කිරීම මොනතරම් ද යන්න තේරුම් ගැනීම එදා දුටුගැමුණු චරිතය කියවූ ළමයින්ට අපහසු නොවුණි.

කාවන්තිස්ස රජතුමා සිය පුත් කුමරුවන් දෙදෙනා සමීපයට කැඳවා බත් පිඬු කොට කවමින් එළාර සමඟ සටනට නොයන ලෙස පොරොන්දු කරවා ගන්නට ගත් උත්සාහය අවසන් වුණේ ගැමුණු කුමරු ආහාරද ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. අනතුරුව යහනට ගොස් වකුටු වී නිදා සිටින කුමරුගෙන් මව, විහාරමහා දේවිය පැමිණ මේ කිමදැයි විමසූ කල්හි කුමරු කීවේ ‘පසෙකින’ ගොළු මුහුද ය. අනෙක් පසින් සොළීන්ය. මම කෙලෙස නම් අත් පා දිග හැර නිදා ගන්නද’යි යනුවෙන් ය.

කාවන්තිස්ස රජු ජාතික සටනට උදවු නොකළේ යැයි, රට ගැන නොසිතුවේ යැයි. ඉන් අදහස් වන්නේ නැත. රජු යුද්ධයකට යාමට අකැමැති වූයේ තවමත් පුත් කුමාරවරු වයසින් මෝරා නැති නිසා ය. අනෙක් අතින් යුද්ධයකට යාමට තරම් ප්‍රමාණවත් හමුදා ශක්තියක් නොතිබුණ නිසාය. චරිත කතාවක මෙවැනි කොටසක් කියවන විට, ඇසෙන විට යම් යම් අවස්ථාවන්හි දරුවන් සම්බන්ධව මවුපියන් දැඩි තීරණ ගන්නේ අනාදරයෙන් නොවන බව වටහා ගන්නට ළමයාට අසීරු නොවේ.

ඉන්පසු ගැමුණු කුමරු තරුණ විය ආසන්නයේ ද එළාර රජු සමඟ සටනට යන්නට පිය රජුගෙන් අවසර ඉල්ලයි. රජු නැවත ද කුමුරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. කෝපයට පත්වන කුමරු, සිය පියාණන්ට ස්ත්‍රී ඇඳුම් පාර්සලයක් යවයි. ඒ ස්ත්‍රියක යන හැඟීම ඇති කරවනු සඳහා ය. කෝප වූ රජු ගැමුණු කුමරු පිටුවහල් කරවීමට සූදානම් වූ මොහොතේ හේ කොත්මලේ ප්‍රදේශයට පැන යයි. පියා මිය යනතුරුම එහි ජීවත් වෙයි. රාජ කුමාරයකුට එවැනි ග්‍රාමීය පරිසරයක ජීවත් වීම පහසු කටයුත්තක් වූයේ නැත. අවශ්‍ය නම් දුෂ්කර දිවියක් ගෙවන පුත් කුමරු නැවත මාලිගයට ගෙන්වා ගැනීමට රජුට ද අවස්ථාව තිබුණි. එහෙත් රජු එසේ කළේ නැත. අත්දැකීම් ලබන්නට සිය පුතුට ඉඩ දුන්නේ ය. ගත වෙහෙසමින්, කුඹුරු කොටමින් එහි ගත කළ ජීවිතය ගැමුණු කුමරුට විශ්වවිද්‍යාලයක් බඳු විය. කොත්මලේ ගැමි ජනතාවගේ සිතුම් පැතුම්, ජීවන රටාව, ඔවුන් යුද්දෙට පොළඹවා ගන්නේ කෙලෙසද යන්න කුමරු අත්දැකීමෙන් අවබෝධ කරගත්තේ ය.

අරමුණක් ජය ගැනීම වෙනුවෙන් විශාල කැප කිරීමක් කරන්නට, කටුක අත්දැකීම් විඳින්නට ඕනෑ බව ජීවිතය රෝස මල් යහනාවක් නොවන බව මේ චරිත කතාව කියවූ ළමයින්ගේ සිතට කා වැදුණි.

අද මේ චරිත කතා අසන්නට කියවන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඇතැම් තැනක ගැමුණු කුමාරයා එළාර නම් සොලී රජ කෙනෙකු පරදා රජ වු බව උඩින් පල්ලෙන් දක්වා තිබෙනවා මිස ඒ රාජ්‍යත්වය දක්වා පැමිණීමේ ගමන් මඟ සිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවන බව ඒත්තු ගන්වා නැත.

ගැමුණු කුමරු එතැනින් නවතින්නේ ද නැත. පිය රජුගේ මරණයෙන් පසු ඔහු සිහසුනට පත් වන්නේද සිය මලණුවන් වන තිස්ස කුමරු සමඟ අභ්‍යන්තර සටනක් කිරීමෙන් පසුවය. ඒ වහාම එළාර රජු සමඟ යුද්ධයට යන්නේ ද නැත. පළමුව මහ වැව් බැඳ, කුඹුරු කරවා, කෙත් වතු සරු කොට, අටුකොටු පුරවා ඉන් අනතුරුවය සතුරන් පරාජය කිරීම ගැන සිතුවේ. මේ එක් චරිතයක එක් පැතිකඩක ධනාත්මක ලක්ෂණයක් පමණි. චරිත සංවර්ධනයට, විවිධ ළමයින් සඳහාම ඇරුණ ජාතික සාහිත්‍යයක් අපට තිබේ. පැරණි අධ්‍යාපනයේ ඒ ජාතක කතා අන්තර්ගතය. ලෝකෝපකාරය, සුභාෂිතය, වදන්කවි පොත අන්තර්ගතය. පැරණි අධ්‍යාපනයේ ගුණ නැණ දෙකම තිබුණි. එහෙත් දැන් ඇතැම් විට නැණ ඉතිරිවී ගුණ ඉවත්කර ඇත. එදා ළමයින්ට ‘ගුණ’ එන්නත් කළේ බුද්ධගජ්ජය නම්පොත, මඟුල් ලකුණ ආදී පොත පත විෂයය නිර්දේශයට අන්තර්ගත කරමිනි. ලංකාවේ වීරයෝ බිහි වුණේ ඒ පොත පත ඇසුරු කිරීමෙනි. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මුනිදාස කුමාරතුංග, රැපියෙල් තෙන්නකෝන්, ගුණපාල මලලසේකර වැනි විශිෂ්ට චරිත බිහිවුණේ අහම්බයකින් නොවේ. එකල අධ්‍යාපනයේ මහිමයෙනි. එවැනි ශ්‍රේෂ්ඨයන් වෙනුවට අද බොහෝ විට බිහි වන්නේ වෘත්තිකයන්ය.

එනම් රස්සාවක් කරන පිරිසකි. ඉංජිනේරුවෙක්,වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් ආදී ලෙසිනි. එහෙත් පැරණි අධ්‍යාපනයෙහි බිහි වූ වෘත්තිකයා ඇතුළේ මහත්මයෙක් සිටියේ ය. විශිෂ්ට මහත්මා ගුණ ඇති පුද්ගලයෙක් සිටියේ ය. අදට ද, අනාගතයටද ඇවැසි එවැනි බර සාර චරිතය