Print this Article


පුද්ගලික දානය සහ සඟ සතු දානය

පුද්ගලික දානය සහ සඟ සතු දානය

"වීතරාගී වූ යමෙක් දැහැමින් යමක් ලැබ පැහැදුණු සිත් ඇතිව මහත් වූ කර්මය හා ඵලය අදහාගෙනම වීතරාගයන් විෂයෙහි එනම් කෙලෙසුන් නැසූ උතුමන් විෂයෙහි දන් දෙයි ද ඒ කාන්තයෙන් ම ඒ දානය ආමිස දානයන් අතුරෙන් ලැබ අග්‍රවේයැයි දේශනා කරනවා"

ඉල් මස පසළොස්වක පෝදා සිට අප සාකච්ඡා කරමින් පැමිණියේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්නාසකයේ විභංග වර්ගයට අයත් දක්ෂිණා විභංග සූත්‍ර දේශනාව පිළිබඳවයි. අද අප පුද්ගලිග දාන දහහතරෙහි ආනිසංස සහ සාංඝික දාන හත හා එහි ආනිසංස පිළිබඳව සාකච්ඡා කරමු.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. ආනන්දය, එසේ සඳහන් කළ දහ හතරක් වූ පෞද්ගලික දානයන් කෙරෙහි, තිරිසන් සතුන් කෙරෙහි දන් දී සියක් ආනිසංස ඇති දානයක් දීමක් බලාපොරොත්තු විය යුතුය. එනම් තිරිසන් සතා කෙරෙහි, යමක් දීමෙන් සියක් අනුසස් ඇත්තේය යන අදහසයි.

පෘතග්ජන වූ දුශ්ශීලයාට දන් දීමෙන් දහසක් අනුසස් ලැබිය හැකි බවයි. පෘතග්ජන එනමුත් සිල්වතුන් කෙරෙහි දන් දීමෙන් සිය දහස් අනුසස් ලැබිය හැකි බවත්, කාමයෙහි වීතරාගී වූ එනම් කාමයන් හි නො ඇලුණු බාහිර අනුසසුනක තවුසෙක් කෙරෙහි ද දන් දීමෙන් කෙළ ලක්ෂයක් අනුසස් ලැබිය හැකි බවත්, සෝවාන් ඵල පසක් කරන්නට පිළිපන්නා වූ කෙරෙහි එනම් සෝවාන් ඵලය ලබනවා යන අදහසින් මාර්ගයට බැස ගත්, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නා වූ පුද්ගලයා කෙරෙහි දන් දී අසංඛ්‍යෙය, අප්‍රමෙය්‍ය අනුසස් ලැබිය හැකි බවය.

සෝවාන් වූ පුද්ගලයා කෙරෙහි දන්දීමෙන්, සකදාගාමී ඵලය පසක් කරන්නට පිළිපන්නවුන් කෙරෙහි දන් දීමෙන්, සකදාගාමී බවට පත් වූ පුද්ගලයා කෙරෙහි දන් දීමෙන්, අනාගාමී ඵලය අවබෝධ කර ගන්නට මාර්ගයට පිළිපන් වූ පුද්ගලයා කෙරෙහි දන් දීමෙන්, අනාගාමී පුද්ගලයා කෙරෙහි දන් දීමෙන්, රහත් ඵල පසක් කරන්නට මාර්ගයට පිළිපන්නා වූ පුද්ගලයා කෙරෙහි දන් දීමෙන්, තථාගත ශ්‍රාවක වූ රහතුන් වහන්සේ කෙරෙහි දන් දීමෙන්, පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දන් දීමෙන්, තථාගත අරහත් සම්‍යයක් සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි දන් දීමෙන් එනම් දක්ෂිණාවක් සිදු කිරීමෙන් ලැබෙන අනුසස් පිළිබදව වචනයෙන් සදහන් කළ නොහැකි තරම් අප්‍රමාණ අනුසස් ඇති බවය.

මින් අදහස් කරන්නේ තිරිසන් සතෙකුට යමක් දීමෙන් සියක් අනුසස් ලැබේ නම් මනුෂ්‍යයෙක් වූ පෘතග්ජන දුශ්ශීල පුද්ගලයා කෙරෙහි දන් දී දහසක් අනුසස් ලබන්නට පුළුවනි නම් පෘතග්ජන සිල්වතා කෙරෙහි දන් දී සිය දහස් අනුසස් ලබන්නට පුළුවනි නම් කාමයෙහි නො ඇළුනු බාහිර අනුසසුනක තවුසා කෙරෙහි දන් දීමෙන් කෙළ ලක්ෂයක් අනුසස් ලබන්නට පුළුවනි නම් මාර්ගඵල අවබෝධ ලැබූ උතුමන්ට පසේ බුදුරජාණන් වහන්සේ නමකට හා තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට දක්ෂිණාවක් සිදු කිරීමෙන් ලැබෙන අනුසස් පිළිබඳව කෙසේ නම් ප්‍රමාණ කරන්නට හැකි ද යන අදහසයි. අනන්ත වූ එසේ නැතිනම් අසංඛෙය්‍ය වූ අප්‍රමෙය්‍ය වූ යන වචනවලින් දේශනාවේ ම සඳහන් කරන්නේ එම අදහසමයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ පැහැදිලි කොට දේශනා කරනවා. ආනන්දය, මේ සංඝගත දක්ෂිණාවෝ සත් දෙනෙකි. කවර හතක් ද යත්, * බුද්ධ පුම්‍රඛ උභතෝ සංඝයා කෙරෙහි දන් දෙයි. මේ පළමුවන සංඝගත දක්ෂිණාවයි. මෙහි උභතෝ සංඝයා නම් භික්ෂූ භික්ෂුණී යන දෙපිරිසමයි.

* තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයා කෙරෙහි දන් දෙයි.

* භික්ෂු සංඝයා කෙරෙහි දන් දෙයි.

* භික්ෂුණී සංඝයා කෙරෙහි දන් දෙයි.

* මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙපමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැතිව නිමන්ත්‍රණය කොට පැමිණියා වූ භික්ෂූ භික්ෂුණීන්ට දෙන දානය.

* එසේ නිමන්ත්‍රණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය.

* එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය යි.

ආනන්දය, අනාගත කාලයෙහි ග්‍රෝත වූ ද එනම් යම් යම් දෘෂ්ඨීන්ට, කුලයන්ට, කොටස්වලට එකතු වූ දුශ්ශීල වූ පාප ස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් බිහි වෙනවා. එනම් කහ නූලක් අතේ බැඳගත් දුශ්ශීල, පව්කාර ස්වභාව ඇති පුද්ගලයෙක්ය යන අදහසයි. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා නමින් දන් දෙනවා. ආනන්දය, මම එකල්හිත්, සංඝගත දක්ෂිණාව අසංඛෙය්‍ය, අප්‍රමෙය්‍ය අනුසස් ඇති යැයි කියමි.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව නම් ආනන්ද, “සංඝගතං දක්ඛිණං අසංඛෙය්‍යයං අප්‍රමෙය්‍යයං වදාමි” ආනන්දය, මම කවර අයුරකින් වූව ද සංඝගත දක්ෂිණාවෙන් පෞද්ගලික දානය මහා පරතෙර යැයි නොකියමි. භාග්‍යවතුන් වහන්සේ මෙහි සඳහන් කරන්නේ අප මුලින් සඳහන් කළ පෞද්ගලික දාන දහ හතරට වඩා සංඝගත දක්ෂිණාවෝ හතම උතුම් බවයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. ආනන්දය දක්ෂිණා විශුද්ධී හු හතර දෙනෙකි. එනම් දානය පිරිසුදුවීම ආකාර වශයෙන් හතරයි. එනම් පිරිසුදු දාන හතරයි. කවර හතරක් ද?

ආනන්දය, ප්‍රතිග්‍රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණාව යනු කුමක් ද? ආනන්ද, මෙහි දී දායකයා සිල්වත් වේ. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වේ. එනමුත් දානය ලබන පිරිස නම් වූ ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වෙති. පාප ධර්මයන්ගෙන් යුක්තවෙති. ආනන්දය මෙසේ හෙයින් ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට පිරිසුදු වන දක්ෂිණාවක් තිබේ යැයි පැහැදිලි කළ හැකිය.

ආනන්දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතුකොට විශුද්ධ හෙවත් පිරිසුදු වන දක්ෂිණාව නම් කුමක් ද? දායකයා දුශ්ශීල වෙනවා. පාප ධර්මයන්ගෙන් යුක්ත වෙනවා. එනමුත් ප්‍රතිග්‍රාහකයන් හෙවත් දානය ලබන පිරිස සිල්වත් වෙනවා. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙනවා.

ආනන්දය, දායකයා හේතුකොට ද ප්‍රතිග්‍රාහකයන් හේතුකොටගෙන ද විශුද්ධ නොවන හෙවත් පිරිසුදු නොවන දක්ෂිණා මොනවාද? මෙහි දායකයන් ද දුශ්ශීලවේ. පාප ධර්මයන්ගෙන් යුක්ත වේ. ප්‍රතිග්‍රාහකයෝත් දුශ්ශීල වේ. පාප ධර්මයන්ගෙන් යුක්ත වේ. ආනන්දය, මෙසේ දායකයා හේතුකොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නොවන දානයක් පවතිනවා.

ආනන්දය, දායකයා හේතුකොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වෙන දක්ෂිණාව නම් කුමක් ද? මෙහි දායකයා ද සිල්වත් වෙනවා. කල්‍යාණ ධර්මයන්ගෙන් සමන්නාගත වෙනවා. ප්‍රතිග්‍රාහකයෝ ද සිල්වත් වෙනවා. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙනවා. ආනන්දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතුකොට ද විශුද්ධ හෙවත් පිරිසුදු වන දක්ෂිණාවකි.

මේ දක්ෂිණා විශුද්ධි හු එනම් පිරිසුදු දාන හතර පිළිබඳව මෙලෙස භාග්‍යවතුන් වහන්සේ මනා කොට දේශනා කළහ. අප සුගතයන් වහන්සේ මෙලෙසින් දේශනා කර නැවතත් අන්‍ය වූ උතුම් ගාථා රත්න පහක් දේශනා කරනවා. එහි සරල අදහස මෙයයි.

පළමු ගාථා රත්නයෙහි අදහස සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ ප්‍රසාද වූ එනම්, පැහැදුණු සිත් ඇතිව මහත් සේ කර්මය හා ඵලය අදහාගෙන දුශ්ශීලයන් විෂයෙහි දන් දෙයි ද ඒ දන් දීම දායකයා නිසා පිරිසුදු වෙයි.

දෙවැනි ගාථා රත්නයෙහි අදහස දුශ්ශීල වූ යමෙක් අධර්මයෙන් යමක් ලැබ නොපැහැදුණු සිත් ඇතිව මහත් වූ කර්මඵල නො අදහාගෙන එනමුත් සිල්වතුන් විෂයෙහි දන් දෙයි ද? එම දක්ෂිණාව ප්‍රතිග්‍රාහකයන් නිසා පිරිසුදු බවට පත්වෙයි.

තුන්වන ගාථා රත්නයේ අදහස දුශ්ශීල වූ යමෙක් අධර්මයෙන් යමක් ලැබ නොපැහැදුණු සිත් ඇතිව මහත් වූ කම්ඵල නො අදහාගෙන දුශ්ශීලයන් විෂයෙහි දන් දෙයි ද එම දානය මහත්ඵල යැයි නොකියමි.

හතරවන ගාථා රත්නයේ අදහස සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන් සිත් ඇතිව මහත් වූ කම්ඵල අදහාගෙන සිල්වතුන් විෂයෙහි දන් දේ ද ඒකාන්තයෙන් ඒ දානය මහත්ඵල ඇතැයි කියමි.

යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්නචිත්තෝ
අභිසද්දහං කම්මඵලං උළාරං
තං වෙ දානං විපුලඵලන්ති බ්‍රෑමි

වීතරාගී වූ යමෙක් දැහැමින් යමක් ලැබ පැහැදුණු සිත් ඇතිව මහත් වූ කර්මය හා ඵලය අදහාගෙනම වීතරාගයන් විෂයෙහි එනම් කෙලෙසුන් නැසූ උතුමන් විෂයෙහි දන් දෙයි ද ඒ කාන්තයෙන් ම ඒ දානය ආමිස දානයන් අතුරෙන් ලැබ අග්‍රවේයැයි දේශනා කරනවා.