Print this Article


වරද නෑසු ගුරු අම්මා

වරද නෑසු ගුරු අම්මා

" එදා මෙදා තවමත් මම රේල් බසයක නොගියෙමි. මම සති ගණනක්, මාස ගණනක් මේ දෙව් දුවක් වැනි ගුරු මව සොයා අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල රැක සිටි වාර අනන්තය.'

කුමාරකන්දේ රේල් ගේට්ටුව අසල රේල් බසය නවත්වන නමුත් ටිකට් ගත යුත්තේ රේල් බසය තුළ සිටින ටිකට් දෙන නිලධාරියාගෙන්ය. රේල් බසයේ ඉදිරි මැදිරියේ ටිකට් දෙන කෙනෙකු නොමැති බවත්, එය වාර ප්‍රවේශපත් ගත් අයට පමණක් බවත්, දෙවන මැදිරියේ පමණක් ටිකට් දෙන කෙනෙකු සිටින බවත් මම දැන සිටියේ නැත.

එදින උදේ පාන්දරින් පාසල්යාම සඳහා පළමුවරට කුමාරකන්ද රේල් ගේට්ටුව ළඟ නතර කරන ලද රේල් බසයේ ඉදිරි මැදිරියට ගොඩ වුණෙමි. අවශ්‍ය මුදලද අත තබාගෙන ටිකට් දීම සඳහා නිලධාරියා එන තුරු බොහෝ වේලා බලා සිටියෙමි. නමුත් ඔහු පැමිණියේ නැත. මේ වන විට හික්කඩුව දුම්රිය ස්ථානයද පසු වී රේල් බසය අම්බලන්ගොඩට පැමිණෙමින් තිබුණි.ටිකට් පතක් නොමැතිව අම්බලන්ගොඩ දුම්රිය පොළෙන් පිටතට පැමිණිය නොහැකි වන නිසා මම මැදිරියේ ටිකට් දෙන තැනැත්තා සොයමින් ඉදිරියට ගියෙමි. මොහොතකින් නිල ඇඳුම් ඇඳගත් නිලධාරින් කීපදෙනෙක් පැමිණ මගෙන් ටිකට් පත ඉල්ලා සිටියහ.සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව අතේ තිබූ මුදල ඉදිරිපත් කොට ටිකට් පතක් ඉල්ලා සිටියෙමි.

මේ අවස්ථාවේ එක් නිලධාරියෙකු මගේ පොත්මිටිය සහිත අත දඬු අඬුවකින් මෙන් තරයේ අල්වාගෙන ‘හැමදාම හොර මැරකම් කරන්න බෑ. අද තමයි කොල්ලා හොඳ පාඩමක් ඉගෙන ගන්නේ ‘යි ඉතා අපහාසාත්මක බස් කියමින් මා සතෙකු මෙන් ඇදගෙන ගොස් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිගේ කාර්යාලයට භාර දුන්නේය. මම බැගෑපත් වෙමින්, හඬමින් සත්‍ය සිද්ධිය ඔවුනට පැවසුවෙමි. එහෙත් කිසිවෙකු මගේ කීම පිළිගත්තේ නැත. මේ වන විට දුම්රියේ පැමිණි පිරිස මා හඬමින් සිටින දෙස බලමින් නොයෙකුත් උපහාසාත්මක කතා කියමින් ගිය අතර මා රජයේ ශිෂ්‍යත්වලාභියෙකු බව දැනගත් එක් පුද්ගලයෙකු,

‘තමුසෙගෙ ශිෂ්‍යත්වෙත් අදින් පස්සෙ පොලිසියට ගෙන ගියහම ඉවරයි’

පවසමින් රවාගෙන ගිය හැටි හොඳට මතකය.

මේ අතර එක් තරුණ ගැහැනු ළමයෙකු පොත් මිටියක් හා අත් බෑගයක් සහිතව, මා පසුකර ඉදිරියට ගමන් ගත් අතර, කාමරයෙහි වැලපෙමින් සිටින මා වෙත එබිකම් කර බලා දුම්රිය ස්ථානාධිපතිගෙන් ‘මේ ළමයා හඬන්නේ ඇයි දැ’යි ඇසුවාය.

‘ටිකට් නැතුව කෝච්චියෙ ගිහිල්ලා අල්ලාගත්ත පල් හොරෙක් මිස්’ ස්ථානාධිපතිගේ කීම අනුව ඇය ගුරුවරියක් බව මට වැටහුණි. ‘දැන් මොකද කරන්න යන්නේ? ‘ ඇය ස්ථානාධිපතිගෙන් විමසුවාය. ‘මේ කොලුවාට ගාල්ලේ සිට අම්බලන්ගොඩ දක්වා රේල් ගාස්තුව මෙන් දෙගුණයක් හා රුපියල් දහයක දඩයක් ගෙවන්න ඕන. ඒකා ළඟ සත ගාණයි තියෙන්නෙ . ඉතින් අපි පොලීසියට භාර දෙනවා.”

1950 දශකය වන විට රුපියල් දහයක් යනු විශාල මුදලකි. තරුණ ගුරිවරිය මා දෙස ආදරයෙන් බලා සිටියා මිස මගෙන් සිද්ධිය පිළිබඳව කිසිවක් නොවිමසුවාය. ඇය තම අත්බෑගය හැර මුදල් ගෙන දුම්රිය ස්ථානාධිපතිට ගෙවා මොහොතකින් පිටව ගියාය. මට නිදහස ලැබුණි. ස්තුති කිරීමට හෝ දණගසා වැඳීමට සොයන විට ඇය අසලකවත් නොසිටියාය.

මම එදා තරමක් ප්‍රමාද වී පාසල වෙත ගියෙමි. එදා මෙදා තවමත් මම රේල් බසයක නොගියෙමි. මම සති ගණනක්, මාස ගණනක් මේ දෙව් දුවක් වන් ගුරු මව සොයා අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල රැක සිටි වාර අනන්තය. මාස කිහිපයකට පසුව මට දැනගන්නට ලැබුණේ ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉතා ධනවත් පවුලක තරුණියක් බවත්, ළඟ දී ගුරු පත්වීමක් ලැබුණ බවත්, තම නිවසේ සිට රේල් පාර දිගේ පැමිණ දුම්රිය වේදිකාවට ගොඩවී පාසල වෙත යන බවත්ය. ඇය මට එදායින් පසු කිසිදාක දකින්නට නොලැබුණේ මෙම සිද්ධිය වී සති කීපයකින් ඇයට ඉතා තද බල අසනීපයක් සෑදී එයින්ම මියගොස් සිටි නිසාය. තවමත් සංසාරේ සිටී නම් මම ඇයට පින් අනුමෝදන් කරමි.

මේ සත්‍ය කථාව පාඨක ඔබට ඉදිරිපත් කළේ තරුණ දූ පුතුන්ට මෙයින් ගත හැකි පාඩම් ගණනාවක් ම එහි අන්තර්ගත වී ඇති නිසාය.

පළමුවැන්න නම් අපට උපකාරයක් කිරීමට අවස්ථාව පැමිණි විට සමාජ ප්‍රතිචාරය කුමක් වුවත් එය කරුණා, මෛත්‍රිය පෙරදැරිව වහාම කරනවා මිස, තර්ක විතර්ක කරමින්, ප්‍රචාරය කරමින්, උපකාර ලබන්නා හෙම්බත් කරමින්, තර්ක , විතර්ක ප්‍රශ්න කරමින් එය නොකළ යුතු බවය. උපකාර කළ පසු ස්තුති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් නොසිටීම අනිත් උදාර ගුණයකි.

මට උදව් කළ, මගේ ජීවිතයම ආලෝකමත් කළ ඒ ගුරු මව මා ඇත්තටම වංචාවක්, හොරකමක් කළ දරුවෙකුද, අහිංසක දරුවෙකුද යන්න දැන නොසිටියාය. මගෙන් ප්‍රශ්න කරමින් හෝ වෙනත් ක්‍රමයකින් එය දැනගැනීමටද ඇයට අවශ්‍යතාවක් නොවීය. උදාර ගුණය යනු එයයි. ඇයට අවශ්‍ය වූයේ විශාල කරුණාවකින් හා දයාවකින් මේ අඬන වැළපෙන දරුවා නිදහස් කිරීම පමණී.

දෙවැනි කරුණ නම් මා දෙස බලමින් පිටව ගිය බොහෝ දෙනා වචනයෙන් හෝ මට හිංසාවක් කරමින් නිකරුනේ පවු රැස් කර ගත්තෝය.

අපේ තරුණ දු පුතුනට මේ ඇසුරෙන් තවත් දේ උගත හැකිය. යම් පුද්ගලයෙකු ඔබ විසින් වරදකරුවෙකු හැටියට තීරණය කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුය. කෙතරම් සාක්ෂි තිබුණත්, ඒවා ඔප්පු වුණත් සමහරවිට ඔබ විසින් වරදකරුවා කරන්නේ සත්‍යවාදී අහිංසකයෙකු විය හැකිය.

අප කිසිවෙකුගේ වරද දැකීම හා වැරදිකරුවෙකු ලෙස හංවඩු ගැසීම නොකළ යුතුය. අපේ දත්තයන් හා නිගමනයන් වැරදි වන්නට පුළුවන. එම නිගමනයන් පසුව වැරදි බව හෙළි වීම නිසා ජීවිතය පුරා පසුතැවිලි වීමටද සිදුවේ.

මේ නිසා අපි කෙනෙකු ගැන, සිද්ධියක් ගැන ඉක්මන් තීරණයක් නොගෙන, බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදි ගුණ ධර්මවල පිහිටා ඒ තැනැත්තා හෝ සිද්ධිය දෙස බැලීමට අද පටන් පුරුදු වෙමු. අනුන්ගේ වැරදි අඩුපාඩු නොසෙවීමටත් අපේ අතින් සිදු විය හැකි වැරදිවලින් පමණක් වැළකීමටත් පුරුදු වෙමු.