Print this Article


ශ්‍රී මහා බෝධි පුරාණය -22: මහා බෝ රකිනා පරම්පරා

මහා බෝ රකිනා පරම්පරා

අෂ්ඨඵල බෝධීන් වහන්සේත්, දෙතිස්ඵල බෝධීන් වහන්සේත් කොපමණ පූජනීයද, ආනුභාව සම්පන්නද, කොපමණ සෘද්ධිබල සහිතද කියා අපි මීට පෙර ලිපිවලින් ඉගෙන ගතිමු. මෙසේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පෙරටුව සම සතළිස් බෝධීන් වහන්සේ පරිවාර ලෙස පිහිටමින් මේ ලක්දිව බුදු සසුනට මුල් බැස ගැනීම සිදුවිය.

සිංහල බෝධි වංශයට අනුව දෙවනපෑතිස් රජු බුදුරජාණන් වහන්සේට අයිති මේ ලක්දිව බුදු සසුනටම අයිතිය පවරමින් දාගැබ් පිහිටු වීය. ථුපාරාමය පෙරටුව යෝජිත ස්තූප ධාතුන් වහන්සේ නිධන් කරමින් උපහාර මැද බැබළිණි. විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් හා හතළිහක් පමණ බෝධීන් වහන්සේ පිහිටුවා ඒ ඒ විහාර ගම්බිම් පවරා දුන්නේය. ඒ අනුව මේ ලක්දිව ධරණීතලය අප පය ගසා සිටින මහ පොළොව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා විය. ඒ නිසාම බෝධී වංශයේ මෙවැනි විස්තරයක් සඳහන් වෙයි.

එසේ හෙයින් ‘මේ ලක්දිව සෑම ඵලපත්‍ර පුෂ්පාදී ඇද්ද ඒ සියල්ලම පළමුවෙන් (ධාතූ සෑයට, බෝධීන් වහන්සේට) පුද නොකොට කෑ කල පව් සිදු වෙයි’ යයි දත යුතු වශයෙනි. මේ කියමන ලක්වැසි සියලු දෙනා අවධාරණයෙන් නිතර සිහිකළ යුතු කරුණකි. එකල ජනයා බුද්ධ ශාසනය කෙරෙහි කොයිතරම් යටහත් පහත්ව සිටියාද යන්න මෙකරුණින්ම හිතා ගත හැකිය.

අද තවත් විශේෂ වූ කාරණයක් ගැන අවධානය යොමු කරන්න අපි කල්පනා කළෙමු. ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදන ලද අපූරු පූජෝපහාර විධි හා ඒ සඳහා නොයෙක් කුලවල පිරිස් වෙන් වූ ආකාරය පිළිබඳවයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බුද්ධාදී උත්තමයන්ගෙත් රාජ රාජ මහා අමාත්‍යාදීන්ගෙත් අපමණ උපහාරයට ලක්වූහ.

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරා සතියක් ඉඳුනිල් නෙත් සඟලින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව සිදුකළ සේක. බුදු සමිඳුගේ ජීවිතයේ ඒ සා කාලයක් යමක් දෙස මසැසින් බලා සිටි සේක්නම් එවැනි වෙන දෙයක් නැත.

සම්බුදු උපහාරය

උතුම් රහතන් වහන්සේත් ආර්යන් වහන්සේත් නොයෙක් සැදැහැවත් කුල පුත්‍රයනුත් මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වය සිදු වූ ස්ථානයයි සිතමින් නොයෙකුත් උපහාර සිදු කළහ. ධර්මාශෝක රජතුමා දඹදිව් තලය කී වතාවක්නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළාද? දෙවන පෑතිස් රජතුමා ලක්දෙරණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළේය. එදා මෙදා තුර කොතරම් වන්දනා පූජා සත්කාර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදුවෙනවාද? එපමණක් නොව දෙව් බඹුන්, මහපොළොව කම්පා වීමෙන්ද උපහාර සිදුවිය.

විශේෂ වූ කරුණ වන්නේ ධර්මාශෝක රජු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උපස්ථාන හා ආරක්ෂාව සඳහා රාජ කුමාරවරුන් අට දෙනෙකුන් ප්‍රධාන නොයෙක් කුලවල පිරිස් එවීමයි. ඒ රාජ පිරිස මිහිඳු මහරහතන් වහන්සේගේ මාමාවරුන්ය. ඒ කියන්නේ විදෙහ බිසවගේ සහෝරදයෝ අට දෙනා එදා ලක්දිවට එව්වේය. දෙවන පෑ තිස් රජු බෝධීන් වහන්සේගේ උපස්ථාන හා ආරක්ෂාවට මේ රජ පිරිස එවීම පිළිබඳව අපමණ සතුටට පත් විය.

ප්‍රධාන රාජ කුමාරවරු අටදෙනා

එදා පැමිණි රාජ පිරිස අතර බෝධිගුත්ත, සුමිත්ත, චන්ද්‍රගුප්ත, දේවගුප්ත, ධර්ම ගුප්ත, සුරිය ගුප්ත ගෝතම, ජුතින්ධර යන රජ කුමරවරු අට දෙනා ප්‍රධාන විය. රජතුමා මේ පිරිසට කළ ආගන්තුක සත්කාරය හරිම පුදුම සහගතය. ඒ ගැන සවිස්තර බෝධි වංශයේ තිබේ.ඒ රාජ කුමාරවරුන්ට රජ කෙනෙකුට කරන සියලු සත්කාර කරවීය. රාජ පෙරහර, රාජ වස්ත්‍ර, රාජ ආභරණ තමාසේ ලබා දී මහා සංඝයා වන්දවා, රජතුමාද වන්දවා තවත් දේ ලබාදී මඟුල් බෙර වයා, ඔටුනු පළඳවා මඟුල් ඇතු පිට හිඳුවා ඡත්‍ර අල්වා පෙරහර කරවා මාළිඟා ලබාදී සත්කාර කළේය. පළමුවෙන්ම මහා පෙරහරින් ඒ පිරිස සමඟින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කළේය. මෙහිදී බෝධිගුත්ත කුමාරයා ප්‍රධාන විය. සුමිත්ත කුමාරයා පෙරටුව සෙසු පිරිසට තානාත්තර ලැබිණි. ඒ සෑම තනතුරක්ම බෝධීන් වහන්සේට කරන උපහාර පූජාවන්මය. ඒ තනතුරු ගැන යම් දැනීමක් තිබිය යුතු හෙයින් සුළුවෙන් විස්තර ඉගෙන ගනිමු.

ජය මහ ලේනාවෝ තනතුර (බෝධි ගුත්ත සහ සුමිත්ත කුමරු) මේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාර ප්‍රධාන ලේකම් තනතුරයි. පෙරහර පුද පූජා සහිතවද ඒවා සොයා බලමින්ද මහාබෝධීන් වහන්සේගේ සියලු ආරක්ෂාවන්ද සංඝයා හා කතිකා කරමින් කටයුතු කිරීමද ඊට අයත්ය. එහිදී බෝධි ගුත්ත කුමාරයාත් සුමිත්ත කුමාරයාත් ඒ තනතුර ලැබීය. අදටත් ඒ පරම්පරාව පැවත එයි. මහාබෝධි භාරකාර අටමස්ථානාධිපති නා හිමියන් හා බෝධිගුත්ත පරම්පරාවේ ජය මහා ලේනාවෝ බෝධීන් වහන්සේ සම්බන්ධව කටයුතු කිරීම සිදුවෙයි.

මලය රජ තනතුර (චන්ද්‍රගුප්ත කුමරු) මහා බෝධි උපහාර පූජාවේ මඟුල් බෙර ගැසීම ඊට අයත් කටයුත්තයි. විල්බා දනව්ව ඔහුට ප්‍රවේණි කොට දුන්බව සදහන් වෙනවා.

මහරැටි තනතුර (දේවගුප්ත කුමරු) මහාබෝධි උපහාර පූජාවේ ස්වර්ණ පැන් කෙන්ඩිය මඟුල් ඇතුපිට තබා නුවර පැදකුණු කොට රැගෙනවිත් පූජාව පිණිස පිළියෙල කිරීම ඊට අයත් කටයුත්තයි. චතුරස්සි කියන ජනපදය ඔහුට ආදායම් පිණිස ලබාදුන් බව සඳහන් වෙයි.

මෝරිය සිටු තනතුර (ධර්ම ගුප්ත කුමරු)ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ උපහාර පූජාවේ සක් පිඹීම ඊට අයත් කටයුත්තයි. මෝරිය ජනපදය ඔහුට පවරා දුන්නේය.

කෝතුරු ගානා තනතුර (සූරිය ගුප්ත කුමරු ) ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ උපහාර පූජාවේ රන් පැන් කෙන්ඩියෙන් පිරිත් පැන් බෝධීන් වහන්සේට ඉසීම සිදු කිරීම භාර විය.

සත් ගන්නා තනතුර (ගෝතම කුමරු )ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ ගේ මුදුනෙහි ධවල ඡත්‍රය ඇල්ලීම ඔහුට භාරවිය.

අරක්මේනා තනතුර ( ජුතින්ධර කුමරු) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උපහාර පූජාවන්හිදී ආරක්ෂක විධි විධාන සංවිධානය කිරීම මේ තනතුරට අයත් කටයුත්තයි. මේ ආකාරයට රාජ කුමාරවරු අට දෙනාට ප්‍රධාන තනතුරු දී අවශේෂ අයට අනෙක් තනතුරු ලබා දුන්නේය.

මහ බෝ රකින්නෝ

කඩුගන්නා තනතුර – දල්ලනේමි සිටු කුමරු - රාත්‍රිය පුරා කඩුව අතින්ගෙන බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම, බමුණුනා තනතුර – ප්‍රධාන බ්‍රහ්මණයා- නිතර නිතර පැමිණ බෝධීන් වහන්සේට සෙත් ශාන්ති කිරීම, උතුරු පස්නා තනතුර – ප්‍රධාන කෙළඹියා හට මහා බෝධි උපහාර පූජාවේ රන් ධජ ,රිදී ධජ ආදි ධජ දැරීම, මහ වෙළෙදනා තනතුර – ප්‍රධාන වෙළෙන්දාහට පිරිවර වෙළඳුන් සමඟ අබ මාලා හා සුවඳ දුම් හා මාලා පූජා කිරීම, මහා බෝ රකිනා තනතුර – ප්‍රධාන දුන්වායා හට පිරිවර දුන්වායන් සමඟ මහා බෝධියට කපුටන් නොපැමිණීම පිණිස ආරක්ෂා කිරීම, සරස් නා තනතුර - සරස්කුල ප්‍රධානියාහට පිරිවර සමඟ හරසුන් ගෙන සේසත් දැරීම, කලිකපුනා තනතුර – කලිගුකුලේ ප්‍රධානියා හට පිරිවර සමඟ නිතර නිතර අලුත්මල් පිදීම, කපුනා තනතුර – කපු කුලේ ප්‍රධානියාහට පිරිවර සමඟ මහා බෝධියට ලද පස්මල් පිළියෙල කිරීම, දොරනා තනතුර - බත් කුලේ ප්‍රධානියා හට මහා බෝධි මලුවේ දොරකඩ ආරක්ෂා කිරීම, පෙහෙර කරුනා තනතුර - පෙහෙරකරු කුලේ ප්‍රධානියා හට පැන් පෙරන්නට පෙරහන් කඩවල් හා අවශ්‍ය නූල් ආදිය සැපයීම, කුඹල් කරුනා තනතුර – කුඹල්කැලේ ප්‍රධානියා හට මහා බෝධි පූජාවේ භාජන තැනීම, මල් කරුනා තනතුර – මාලාකාර කුලේ ප්‍රධානියාහට මල් වඩම් හා මල්මාලා ගෙතීම, ගදකරුනා තනතුර – ගන්ධකාර කුලේ ප්‍රධානියාට මහා බෝධීන් වහන්සේට සුවඳ වර්ග පිළියෙල කිරීම, මහා සීනා තනතුර - ගෙත්තම් කුලේ ප්‍රධානියා තම පිරිවර සන්නාලියන් සමඟ ධජ ආදිය වස්තු ආදිය පිළිවෙල කිරීම, මුළු රකිනා තනතුර – අරක්කැමි කුලේ ප්‍රධානියා හට මහා බෝධි පූජාවේ භෝජන හා බත් පිළියෙල කිරීම, කඹුරනා තනතුර – කුඹුරුකැලේ ප්‍රධානියා හට මහා බෝධින් වහන්සේගේ පිලල් ආදිය ඉවත් කිරීම, ලෝකරුනා තනතුර - ලෝකරුනා කුලේ ප්‍රධානියාහට රන්, රිදී කැටපත් කරවීම, අටතෙලිනා තනතුර - ස්වර්ණකාර කුලේ ප්‍රධානියාහට රන්වැට රිදී වැට, රන් රිදී භාජන කරවීම, ලක්දිව් මහා ඇදුරුනා තනතුර – වඩුකුලේ ප්‍රධානියා හට මහා බෝධි පූජාවේ වියන් බැඳීම හා රුවන් මණ්ඩප තැනීම, මුදුන් කරුවනා තනතුර - සිත්තර කැලේ ප්‍රධානියා මහා බෝධි මුදුනේ බැඳීමට විසිතුරු වියන් තැනීම, මහා පළවානා තනතුර – ගන්ධර්ව කුලේ ප්‍රධානියා හට මහා බෝධි පූජාවේ හේවිසි ගැසීම, සත් කරුණා තනතුර – ඡත්‍රකර කුලේ ප්‍රධානියා හට පිරිවර සමඟ සේසත් කරවීම, උයන් ගෙවු වැදෑරුම්නා තනතුර – උද්‍යානපාල කුලේ ප්‍රධානියා හට මහා බෝධියට පුදන මල් රුක් රෝපණය කරවීම.

මෙලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උපස්ථාන ඉහත තනතුරු දැරූවන් විසින් ආදර ගෞරවයෙන් සිදුකරන ලදී.


පසුගිය සතියෙන්: ශ්‍රී මහා බෝධි පුරාණය -21: දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ