Print this Article


බුදු දහමේ පණිවුඩය ලොවට ගෙන යෑමට බෞද්ධ සිනමාවට කළ හැකි මෙහෙවර සුවිශාලයි

බුදු දහමේ පණිවුඩය ලොවට ගෙන යෑමට බෞද්ධ සිනමාවට කළ හැකි මෙහෙවර සුවිශාලයි

බෞද්ධ සිනමා ඉතිහාසය 1952 තිර ගත වූ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දක්වා ඈතට දිව ගියද, අපේ රටේ බෞද්ධ චිත්‍රපටයන්හි එතරම් පොහොසත් නිර්මාණ කලාවක් දැකිය නොහැකිය. බෞද්ධ සාහිත්‍යයේ එන චරිත සහිත සිනමා පට, ජාතක කතා ඇසුරින් කරන ලද හා බෞද්ධ තේමා ඇසුරින් කළ චිත්‍රපට ලෙස අංශ කිහිපයකින් බෞද්ධ සිනමාව නිර්මාණය වී ඇති ආකාරය පැහැදිලිය.

‘සිරිසඟබෝ’ ඉතිහාසයෙන් ගත් චරිතයක් වුවද ඔහු පිළිබඳව ගෙතී ඇති සියලු කතා බහ බෞද්ධ ස්වරූපයක් ගන්නා නිසා එය මුල්ම බෞද්ධ සිනමා කෘතිය ලෙස සැලකිය හැකිය.

එහෙත් සිරිසඟබෝ වාණිජමය වශයෙන් මෙන්ම කලාත්මක බව අතින්ද සාර්ථක වූයේ නැත. 1964 වසරේ තිරගතවූ ‘පටාචාරා ‘ , 1978 වසරේ නිෂ්පාදිත, ‘කුණ්ඩලකේශී’ 1981 නිර්මාණය වූ ‘අජාසත්ත’ ආදී සිනමා පටයන්ට විෂයය වී ඇත්තේ බුද්ධ කාලීන භාරතීය සමාජයේ ජීවත් වූ චරිතය. ඒ අතරින් ‘අජාසත්ත’ බොක්ස් ඔෆිස්’ වාර්තා තැබූ සිනමා කෘතියකි. මේ එකදු චිත්‍රපටයක් හෝ කලාත්මක අගයක් ඇති ඒවා ලෙස හඳුන්වා දිය නොහැකි වුවද ‘අජාසත්ත’ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක විය. පිය , පුතු සම්බන්ධය අනුවේදනීය ලෙස ඉදිරිපත් වී තිබීම ඊට හේතු වන්නට ඇත. එහෙත් ‘පටාචාරා’ චරිතය ඊට වඩා අනුවේදනීය වුවද වාණිජමය වශයෙන් සාර්ථකත්වයක් ලැබීමට නොහැකි විය.

ඉන්පසුව අධ්‍යක්ෂණය කළ “සිරිපතුල” ඉතිහාසයේ නිශ්ශංකමල්ල රජ දවස මුලින්ම සොයා ගත් බවට ඇති ජනප්‍රවාදය ඇසුරින් නිර්මිතය. ‘කේ වෙන්කට්’ නම් දෙමළ ජාතිකයෙකුගේ අධ්‍යක්ෂණයක් නිසා එහි විශේෂත්වයක් තිබේ. ‘සිරිපතුල’ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක සිනමා කෘතියකි.

බෞද්ධ සිනමාවට වස්තු විෂයය කර ගන්නවා නම් අපේ ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ තුළ ඉතා අපූර්ව ජාතක කතා රාශියක් වේ. මිනිස් සිත විනිවිද දකින, ගැඹුරු කතන්දර එහි වේ. එක් පැත්තකින් ඒවා සාමාන්‍ය රසිකයන්ට පවා රසවිඳිය හැකි මුල, මැද, අග සහිත සිද්ධී දාමයකින් පබැඳුණ, කතාය.අනෙක් අතින් මේ ඇසුරින් කලාත්මක හා වාණිජමය සාර්ථකත්වයක් ලබා ගත හැකි සිනමා කෘති නිර්මාණය කිරීමේ හැකියාව ඉහළ ය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෘති අතර බහුතරයක් නිර්මාණ ජාතක කතා ඇසුරින් සම්පාදනය වූ ඒවාය.වෙස්සන්තර, ලෝමහංස,බවකඩතුරාව, කදාවළලු, වැනි නාටක නිදසුන්ය. එහෙත් සිනමාවේ දී අපේ අවාසනාවට පන්සිය පනස් ජාතක පොත් වහන්සේට යොමු වී ඇත්තේ අඩු අවධානයකි.

කේ.ඩබ්ලිව්. පෙරේරා මහතා ‘සේරිවාණිජ’ ජාතකය නූතන වර්තමානයට ගෙන එමින් ‘බංගලි වළලු’ නමින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතියද බෞද්ධ සිනමාවේ සුවිශේෂත්වයක් ගනී. 1966 වසරේ තිරගත වූ ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ද ජාතක පොතේ එන වෙස්සන්තර ජාතකයයි. ලංකාවේ තෙවන වෛවර්ණ සිනමා පටය වන්නේද එයයි. වාණිජමය වශයෙන් අසාර්ථක වුවද කලාත්මක ලක්ෂණ රාශියක් එහි අන්තර්ගත වුණි. මහාචාර්ය තිලක් රත්නකාරයන් ගේ තිරනාටක රචනය සහ දෙබස්, මහගම සේකරයන්ගේ ගීත, සුමිත්ත අමරසිංහ මහතාගේ කැමරා ශිල්පය, සෝමබන්දු විද්‍යාපති මහතාගේ කලා අධ්‍යක්ෂණය වැනි අංශ සංකලනය වෙමින් ‘වෙසතුරු සිරිත’ ඉතා සුන්දර ලෙස නිර්මාණය වී තිබුණි. නන්දා මාලනියන් ගයන, අදටත් ජනපි‍්‍රය ‘රුවන් වලා දුහුල් කඩින්’ ඊට ඇතුළත් ගීතයකි.

2012 වසරේ මා විසින් අධ්‍යක්ෂණය කළ ‘කුසපබා’ හි තිර රචනය හා දෙබස් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේය. ‘කුස’ චරිතයට ජැක්සන් ඇන්තනි ජීවය දුන් අතර පූජා උමාශංකර් විසින් පබාවතියට ජීවය දෙනු ලැබිණි. ‘කුසපබා’ සිනමා පටය වාණිජමය ලෙස ඉතා සාර්ථක වූවක් බවට පත්විය. ආදායම් වාර්තා අතින් ලංකාවේ ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට අතර තුන්වැනි තැන හිමි වන්නේ ‘කුසපබාටය’.

එසේම බෞද්ධ තේමාවන් ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට අතර සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අධිෂ්ඨාන, මා විසින් අධ්‍යක්ෂණය කළ ‘සතර පෙරනිමිති’ හා ‘උප්පලවණ්නා’ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්’ මහතා අධ්‍යක්ෂණය කළ ‘රන් සළු’ වැනි චිත්‍රපට බිහි විය. ඒ අතරින් ඉහළ නිර්මාණයක් ලෙස ‘රන්සළු’ සිනමා කෘතිය හඳුන්වා දිය හැකියි.

මීට අමතරව බෞද්ධ සිනමාවේ ප්‍රවණතාවක් ලෙස හින්දි චිත්‍රපට සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කිරීම පෙන්වා දීමට පුළුවන. ඒ අතරින් වඩාත් ජනපි‍්‍රය වූයේ ‘අංගුලිමාල’ය. තායිලන්තයේ බෞද්ධ සංවිධානයක් වෙනුවෙන් ඉන්දියාවේ නිර්මාණය කළ චිත්‍රපටයකි. කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත ගී ඇතුළත් ‘අංගුලිමාල’ ද සෑම අංශයකින්ම සාර්ථක බව කිව හැකිය.

සිංහල සිනමාවේ පෝෂණයට බුදුදහමේ පණිවුඩය ලෝකයට ගෙන යන්නට “බෞද්ධ සිනමාව“ මඟින් කළ හැකි මෙහෙවර සුවිශාලය. නිවැරැදි දැක්මක් සහිත නිර්මාණශීලී නිර්මාණ කරුවන්ගේ අවධානය ඒ සඳහා යොමු විය යුතුව ඇත.