Print this Article


ස්වාක්ඛාත වූ ධර්මය විනිවිද දැකීම

ස්වාක්ඛාත වූ ධර්මය විනිවිද දැකීම

"සත්ත්වයා ජීවත් වෙනවා යනු තම ඉන්ද්‍රියනට ගොදුරු වන අරමුණු පරිහරණය කිරීමයි. පංචස්කන්ධය පවතින්නේ ද එවිටයි. කෙසේ වෙතත් මේ පංචස්කන්ධය ම අනිත්‍ය වූ එකක්. වහා වෙනස් වන එකක්. එයට ගොදුරු වන අරමුණු ද එසේමයි. වෙනස් නොවන සුළු කිසිදු සංස්කාරයක් හෙවත් හේතූන් නිසා හටගන්නා එකක් නොවේ."

මෙම ලිපියෙහි මුල් කොටස පසුගිය පසළොස්වක පොහෝ දින පළවිය

නිවන් මඟ දක්වන දහම ලොවට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. එයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ම ලොව පහළ විය යුතු වේ. අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගත් නිසා පුහුදුන් සත්ත්වයාට දැකිය නොහැකි මේ වටිනා දහම ස්වයම්භූ ඤාණයෙන් දැන ලෝක සත්ත්වයා වෙත පළමු ව මහා කරුණාවෙන් එය දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ම ය. උන්වහන්සේ ඒ අවබෝධයෙන් වදාළ සම්මා දිට්ඨිය පිළිබඳවයි අප ඉගෙන ගනිමින් සිටින්නේ. . . .

පුඤ්ඤාභිසංඛාර යනු කුමක්ද?

අපගේ විශේෂ අවධානයට ගතයුතු දේ වන්නේ මේ කියන ලද අකුසල මූලයන් ම පදනම් කර ගෙන සිත, කය, වචනය යන තුන් දොරින් යහපත් දේ ද සිදු කළ හැකි බවයි. ඒවා පුණ්‍ය කර්ම හෙවත් පුඤ්ඤාභිසංඛාර වශයෙන් දැක්විය හැකිය. යමෙක් මෝහයෙන් මුලා වී සසර යහපැවැත්ම හොඳ යැයි සිතා තමන්ට ලැබෙන වෙනත් ලාභයක් නිසා අතහැරීමක් සිදු කරන්නේ නම් එය අනභිජ්ඣාව වශයෙන්ද තම තමන්ගේ හිතවන්තයන් උදෙසා බැඳීමෙන් මෛත්‍රී සහගත සිතිවිලි උපදවා කටයුතු කරන්නේ නම් එය අව්‍යාපාදය වශයෙන්ද, සසර පැවැත්ම හොඳ යැයි සිතා ඒ ගැන කල්පනා කොට යම් යම් යහපත් ක්‍රියා කරන්නට පෙළඹෙන්නේ නම් එය ලෞකික සම්මාදිට්ඨිය වශයෙන් ද දැක්වේ. මේවා මනසින් සිදු කරන යහපත් කර්ම නිසා පුඤ්ඤාභිසංඛාර වශයෙන් හඳුන්වයි. එමෙන්ම ලෝභය හා මෝහය මුල් වී සත්‍යවාදී වීමද, වචනය මුල් වී පි‍්‍රය වචන කථා කිරීමද, සමඟිය ඇති කරවන වචන කථා කිරීම ද වැදගත් වචන කථා කිරීමද, සිදු කළහොත් එය වචනයෙන් සිදු කරනු ලබන පුඤ්ඤාභිසංඛාරයන් ය. එලෙසින් ම ලෝභය හා මෝහය මුල් වී සත්ත්ව ඝාතනයෙන් වැළැකී මැරෙන්නට යන සතුන් බේරා ගැනීමද, වෙනත් කෙනෙකුට යමක් දෙන්නට පෙළඹීම ද, සාදාචාර සම්පන්න ජීවිතයකට හුරුවීම ද, කළ හැකිය. එය කයින් කරන පුඤ්ඤාභිසංකාරයන් ය. මේ අනුව බලන කල සිත, කය, වචනය යන තුන් දොරින් ම ලෝභය පදනම් කරගෙන හොඳ දේ සිදු කළ හැකි අතර, ඒවා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්ත ලෙසින් පැහැදිලි කර ගත හැකිය. ඒවා තුළ ලෝභය මුල් වී ඇති බැවින් එවන් ක්‍රියාමාර්ග තුළින් ලෝභය නැති කිරීමෙන් ලැබෙන නිර්වාණය සාක්ෂාත් කිරීමට නොහැකිය. නිර්වාණ මාර්ගය යනු ලෝභාදී අකුසල මූලයන් නසන ගමන් මඟකි. එයට කුසලයද, කුසල මූලයන් ද දියුණු කළ යුතු වෙනවා.

කුසලය සහ කුසලමූල දැන ගැනීම

ඉන් අනතුරුව ආර්ය ශ්‍රාවකයා කුසලයද කුසල මූලයද දැන ගන්නවා. දස කුසලය හෙවත් දස අකුසලයන්ගෙන් වැළැකී සිටීම මනා ලෙස දැන ගන්නා අතර, එයට මුල් වන්නේ අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් බව දැන ගන්නවා. සිතින් කරන වැරැදි තුන වන අභිජ්ඣා, අව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන වැරැදි තුන නොකර සිටීම කුසලයක් බවත්, ඒ වෙනුවට මෝහයෙන් නොමුලා ව, ලෝභය නොමැතිව අනභිජ්ඣා, අව්‍යාපාද, සම්මාදිට්ඨි පුරුදු කිරීම කුසලයක් බවත් දැන ගන්නවා. වචනයෙන් කරන වැරැදි හතර වන බොරුකීම, කේලාම්කීම, පරුෂවචන හා හිස්වචන කීමෙන් වැළකී සිටීම කුසලයක් බවත්, ඒ වෙනුවට මෝහයෙන් නොමුලාව ලෝභය නොමැතිව සත්‍ය කථා කිරීම, සමගිය ඇතිවන වචන කථා කිරීම, පි‍්‍රයශීලි වචන කථා කිරීම සහ අර්ථවත් වචන කථාකිරීම, වැඩිදියුණු කිරීම කුසලයක් බවත් දැන ගන්නවා. එලෙසින්ම කයින් කරන වැරැදි තුන වන සතුන් මැරීම, සොරකම් කිරීම හා කාමය වරදවා හැසිරීම යන කටයුතු නොකර සිටීම කුසලයක් බවත්, ඒ වෙනුවට මෝහයෙන් නොමුලා ව, ලෝභය නොමැතිව, ද්වේෂය ද නැතිව අභයදානය දීම, සතුන් බේරා ගැනීම, දන්දීම හා සචාදාරසම්පන්න ජීවිතයක් ගත කිරීමට යන කාරණා වැඩිදියුණු කර ගැනීම කුසලයක් බවත් දැන ගන්නවා. කුසලඤ්ච පජානාති යනුවෙන් අදහස් කරන්නේ එයයි. එලෙසින්ම මේ සියලු කටයුතු සඳහා අලෝභ, අදෝස, අමෝහ යන කුසල මුලයන් මුල් වන බවත් දැන ගන්නවා. “කුසල මූලඤ්ච පජානාති” යනුවෙන් දක්වා ඇත්තේ එයයි.

කුසල මූලය උපදවා ගන්නේ කෙසේද?

මෙහිදී කුසල මූලයද ඉබේ ඇතිවෙන එකක් නොවන බවත් අප විසින් උපදවා ගත යුතු එකක් බවත් අප අවබෝධ කරගත යුතු වෙනවා. එය සිදු කරන්නේ කෙසේද? ඇස් කන් නාසාදි ඉන්ද්‍රියයන්ගෙන් රූපාදි කිසියම් අරමුණක් ලැබුණු විට ඒ අරමුණු පි‍්‍රය නම් ඒ තුළ ලෝභය ඇතිවීමද අපි‍්‍රය නම් ඒ තුළ ද්වේශය ඇතිවීමද පි‍්‍රයත් නැති අපි‍්‍රයත් නැති මධ්‍යස්ථ එකක් නම් එය තුළ මෝහය ඇතිවීමද සිදුවන බව මේ වනවිට අප දන්නා කරුණක්. සැබැවින් ම මේ සිතිවිලි අපගේ සිත අභ්‍යන්තරයෙහි ඇතිවන්නේ කුමක් නිසාද? අප පරිහරණය කරන අරමුණු දෙස යෝනිසෝමනසිකාරයෙන් නො බලන නිසාය. සිහිනුවණින් අරමුණු දෙස බලන්නට පුරුදු වූ ආර්ය ශ්‍රාවකයා ඒ අරමුණු සියල්ල වෙනස් වන දේ බව දැන ගන්නවා. එවන් දෙයක අනිසි ලෙසින් ඇලීම, ගැටීම හෝ මුලාවීම කළ යුත්තක් නොවන බවත් දැන ගන්නවා.

යම්කිසි කෙනෙක් අරමුණක් පරිහරණය කරනවා යනු පංචඋපාධානස්කන්ධය ම ක්‍රියාත්මක වීමයි. ඇසට කිසියම් රූපයක් ගොදුරු වූ විට එය වේදනාස්කන්ධයෙන් සුඛ, දුක්ඛ, උපේක්ඛා වශයෙන් වින්දනය කිරීමත්, සඤ්ඤාස්ඛන්ධයෙන් හඳුනා ගැනීමත්, සංස්කාරස්ඛන්ධයෙන් සිතිවිලි සකස් කිරීමත්, විඤ්ඤාණස්ඛන්ධයෙන් දැන ගැනීමත් සිදු කරනවා. මෙලෙසින් අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගැනීම තුළින් ද පංචස්කන්ධ ක්‍රියාකාරකම ඇතිවෙනවා. මේ ස්කන්ධයන්ගේ උපකාරයෙන් තොරව අරමුණු පරිහරණය වීමක් නැහැ.

ජීවත් වීම යනු කුමක්ද?

සරලව පවසන්නේ නම් සත්ත්වයා ජීවත් වෙනවා යනු තම ඉන්ද්‍රියනට ගොදුරු වන අරමුණු පරිහරණය කිරීමයි. පංචස්කන්ධය පවතින්නේ ද එවිටයි. කෙසේ වෙතත් මේ පංචස්කන්ධය ම අනිත්‍ය වූ එකක්. වහා වෙනස් වන එකක්. එයට ගොදුරු වන අරමුණු ද එසේමැයි. වෙනස් නොවන සුළු කිසිදු සංස්කාරයක් හෙවත් හේතූන් නිසා හටගන්නා එකක් නොවේ. එබැවින් ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද ද, නාසයට දැනෙන ගඳ සුවඳ ද, දිවට දැනෙන රසද, කටට දැනෙන ස්පර්ශ ද, සිතට දැනෙන සිතිවිලි ද සියල්ල වහා වෙනස් වෙන සුළුයි. අරමුණු පරිහරණයට උපකාරී වූ වේදනා, සඤ්ඤා ආදී ප්‍රත්‍ය නැතිව යන විට ඒ අරමුණු ද නැතිව යනවා. නැතහොත් පෙනෙන දේ ඇසෙන දේ, දැනෙන දේ නැතිව යනවා. ඒ අනුව අප අවසාන වශයෙන් මනසින් දැන ගන්නේ ඇසට පෙනෙන දේ ම නොවේ. වෙනස් වූවකි. මනසින් දැන ගන්නේ කනට ඇසෙන දේ ම නොව මොහොතින් වෙනස් වූවක්. එතරම් වේගයෙන් මේ වෙනස්වීම සිදු වෙනවා. මෙවන් වෙනසකට ලක්වෙන්නේ අරමුණු දෙස නුවණින් බලන ආර්ය ශ්‍රාවකයා ඒ අරමුණු තුළ ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවීමක් ඇතිකර ගන්නේ නැහැ. නො ඇලෙන තැන ඇත්තේ අලෝභ නම් වූ කුසල මූලය යි. නො ගැටෙන තැන ඇත්තේ අදෝස නම් වූ කුසල මූලය යි. මුලා නොවන තැන ඇත්තේ අමෝහ නම් වූ කුසල මූලය යි. එය නිසි ලෙසින් දැන, දැක කටයුතු කිරීම “කුසල මූලඤ්ච පජානාති” වශයෙන් දක්වා තිබෙනවා.

ඉතිරි කොටස ඉල් අමාවක පෝදා (නොවැම්බර් 28 වනදා) පත්‍රයේ පළවේ.