Print this Article


පූජාච පූජනීයානං

තලේවෙල විජිත ධම්මරක්ඛිත නා හිමි

තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමියන් උපත ලැබුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තලේවෙල නම් ගම්මානයේය.හෙට්ටිමුල්ල රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව කොල්ලුපිටිය, වාලුකාරාමාධිපති තියඹරාහේනේ ධම්මාරාම හිමියන් වෙතින් පැවිද්ද ලැබුවේ 1934 දීය. එතැන් පටන් තලේවෙල විජිත නමින් හැඳින්වූ උන්වහන්සේ 1938 දී උපසම්පදාව ලැබූහ. ඉන්පසු උන්වහන්සේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අවසානය දක්වාම ඉගෙනීම ලැබූහ.

අනතුරුව කැලණි රජ මහා විහාරයට වැඩමවා 1954 දී එහි අධිපතිත්වය දැරූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමිගේ පැවිදි උපසම්පදා ශිෂ්‍යභාවයට පත්වූහ.

ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබා සිටි විජිත නා හිමියෝ, කොළඹ ඇක්වයිනාස් විද්‍යායතනයට ඇතුළත්ව,එතෙක් භික්ෂූන් වහන්සේලා යොමු නොවූ විද්‍යා විෂයය හැදෑරුහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව (ඕ.ඵජ) උපාධිය හිමිවිය. එවැනි උපාධියක් ලැබූ ප්‍රථම ලාංකික භික්ෂූන්වහන්සේ වීමේ ගෞරවයද උන්වහන්සේට හිමිවිය.

ඉන් අනතුරුව උන්වහන්සේ කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලය, කැලණියේ කැලණි මහා විද්‍යාලය හා රත්මලානේ පරිවේනාචාර්ය අභ්‍යාස විද්‍යාලය යනාදී විද්‍යායතනයන්හි ආචාර්ය පදවි දරමින් විශිෂ්ට සේවාවක් ඉටු කළහ.

මේ විද්‍යායතන අතරින් කැලණි මහාවිද්‍යාලය කෙරෙහි උන්වහන්සේ දැක්වූයේ විශේෂ ඇල්මකි. කැලණි රජ මහා විහාරයේ ධර්ම ශාලාවෙන් ආරම්භ කළ කැලණි විදුහල් ටික කලකින් අංග සම්පූර්ණ ගොඩනැගිලි සහිත උසස් විද්‍යායතනයක් බවට පත් කිරීමට උන්වහන්සේගෙන් ලත් දායකත්වය සුලුපටු නොවේ. උන්වහන්සේ කැලණි මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට ඉගැන්වූයේ විද්‍යා විෂයයි. නමුත් කැලණි මහා විදුහලට විද්‍යාගාරයක් නොතිබීමේ බලවත් අඩුපාඩුව දුටු විජිත හිමියෝ, උන්වහන්සේ සතුව තිබූ පුද්ගලික විද්‍යාගාරය කැලණි විදුහලට පරිත්‍යාග කළහ. උන්වහන්සේගේ ධෛර්යය,උනන්දුව හා කැපවීමත් නිසා කැලණි මහා විද්‍යාලය ඉතා සුලු කලකින් පළාතේ උසස්තම විද්‍යාලයක තත්ත්වයට පත්විය.

මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන්ගෙන් පසු 1962 දී කැලණි රජ මහා විහාරාධිපති වශයෙන් තලේවෙල විජිත ධම්මරක්ඛිත හිමිගේ නාමය මල්වතු මහා විහාරයට රැස්වූ භික්ෂූන් වහන්සේලා ඒකමතිකව තීරණය කළහ.

කැලණි විහාරාධිපති පදවියට පත්වීමත් සමඟම එදා උන්වහන්සේට එක්තරා අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. එනම් එදා පත්ව තිබූ අගාධයෙන් ගොඩගැනීමේ අභියෝගයයි. කිසිදු ප්‍රශ්නයකදි නොබියව, නොසැලී සන්සුන්ව කටයුතු කිරීමේ සහජ හැකියාවක් හා පුරුද්දක් උන්වහන්සේ තුළ තිබුණි. ඒ අනුව එම අභියෝගය උන්වහන්සේ සතුටින් බාරගත්හ.

විනාශ වී පිරිහී ගිය, කැලණි විහාරය ඉතා කෙටි කලකදී යථා තත්වයට පත්කිරීම උන්වහන්සේට කළ හැකි විය. කැලණි විහාරය අද පවත්නා තත්ත්වයට ගෙන ඒමේ ගරුත්වය විජිත ධම්මරක්ඛිත නා හිමියන්ට හිමි විය යුතුය. උසස් භික්ෂු අධ්‍යාපනයත්, ඉංගී‍්‍රසි භාෂාවත්, විද්‍යා අධ්‍යාපනයත් මගින් ලබා තිබූ දැනුමත්, විනයත් ශික්ෂණයත් මගින් උන්වහන්සේ දේශ දේශාන්තරවල සංචාරය කරමින් නවීන දේශනා පැවැත්වීමෙන් උන්වහන්සේගේ නාමය විදේශයන්හි ඉමහත් කීර්තියට පත්වූහ. ඒ හේතුකොට ගෙන නොඑක් රාජ්‍යයන් සමඟ සමීප සබඳතා පැවැත්වීමට හැකිවිය.

මෙවැනි සමීප සබඳතා අතර, ජපානය, කොරියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල් ප්‍රධානය. ජපානයේ හිරෝෂිමාවේ ලෝක සාම විහාරයේ විහාරාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකාවේ කැලණි රජමහා විහාරාධිපති විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත නා හිමියන් වෙත පිරිනමා තිබේ. මෙය පිරිනමනු ලැබුවේ ‘රියැගන් ඉන්’ විහාර ගනයේ අධිපති ධූරය ඉසුලූ රියැගන් තනාකා මෙහෙණින් වහන්සේ විසිනි. එතුමියගේ අනුග්‍රහයෙන් කැලණි විහාරයේ දියුණුව සඳහා විශාල මෙහෙයක් ඉටුකර ඇත.

“විජිත ධම්මරක්ඛිත අනුස්මරණ ශාලාව“ ධාතු මන්දිරය භික්ෂු පිරිවෙන මේවායින් ප්‍රධාන වේ. කොරියාවෙන් ලැබුණු ඝණ්ඨා ස්තම්භය තවත් එවැනිම පරිත්‍යාගයකි. කැලණි විහාරයේ සංවර්ධන කටයුතු සඳහා ජපානයෙන් අද දක්වාම ලැබෙන අනුග්‍රහය උන්වහන්සේට කෙරෙන අනුග්‍රහයක් හා උපහාරයක් ලෙස සැලකිය හැකිය.

අප මේ චරිතාපදානයෙන් හඳුන්වා දෙන ලද කැලණි රජමහා විහාරාධිපති වැඩ විසූ විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත හිමියෝ 1992 නොවැම්බර් 01 දා අපවත් වූහ.

1992.11.01 වෙනිදා අපවත් වී වදාළ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපතිව වැඩ විසූ විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අජරාමර නිවන් සුවය ලැබේවා!


උල්ලදුපිටියේ විනීතධම්ම මා හිමි

මාලගම්මන රාජමහා විහාරාධිපති. ශ්‍රී ධර්මාලෝක පිරිවෙනෙහි පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත උල්ලදුපිටියේ විනීතධම්ම මාහිමියෝ සාරසියපත්තුවේ උල්ලදුපිටිය ග්‍රාමය ජන්ම භූමියකොට එච්.එම්.මුතුබණ්ඩා සහ ඩබ්.එම්.අනුලා කුමාරිහාමි යන දම්පතීන්ට දාව 1966 නොවැම්බර් මස 02 වන දින උපත ලැබූහ. මූලික අධ්‍යාපනය උල්ලදුපිටිය කණිටු විදුහලින් ලබාගත්හ. එවකට ඓතිහාසික මාලගම්මන රාජ මහා විහාරාධිපති ධුරය දැරූ, මල්වතු විහාර පාර්ශ්වයේ සාරසිය පත්තුවේ ප්‍රධාන සංඝනායක බෝවත්තේ ශ්‍රී රතනජෝත්‍යාභිධාන නා හිමියන් සහ විෂ වෛද්‍යාචාර්ය වැරැල්ලගම ශ්‍රී ධර්මාලෝක හිමියන්ගේ ආචාර්යත්වයෙන් වසර 1980 මැයි මස 30 වන දින එනම් වෙසක් පුන් පොහෝදා උල්ලදුපිටියේ විනීතධම්ම යන ශාසනික නාමයෙන් උතුම් පැවිදි දිවියට පා තැබූහ. මූලික බණ දහම් සිය ගුරු දේවයන් වහනසේලා වෙතින් හදාරා මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා මහනුවර සංඝරාජ මහ පිරිවෙනට ඇතුළත් වූ අතර, 1985 දී පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන භාෂා ශාස්ත්‍රය හදාරා පණ්ඩිතෝපාධියෙන් සම්මානිත වූහ. 1987 දී උගතමනා බණ දහම් හා සපිරුණු විසිවයස් ඇතිව ඓතිහාසික මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේදී උතුම් උපසම්පදා දිවියට පත්වූහ. දැනුමෙන් ආකල්පයෙන් හා කුසලතාවයෙන් පිරිපුන් විනීතධම්ම මාහිමියෝ තමා ලද දැනුම පරාර්ථය පිණිස යොදනු වස් 1993 දී නුගවෙල ශ්‍රී ධර්මාලෝක පිරිවනේ ආචාර්යවරයෙකු ලෙස පිරිවෙන් ගුරු සේවයට පිවිස කරන මෙහෙවර අපරිමිතය. 2001 දී තත් පිරිවනෙහි පරිවේණාධිපතින් වහන්සේ ලෙස පත්ව භික්ෂු ආකල්පයන්ගෙන් පිරිපුන් භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමෙහිලා දරන උත්සාහය අගය කළ යුතුය. ස්වකීය ගුරු දේවයන් වහන්සේ ගේ අපවත් වීමෙන් පසු 2013 දී මාලගම්මන රාජ මහා විහාරාධිපති ධුරයට පත්ව වර්තමානය දක්වා එහි සංවර්ධනය වෙනුවෙන් දිවා රෑ නොබලා කරන කැපකිරීම සුවිශේෂි වේ. දෙමහල් දානශාලා සහිත භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීම මෙන්ම සෙසු විහාරාංගයන් ප්‍රතිසංස්කරණය කිරීම් ආදිය උන්වහන්සේගේ කැපවීමේ ප්‍රතිඵලයකි.

ශ්‍රී ධර්මාලෝක දහම් පාසල පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දූදරුවන් දහම් දැනුමෙන් පෝෂණය කරනවා මෙන්ම ග්‍රාමයේත් දායකයන්ගේත් උන්නතිය වෙනුවෙන් උන්වහන්සේගේ නිවැරදි මගපෙන්වීම සැමට ආශිර්වාදයකි. දිවිමගෙහි අඩසියවසක් සපුරන උල්ලදුපිටියේ විනීතධම්ම මාහිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා. ඒ වෙනුවෙන් පැවැත්වූ තුන්තිස් පැයේ ආශිර්වාද පිරිත් දෙසුම හා සඟසතු මහාදානමය පින්කම මාලගම්මන රජ මහ විහාරයේදී පැවැත්විණි.


අම්පනාගල ශ්‍රී පේමානන්ද හිමි

නැගෙනහිර මොරවක්කෝරළේ අම්පනාගල ගම්මානයේ විසූ කංකානම්ගේ අල්ලිස් අප්පුහාමි සහ හෙට්ටිආරච්චිගේ හින්නිහාමි යන ගුණවත් මව්පිය දෙපළගේ දරුවන් අතර කංකානම්ගේ පේමදාස නමැති දරුවා උපත ලද්දේ 1937 මාර්තු 20 වැනිදාය. එම පින්වත් කුමරුවා පසුව මොරගල කිරිලිපන ශ්‍රී පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිටි ඕමල්පේ ශ්‍රී සීලානන්දාභිධාන මා හිමියන්ගේ එකම ශිෂ්‍ය රත්නය ලෙස 1952 මාර්තු 02 වැනිදා අම්පනාගල පේමානන්ද නමින් පැවිදි බිමට ඇතුළත් විය. තම ගුරු දේවයන් වහන්සේගේ ඇසුරෙහි ශාසනික වත් පිළිවෙත් මනා ලෙස ප්‍රගුණ කළ පේමානන්ද හිමියෝ මොරවක ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන, මාතර කිතුලේවෙල ජය මහා විහාර පිරිවෙන යන ආයතන තුළ උගත මනා බණ දහම් ප්‍රගුණ කළහ. ඕමල්පේ ශ්‍රී සීලානන්ද හිමියන්ගේ ශිෂ්‍යයා ලෙස 1957 ජුනි මස 04 වැනි දින උපසම්පදාව ලැබූහ.

පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබු පේමානන්ද හිමියෝ ගෝනගල සුධර්මාකර පිරිවෙන, දෙනියායේ ධර්මද්වජ පිරිවෙන යන පිරිවෙන්වල ආචාර්යවරයකු ලෙස කටයුතු කළහ.

1976 දී කිරිඉබ්බන් ආර විදුහලට මුල්පත්වීම ලැබූ උන්වහන්සේ මාර/මාවරල මහ විදුහල , මාර / මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල යන විද්‍යාලවල ආදර්ශවත් ගුරුවරයෙකු ලෙස සේවයේ යෙදුණු සේක. මාර /කිරිලිපන කනිටු විදුහල උන්වහන්සේගේ අවසන් සේවා ස්ථානය විය.

1987 අපේ‍්‍රල් මාසයේදී තම ගුරුදේවෝත්තමයන් වහන්සේ වු ඕමල්පේ ශී‍්‍ර සීලානන්ද හිමිපාණන් වහන්සේගේ අපවත්වීම සිදු වූයෙන් එතැන් සිට කිරිලිපන ශ්‍රී පරම විශුද්ධාරාමයේ විහාරාධිපතිත්වය භාර ගැනීමට උන්වහන්සේට සිදුවිය. පේමානන්ද හිමියෝ 1994 දී ගුරුසේවයෙන් විශ්‍රාම ලැබූ සේක.

විහාරාධිපතිත්වය දැරූ අවුරදු 21 ක කාලය තුළ උන්වහන්සේ කිරිලිපන ශී‍්‍ර පරම විශුද්ධාරාම විහාරස්ථානය සියලුම විහාරාංගවලින් සමන්විත දැකුම්කලු විහාරස්ථානයක් බවට පත් කළහ. ඕමල්පේ ශ්‍රී සීලානන්ද අනුස්මරණ සංඝාවාසය, බුදුමැදුර, දාන ශාලාව ආදි ගොඩනැගිලි ඉදිකරනලද්දේ උන්වහන්සේගේ විශ්‍රාම මුදල් යොදවමිනි. පේමානන්ද පණ්ඩිත හාමුදුරුවෝ දහම් පාසල පෙර පාසල ආරම්භ කිරීමටද පුරෝගාමි වූහ. පෙර පාසල් ගොඩනැගිල්ලද ස්වකීය පෞද්ගලික වියදමින් ඉදි කළහ.

විහාරස්ථානයට එතෙක් අඩුවක්ව පැවැති ධර්මශාලා මන්දිරය ඉදිකිරීමට දායක පිරිසට මඟ පෙන්වූවා පමණක් නොව තමන් වහන්සේද ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට අමතක නොකළහ.

තනතුරු වරප්‍රසාද ආදිය කෙරෙහි කිසිසේත්ම ගිජු නොවූ අම්පනාගල ශී‍්‍ර පේමානන්දාභිධාන හිමියෝ වචනයේ පරිසමාප්ථ අර්ථයෙන් සිල්වත් හිමිනමක් වූහ.

2016 නොවැම්බර් මස 6 වැනි දිනට උන්වහන්සේ අපවත්වී අටවසරක් සපිරුණි. එම 8 වන ගුණානුස්මරණය පින්කම මාලාව උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වු වත්මන් විහාරාධිපති පණ්ඩිත දොරපනේ සෝරත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2016.11.03 වන දින සිට 2016.11.06 වන දින දක්වා විහාරස්ථානයේදී පැවැත්විණි.

උන්වහන්සේට නිවන් සුව පතමු.

කේ.පී. දයානන්ද ද සිල්වා
කඹුරුපිටිය සමුහ