Print this Article


පහන් සිතක කවි

පර සතු මල්

පරසතු මල් අපට නැතේ
සුදු පිරුවට ගතට නැතේ
මල් දෝතක් රැගෙන අතේ
පන්සල් යමු පුංචි පුතේ

බුදු පහනට තෙලුත් නැතේ
සුවඳ හඳුන් කූරු නැතේ
සද්ධාවෙන් පිරුණු සිතේ
බුදු සමිඳුට පුදමු පුතේ

කුලවතුන්ගෙ කුල බින්දා
බලවතුන්ගෙ බල සින්දා
කිසි වෙනසක් නැති හින්දා
බුදු සමිඳුට අපි වැන් දා


අසිරිමත් පොහොය

බුදු බව ලබා මාහිමි ගෞතම සසුන
මදු රස දහම් පස්වග තවුසුට දෙසුන
සිදුකොට වස් නිමව හිමි පඬුපුල් අසුන
සුදු බුදු කිරණ පැතුරුණි සැවතෙහි දසුන

දෙව් රෝහණ අසිරි දැක සැම බැතින් බලා
බිව් දම් රසින් මග ඵලවිය සවන් හලා
කිවි පැන දම්සෙනවි සමිඳුට පවන් සලා
ගෞතම බුදුන් පිළිතුරු දුණි නුවන් හෙලා

විවරණ ලබා සොළොස් කල්පයක් මැද
බව ගමනකින් මනුලොව දෙව්ලොවෙහි වැඳ
සැවතෙහි තරුණයකු දැක බුදු අසිරි කඳ
එව පුත’ ඔබය මෙත් බෝසත් පදවි ලද

පස්වග මහණ යසකුල පුතු මිතුරු කැළ
රැස්කොට දහම් ඔවදන් සැට නමට කළ
දොස් පහදමින් සසරේ දුක් කරුණු තුළ
විස්තර කළා සැට මඟකින් ගමන් පෙළ

උරුවෙල දහම් වැසි තුන්බෑ ජටිල ඇස
පිරුදම් මිසදිටිය පහදා කරුණු දොස
සුරුකොට මග ඵලට නිවනේ සුවඳ ඉස
ගුරු තුන්ලොවේ හිමි දෙසුවා දහම් රස

පෙර පසු පවාරණ විනයේ දෙකකි සතු
අරහත් ධජය වැජඹෙයි ගුණ කඳින් එතූ
වෙර වීරියෙන් මග ඵලයම පතා මතූ
නිරයෙන් ගොඩවෙන්න හැකිවෙයි ඔබට මිතූ

බුදු සසුනේ දකුණත් අග පදවි දැරූ
සිදුවිය පිරිනිවන සැරියුත් මහිමි ගරු
කඳුලැලි වගුරුවා අඳුරට වෙමින් හිරු
පොදු දහමක් සිහිවෙයි පොහො තිබෙන තුරු


සසුන් ගත දියණියට

පැතුම් බොඳ වෙලා නෙත් දිය කරන්නේ
කැළුම් වියැකිලා අඳුරයි ගලන්නේ
කුසුම් පරවෙලා අනියත කියන්නේ
සිතුම් තටුලබා අහසේ සරන්නේ

ගෙපැළ නිහඬ හඬකිනි ඔබ සොයන්නේ
අමිල සෙනෙහෙ දිය ගේ මැද උතුරන්නේ
සිහිල කොහිද නොදැනම හද දැවෙන්නේ
ඇහැල මලේ රුව කඳුලෙනි දකින්නේ

අරලිය මල් වැටයි අප වෙන් කරන්නේ
රන්ලිය සේම ඔබ සක්මන් කරන්නේ
මෑණිය මා දොහොත් පා ඔබ වඳින්නේ
දියණිය, ඔබයි සසරින් අප මුදන්නේ

වන සෙනසුනේ සියොතුනි ගී ගයනු එපා
රණ මයුරනේ පිල් විදහා රඟනු එපා
වන සෙනසුනේ කිසි දේ අඩුවෙන්න එපා
පින්වත් දුවේ, මම නමඳිමි ඔබගෙ දෙපා


සැනසුම ලැබුවෝ

විශාඛා සිටු දියණිය උතුම්
සම්බුදු ගුණයට සිත නිවුණු
සිත තුටිනී දන් දී සැනසී
බුදු සසුනේ කළ මහ පින්කම්
කෙතරම් මිහිරිද පින් සපිරී

අනාථ පිණ්ඩික සිටු පුතුමයි
බුදු සසුනේ දන් දී නිවුණු
මහ පින්කම් කර සත් සිතිනී
සිටු පුත් පින් සිත පිරූ හැටි
සසර නිමාවට කුසල් වැඩූ

බුදු පාමොක් මහ සඟන පිදූ
සාධු සිතේ මග ඵල ද ලැබූ
විශාඛා සිටු දියණි වාගෙම
සුදත්ත සිටු පුත් ගුණ වැඩුවෝ
බුදු සසුනේ සැනසුම ලැබුවෝ


බුදු දහම

සැක බිය දුරු කරන
දුක් ගිනි නිවාලන
සදා සැපතම ගෙනෙන
අමා දම බුදු දහම

දිරාපත් වන බවද
නිතර ලෙඩ වන බවද
මරණ බිය ඇති බව ද
ඉපදුමද නැති කරන දම

බුදු පුතුන් දිනෙන් දින
බිහිවෙලා ලක් දෙරණ
රැක ගන්න බුදු සසුන
ලැබේවා බුදු සරණ


පැතුම් මල්

මතු භවයේදීත්
මගේම මව් වේව‘යි
මගේම පිය වේව‘යි
තවත්
සසර බැඳුමක් නොපතමි
තවත්
එකම එක් වතාවක් හෝ
භව කතර නො ඉපිද
මේ භවයේදීම
පිවිසෙනු මැනවි අරහත් මඟට
මගේ ගරු මෑණියෙනි
මගේ ගරු පියාණෙනි


නිර්මල රජිඳා

හෙළ දෙස බස රැස රස මුසු ගී නාද
සප්ත ස්වරයට මුසුවී ඔබෙ මුවින
දශක අටක් ඇද හැලුණා නින්නාද
දෙමින් සියලු දෙසවන් තුළ ලක් දෙරණ

හෙළ සංගීත මඟ වල් වැඳිලා වැසිලා
තිබූ එකල වල් කපලා මඟ පාදා
දුන්නේ ඔබයි නිසි මඟ එළිකර සැමටා
සංගීත ලොවේ ඔබමයි නිර්මල රජිඳා

ගීත නමින් කන් අඩි පැලෙනා ශබ්ද
දූෂිත ලෙසින් කරනා වෘෂභ වෙසෙන
අද වැනි දිනෙක රජිඳුනි! ඉමිහිරි සරෙන
අපේ සවන් පිනවූ ඔබමයි අමර

වසා නුවන් සමුගත්තත් රටෙන් දැයෙන්
තව වස් ගණන් දන සවනේ ඔබේ හඬින්
ගැයූ සුභාවිත ගී නද රැඳේ නිතින්
ඔබට නිවන් සුව! පතනෙමු සැබෑ මෙතින්


මා සිතූ හැටි

වැරැද්ද
දකින
රූපෙට
ඇසෙන
නාදෙට
පිච්ච මල් සුවඳට
අයිති නැත
මට සිතෙන දේ
මෙතෙක් ආ
සසර මඟ
මා සිතූ හැටි
වැරැදිලා
වැරැදිලා මඟ
නැතිව සරණක්
අප සැවොම
අසරණ වෙලා


පොහොය දිනේ

පෙහෙවස් සමාදන්වන්නට පොහොය දිනේ
හිමිදිරි උදේ අප පන්සල වෙත යන්නේ
තෙල් මල් ගිලන් පස සැම දෙන ගෙන යන්නේ
කිරි ආහර පුදා බුදුහිමි නමදින්නේ

උවසු උවැසියන් බුදු මැදුරට එනවා
අධිපති සමිඳු අටසිල් පද පවසනවා
සන්සුන් සිත් ඇතිව ශීලයෙ පිහිටනවා
බණ පද අසන්නට සවනත යොමු වෙනවා

බුදු බණ අසන්නෝ දහමෙහි හැසිරෙන්නේ
ලොවිතුරු සුවය ලැබ ගැනුමට දිරි ගන්නේ
මෙත් සිත් භාවනාවෙන් සෙත් ලැබ ගන්නේ
පසළොස්වක දිනය මෙලෙසය නිති ගත වෙන්නේ