මංගල යනු කුමක්ද?
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
බුදුරජාණන් වහන්සේ දියුණුවේ දොරටු සඳහා මහා මංගල සූත්‍රයෙන් කරුණු 38ක් දේශනා කර
වදාළා. දෙවියන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු මහා මංගල සූත්‍රයෙන්
සඳහන් වෙනවා. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් දෙවි දේවතාවුන් ලැබූ සම්පත්
අසංඛ්‍යෙයයි. දෙවියන්ට පළමුවෙන්ම මේ මංගල පදය තෝරගන්න අසීරු වුණා. ඇසීමෙන්,
සිතීමෙන් , යහපත් දෙයක් කිරීම මංගලයි.
සක්දෙවි රජතුමාටත් මේ ප්‍රශ්න ඉදිරිපත් කළවිට එතුමා ප්‍රකාශ කළේ මේක විසඳන්න එකම
සුදුස්සා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවයි. බුදුරජාණන් වහන්සේ හමුවට යමු කියලා
තාවතිංස භවනෙ දෙවියන් ප්‍රධාන අනන්ත ලෝකධාතුවල දෙවි දේවතාවුන්, බ්‍රහ්මයන්
සැවැත්නුවරට සම්ප්‍රාප්ත වුණා. එදා එක්තරා දෙවි පුත්‍රයෙක් “බහු දේවා මනුස්සාච
-මංගලානි අචින්තයුං ආඛකංඛමානා සොත්ථානං බ්‍රෑහි මංගල මුත්තමං”
ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළේ මේ මංගල කියන පදය තෝර ගන්න බැරි
නිසයි. එයට නිවැරැදි විසඳුමක් සොයාගන්නට බැරි නිසයි. බොහෝ දෙවි , මිනිසුන්ට මේ
ප්‍රශ්නය උද්ගත වුණා. එයට විසඳුමක් අපේක්ෂාවෙන් අපි උන්වහන්සේ ළඟට පැමිණෙමු ‘යි
ප්‍රකාශ කළවිට බුදුරජාණන් වහන්සේ මංගල කියන පදය දේශනා කළේ මේ ආකාරයටයි. “පාපයෙන්
තොරවීම මංගලයි. මංගල තෙති මංගලං කියනවා. පාප ධර්මයන්ගෙන් දුරුවීම, යහපත් දේ කිරීම,
උසස් දේ කිරීම, මංගල යනුවෙන් ව්‍යවහාර වෙනවා. අන්න ඒ පදය මහා මංගල සූත්‍ර දේශනාවෙන්
තෝරාගෙන කරුණු තිස් අටක් සහිත නිවන කරා ගමන් ගන්නා මාවතක් පැහැදිලි කළා.
මනුෂ්‍යයාගේ , දෙවියාගේ , බ්‍රහ්මයාගේ දියුණුව උදෙසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර
දේශනාව බොහොම අගයමින් දේශනා කර වදාළා.
අසේවනාච බාලානං -පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං -ඒතං මංගල මුත්තමං
බාලයන් සේවනය නොකිරීම මංගල කාරණයක්. බාලයන් යනු වයසින් බාල නොවෙයි. මෝඩ , අඥාන,
ධර්මය නොදත්, අසද්පුරුෂ අයයි. මේ අයට වයස් භේදයක් නැහැ. එවන් පුද්ගලයෝ ආශ්‍රය
කිරීමෙන් වළකින්න යැ’යි මේ දේශනාවෙන් අපට බුදුරජාණන් වහන්සේ වදාළා. බාලයන් ආශ්‍රය
කරන්න එපා . අසද්පුරුෂයන්, දුර්ජනයන් ආශ්‍රය කරන්න එපා, ආශ්‍රය කළොත් මෙලොවත් ,
පරලොවත් දෙලොවම පිරිහෙනවා. පණ්ඩිත උතුමන් ආශ්‍රය කරන්න . ඥානවන්ත ගති පැවැතුම් ඇති
සද්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. එවැන්නෝ ආශ්‍රය කිරීමෙන් යහපතක්ම වෙනවා.
පාපමිත්‍ර ආශ්‍රයෙන් වළකින්න. මව්පිය , වැඩිහිටි , ගුරුවරුන්, තුනුරුවන්, සිල්වත්
ගුණවත් උතුමන්, පිදිය යුත්තන් පුදන්නැ’යි වදාළා.
ලොවේ පිදිය යුත්තන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ බුද්ධ , ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයයි. ඒ
නිසයි එයට රුවන් කියන්නේ. එයට වඩා වඳින්න පුදන්න සුදුසු වස්තුවක් ලොවේ කොහේවත්
නැහැ. තුනුරුවන්ට කරන ගෞරවය , මව්පියන්ට, වැඩිහිටියන්ට ,ගුරුවරුන්ට කරන ගෞරවය
සිල්වත්, ගුණවත් උතුමන්ට කරන ගෞරවය “ පිදිය යුත්තන් පිදීමයි” මේ කරුණු තුන අවබෝධ
කිරීමෙන් මෙලොව දියුණු ව සලසා ගන්න පුළුවන්. මේ කරුණු තුන අනුගමනය කළොත් පරලොව
සුගතියක වාසය කරන්න පුළුවන්.
අපායක් දකින්නේ නැතිව වාසය කරන්න පුළුවන්. මනුස්ස, දේව, බ්‍රහ්ම සැප වින්දනය කරලා
නිවන් පසක් කරගන්නට පුළුවන් . ඒ නිසයි මේ තථාගත ධර්මයෙන් කරුණු තුනක් ගැන බුදුන්
වහන්සේ අපට දේශනා කර වදාළේ.
”පතිරූප දේස වාසෝච , පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පණීධීච ඒතං මංගල මුත්තමං “ මෙහි
කරුණු තුනයි. “පතිරූප දේසවාසෝච යනුවෙන් හැඳින්වූයේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීමයි.
පාපකාරී පුද්ගලයන් නැති, අසද්පුරුෂයන් නැති, කල්‍යාණ මිත්‍රයෝ සිටින පිනක් දහමක්
කරගන්නා ප්‍රදේශයක් සුදුසු ප්‍රදේශයක්. සමහර රටවල පින, දහම, බණ , භාවනා අඳුරන්නෙවත්
නැහැ. යහපත අයහපත දන්නෙම නැහැ. මෙයට හේතුව නිවැරැදි ඇසුරක්, නිවැරැදි දේශකයෙක් නැති
කමයි. එසේනම් අප කවුරුත් වාසය කරන්නේ ඉතාමත් යහපත් ප්‍රදේශයකයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දළඳා වහන්සේ , දෙනමත් අකු ධාතූන් වහන්සේ, ශ්‍රීපාද
ලාංඡනය, ශ්‍රීවා ධාතූන් වහන්සේ, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ, රුවන්වැලි මහා සෑයේ
ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ, කේශ ධාතූන් වහන්සේ ආදිය පූජා වස්තූන් අපේ රටේ
අපමණයි. එහෙමනම්, මේ පින්බර දීපය පින්වතුන්ට සුදුසු ප්‍රදේශයක්. පිනක් දහමක් කරමින්
වාසය කර මරණින් මතු සුගතියකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම පෙරකළ පිනත් ,සංසාරගත පිනත්
තිබිය යුතුයි. නැත්නම් සැමදාම දුක නියතයි. වතුර පොදක් හෝ කෑම වේලක් ලබන්න පින තිබිය
යුතුයි. ආහාර පාන නැතිව ලොවේ ඇතැම් රටවල මිනිසුන් දිවි ගෙවන්නේ පෙර කළ පින් මදි
නිසයි. මේ ගැන හොඳ දැනුමක් ඇති කරගෙන පින දියුණු කරගන්න , පින වැඩිකර ගන්න උත්සාහ
ගන්නැ’යි තථාගත දේශනාවේ සඳහන් වෙනවා.
තමන්ගේ සිත මනාව පිහිටුවා ගන්න සිත දමනය කළ යුතුයි. සද්ධා, වීර්ය, සති, සමාධි,
ඥානවල සිත පිහිටුවා ගන්න. ලෝභ, ද්වේශ , මෝහ ආදී අරමුණු ඔස්සේ ගමන් කරන සිත යහමගට
ගන්න කවුරුත් මහන්සි වෙන්න. ඒ අයුරින් කටයුතු කළොත් තමන්ට යහපතක් මිස අයහපතක්
වෙන්නේ නැහැ. මේ කරුණු තුන යමෙක් දියුණු කළොත් මෙලොවත්, පරලොවත් හොඳින් සැපෙන් වාසය
කරන්න පුළුවන්. අමා මහා නිවනින් සැනසුම ලබන්න පුළුවන්. ඒ නිසා මේවා මංගල ලෙස
හඳුන්වනවා.
බාහු සච්චංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං” තවත්
කරුණු කිහිපයක් මංගල වදනේ තේරුමයි. බහුශ්‍රැත භාවය, දැන උගත්කම, ශිල්ප ශාස්ත්‍ර
පිළිබඳව මනා දැනුම, බණ දහම් ශ්‍රවණය කිරීම, ගුරු බසට සවන් දීම, බහුශ්‍රැත බව දියුණු
කරගැනීමට ලොකු දියුණුවක්. මේවා සංසාරෙන් සංසාරෙට පියමන් කරන දියුණුවීමේ ක්‍රමයි.
සිත දමනයෙන් ශිල්ප ශාස්ත්‍ර පිළිබද දැනුම දියුණු කරගත යුතුයි. උපාධි ක්ෂේත්‍රයේ
ආචාර්ය, මහාචාර්ය ධූර වගේම තවත් දැන උගත්බවින් තවත් ඉහළට යමින් හසල දැනුමක් ඇති කර
ගැනීම මංගලයි.
එමෙන්ම විනයෙහි හික්මිය යුතුයි. විනය යනු හික්මීමයි. ගිහි අයට ගිහි විනයත් පැවිදි
උතුමන්ට පැවිදි විනයත් ලෙස දෙආකාරයි.
සිඟාලෝවාද සූත්‍රයෙහි ගිහි විනය ලෙසින් ගිහියන්ගේ හික්මීම උදෙසා කරුණු කිහිපයක්
වදාළා. භික්ෂූන් වහන්සේ සඳහා පනවපු ශික්ෂාපද පැවිදි විනයයි. ප්‍රාතිමෝක්ෂයේ සඳහන්
ශික්ෂාපද 227කින් භික්ෂූන් වහන්සේ රැක ගැනීම පැවිදි විනයයි. සාමණේර භික්ෂූන්
වහන්සේට දස සීලය, සේඛියා 75ක්, දස පරධි, දස නාසන ආදිය රාශියක් පනවා තිබෙනවා. මේවා
මනාකොට හික්මවා ගත යුතුයි. යහපත් වදනින් ඇමැතිය යුතුයි. බොරුකීම, කේළම් කීම, නපුරු
වදන කිසිවකුට කැප නැහැ. මේවා අකැපයි. එසේනම්, යහපත් වදනින් කතා කිරීම මංගල වෙනවා.
මෙලොව සැපය, පරලොව වාසය අමා මහා නිවන ලබන්න පුළුවන්. මේ මගින් තම තමන්ගේ දිවි මග
සකසාගෙන ලොවුතුරු යහපත පිණිස කටයුතු කළ යුතුයි. තමන්ගේ මෙලොව , පරලොව ජීවිත
වාසනාවන්ත කරගන්න මෙන්න මේ කරුණු වලින් දැක්වෙන ගුණ ධර්මයෝ දියුණු කරගත යුතුයි.
මාතා පිතූ උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ අනාකූලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං “
මව්පියන්ට ඇප උපස්ථාන කිරීම මංගල කරුණක්. මවට සැලකීම,පියාට සැලකීම උතුම් මංගල
කරුණක් බව ධර්මයේ සඳහන් වෙනවා.
ලොවේ කිසිම ශාස්තෘවරයෙක් මෙලෙස ප්‍රකාශ කර නැහැ. ප්‍රකාශ කළ අයෙක් ඇත්නම් බාගෙටයි.
නමුත් බුදුරජාණන් වහන්සේ ජාතක දේශනා, ධර්ම දේශනා ආදී විවිධාකාර දේ ඉදිරිපත් කරමින්
මව්පියන්ට සැලකීම සැමටම අනුදක්නා කාරණාවක් බව දේශනාකර වදාළා. පැවිදි භික්ෂූන්
වහන්සේටත්, තමන්ගේ මවිපියන් ගැන සොයා බලා ඇප උපස්ථාන කරන්නැ’යි වදාළා. තමන්
පැවිද්දෙක් ලෙසත් , ඉහළ තනතුරක වැජඹුනත් මව්පියන්ට සැලකීම උතුම්බව වදාළා. එය තමන්ගේ
ගුණ දියුණුවක්.
එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දොළොස් වසරක් තම ගිහිකළ නිවසට වැඩම කළේ නැහැ. දිනක් මේ
ස්වාමීන් වහන්සේට තමන්ගේ මව්පියෝ දුගී දුප්පත්ව වාසය කරන දුක්බර පුවත ආරංචි වුණා.
ස්වාමීන් වහන්සේ නිවහනට වැඩම කළවිට සිටු මැඳුර විනාශවී ඇති බව දුටුවා. ඒ ගරාවැටුණු
නිවසේ දෙමව්පියන් බොහොම දුක සේ අසරණව වාසය කරන බව දුටුවා. පසුව ස්වාමීන් වහන්සේ
පිණ්ඩපාතයේ වැඩම කරලා මව්පියන්ට ඇප උපස්ථාන කළා. නමුත් ගම් දනව්වල අසුබ කතාවක්
පැතිරුණා. භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩම කර ගිහියන් දෙදෙනකුට ආහාර දෙන බව
ගම්මුන් පැවසුවා. දිනක් බුදුරජාණන් වහන්සේ මේ ගැන භික්ෂූන් වහන්සේගෙන් විමසුවා.
“ඇත්තද? මේ කතාව කියලා. එහෙමයි, බුදුරජාණන් වහන්ස, නමුත් ඒ අය ගිහියන් වුණත් මගේ
මව්පියන් බව භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ විශාල සඟ
පිරිසක් හමුවේ සාධුකාර මධ්‍යයේ මේ පිළිවෙත බොහොම හොඳ’යි අනුමත කළා. එය එසේ විය යුතු
බවත් තමන් හදාවඩා ගන්නා මව්පියන් අසරණ වූ විට ඇප උපස්ථාන කිරීම බුද්ධාදී උතුමන්ගේ
යහපත් ක්‍රියාදාමයක් බවත් පැහැදිලි කරමින් එය දියුණුවීමේ දොරටුවක් බව බුදුරජාණන්
වහන්සේ පැහැදිලි කර වදාළා.
එසේනම්, පින්වත් ඔබත් මවට සැලකීම, පියාට සැලකීම නිබඳවම කළ යුතු උතුම් කරුණ ‘මංගල’
ලෙස හැඳින්වූවා.
මෙම ලිපියෙහි ඉතිරි කොටස ඉල් අමාවක පෝදා(නොවැම්බර් 28) පත්‍රයේ පළ වේ.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |