Print this Article


පරලොව ගිය ඥාතීන් සුවපත් කළ හැක්කේ කෙසේද?

පරලොව ගිය ඥාතීන් සුවපත් කළ හැක්කේ කෙසේද?

"' මිය යන සෑමදෙනාම අපගෙන් පින් බලාපොරොත්තු නොවේ. බලාපොරොත්තු වනුයේ “පරදත්තූපජීවි” නම් ප්‍රේත කොට්ඨාසයේ උපන්නොත් පමණි."

බුද්ධ දේශනාවට අනුව අප අත්හැර මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම අප සතු යුතුකමක් බව පෙන්වා දෙයි. මෙය ‘පත්තානුමෝදනා’ යනුවෙන් හඳුන්වනු ලබන අතර, මෙහි අර්ථය නම් පින් අනුමෝදන් කරවීමයි. ‘පත්ත’ යනු යමක් ලබා ගැනීම, පැමිණීම, ළඟාවීම යන අර්ථය ගෙන දේ. ඒ අනුව ‘පත්ත’ යන වචනය ‘අනුමෝදනා’ යන්න සමඟ එක්ව ‘පත්තානුමෝදනා’ යනුවෙන් සකස් වී ලබන ලද පින් අනුව සතුටුවීම යනු එහි අර්ථයයි.

මිය පරලොව ගිය තම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වනාහි බුදු දහම තුළ පමණක් ඉගැන්වෙන කරුණකි. බුදු දහමට පමණක් ආවේණික දර්ශනයකි. විවිධ දර්ශනවාද, නව සොයා ගැනීම් ආදියෙන් ලොව දියුණුව පමණක් ඇති වූ නමුදු මිය ගිය ඥාතීන්ට පින් දීම බෞද්ධ දර්ශනය තුළ පමණක් ඉගැන්වේ. වර්තමානයේ දී අපේ බෞද්ධ ජනතාව තම මියගිය ඥාතීන් වෙනුවෙන් විවිධාකාර පින්කම්වල නිරත වේ. එම පින් තම ඥාතීන්ට අනුමෝදන් කරයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනුයේ මිය ගිය පුද්ගලයාට තිබෙන බියට හෝ මියගිය පුද්ගලයා අපට අපගේ ගේ දොරවලට හානි කරයි යන අදහසකින් නොවේ. නමුත් වර්තමානයේ දී බොහෝ විට තම ඥාතීන් සමඟ අමනාපව, ගැටුම් ඇතිකරගෙන හා ජීවත්ව සිටින කාලය තුළ දී නොසැළකීම යන හේතු නිසා තමාට කරදරයක් කරයි යන අදහසින් ඇතැම් අය මියගිය ඥාතීන්ට පින් දීම කරනු පෙනේ. ඔවුන් එය කරනුයේ ද කරන්නන් වාලේ මිස තම මිය ගිය ඥාතියාට ඇති ගෞරවය නිසා නොවෙයි. තවත් සමහරු මෙය තරගයකට, ප්‍රසිද්ධියට හා තමාව වර්ණනා කර ගැනීමේ අරමුණින් යුක්තව සිදු කරයි. එනම් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් නොවෙයි.

බුදු දහම පහළවීමට පෙර සිටම මියගිය අය වෙනුවෙන් විවිධ පුද පූජා, අභිචාර විධි පැවැත් වූ බවට ලෝක ශිෂ්ටාචාරය තුළින් හඳුනාගත හැකිය. ක්‍රි. පූ. 6 වන සියවස වන විට පවා මිනිසුන් දෙවි දේවතාවුන් ඇදහීම, මළවුන් ඇදහීම, ඔවුන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම වැනි දෑ සිදු කළ අතර මළවුන්ගේ සිත් දිනාගෙන තම ජීවිතවලට ආශිර්වාදය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. ඒ සඳහා තම මිය ගිය ඥාතියා සඳහා ඥාතියා කැමති ආහාරපාන සතුන්, ධනධාන්‍ය, ප්‍රතිමා සාදා පිළිවෙත් ඉටු කිරීම වැනි දෑ සිදු කොට ඇත. එපමණක් නොව බ්‍රාහ්මණ ආගමේ ඉගැන්වූ මිය ගිය ඥාතීන්ට කරන උපකාර හුදෙක් නාස්තියක්, විනාශයක් හා දැඩි හිංසාකාරී පිළිවෙතක් විය. ඔවුන්ගේ ඉගැන්වීම වූයේ මිය ගිය ඥාතීන් සඳහා ආහාර ගින්නට දමා ඔවුන් වෙත යැවිය යුතුය. ඔවුන්ට පරලොව දී වාහනයක් ලැබීමට නම් මෙලොව සිටින ඥාතීන් ගවයෙකු බිළිදිය යුතුය යන නීරර්ථක ඉගැන්වීම් දක්නට ලැබේ. බුද්ධ දේශනාවට අනුව මිය ගිය ඥාතීන් වෙනුවෙන් නව අර්ථකථනයක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර, එහි දී උන්වහන්සේ දේශනා කරනුයේ පුද්ගලයකු උපයන ධනය ‘පඤ්චබලි’ සඳහා යෙදවිය යුතු අතර ‘පුබ්බ පේතබලි’ යනුවෙන් හැඳින්වූයේ මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් කරන පින් අනුමෝදන් කිරිමකි. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ තමා ඉතාම ධාර්මිකව උපයා සපයාගත් මිල මුදලකින් විය යුතුය. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිළිබඳව ඛුද්දක නිකායේ ප්‍රේත වස්තුවේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ දැක්වේ.

එහි දී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ තමන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුනු ඥාතීන් ජීවත්ව සිටින කාලය තුළ දී කළ හොඳ නරක දෙකට අනුව අවාසනාවකට හෝ ඔවුන් මිය ගියාට පසු යක්ෂ, භූත, ප්‍රේත ආදී විවිධ ආත්මයන්හි ඉපිද අපගෙන් පින් බලාපොරොත්තුවෙන් අපගේ නිවෙස්වල, උළුවහු උඩ, බිත්ති උඩ, වහලය උඩ, තම නිවසට හැරෙන ස්ථානවල සිටින බවයි. ජීවත්ව සිටින කල්හි තමාට උපකාර කළ එබඳු ඥාතීන්ට තමා පින් අනුමෝදන් කිරීම සත්පුරුෂ ක්‍රියාවකි. මියගිය තම මව, පියා ඥාතිවරු අමතක කර දැමීම අසත්පුරුෂ ක්‍රියාවකි. මිය යන සෑමදෙනාම අපගෙන් පින් බලාපොරොත්තු නොවේ. බලාපොරොත්තු වනුයේ “පරදත්තූපජීවි” නම් ප්‍රේත කොට්ඨාසයේ උපන් ප්‍රේතයන් පමණි. නමුත් අප ඥාතියා මිය ගියාට පසු කොහේ කොතැනක සිටී ද යන වග අප නොදනි. මිය යන සෑම දෙනාම උදෙසා පින් කළ යුතුය. එය නිෂ්ඵල ක්‍රියාවක් නොවේ. අප පින් කරන විට දී කල්පනා කළ යුතු වනුයේ අපගෙන් පින් බලාපොරොත්තුව මේ සසර තුළ අනන්ත අප්‍රමාණ පිරිසක් සිටින බවය. එම සියලුදෙනාට ම කිසිදු වෙනසක් නොකොට පින් බලාපොරොත්තු වන තවත් ඥාතීන් ඇත්නම් ඔවුන් එයින් අසතුටට පත්වේ. පින් අනුමෝදනයේ දී මුලින් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කොට පසුව තමා නමින් මිය පරලොව යන්ට යෙදුණු ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුය. දන් දීමෙන් ලැබෙන පිනෙන් ඔවුන්ට හැම දෙයක් ම නොලැබෙන බවත් වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍රත්, වාසස්ථාන සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු ඇතිරිලි ආදිය දන් දිය යුතු බව බිම්බිසාර රජුගේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලිවේ.

ජීවත්ව සිටින අප ඥාතීන්ට විවිධ ආහාරපාන, ඇඳුම් පැළඳුම් බෙහෙත්හේත් වැනි දෑ, අතින් අතට යමක් දුන්න ද මිය පරලොව ගිය ඥාතීන්ට එසේ කළ නොහැකි බවයි. ඔවුන්ට කළ හැකි වනුයේ පින් අනුමෝදන් කිරීම පමණක් වන බවයි. එබැවින් මිය ගිය ඥාතීන් වෙනුවෙන් විවිධ පින්කම් කොට පින් අනුමෝදන් කළ යුතුය. එය ජීවත්ව සිටින ඥාතීන් විසින් කළ යුතු යුතුකමකි. දරුවන්ගෙන් මිය ගිය මවුපියන්ට ඉටුවිය යුතු යුතුකමකි. මෙලෙස විවිධ පින්කම් සිදු කිරිම තුළ මිය ගිය ඥාතීන් පින් ලබාගැනීමට හැකි ස්ථානයක සිටිනා විට එයින් සුගතිගාමී වන බවත් මිය පරලොව යෑමෙන් දින හතකින්, මාස තුනකින්, වරසකින්, වසරක් පාසා විවිධ පින්කම් සිදුකරයි. මෙය පසුකාලීනව සංවර්ධනය වූ බව ද සඳහන් කළ යුතුය. අපේ බෞද්ධ ජනතාව සිදු කරනුයේ සාංඝික දාන පූජා කිරීමයි. පෙරදින රාත්‍රියේ තම නිවසේ ධර්ම දේශනාවක් පවත්වා පසුදින දානය දීම සිදු කරයි. සියලුම ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කොටගෙන ඔවුන්ට ද ආහාරපාන ආදියෙන් සංග්‍රහ කොට හැමෝම සමගිව මෙම පින් අනුමෝදනාව සිදුකරයි. මෙලෙස පින් අනුමෝදන් කිරීම තුළින් තම මියගිය ඥාතීන් එම පින් අනුමෝදනාවෙන් සුගතිගාමී වන බවත් ‘දක්ෂිණාව දීමෙන් අනතුරුව විපාක උපදන දිව්‍යමය, ආහාරපාන, වස්තු පහළ විය. මේ දක්ෂිණාවෙහි විපාකයයි.”

මෙලෙස පින් අනුමෝන් කළ විට අප ඥාතීන් දුක් ඇති භවයක ඉපිද සිටියා නම් එයින් අත් මිදී සැප සම්පත් ලබනවා පමණක් නොව ඔවුන් අපට ද ආශිර්වාද කරනු ලබයි. ‘චිරං ජීවන්තු නො ඥාතී යේසං හෝතු ලභාමසෙ’ යනුවෙන් ඔවුන් ප්‍රකාශ කරනුයේ අපේ ඥාතීන් නිසාවෙන් අපි සුවපත් වීමු ‘අපේ ඥාතීහු බොහෝ කල් ජීවත් වෙත්වා යහපත් විපාක ඇත්තෝ වෙත්වා ලෙස ආශිර්වාද කරයි. එය ඥාති ආශිර්වාදය අපේ ජීවිතයට මනා පිටුවහලක් වන්නේ ය. ඔවුන් අප නිතර ආරක්ෂා කරයි. අපට ආශිර්වාද කරයි.

ඉහත සඳහන් කළ කරුණුවලට අනුව ‘පත්තානුමෝදනා’ හෙවත් පින් අනුමෝදන් කිරීම බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන ශ්‍රේෂ්ඨ ඥාති සංග්‍රහයකි. ඒ තුළින් මිය පරලොව ගිය ඥාතීන් සුඛී සුවපත් තත්ත්වයට පත්වේ. නැත්නම් පින් අනුමෝදන් නොකිරීම තුළ අනන්ත සසර තුළ ඔවුන් කිසිදු පිළිසරණක් නොමැතිව ගමන් කරයි. ඔවුනට අප පින් අනුමෝදන් කිරීම තුළ ඔවුන් සුඛී සුවපත් භාවයකට පත් වනවා පමණක් නොව මෙලොව ජීවත්වන අපට ද ඔවුන් ආශිර්වාද කරයි. එබැවින් පින් අනුමෝදන් කිරීම ජීවත්වන මිය ගිය ඥාතීන්ට පමණක් නොව ජීවත්වන අපට ද මෙලොව පරලොව සැප විපාක ලබාදෙන, ආශිර්වාද ලබාගැනීමට හැකිවන මහා පිනක් ලෙස සඳහන් කළ හැකිය.