උබ්බිරී මහ රහත්තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයට වැටී අනන්තවත් දුක්විඳින සත්ත්වයෝ කොපමණද? උතුම්
ශ්‍රී සද්ධර්ම දේශනයෙන් මෙසේ සසරෙහි දුක්විඳින සතුන් එතෙර කරවූ සම්මා සම්බුදු
පියාණන් වහන්සේලා අනනත්වත් මේ විශ්වයේ පහළව, පිරිනිවී වැඩියාද? නමුදු පෘථග්ජන සිතක්
දරාගෙන භවයේ සියල්ල උපාදාන කරගන්නා වූ සැම සත තවමත් සසර කතරෙහි අතරමංය. බියකරු
සසරින් එතෙර වු ඉපදීම, මැරීම යන ධර්මතාවය දුරුකළ මහරහත් තෙරණියක ලෙස පිරිනිවී වැඩි
උබ්බිරී මහ රහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු.
මෝ තොමෝ පෙර බුදුරජාණන් වහන්සේලා පහළ වූ සමයන්හි බොහෝ කුසල් දහම් වඩා පදුමුත්තර
බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර කුලගෙයක උත්පත්තිය ලැබුවාය. වයස
මුහුකුරා වැඩෙත්ම එක දවසක දෙමාපියන් මැය ගෙදර නවතා වෙනත් නිවසක මංගල අවස්ථාවකට
සහභාගි වූවාය. හිරු අහස මැදට පැමිණෙන වේලාවෙහි බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ
එක් රහතන් වහන්සේ නමක් ගේදොර සමීපයෙන් වඩිනු දුටුවාය. එකනෙහිම ඕතොමෝ අසුනක් පැන
වූහ. එය දිග ලෝම විශේෂයකින් සාදන ලද්දකි.
ඇය මෙසේ මහ රහතන් වහන්සේට කියන්නී, “හිරු අහස මැද සිටි. එහෙයින් බිම උණුසුමෙන් තැවී
ඇත. සුළඟද ,නොහමයි. සුදුසු කාලයයි. මුනිවරය, ඔබවහන්සේ උදෙසා මම මේ අසුන පැනවීමි. මා
කෙරෙහි අනුකම්පාකර මේ අසුනෙහි හිඳිනු මැනවි.
මැනවින් ඉඳුරන්හි හික්මුණු පැවතුම් ඇති භික්ෂූන් වහන්සේ අසුන්ගෙන පාත්‍රය ගෙන ලද
පරිදි දානය ලැබු සේක. මෙසේ කරන ලද කුසල් ඇතිව මිනිස් සිරුර අතහැර තවුතිසා දිව්‍ය
ලෝකයෙහි ඉපිද අනන්ත සැප වින්දාය.
මනාකොට නිමවුණු අසුනක් ලැබුණු අතර එය උසින් සැට යොදුනක් වූ අතර පළලින් තිස්යොදුනක්
වේ. එසේම රනින් නිම කළ, මැණික්වලින් නිමකළ පළිඟුවෙන් නිමකළ, රන්මිණිවලින් නිමකළ
විවිධ ආසනවල සුව පහසුව ගතකිරීමට අවස්ථාව උදාවිණි. විවිධ ලෝමවලින් නිමැවුණු මෙට්ටද,
මැණික් ඔබ්බවා කරන ලද කොට්ට උරද , එකපැත්තක එල්ලෙන රැලි ඇති වැසුම්ද යන මේවායින්
සෑදුණු ආසන බොහෝ විය. කෙළිසෙල්ලම් සඳහා යම් තැනකට යාමට සිතී නම්, එම ආසනය පිටින්ම
සිතු තැනට යාමට හැකියාව ලැබිණි.
දිව්‍ය ලෝකයෙහි දෙව් රජවරු අසූවකට මෙහෙසිය වී දිව්‍ය සැප වින්දාය. සක්විති රජවරු
හැත්තෑ දෙනෙකුට මෙහෙසිය වූවාය. මෙසේ සියලු භවයන්හි හැසිරෙන කල මහත් භෝග සම්පත්
ලැබිණි. සෑම ආත්ම භාවයකදීම ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, යන කුල දෙකෙහි පමණක් උපත ලැබීය.
දොම්නසක් සිත්තැවුලක් කිසිදු කලක නොලැබීය. කිරි මව්වරු බොහෝ සත්කාර කරන්නෝය. සමහර
ස්ත්‍රීහු ඇයට කවන්නීය. ඇතමුන් නහවන්නීය. ඇතමුන් සතුටු කරවන්නීය. ඇතමුන් ගඳවිලවුන්
ගල්වන්නීය. මඩුවක, ‘රුක්මුලක’ හිස්ගෙයක හෝ වෙසෙන කල ඇයට රුචි පරිදි අසුන් පනවන්නීය.
මෙලෙස දිව්‍ය, මනුෂ්‍ය දෙකෙහි මෙසේ සැප සම්පත් විඳ අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ
වූ සමයෙහි සැවැත්නුවර ගෘහපති මහඉහළ කුලයක උප්පත්තිය ලැබුවාය. උබ්බිරි නම් වූ ඕතොමෝ
මහත් රූපසම්පත්තියෙන් සමන්විත වූවාය.
දැකුම්කළු සිත පහදවනසුලු තැනැත්තියක් වූ ඕ කොසොල් රජුගේ මාලිගයට ගෙනෙනු ලැබුවාය.
එයින් වසර කිහිපයකට පසු දියණියක ලැබූ අතර නමින් ‘ජීවන්ති’ වූවාය. කොසොල් රජතුමා
දියණිය දැක සතුටුව උබ්බිරියට අභිෂේකය දුන්නේය. දියණිය ඇවිදින වයසේදී මරණයට පත්විය.
උබ්බිරි තම දියණිය මිහිදන් කළ ස්ථානයට දිනපතා ගොස් වැළපෙයි.
දිනක් ඇය බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ටික වේලාවක් හිඳ පෙරළා ගියාය. ඉක්බිති
හමුවන්නා වූ ‘අචිරවතී’ ගංතෙර සිට දියණිය අරමුණු කොට වැළපෙයි. බුදුරජාණන් වහන්සේ එය
දැක මහා කරුණාවෙන් ගඳකිලියෙහි සිට තමා සමීපයෙහි සිටින බව දක්වා උබ්බිරිය අමතන්නට වූ
සේක.
“කුමක් හෙයින් වැළපෙන්නීදැ”යි ඇසූ සේක”.
“ස්වාමීනි, මගේ දියණිය උදෙසා වැළපෙමි” පිළිතුරය. “මේ සොහොනෙහි දවනු ලැබුවාවූ ඔබේ
සුවාසු දහසක් දියණිවරු පමණි. ඔවුනතරෙන් කවර දියණියක උදෙසා වැළපේදැ”යි විමසූ සේක.
“මෑණියනි, ජීවන්තියයි කියමින් ඔබ වනයෙහි වැළපෙන්නෙහිය. උබ්බිරි , ඔබ තමාම අවබෝධ
කරගන්න. ඔබට ජීවන්තිට සමාන වූ නමින් යුත් දියණියෝ අසූසතර දහසක් වූහ. ඒ සියල්ලෝම මේ
සොහොනෙහි දවනු ලැබූහ. ඔබ ඒ අයගෙන් කවර දියණියක් උදෙසා වැළපෙන්නෙහිද?
මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ උබ්බිරියගේ මෝහාන්ධකාරයෙන් වැසී තිබුණා වූ සිත
ආලෝකමත් කිරීම උදෙසා මෙම ධර්මය දේශනා කොට වදාළ සේක. අනන්තවත් වූ බව සංසාරයෙහි මෙලෙස
තමන්ගේ එක දුව වෙනුවෙන් ඇඬූ වාර ගණන පිළිබඳ ගෙනහැර දැක්වූ සේක. තමා නමින් මරණයට
පත්වූ අම්මලා කොපමණද? තාත්තලා කොපමණද? තම ඥාතිවරුන් බිරිඳ, ස්වාමිපුරුෂයා ආදි
වශයෙන් කොපමණ නම් හඬන්නට ඇතිද? නමුදු එම කඳුලේ නිමාවක් නොමැත. මෙසේ සංසාර සාගරයෙහි
භයානකත්වය පිළිබඳ සිත යොමු කරන්නට යෙදුනු උබ්බිරිය මනාකොට හේතු සම්පත් දැක භාවනාව
දියුණු කර මඟපිළිවෙළින් අග්‍රඵලය වු රහත් බවෙහි පිහිටියාය. සංසාර සාගරයෙන් එතෙරට
වැඩම කොට වදාළ උබ්බිරි රහත් තෙරණියගේ උදානයේ අපූර්ව වෙති.
“දක්නට අපහසු වූ හදවත ඇසුරුකොට පවත්නා වූ මගේ උල උදුරාලීමි. සෝකයෙන් වැඩිණා වූ මගේ
දුහිතෘශෝකය පහකළේය.
“උදුරනු ලැබුවාවූ උල ඇති මම අද ශෝකයෙන් තොරව නිවුණා වෙමි. බුදුන්, දහම්, සඟුන් යන
ත්‍රිවිධ රත්නය සරණ යමි”.
මේ ආකාරයට සියලු බැඳීම්වලින් නිදහස් වූ උබ්බිරි මහරහත් තෙරණියෝ තමන් වහන්සේගේ
විරාගී හදවතින් නිපන් ආස්වාදය අනිත්‍ය වශයෙන් දකිමින් දේශනා කොට වදාළ සේක. මහරහත්
තෙරණියකගේ සිත ප්‍රභාෂ්වර වූවකි. කෙලෙස්හුල් කිසිවක් එම සිතක නොමැත්තේය. දුවක
නොමැති ශෝකයට නතුව අනන්ත දුක් විඳීමට මෙලොව වශයෙන් සිදුවිය.
පෘථග්ජන ලෝකය තුළ පුද්ගලයන් කෙතරම් බැඳීම් ගොඩකට බැඳෙනවාද? සංස්කාර ගොන්නකගේ
හේතුවෙන් අඳුරු වු , පිළිකුල් සහගත වූ මවුකුසක දින ගණනාවක් වාසය කරමින් සීතලෙන්
ගැහි ගැහී උණුසුමෙන් පිච්චි පිච්චි මවගේ කායික හැසිරවීම් අනුව වෙනස්වීම්වලට
ලක්වෙමින් මොළකැටි ශරීරය තෙරපෙමින් කොපමණ නම් දුක්වේදනාවන්ට හසුවනවාද? මෙසේ ජාතියක්
ලබන කළ උපාදාන කරගත් සිතක් නිසා අනේක දුක් විඳීමේ පළමු පියවර තැබුවා පමණයි. මෙලොව
වශයෙන් උපත ලැබීමේදී හැඩීම් වැළපීම්වලට ලක්වෙමින් කිසිදු දෙයක් නොතේරෙන කිරිකැටි
දරුවා කොපමණ නම් අසරණ භාවයට පත්වෙනවාද?
පුංචි දරුවාගේ ජීවිත උන්නතිය උදෙසා තරුණියකට සැහැල්ලුවෙන් සිටි කාන්තාව මවක වී මේ
බිලින්දා වෙනුවෙන් ආදරය, සෙනෙහස, කරුණාව දෙමින් දරුවා වෙනුවෙන් මුළු ජීවිතයම
කැපකරන්නේ සංසාරයේ සැරිසරන්නට බොහෝ බැඳීම් ගොන්නක් ඇතිකරගෙනය. මෙලෙස ජීවිතයට
පණපොවන්නට මවක ගන්නා වූ තැත අපමණය. මෙම ආත්මයේ අම්මා කෙනෙකු තම ජීවිතය දරුවා
වෙනුවෙන් පරිත්‍යාග කරයි. මෙලෙස අනන්ත භව සංසාරයේ අම්මෙක් වෙලා දරුවන් බිහිකරමින්
යහපත් දක්ෂ දරුවන් බිහිකරන්නට ඇති. රහත් භූමියට පත්වූ උතුමෝ එම කුසින් බිහිකරන්නට
ඇති. සෝවාන් සකදාගාමී. අනාගාමී මාර්ග ඵලයන්ට උරුමකම් කියූ දරුවන් මව් කුසින්
බිහිකරන්නට ඇත. පන්සිල් රකින සිල් ගුණදම් පුරන දරුවෝ මෙලොවට බිහිකරන්නට ඇත.
එමෙන්ම කිසිඳු සමාජයකට වැඩක් නොමැති අයහපත් දුශ්ශීල සොරුන්, බේබද්දන්,
මංකොල්ලකරුවන්, අනන්ත සංසාරයේ අම්මා කෙනෙකු වෙලා මෙලොවට බිහිකරන්නට ඇත. අනාගතයේදි
අම්මා කෙනෙකු වී තව තවත් දරුවෝ බිහිකරාවි. සංසාර දුක්ඛයට හසුවු මවක වූ කෙනෙකු මේ
ආකාරයට බැඳීම් ගොනුවකට හසුවේ.
මනුස්ස මවක වී මෙසේ දරුවෝ නිර්මාණය කරන්නා සේ තිරිසන් ආත්මභාවයක් ලබා ඒ තිරිසන් මව
තවත් දරුවෝ බිහි කරයි. මෙලෙස පරක් තෙරක් නොපෙනෙන සසරේ මවක වී දරුවන්ට පණදෙමින්
‘අම්මා’ යන රැහැනින් බැඳී වාසය කොට ඉපදෙමින් මැරෙමින් යන අනන්තවත් දුක්ඛිත සසරේ
සැරිසරති.
නමුදු ‘දුහිතෘ’ දුව යන සංඥාවෙන් උබ්බිරි මිදුනේ සියලු සංසාර ගත බැඳීම් සියල්ලම
අතහැර දමමිනි. ඒ උත්තම වූ රහත් භූමියට පත්වූ උත්තමාවියක වූ උන්වහන්සේගේ උත්තරීතර
චරිතයෙන් ගෙනහැර දක්වන්නේ මවක බවට පත්ව ගෙවන්නාවූ ජීවිතයේ හරවත් බවට වඩා මව යන
සංඥාවෙන් ලෞකික වශයෙන් කෙතරම් දුකකට පත්වනවාද යන්නයි.
අප ගත කරන ජීවන චාරිකාවේ මවක යන උත්තරීතර තත්ත්වය හුවා දක්වමින් ලෞකික දිවිය තුළ
කෙතරම් වෙහෙසවනවාද? කතකට දෙවනුව සිතන්නට අවස්ථාව හිමිය. ඇයට මව් පදවිය පමණක් නොව මේ
ලෝකයේ සියලු බැඳීම් දුරු කිරීමේ සක්‍යතාවයක් පෞරුෂයක් පවතින බවත් උබ්බිරි තෙරණිය
වැනි උත්තම තත්ත්වයට පත්විය හැකි බව මනාව විපුල වන්නේය. එවන් වූ මහා භාග්‍යසම්පන්න
ශ්‍රේෂ්ඨ කාන්තාවක් වන්නට තිසරණ සරණ ගිය උබ්බිරි චරිතය ආදර්ශයක්ම වේවා! පෙරගමන්
මඟක්ම වේවා! |