ප්‍රඥාව සහ මිනිස් ජීවිතය
මහාචාර්ය
වරාගොඩ පේමරතන
අනුනා හිමි
" තමන් කැමති දේ සිතා මතා, තමන් කැමති ආකාරයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව මිනිසා
සතුව තිබෙන බව පිළිගන්නා හෙයින් මිනිසාට තමන්ගේ කර්මය පවා වෙනස් කර ගැනීමේ ශක්තිය
ඇතැයි බුදුන් වහන්සේ උගන්වා වදාළහ."
ලෝකපූජිත ශබ්දකෝෂවල නිර්වචනය වන පරිදි, දැනුම, අත්දැකීම, අවබෝධය, ව්‍යවහාරික ඥානය
සහ අන්තර්ඥානය යනාදියේ ආධාරයෙන් සිතීමේ සහ ඒ සිතිවිලි ක්‍රියාත්මක කිරීමේ ශක්තිය
ප්‍රඥාව නම් වේ. එය අපේ ජීවිතය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව විමසා බැලීමක් කරමු.
පැවැත්ම සම්බන්ධයෙන් වර්ෂ දසලක්ෂ ගණනක ඉතිහාසයකට හිමිකම් කියන මේ ලෝකය ගැන සිතන විට
අපා, දෙපා, සිව්පා ආදී කොතෙක් ජීවි තලයන් වාසය කළ ද පොළෝ තලයෙහි ස්වාමිත්වය හිමි කර
ගැනීමට සමත් ව සිටින්නේ මිනිසා පමණක් බව කැපී පෙනෙයි. මත්තෙහිදී ද ඒ තත්ත්වයේ
සැළකිය යුතු වෙනසක් සිදු වෙතැයි සිතන්නට තරම් කරුණු නැත. ඔහුට ඒ වික්‍රමය පෑ හැකි
වූයේ එක් දවසකින් එක් උත්සාහයකින් එක් පුද්ගලයෙකුගේ වෑයමකින් නොවේ. වර්ෂ දස දහස්
ගණනක් තිස්සේ සමස්ත වර්ගයා විසින් විවිධ විචිත්‍ර අත්දැකීම්, දැනුම හා නුවණ විධිමත්
ලෙස ගොනු කරගැනීම පිණිස දැරූ අවිච්ඡින්න සාමූහික ප්‍රයත්නයකින් බව ඉතිහාසය,
පුරාවිද්‍යාව, මානවවිද්‍යාව, සමාජවිද්‍යාව ආදී අනේකප්‍රකාර දෘෂ්ටිකෝණ ආශ්‍රයෙන්
වටහා ගැනීම දුෂ්කර නොවේ. ආහාර ගවේෂණය, ගිනි, නිපදවන ක්‍රම සොයා ගැනීම, රෝදය හෙවත්
චක්‍රය භාවිතයට ගැනීම සහ ලෝහ භාවිතයට හුරු වීම ආදී ඔහු විසින් අත්පත් කර ගත් සියලු
ආකාරයේ ජයග්‍රහණයන්ට මූලික වූයේ ඔහු තුළ සහජයෙන්ම පිහිටි බුද්ධි මහිමය බවට විවාදයක්
නැත. මිනිසා යන නාමය පවා ඔහුට හිමි වූයේ ඔහු සතු ඒ අපූර්ව ගුණය හේතු කොට ගෙන බව
බොහෝ දැනුමැත්තෝ පවසති. යමෙකු තුළ මනා බුද්ධි පාවිච්චියක් පවතී නම් බලය හිමි වන්නේ
ඔහුටය යනුවෙන් සංස්කෘත සාහිත්‍යයට ඇතුළත් හිතෝපදේශය, පංචතන්ත්‍රය වැනි ජනකතාවලින් ද
සෘජුව ඒ බව ප්‍රකාශ වෙයි. ලොව විවිධ සාහිත්‍යයන්ගෙන් හා කලාශිල්ප මඟින් යළි යළිත්
සනාථ වන්නේ ද බුද්ධියේ ජයග්‍රාහක ස්වභාවය මැයි. බෙහෙවින් ජන සම්භාවනාවට පාත්‍ර වූ
මෙතිස් සහ ඇතීනා යන දෙවිවරු ද්‍යසුස්ගේ හිසෙන් උපන්නෝ යන විශ්වාසය ඇසුරෙන් පැරණි
ඊජීප්තු වැසියන් කල්පනා කළේත්, ගී‍්‍රක සහ රෝම වැසියන්ගේ අදහස වූයේත් ඉහත කී
සංකල්පනාවේ නිරවද්‍යතාවයයි. බුද්ධඝෝෂ මාහිමියන්ගේ විසුද්ධිමග්ගයෙහි විවරණය වන
පරිදි, ප්‍රඥාව යනු අවිද්‍යා නමැති අඳුර පළවා හැරීම ලෙස ථේරවාදී බෞද්ධයෝ අදහති.
දස පෙරුම් පුරා කෙළෙස් ගෙවා, සසර හිමි තරණය කොට දස බිම්බරක් මර සෙනග පරදවා, ලොව
සදාතනික ව ක්‍රියාත්මක වන හේතුඵලනියාමය සහ සිව්සස් පූර්ණ වශයෙන් සාක්ෂාත් කොට ගත්
මිනිස් ඉතිහාසයේ පළමු අසමසම උතුමන් වහන්සේ බෞද්ධ ව්‍යවහාරයෙහි හඳුන්වනු ලබන්නේ
බුද්ධ (නුවණ ලැබූ උතුමා) යනුවෙනි. ප්‍රඥාවේ පරතෙරට, හෙවත් ඥානයේ අන්තිම කෙළවරට පත්
උතුමා යනු එහි සරල තේරුමයි. බිත්තර කටුව බිඳ ගෙන එළියට පැමිණෙන කුකුළු පැටවකු සේ
දෙව්, බඹ, මිනිසුන් අතරින් අවිද්‍යා නමැති අන්ධකාර පටලය, බිඳ හැර පළමු වරට
ශාන්තිදායී විමුක්තියේ ආලෝකය දුටු සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ උදන් ඇණුවේ ඒ
අර්ථය ම තවදුරටත් ශක්තිමත් කරමිනි. උන්වහන්සේ පමණක් නොව, ඒ පරම පවිත්‍ර තත්ත්වයට
ළඟා වන කවර කෙනෙකු වුවත් සදහට ම සසරින් මිදී මුළුමනින්ම සියලු ආකාරයේ දුක්වලින්
නිදහස් වූ උතුමෙකු ලෙසින් පූජනීය වන බව බුදුදහමේ අවධාරණය වෙයි. මිනිසා සතු මහාර්ඝ
අමුල්‍යතම වස්තුව රන් රිදී මුතු කහවණු ආදිය නොව, භවගාමී සතුන් විසින් අනිවාර්යෙන්ම
මුහුණ පෑ යුතු අනේකවිධ දුක් ගැහැට සහ අභියෝග සියල්ලෙන් මිදීමට හේතුවන ප්‍රඥාව යැයි
ශාක්‍යසිංහ බුදුපියාණන් වහන්සේ උදානයක් මඟින් තහවුරු කොට වදාළේ ඒ කාරණයයි. එහෙයින්
පොතෙන් පිට යමක් ගැන සිතිය නොහැකි අන්‍යාගමිකයන්ට වඩා නිදහස් ව නිවහල් යතාර්ථවාදීව
සිතන්නට නිදහස ඇති බෞද්ධයා ප්‍රඥාව දියුණු කර ගැනීම සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක්
දැක්විය යුතු ය. ඒ සම්පතින් පොහොසත් වීමේ අරමුණින් වැඩි වැඩියෙන් වෙර වැඩිය යුතු ය.
ලෞකික වූ අපගේ ජීවිතය පුරාම පවතින්නේත් ක්‍රියාත්මක වන්නේත් අවිද්‍යාව හෙවත්
නොදැනීම ලෙස නම් කෙරෙන බරපතල මානසික දුර්ගුණය බව උපේක්ෂාසහගත ව අවබෝධ කර ගත යුතු ය.
ඊශ්වර නිර්මාණවාදී ආගම්වල බුද්ධිමත්භාවය අතින් මිනිසාට හිමි වන්නේ ඔවුනට ජීවදානය කළ
දෙවියන්ට වඩා පහළ තැනකි. අභීත ලෙස සිතා මතා තීරණ ගැනීමේ අයිතියක් හෝ ශක්තියක් ඔහුට
නැත. ඔහුට ආගමික පක්ෂග්‍රාහිත්වයෙන් තොරව සිතීමේ නිදහසක් ඇතැයි ඒ ආගම්වලින්
ඉගැන්වෙන්නේ නැත. දේව වාක්‍යය පරමෝත්කෘෂ්ට තත්ත්වයෙහි ලා සළකන ඒ බැතිමත්හු ඉන්
බැහැර ව සත්‍යය සෙවීමට කිසිසේත් උනන්දු නොවෙති. ඔවුන් තුළ ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය
වැනි සමාජද්‍රෝහී චෛතසික මුවහත් වන්නේ එහෙයිනි. මීට වඩා හාත්පසින්ම වෙනස්
ස්වඡන්දතාව සියලු පුද්ගලයන් සතුව පවතිතැයි බුදුදහමේ ඉගැන්වෙයි. තමන් කැමති දේ සිතා
මතා තමන් කැමති ආකාරයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව මිනිසා සතුව තිබෙන බව
පිළිගන්නා හෙයින් මිනිසාට තමන්ගේ කර්මය පවා වෙනස් කර ගැනීමේ ශක්තිය ඇතැයි බුදුන්
වහන්සේ උගන්වා වදාළහ. කර්මය කරන්නේත් එහි ඵලවිපාක භුක්ති විඳින්නේත් පුද්ගලයා සතු
ස්වච්ඡන්දතාව හෙවත් පුරුෂකාරත්වය හේතු කොට ගෙනය.
චතුරාර්ය සත්‍යය පහදා දෙමින් එහි ගුණයෙන් එක සමාන වූ අංග අටක් අන්තර්ගත වන බව
බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ඒ සියල්ල ම සම්මා නම් වූ නිවැරදි දිසාවට
අභිමුඛ වීමේ ගුණයෙන් පරිපූර්ණ වේ. මෙයින් නිගමනය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු
බුද්ධිමතුන්ගේ මාර්ගය බවයි. යම් ක්‍රියාවක් නිවැරදි දිශාවට යොමු වී ඇද්දැයි තීරණය
කරන්නේ බුද්ධිය විසින් වන හෙයිනි. බුද්ධිහීන පුද්ගලයෙකුට එය ගොදුරු නොවන බව ද එසේම
අවධාරණය වෙයි. මගේ ධර්මය බුද්ධිහීන පුද්ගලයන් උදෙසා නොවේ යන සර්වඥභාෂිතයෙහි අර්ථය
එයයි. බුදුසමය ඵලදායි ලෙස පිළිපැදීමට නම් පුද්ගලයා ප්‍රඥාසම්පත්තියෙන් යුක්ත විය
යුතු ය.
ප්‍රඥා සම්පත්තියෙන් සුසජ්ජත වූ පුද්ගලයා නිරාකුල චින්තනය මඟින් තම දිවිමඟ
වාසනාවන්ත කර ගන්නවා පමණක් නොව එහි, උපරිම ඵල ද නෙළා ගනී. ප්‍රඥාවන්ත පුද්ගලයන්
හැඳිනගැනීම ද පහසුය. ඔහු කිසිදා සිතින් කයින් වචනයෙන්, දුෂ්ට, අධම, පාපකාරී, තුච්ඡ,
නින්දිත ක්‍රියාවල නොයෙදෙතැයි තථාගතයන් වහන්සේ විසින් වදාළ බව අංගුත්තර නිකායට
ඇතුළත් එක් සූත්‍රයක සඳහන් වේ. ආරම්භ කළ කිසියම් කාර්යයක් එහි නිෂ්ඨාව දක්වා
නොපසුබස්නා වීර්යයෙන් යුක්තව නොනවත්වා ම ඉදිරියට ගෙන යන පුද්ගලයා බුද්ධිමතෙකි.
එවැන්නන්ගේ සංඛ්‍යාව ඉතා ස්වල්ප බව ධම්මපදය සඳහන් කරයි. මෙයින් නිගමනය වන්නේ මිනිස්
ජනකායයෙන් සුවිශාල කොටස බුද්ධිමත් භාවයෙන් හීන ව සිටින බවයි.
මිනිස් වර්ගයාගේ ඇතැම් කොටස් විසින් දියුණු කර ගනු ලබන බුද්ධිය ගමන් කරන්නේ කවර
දිශාවටද? කාමභෝගී ජීවිත රටාවකට ගොදුරු වී සිටින බොහෝ ජන කොටස් කල්පනා කරන්නේ නූතන
විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ විමුක්තියට හේතු වන අද්භූත ජනක ශාස්ත්‍ර ධාරාවක්
බවයි. අතීතයේ මෙන්ම වර්තමානයේ දීත් විද්‍යාව හා තාක්ෂණය මිනිස් ජීවිතයේ අනේකප්‍රකාර
දුෂ්කරතා මඟහරවාලීමටත් නොසිතූවිරූ ලෙස සුවපහසුකම් වැඩිදියුණු කිරීමටත් වේගවත්
දායකත්වයක් සැපයු බව ලෝකව්‍යාප්ත පිළිගැනීම බව රහසක් නොවේ. ඒ නිසා ඒ සම්මුතිය
අසත්‍යයක් හෝ සාවද්‍ය පිළිගැනීමකැයි තර්ක කළ නොහැකිය. එහෙත් ප්‍රශ්නය ඒ නොවේ.
වර්තමානයේ ලොව දසතින් අසන්නට සහ දකින්නට ලැබෙන අතිශය ඛේදජනක සිද්ධීන් ඔස්සේ එහි යටි
පරමාර්ථය පිළිබඳව කුකුස් පහළ වෙයි. මුළුමහත් මනුෂ්‍ය වර්ගයාගේත් අවශේෂ සියලු සත්ත්ව
වර්ගයාගේත් පැවැත්ම මුළුමනින්ම අත්හිටවා ලෝකය ජීවි කාන්තාරයක් බවට පත් කිරීම
විද්‍යාවේ සහ තාක්ෂණයේ යටි පරමාර්ථය වී ඇතැයි නොකිය යුතුද? එවැනි සාහසික වූ
ජනසංහාරක උපායශීලීත්වයක් බුද්ධිමත්භාවයේ උපරිම දියුණුව ලෙස සැළකීම අවිද්‍යාවේ
ගැඹුරටම කිඳා බැසීමක් නොවේද? මහාකාරුණික වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ
මිනිසා විසින් දියුණු කළ යුත්තේ සබ්බසත්තපාණභූතහිතානුකම්පී (ජීවිතය ලබන සියලු
සතුන්ගේ ප්‍රාණීන්ගේ සහ භූතයන්ගේ හිතසුව සළසන ආකාරයේ) ප්‍රඥාවන්තභාවයක් ජනිත විය
යුතු බවයි.
ඉහත දක්වන ලද තොරතුරු ඇසුරෙන් අප විසින් ජීවිතයේ නිසි පල නෙළා ගනු පිණිසත් ලෝක
සත්ත්වයාගේ හිතසුව පිණිසත් වැඩිදියුණු කර ගත යුතු එකම සාරවත් සම්පත ප්‍රඥාව බවයි.
|