තමන් සොයනවා ද? ලෝකය සොයනවා ද?
හලාවත
හැරිටස් වරුසවිතාන
කුඩා දරුවා තමා සෙවු වැලි ගොඩ තම පාමුල දෙස බැලීමෙන් සොයාගත්තාක් මෙන් ඔබද අනුන්ගේ
හොඳ, නරක, උගත් නූගත්කම්, හරි වැරදි ගැන සොයන්නට හෝ ලෝකය පුරා ඇති අසාධාරණ කම්,
දුෂ්ඨකම් හදන්නට හෝ සොයන්නට නොගොස් තමා තුළ ඇති හොඳ, නරක, හරි වැරදි ගැන සොයා
බැලුවහොත් ඔබ ඉතා ඉක්මනින් ම ඒ නරකවලින් ඉවත් වී හොඳ දේ වැඩි දියුණු කරගෙන ඇත
අප කුඩා කල අපේ ගම් ප්‍රදේශවල පුංචි දරුවන් අතර නොයෙකුත් අන්දමේ අහිංසක ක්‍රීඩා
ගණනාවක් තිබුණි. ගුඩු පැනීම, කල්ලි ගැසීම වැනි ක්‍රීඩා පිරිමි ළමයින් අතරත්, තවත්
සමහර ක්‍රීඩා ගැහැනු පිරිමි භේදයකින් තොරවත් සිදු කෙරුණි. මෙයින් සමහර ක්‍රීඩාවලින්
ළමා මනස නොදැනුවත්වම පෝෂණය වී බුද්ධී වර්ධනය සිදුවිය. සාමානාත්මතාවය ,සහෝදර
පේ‍්‍රමය, ඉවසීම, සහයෝගයෙන් වැඩ කිරීම ආදියද හුරු විය. මේ ගැමි ක්‍රීඩා අතර තිබූ
වැලිගම් යෑම නම් ක්‍රීඩාව මගේ මතකයට නැගනේනේ වර්තමාන අධිවේගී, අවිවේකී සමාජය තුළ
හිර වී ඇති අපේ කුඩා දරුවන් දෙස බලන විටය.
අපි අසල්වැසි ගැහැනු හා පිරිමි ළමයින් ටික පාසලින් පසු හෝ නිවාඩු දිනක ඉඩ පහසුකම්
සහිත මිදුලක් ඇති ගෙදරකට එක් රොක් වෙමු. වැලිගම් යාමේ ක්‍රීඩාව ආරම්භ කරන්නේ එක්
දරුවකු පිරිසිදු වැලි ටිකක් දෝතට ගැනීමෙනි. ඉන්පසු මලක් ගසන ලද ඉරටු කෑල්ලක් දෝතේ
ඇති වැල්ලේ ගසනු ලැබේ. අනතුරුව තවත් කෙනෙකු විසින් වැලි දෝත ගත් ළමයාගේ දෑස් තම
දෑතින් වසා ඉඩම පුරා රැගෙන යනු ලැබේ. වට වංගු සහිතව ගෙන යන එම ගමනේදී ළමයි පිරිස
‘මේ කොයි යන්නේ’ කියති. වැලි දෝත සහිතව ඇස් වසා ඇති ළමයා’ ‘වැලිගම් යන්නේ’ කියයි.
ඊළඟට ළමයි ‘කවදද එන්නේ’ අසති. ඇස් වැසූ ළමයා’ සඳුදයි එන්නේ ‘ කියයි.
මේ ක්‍රීඩාවේ දී කියනු ලබන කවිය පැරැන්නෝ නිර්මාණය කර ඇත්තේ ධර්මය ද සිහිපත්
කරමිනි. මේ කොයි යන්නේ දැයි අසන විට වැලිගම් යන්නේ යැයි කියන්නේ අපි මරණය කරා
මොහොතින් මොහොත යන බව ය. කවදද එන්නේ යයි අසන විට සඳුදයි එන්නේ යනු මියගොස් වහාම
ආපසු උපදින බව ය. (සති අන්ත ඉරිදා මියගොස් වහාම , එනම් සඳුදා නැවත උපත ලබා එන බවයි)
ඊළඟට මේ වැලි දෝත යම් ස්ථානයකට දමන්නට සලස්වා නැවත ලොකු වට රවුමක් රැගෙන ගොස් දෑස
මුදා හැර අර වැලි ටික සහිත මල සොයාගත යුතුය. මේ වැලි ටික තමා ආරම්භ කළ ස්ථානයටම
රැගෙන ගොස් දැමීම සමහර විට සිදු වේ. එවිට එය සොයාගැනීම ඉතාම දුෂ්කර වන්නේ හැම දෙනාම
පාහේ බොහෝ විට තමා පටන්ගත් තැන වැලිගොඩ ඇතැයි නොසිතන නිසා ය. මුළු ඉඩම පුරාම වැලි
ගොඩ සොයන නමුත් තමා සිටි, ආරම්භ කළ ස්ථානය බැලීමට ඔවුන්ට වුවමනාවක් නැත.
මේ සංසිද්ධිය ඉතා සරල දෙයක් වුවත් මෙහි ගැබ් වී ඇති අර්ථය ඉතා විශාල ය. ලොකු කුඩා
අප හැමටම ජීවිතය පුරාම සිදුවී ඇත්තේ මේ ක්‍රියාවලි තුළම කොටු වීම ය. අප සිටින තැන
හා අප ගැන සොයන්නේ නැතිව මුලු අවට පරිසරය පුරාම අපට අවශ්‍ය දේ සොයමින් සිටිමු.
ස්වල්ප මොහොතකටවත් තමා හා තම ස්ථානය ගැන සෙවීමට උත්සාහ නොගනිමු. ඒ නිසාම අපට අවශ්‍ය
දේ බොහෝමයක්ම සොයාගැනීමට නොහැකිවී තිබේ.
බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දී අපට දේශනා කර ඇත්තේ තමන් ගැන සොයන්න. බාහිර දේ
ගැන නොසොයා තමන් ගැන සොයන පුද්ගලයාට මුළු ලෝකයම සොයාගත හැකි වනු ඇත යනුවෙනි. මෙය
බොහෝ දෙනාට තේරුම් ගැනීමට ටිකක් අපහසු දෙයකි. නමුත් තමා හෙවත් මේ රූප, වේදනා, සංඤා,
සංස්කාර, විඤ්ඤාන පොදිය යනු මුළු විශ්වයම බවත්, එය තරමක් දුරට හෝ තේරුම් ගත් පසු
මෙලොව වශයෙනුත් සංසාරයෙන් එතෙරවීම වශයෙනුත් ගත යුතු ප්‍රතිපදාව හෙවත් ජීවන රටා වැඩ
පිළිවෙළ සකස්කර ගැනීම සඳහාත් මහත් පිටිවහලක් වනු ඇත. තමා යනු මුළු ලෝකයම බව
තේරුම්ගත් පසු තමා හරියට හදාගත්තේ නම් මුළු ලෝකයම හරියට හදාගත් බවත්, තමා යනුවෙන්
ඇති දේ පිළිබඳ නිස්සාර හිස් බව අවබෝධ කරගත් විට මුළු මහත් ලෝකයම නිස්සාර හා හිස්
දෙයක් බවත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දකිනු ඇත. එවිට අපි බුදුදහමින් පරමාර්ථ වශයෙන්
බලාපොරොත්තු වන සියල්ලම නිස්සාර බව දැකීම නිසා ඇතිවන තණ්හාව හෝ ඇල්ම විනාශ වී ඇතිවන
පරම නිවීම අවබෝධ වනු ඇත.
තමා ගැන හෙවත් තමා යයි සිතා සිටින පංචස්කන්ධය ගැන සොයන විට මුළු මහත් ලෝකයම විශ්වයම
දකින්නේ කෙසේද?
විශ්වයේම ගස් වැල්, කඳු, ගංගා සතුන්, ඉර හඳ, තාරකා ආදි රූප ඔබ නිර්මාණය කරන්නේ
කර්මය නිසා ලද ඇස උපයෝගී කරගත් විඤ්ඤාණය නිසා බව වැටහෙන්නට පටන් ගන්නේ මේ ඔබ දෙස
බලන්නට හුරු වීමෙනි. ලෝකය සොයාගැනීම සඳහා ඉර, හඳ, තාරකා දෙස දුරේක්ෂයකින් බලමින්
උත්සාහ ගැනීමෙන් සිදුවන්නේ අර කුඩා ළමයින් සෙල්ලම් කරන විට තමා සිටි තැන නොසොයා
මුළු ඉඩම පුරාම වැලි ටික සොයමින් මහන්සි වීම හා සමාන දෙයකි. ශබ්ද ලෝකයම කන හරහා ඔබේ
විඤ්ඤාණය විසින් නිර්මාණය කරන මායාවක් වන අතර ශබ්දය කියා දෙයක් නොව මහා කම්පන
වේගයක් පමණක් ලොව පුරා උපදින බව වැටහෙන්නට ගන්නේ තමා දෙස බලන්නට පුරුදුවූ විටය. රස,
ස්පර්ශය, හා ගඳ සුවඳ පිළිබඳවද සත්‍ය මෙයම ය.
මේ කියන ලද රූප කොටස් පමණක් නොව ලෝකය පුරා තිබෙන, නමුත් තිබෙන ස්ථානයක් නොදන්නා,
තරහව, ආදරය, රාගය, ඊර්ෂ්‍යාව, නුරුස්නාව, කරුණාව, ත්‍යාගශීලි බව, ලෝබකම, මැලි බව ,
වීර්ය බව, කුසීන බව, සැක සහිත බව, උඩඟු බව හා මාන්නය යන මේ දේවල්ද ඔබේ පංචස්කන්ධය
තුළින්ම ඔබට සොයාගත හැකිවනු ඇත. එම ධර්මතා ඔබ කොතෙක් සෙව්වද බාහිර ලෝකයෙන් ඔබට
සොයාගත නොහැකිවනු ඇත. මේ ධර්මතා ඔබ කෙරෙන්ම දකින මොහොත ඔබ සතර සති සතිපට්ඨානය වඩන
විදර්ශනා භාවනා ක්‍රමය මෙහෙයවන අවස්ථාව බවට පසක් වනු ඇත. ඊර්ෂ්‍යාව, තරහව, රාගය,
මෛත්‍රිය ඔබ තුළ උපදින හැටි, නැති වී යන හැටි, ඔබ අධ්‍යයනය කරන්නේ මේ ලෝකය නොසොයා
තමා ගැන බලන්නට හුරුවීම නිසාය.
කුඩා දරුවා තමා සෙවු වැලි ගොඩ තම පාමුල දෙස බැලීමෙන් සොයාගත්තාක් මෙන් ඔබද අනුන්ගේ
හොඳ, නරක, උගත් නූගත්කම්, හරි වැරදි ගැන සොයන්නට හෝ ලෝකය පුරා ඇති අසාධාරණ කම්,
දුෂ්ඨකම් හදන්නට හෝ සොයන්නට නොගොස් තමා තුළ ඇති හොඳ, නරක, හරි වැරදි ගැන සොයා
බැලුවහොත් ඔබ ඉතා ඉක්මනින් ම ඒ නරකවලින් ඉවත් වී හොඳ දේ වැඩි දියුණු කරගනු ඇත.
තමන් කෙරෙහි වූ හොඳ නරක දෙකෙහිම ඇති අස්ථීර, බව වහා වෙනස්වන සුළු බව දැකීමෙන් මේ
සියලු දෙයම කෙරෙහි ඇති බැඳීම හා ඇල්ම විනාශ කිරීමෙන් ධර්මය අවබෝධ කරගනු ඇත.
එය අසංක කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වය ලබා අප වෙනුවෙන්ම දහම්
දෙසු බුදුරජාණන් වහන්සේ ගේ එකම බලාපොරොත්තුව විය. එසේ නොමැතිව තමා හදන්නට තමාගේ
ඇතුලාන්තය දකින්නට උත්සාහ නොවී මුළු ලෝකයම හදන්නට, මුළු ලෝකයම සොයන්නට මහත් වෙහෙසක්
දරමින් සිටීම තමන්ටම කරගන්නා මහත් පාඩුවකිනි. නිශ්ඵල උත්සාහයකි.
ලෝකය සොයනු වෙනුවට තමා ගැන සොයන්න. ඔබ මුළු ලෝකය ම සොයාගනු ඇත. විශ්වය හා විශ්ව
ධර්මතා ඇති වෙන හැටිත් එම මොහොතේම ඒවා නැති වෙන හැටිත් ඔබ ප්‍රඥාවෙන් දකිනු ඇත. |