Print this Article


නිවනට මඟ සදන පීති සම්බොජ්ඣංගය

නිවනට මඟ සදන පීති සම්බොජ්ඣංගය

" පී‍්‍රති යන වචනයේ අර්ථය හිනාවීම යන්නයි. (පීනයතී’ ති පීති) අරමුණ මනාප කරවීම, පි‍්‍රය කරවීම පී‍්‍රතියේ ස්වභාවයයි. ලක්ෂණයයි. කයත් සිතත් පුබුදුවන ගතිය පී‍්‍රතියෙහි ඇත. ඛුද්ධිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බේගා, ඵරණා යැයි පී‍්‍රතිය පස් ආකාරයකට වර්ග කර ඇත. එසේ වර්ග කර ඇති එම පී‍්‍රතිය පස්වනක් පී‍්‍රතිය යැයි කියනු ලැබේ."

සත්ත බොජ්ඣංගයන් අතර සිව්වැන්න සේ සැලකෙන්නේ පීති සම්බොජ්ඣංගයයි. සතුට විපුල භාවය, සමෘද්ධිය වැනි අරුත් එම වචනයෙහි ගැබ් වී ඇත. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් කියවෙන්නේ අරූපි ධර්මයෙකි. එය එසේ කී පමණින් පීති සම්බොජ්ඣංග ධර්මය වැටහෙන්නේ නැත.

දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍යය තේරුම් ගත් යම් සිතක් වේ නම්, එම සිතෙහි ඇතුළත් ව තිබෙන සති, ධම්මවිචය, විරිය, ආදී චෛතසිකයන් අතර පීතිය ද එකකි. එය අනෙක් හය සමග එකට යෙදුණු විට නිවන් අවබෝධ කර ගැනීමට කාරණයක් ව පවතී. ඒ නිසා ‘පීති සම්බොජ්ඣංගො ඛො කස්සප මයා සම්මදක්ඛතා භාවිතො බහුලීකතො, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තතී (කාශ්‍යපය, මා විසින් පීති සම්බොජ්ඣංගය මැනවින් කියන ලදී. භාවිත කරන ලදී. බොහෝ කොට පුරුදු කරන ලදී. එය සත්‍ය ප්‍රතිවේධයටත්, සම්‍යක් සම්බෝධියටත් නිර්වාණාවබෝධයටත් හේතු වෙයි.) යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙම පී‍්‍රතිය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම්ය.

ස්වභාවයෙන් හෝ සැලකීමෙන් ඉෂ්ට මනාප පි‍්‍රය අරමුණක් ලැබීමෙන් ඇති වන්නේ පී‍්‍රතියකි. සතුටකි. පී‍්‍රති යන වචනයේ අර්ථය හිනාවීම යන්නයි. (පීනයතී’ ති පීති) අරමුණ මනාප කරවීම, පි‍්‍රය කරවීම පී‍්‍රතියේ ස්වභාවයයි. ලක්ෂණයයි. කයත් සිතත් පුබුදුවන ගතිය පී‍්‍රතියෙහි ඇත. ඛුද්ධිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බේගා, ඵරණා යැයි පී‍්‍රතිය පස් ආකාරයකට වර්ග කර ඇත. එසේ වර්ග කර ඇති එම පී‍්‍රතිය පස්වනක් පී‍්‍රතිය යැයි කියනු ලැබේ.

ඛුද්දිකා පී‍්‍රතිය සිතේ හටගත් කල එය සිරුරේ ලොමු දැහැ ගැන්වීමට තරම් ශක්තිමත්ය. ඛණිකා පී‍්‍රතිය සිතේ හට ගත් විට මොහොතින් මොහොත විදුලිය වැටීමක් මෙන් එය පැතිර යයි. ඔක්කන්තිකා පී‍්‍රතිය සිතේ හටගත් විට දිය රැළි මුහුදු වෙරළට පැමිණ බිඳී බිඳී යන්නාක් මෙන් කය වස - වසා යයි. උබ්බේගා පීතිය වඩා බලවත්ය. එය යම් සිතක පහළ වූයේ නම් එවිට සෘද්ධි බලයෙන් යුතුව අහසින් යාමට පවා හැකි වෙයි.

අතීතයේ එක්තරා පසළොස්වක දිනයෙක දී අනුරාධපුරයේ සිදු වූ පුවතක් මෙහිලා නිදසුනක් කොට දැක්විය හැකිය. මහාතිස්ස නම් තෙර නමක් පුණ්ණවල්ලික නම් විහාරයේ වැඩ සිටියහ. පුරහඳ එළිය දසත ගලා යමින් පැවති ඒ නිහඬ නිසල මොහොතේ තමන් වහන්සේ මෙබඳු පසළොස්වක දිනක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සමඟ රුවන්වැලි මහ සෑ මළුවට රැස්ව වැඳුම් පිඳුම් කළ අවස්ථාවක් චිත්තරූප වශයෙන් මැවි මැවී පෙනෙන්නට විය. එයටම සිත ඇදී ගියේ ය. මහා තිස්ස තෙරණුවෝ සෘද්ධිබලයෙන් රුවන්වැලි සෑ බිමට වැඩම කළ බව එම පුවතේ සඳහන් වේ. රෝහණ ජනපදයේ ගිරි හඬු සෑයට ආසන්න වත්තකාල නම් ගමේ සිටි කාන්තාවක සම්බන්ධයෙන් ද එබඳු අතීත පුවතක් ඇත. ඇය ගැබිනි මාතාවකි. ගිරිගඬු වෙහෙරේ පැවැත්වෙන පුද පූජා, ධර්ම දේශනා ඇතුළත් මහ පින්කමට සහභාගි වීමට ගෙවැසි සියල්ලෝම යාමට සූදානම් වූහ. එහෙත් ඒ ගැබිනි මවට අවේලාවේ රෑ පානේ එසේ යාම නුසුදුසු නිසා ඇය නිවසෙහි නවත්වා ඔවුහු පිටත් වූහ. ඇය තමන්ගේ නිවසේ නතර වී ගිරිගඬු ලෙන් මහ සෑයේ සිදුවන පුද පූජා ශබ්ද ආදියට සවන් යොමු කරගෙන සිටින අතර බුද්ධාලම්බන පී‍්‍රතියෙන් සෑය දෙස බලත් ම උබ්බේග පී‍්‍රතිය පැන නැගිණි. ඉබේ ම අහසට පැන නැගී, ගමන සිදු වී සෑය වැඳ පුදා ගෙන බණ අසමින් සිටින අතර ඊට පළමු ව පිටත්ව ගිය දෙමාපියෝ ඇය දැක තොරතුරු අසා පුදුම වූහ. ඉහත කී සිදුවීම් දෙකෙන් ම පැහැදිලි වන්නේ උබ්බේග පී‍්‍රතිය ශරීරය අහසට නඟා යවන්නට තරම් ශක්තිමත් බවයි.

ඵරණා පී‍්‍රතිය සියලු ශරීරය පිනි පුරවන ලද්දාක් මෙන් ද, මහ දිය කඳකින් පිරීගිය කඳු කුහරයක් මෙන්ද, මුළු ශරීරය ම පිරී ඉතිරී යාම කරයි. මේ කියන ලද පස් වනක් පී‍්‍රතින් කාමාවචර, රූපාවචර සිතක යෙදුණු අවස්ථාව ලෞකිකය. මාර්ග සිතක යෙදුණු අවස්ථාව ලෝකෝත්තරය.

පී‍්‍රති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළොසක් මෙසේ දැක්වෙයි. ‘ඒකාදස ධම්මා පීති සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තතීති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, ලුඛ පුග්ගල පරිවජ්ජනතා, සිනිද්ධ පුග්ගල සේවනතා, පාසාදනීය සුත්තත්ත, පච්චවෙක්ඛණතා තදධිමුත්තාති,

බුද්ධානුස්සති

බුදුරදුන් අරබයා සිදුවන සිහි කිරීමය. එනම් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නවගුණ සිහි කිරීමයි.

ධම්මානුස්සති

බුද්ධ ධර්මය අරබයා සිදුවන සිහිකිරීමයි. එනම් ස්වාක්ඛාතො ආදී දහම් ගුණ සිහි කිරීමයි.

සංඝානුස්සති

සඟරුවන අරබයා ගුණ සිහි කිරීමයි. එනම් සුපටිපන්න ආදී සඟ ගුණ නවය නැවත නැවත සිහි කිරීමයි.

සීලානුස්සති

බොහෝ කාලයක පටන් ආරක්ෂා කළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රීය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය, පඤ්ච සීලය, දස සීලය නැවත නැවත සිහි කිරීමයි.

චාගානුස්සතිය

තමා විසින් කරන ලද දාන, පරිත්‍යාග ආදිය නැවත නැවත සිහි කිරීමය.

දේවතානුස්සතිය

ඒ ඒ දෙවියන් දේවාත්ම ලබා ඇත්තේ සද්ධා, සීල ආදී ගුණ ධර්මයන් නිසා ය. මට ද එවැනි ගුණ ඇතැයි සිහි කිරීමයි.

උපසමානුස්සතිය

ජාති, ජරා, මරණ ආදී සියලු දුක් සංසිඳුවන නිවනෙහි අගය සිහි කිරීමයි.

ලුඛ පුග්ගල පරිවජ්ජනතා

රළු, දඩබ්බර, අසංවර පුද්ගලයන්ගේ ඇසුර අත හැරීමයි.

සිහිද්ධ පුග්ගල සේවනතා

මුදු මොළොක් සිතැඟි ඇති, ආත්මාර්ථ, පරාර්ථ චර්යාවන්හි යෙදෙන, ශාන්ත ගති පැවතුම්වලින් යුතු පුද්ගලයන් ඇසුරු කිරීම.

පාසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛණතා

තමාගේ සිත ඇඳ බැඳ ගත්, එසේම තමාගේ ප්‍රසාදය වැඩිදියුණු කරන බුද්ධ දේශනා නැවත කියවමින් නුවණින් මෙනෙහි කිරීම.

තදධිමුත්තතාව

ඉඳුම් හිටුම් ආදී සතර ඉරියව්වෙහි දී ම පීති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට නැමී පැවති සිත් ඇති බව, යමෙක් ඉහත දැක් වූ කරුණු සැලකිල්ලට ගෙන පීති සම්බොජ්ඣංගය වඩයි නම් ඔහුට ඒකාන්තයෙන් නිවන් සුව පසක් කරගත හැකි වෙයි.