ධාර්මික ගොවිතැනක් වස විස නැති රටක්
පාහියංගල
ආනන්ද සාගර හිමි
විද්‍යාවේ පියා ලෙස ලෝක ප්‍රකට අයින්ස්ටයින් විසින් ප්‍රකාශ කළ මතයක් මේ සඳහා මා
මූලිකවම උපුටා දක්වමි.
‘අනාගත දහම වන්නේ විශ්ව ලෝකීය ආගමකි, එය ස්වකීය සර්වබලධාරි , මැවුම්කාර දෙවියන්
ඉක්මවා යා යුතු අතර සිද්ධාන්තයක් ලෙස සළකා හුදු මතයක් සහ දේව ධර්මවාද වලින් බැහැර
වූවක් විය යුතුය. ස්වභාවිකත්වයත්, අධ්‍යාත්මිකත්වයත් යන දෙකොටසම අන්තර්ගත කර
ගනිමින් එහි පදනම කරගත යුත්තේ, ස්වභාවිකත්වයේ හා ආධ්‍යාත්මයේ එක්වීම,සියලුම දේ
තුළින් ඍජුවම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වීම නිසා හට ගන්නා ධාර්මික අවබෝධයයි.”
එවැනි ධර්මයක් වේ නම් එය බුදුදහම පමණක් බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. බුදුදහම
ස්වභාවිකත්වය සමඟ ඇති සබඳතාවය සහ එයින් ගොඩනැගුණු ආධ්‍යාත්මික මඟ පෙන්වීම නූතන ලෝකය
වැළඳ ගනිමින් සිටී. මෙහි ඇති විශේෂත්වය වන්නේ හුදෙක්ම බුදු දහම – ආගමික ලක්ෂණ
පමණක්ම නොව පාරිසරික,ස්වභාවික, විද්‍යානුකූල පදනම මත ගොඩනැගුණු දර්ශනයක් වීමයි.
සියලු සත්ත්වයෝ ආහාර ප්‍රධානකොට පවතී.
(සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා)
එදා භාරතීය සමාජයම කෘෂි ආර්ථිකය මත ප්‍රධානව ගොඩනැගුණු ජන ජීවිතය බුදු දහම ඉතා
තදින් වැළඳ ගත්හ. එය පිළිබඳ උදාහරණ ඕනෑතරම් බෞද්ධ සාහිත්‍ය කෘති තුළ දැකිය හැකිය.
විශේෂයෙන් අපේ හෙළ දිව තුළ ගොඩ නැගුණු බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන කෘතියක් වන ධර්මසේන
හිමියන් විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ මෙසේ සදහන් වේ.
“පළමු නොව කුඹුර ගොවිය යුතුය. ඉක්බිති බිම නැගිය යුතුය.පසුව දෙසී සෑම යුතුය. මියර
කෙටිය යුතුය. තුන් සීසාත්ම යුතුය. කැට කපා පෝරුගද යුතුය...” ආදි වශයෙන් දැක්වෙන්නේ
අපගේ බෞද්ධ පාරම්පරික ඥානය තුළ ගොඩනැගුණු ඒ අද්විතීය තාක්ෂණික කාරණාවන් බව පැහැදිලි
වේ.
බුදු දහම තුළ සුදුසුම ධාර්මික රැකියාවක්, කර්මාන්තයක් වශයෙන් දක්වා ඇත්තේ
ගොවිතැනයි. ගොවිතැන වනාහි දෙලොවම සැප ගෙනෙන ජීවනෝපාය මාර්යක් වශයෙන් දැක්වේ. ගමයි ,
පන්සලයි, වැවයි, දාගැබයි, සංකල්පය තුළ දාගැබෙහි ආධ්‍යාත්මයේ රැස් කිරණින් ගමෙහි
ගැමියා මනා සීලයෙහි , සමාධියෙහි පිහිටුවාලයි. සෑම හිමිරිදිරියේම තුණුරුවන් සරණ ගිය
ගොවියා පන්සිල් සමාදන්ව ගොවිතැන් කාර්යයට එළඹුණහ. හිරුබැසයන සැදෑ භාගයේ මෛත්‍රි
භාවනාව සිදු කොට දවසේ කාර්යයන් නිමා කොට නින්දට ගියහ. මම නිදුක් වෙම්වා. නිරෝගී
වෙම්වා. සුවපත් වෙම්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
ප්‍රාර්ථනා කර මෛත්‍රී ප්‍රගුණ කළ මෙම ගොවියා හැට දශකයේ දියත් වූ හරිත විප්ලවයේ
ප්‍රතිඵලයක් ලෙස ආධ්‍යාත්මය හා ආර්ථික තත්වයෙන් පිරිහුනු කෙනෙක් බවට පත් වූහ.
“ප්‍රාණඝාතය” ගොවිතැන සහ බුදුදහමේ ඉගැන්වීම් පිළිබඳ දැන් අප සාකච්ඡාවට යොමු කරමු.
එවකට ගොවිතැන් කළ ගොවියා ප්‍රාණ ඝාතයට බිය විය. එසේම ඔවුන්ට තිබූ පාරම්පරික ඥානයේ
උපාය, උපක්‍රමශීලිභාවයෙන් තම භෝග රැක ගත්හ. කුඹුරේ ජෛව විවිධත්වය සංරක්ෂණ
ක්‍රියාවලින් තුළින් රෝග පළිබෝධ පාලනය කර ගත්හ. එනම් වී වගාවේ ප්‍රධාන වශයෙන්
ගොවිබිම හානි කරන සතුන් හත් දෙනෙකි..... කුඩිත්තා (පැළ මැක්කා) ගොක් මැස්සා, පුරුක්
පනුවා , කොළ හකුළන දළඹුවා, කීඩෑවා ,ගොයම් මැස්සා, වෙල් මීයා වශයෙන් දැක්වේ. මෙම හත්
පන්ගුව විනාශ කිරීමට කුඹූර තුළම විසිහත්පන්ගුවක් සතුන් සිටී. ඒ අතර මකුළුවා, ඉබි
කුරුමිණියා, ගෙම්බා, රතු කඩියා, මාළු, දියලින්නා, ජල පදිතයා, ජල බෝටිමුවා, කතුරන්,
කටුස්සන්, කුරුල්ලන්, වෙල් දෙබරුන්, වෙල් බඹරුන්, අංදිග පළඟැටියා , හූනා, කයියා,
කූඹි බත්කූරා, බෝතල් කුරුමිණියා, දියබරියා, කාවුන්, කිඩමරුවන් ආදී වශයෙන් යම්
පරිසරයක කෘමින් ගහණය සමතුලිත මට්ටමක පැවතීමට නම්, ස්වභාවික සතුරන්ද එම පරිසරයේ
සිටීම ඉතා වැදගත් වේ. මෙම ජෛව විද්‍යාත්මක පාලනය පැරණි අපේ ගොවියා හොඳින් දැන
සිටියහ. මොවුන්ගේ ධාර්මික යෙදවුම් අතර ටකය. පඹයා, දිය හොල්මන, කුරුලු පාළුව, කෙම්
පහන් ක්‍රම ආදිය දැකිය හැකිය. කුඹුර මැද පොල් පිති ආදිය සිටු වීම තුළින් කුඹුරට
හානි කර සතුන් කීටයන් ගොදුරු කර ගන්නට පහසු වන පරිදි කුඹුරට හිතකර සතුන්ට පහසුකම්
සැළසූහ.
බුදු දහම පරම අවිහිංසාවාදී ධර්මයක් වේ. එයින් පැහැදිලි වන්නේ සාමාන්‍ය ජීවිතයකට
මානසික වද වේදනාවෙන්, තොරව ධාර්මිකත්වය පදනම් කොට ජීවත් වීමට ඇති ඉඩ කඩයි. එහෙත්
කර්මය ලෙස සළකන්නේ චේතනාන්විත සිදුකරන ක්‍රියා පමණි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”
මෙහි දී ගොවිතැන් කිරීමේදී චේතනාන්විතව “ප්‍රාණඝාත” අකුසලයන් සිදු වීම සාමාන්‍ය
තත්වයක් වී ඇත. ප්‍රාණඝාතයක් වීමට ප්‍රධාන කරුණු පහක් බලපායි.
1. සතෙක් වීම 2. සතෙක් බව දැනීම 3. මරන්න සිතීම 4. මරන්නට උපක්‍රම යෙදීම 5.එම
උපක්‍රමයෙන් සතාව මරා දැමීම
මෙම ක්‍රියා පහම කෘමිනාශක කුඹුරට යෙදීම තුළින් සිදුවේ. ඉතාම අධික විෂ සහිත කෘමි
නාශක වර්ග අද වෙළෙඳපොළේ ඇත. මේවා වෙළෙඳාම් කිරීම පවා බුදුදහම ප්‍රතික්ෂේප කර ඇත. වස
විස වෙළෙඳාම, නොකළයුතු වෙළෙඳාමයන් අතර දක්වා ඇත. ගොවියා තම කුඹුරේ තාවකාලික
අස්වැන්න පිළිබඳ පමණක්ම සිතා වස විස ගොවිතැන සඳහා යොදාගනී. එයින් තමන්ගේ ආධ්‍යාත්මය
පිරිහෙනවා පමණක් නොව තම තමන්ගේ අනාගත දරු පරපුර ඇතුළු මුළු මහත් ජාතියම විනාශ කර
දමති.
1970 වසරේදී මෙරට වී වගාව සඳහා පමණක් රසායනික පොහොර මෙට්‍රික් ටොන් අසූහත් දාහක්ද,
1982 දී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ හය දාහක්ද, 2006 දී මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ
පනස් දෙදහස් අටසීයක් ද යොදා ඇත. 2009 රජය විසින් පොහොර සහනාධාරය සඳහා දී ඇති මුදල
රුපියල් මිලියන විසි හයදහස් නවසීයකට වඩා වැය කර ඇත. ඔබ වගා කරන සෑම ඉඩම් අක්කරයකට
රජය විසින් එක් කන්නයකට රුපියල් විසි අට දාහක් පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කරනු
ලබයි. මෙසේ අධික ලෙස රසායනික පොහොර භාවිතය නිසා නයිට්‍රජන් ,පොස්පේට්, හා පොටෑසියම්
ජලය සමඟ මුසුවන විටම දිය වීමට හැක. ඛනිජ, ලුනු, ස්වරූපයෙන් සකසා ඇත. බාල වර්ගයේ
පොස්පේට් සමඟ ඇති අධික කැඩ්මියම් බැර ලෝහ මගින් ජලාශ දූෂණය වීමත් සමඟ වකුගඩු,
දියවැඩියා, පිළිකා ආදි රෝග අසාමාන්‍ය ලෙස වැඩි වීම වළක්වා ගත නොහැක. මිනිසාගේ
විනාශයට හේතු වන ප්‍රධානතම කරුණු අතර ධර්මයේ පෙන්වා දෙන්නේ අධික තෘෂ්ණාව බව මෙයින්ම
පැහැදිලි වේ. අස්වැන්න වැඩි කර ගැනීම පමණක්ම අරමුණු කරගත් ගොවියා පුරා දශක තුනකට
අධික කාලයක් මේ ක්‍රියාදාමයේ නිරත විය. අද වන විට ගොවි බිම් සඳහා අධික කෘෂි තෙල්
පොහොර යෙදීම නිසා භූමිය නිසරු වී ඇත. අස්වැන්න සැළකිය යුතු ප්‍රමාණයෙන් අඩු වී ඇත.
ඒ වෙනුවෙන් තව තවත් විෂ රසායනික තෙල් –පොහොර යෙදීමට ගොවියා පෙළඹේ. මේ තුළ අතුරු
ආබාධ, මරණ දක්වා පැමිණ ඇත. එනම් බුදු දහමේ පෙන්වා දෙන මධ්‍යම ප්‍රතිපදාව තුළ ගොඩ
නැගුණු ගොවිතැන වෙත අප යා යුතු නොවේද?, තෘෂ්ණාදික වීම – ඉවක් බවක් නොමැතිව ආශාවන්,
අපේක්ෂාවන් වෙත හඹායාම, කර්මය සහ පලවිපාක පිළිබඳ අවබෝධය නොමැතිකම මේ සියල්ලට හේතු
වී ඇත.
අප ජීවත්වීමට කන අය මිස කෑමට ජීවත් වන්නෝ නොවෙති.
අප ජීවත්වීමට ගොවිතැන් කරන්නෝ මිස ගොවිතැන පිණිස ජීවත් වන්නෝ නොවෙති.
එහෙත් මෙම සිද්ධාන්ත දෙකම අද වන විට වෙනත් මඟකට යොමු කර හමාරය.පාරම්පරික ගොවිතැන
තුළ ධාර්මිකත්වය රඳා පැවැතුනේ බුදු දහමේ ආභාෂය ලැබීමෙන්ය. ගොවියා කම්මැලි නැත.
උත්සාහවන්තය, සැමවිටම
උට්ඨාන විරියාදිගතා
බාබල පරිචිතා
සේදා වක්කිත්තේහි
ධම්මිකෙහි ධම්ම ලද්දා..
උත්සාහ වීර්යයෙන්, බාහු බලය යොදා, දහදිය වගුරවා ධාර්මික භෝග /ධනය රැස් කරනු ලබයි.
බුදු දහමේ ධාර්මිකත්වයට පදනම මෙයයි. පාරිසරික ගොවිතැන මේ මත ගොඩනැගුණු එකකි. යම්
කිසි බෞද්ධයෙකු මෙම පදනමෙන් බැහැර වුවහොත් සීලයෙන්ද, ගුණයෙන්ද පිරිහෙයි. අද වන විට
ගොවිතැන සඳහා ද මේ තත්ත්වය උදා වී ඇත.
මුලින් සඳහන් කළ අයින්ස්ටයින්ගේ ප්‍රකාශය පිළිබඳ නැවත අවධානය යොමු කරන්නේ නම්
ස්වභාවිකත්වයේ සහ ආධ්‍යාත්මයේ එකතුවෙන් ගොඩනැගුණු බෞද්ධ දර්ශනය ;දැවෙන තැවෙන ලෝකයේ
සියලු ප්‍රශ්න සමඟ පාරිසරික ගැටලු විසදාලනු ලබන බවයි.
මෙහෙයින් ධාර්මිකත්වයේ පාරිසරික ගොවිතැන බුදුදහම පදනම් කරගෙන ගොඩ නැගුණ එකකි. මේ
වෙනුවෙන් අද වන විට ලොව දියුණු රටවල් සියයට සියයක්ම එක් වී අවසන්ය. එහෙයින් අප නැවත
ඉතිහාසයට යා යුතු වේ. එනම් පස් පවින් වැළකුණ කරුණාව, මෛත්‍රිය හෙබි හෙළ බොදු
ගොවිතැන සඳහා එකතු වී දෙලොවම සුවපත් කර ගත යුතු නොවේද? |