Print this Article


අමරදේවයන් ගැයූ බණ

අමරදේවයන් ගැයූ බණ

ශ්‍රී ලංකාවේ රසිකයන් සෝසුසුම්හි ගිල්වා මෑතකදී ස්වර්ගගාමී වූ දේශයේ මහා ගාන්ධර්වයා වන ඩබ්ලිවි.ඩී.අමරදේවයන්ට පින් පිණිස අද මෙම ලිපිය වෙන් කෙරෙයි.එතුමන් අපගේ ජීවිත තුළට සුන්දරත්වය එක්කාසු කළා වගේම මහා දනුම් සම්භාරයක් හා සංසාරයෙන් එගොඩ වනවා නම්,ඊට උපකාරී වන ඥාන සම්භාරයක්ද අපට එකතු කළා. එතුමා ගැයූ ගී තුළ තිබෙන බණ ඉතාම අසිරිමත්. සිත් ඇදගන්නා සුළු සහ මන පිනවන සුළු වුවද,ඉන් එහා ඇති සැබෑ ලෝකය දකින්නට බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි ගාමිභීර භාවය සිහින් ස්වරයෙන් මධුරස්වරයෙන් අපට පෙන්නුම් කළා.

තණ්හා ආශා ඔලොගු කරේ ලා
එළිය දකින්නද සැපත සොයන්නද

සංසාරේ යනුවෙන් එතුමා ප්‍රකාශ කරනවා.තණ්හා ආශාවන් ඔලොගුªවක් බවත්, එම ඔලොගුව කරේ ලා ගමන් කරනා බවත්, එම යන ගමන ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනක් බවත්,එතුමා පවසයි. ඔලොගුව කරෙන් බිම තබන්නට ඕනෑ තරම් හැකියාව තිබෙනවා. මීට පෙර අවස්ථාවක මෙම ලිපි පෙළ තුළම අප සඳහන් කළ පරිදි

අම්බලමේ පිනා
වළං කඳක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට මට හිනා

යන කරුණ සදහන් ලිපියෙහි වැඩි විස්තර සඳහන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් ඔලොගුවක් කර තුළ දමාගෙන ගමන් කරන්නේ යාචකයන්. තමන්ට අවශ්‍ය කරන කළමනා ඔලොගුවක් ආකාරයට කරෙහි දමාගෙන යනවා. යමක් දමාගෙන යා හැකි පරිදි ගැටයක් ගසා තිබෙන රෙද්දක් ඔලොගුවක් වෙයි.බොහෝ විට අදටත් නයි නටවන්නන් එම ඔලොගුව කරේ දමාගෙන යන ආකාරය දක්නට ලැබෙයි. එවකට බොහෝ ගම්මාන තුළ සැරිසැරූ යාචකයන් මෙම ඔලොගුව කරේ දමාගෙන යයි. ඔහු තමා දකින, තමාට අවශ්‍යවන කළමනාත් තමාට අනවශ්‍ය කළමනාත් එය තුළට දමාගනී. තමාට ප්‍රයෝ ජනවත් වුවද, නැතිවුවද , හමුවන දෙය දමාගනී. ඔලොගුව කරේ දමාගෙන ඔලොගුව බරක් සේ උසුලාගෙන යන තැනැත්තෙක් තමා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යාම අවශ්‍ය බව සිත තුළ තබාගෙන මහා තණ්හාවක් ආශාවක් වගේ දෙයක් පොදි බැඳගෙන යයි. ජීවිතය ගත කරන සාමාන්‍ය මිනිසුන් ආශාවේ උපරිමාන්තය තුළ සිටින පිරිසක් වෙයි.මිනිසෙකුට නිදාගැනීමට වුවමනා කරන්නේ අඩි හයක් දිග අඩි තුනක් පළල ඇඳක්. අඩි හයක් දිග අඩි තුනක පළල ප්‍රමාණයක් නිදාගැනීමට අවශ්‍ය කරන පුද්ගලයෙක් කිලෝමීටර් හයක් දිග කිලෝමිටර් තුනක් පළල ඉඩමක් ගනු ලබනවා. අඩි හයක් දිග අඩි තුනක් පළල වළක නිදාගැනීමට සිදුවන මිනිස්සු අක්කර හයක්, අක්කර තුනක් තමන් අයිති කරගනු ලබනවා. තණ්හාවේ ආශාවේ නිමක් නැහැ. අද දවස තුළ හම්බකළ මුදල දසදහසක් නම්,හෙට දවසට දසදහස මදි යැයි සිතා විසිදහසක් දක්වා ආදායම් උපයනවා. ඒ තණ්හාව ඔලොගුවකට දමා කර උඩ තබා බරක් උස්සාගෙන යාමක්. එම ඔලොගුව දමා කවදා හෝ දවසක හුදකලාව යාමට සිදුවන බව ඔහුට හෝ ඇයට මතක නැහැ. කිසිදු මිනිසෙක් හමිබකරනු ලැබූ කිසිවක් රැගෙන ගියේ නැහැ.කිසිදු මිනිසෙක් නිර්මාණය කළ කිසිවක් රැගෙන ගොස් නැහැ.නූල් පොටක් ඇඟ තුළ නොමැතිව ඉපදෙන අපි ගිය ආත්මය තුළ තිබුණ දෙයක් මෙම ආත්මයට රැගෙන ආවා නම්, දරුවන් ඉපදෙන විට එම සැප සම්පත් රැගෙන එනවා නම් , කෙතරම් හොඳයිද? යනුවෙන් සිතෙයි. ඒත් එහෙම වෙන්නේ නැහැ. රැගෙන එන්නෙ ශරීරය පමණයි. රැගෙන යන්නේත් ශරීරය පමණයි. මරණයේ සිට උපත දක්වා කාලය තුළ මිනිස්සු එක්කාසු කරන එක සීමාවක් නැහැ. මේ අමරදේවයන් අපට ගැයූ බණ.

ඒ තණ්හා ආශා සහිත ඔලොගුව කරේ ලා ගිනි ගත් වැලි තලය උතුරන ගංඟාවන් වියැකි ගිහින් මල් හටගන්නා වසන්තය නැති වෙලා මිනිස්සුුන්ගේ ජීවිත කේඩෑරි වන අයුරු අමරදේවයන් අපට කියා දුන්නා. එම නිසා තණ්හා,ආශා නමැති මෙම ඔලොගුව කරේ දමාගෙන යනවිට ස්වර්ගයට යන මඟ ගිරිදුර්ග හදනවා. බිහිසුනු රුදු ක්ලේශ මාර සේනාවක් ඇවිදින් මඟ අහුරනවා. ඒ තණ්හා ආශාවේ ස්වභාවයයි. ජීවිතයේ විමුක්තිය උදාකරගැනීමට තිබෙන මහා මාර සේනාවක් සේ එය අප ඉදිරියේ පෙනී සිටිනවා. මේ අමරදේවයන් ගැයූ බණයි.

ඒ විතරක් ද නොවෙයි කොළොම්තොට මහලුවූ බවත්,අවන්හල පැරණි වූ බවත්,අමරදේවයන් ප්‍රකාශ කරනවා. පැරණි වූ අවන්හලේ වියපත් කොළොම් තොටේ හඳ පායනවා.ඒත් ඒ හඳ එදා හඳමයි. මීට ගොඩවෙන අමරදේවයන් සිතින් මවාගත් ප්‍රේමණිය චරිතයට කියන්නේ බලන් කැඬපත සොඳුරියේ, නරකෙසක් නැගිලා . අපි එදත් ආවේ මෙම අවන්හලට . අපි එදත් ආවේ මෙම කොළොම්තොටට. කොළොම්තොට පරණ වෙලා නැහැ.තවත් අලුත් වෙනවා. අවන්හල පරණ වෙලා නැහැ තවත් අලුත් වෙනවා. අවන්හල දැන් රෙස්ටුරන්ට් එකක්. කොළොම්තොට ආසියාවේ ආශ්චර්ය වෙලා. හඳ එලෙසම පවතිනවා. හඳ පැවතුනාට වඩා වෙනස් වෙලා නැහැ. ඒත් අපි දෙදෙනා..........බලන් කැඬපත සොඳුරියේ...... කොළොම්තොට නිතර නිතර අලුත් වුණත්, හඳ අලුත් වන්නෙත් නැහැ පරණ වන්නෙත් නැහැ. ඒත් අපි දෙදෙනා අලුත්වෙන්නේත් නැතිව සිටියෙත් නැහැ. පරණවෙලා පරණවෙලා අලුත් වැඩියා වූ නගරය වගේ නොවෙයි කළු කෙස් සුදුවෙලා, තිබුණාට වඩා පරණවෙවි බොකුටු කොණ්ඩය දිගහැරිලා, බලන් කැඩපත සොඳුරියේ....... ඒ අමරදේවයන්ගේ දිව්‍යමය ප්‍රකාශනයයි. ඔහුගේ අසාමාන්‍ය හඬපෞරුෂය දිග හැර බණක් කියන ආකාරයයි. මිනිසුන්ගේ ශරීර දවසින් දවස කේඩෑරී වෙනවා. එය වරදක් නොවෙයි .වැරැද්දක් නම්, දඬුවම් කරන්න තිබුණා. එය ලෙඩක් නොවෙයි. ලෙඩක් නම්, බෙහෙත් කරන්න තිබුණා. පු‍්‍රංච් දරුවෙක් දකින විට ඒ අපගේ අනාගතය බව අපට මතක් විය යුතුයි. වැඩිහිටියෙක් දකින විට ඒ අපගේ අතීතය බව මතක් විය යුතුයි. අපි වැඩිහිටියන්ට දොස් නොනැඟිය යුත්තේ එම නිසයි.ඒ අපේම අනාගතයෙහි අවස්ථාවක්. සමහර විට ඇවිදගෙන යාමට බැරි තරමට, දෙපා පිරිමඳිමින් කලා වැව දෙස බලා සිටින ශිල්පියො පිළිබ ඳව අප අසා තිබෙනවා. අවිදගන්න බැරිව වෙවුලන කලාකාරයො සහ නටාගන්න බැරිව දෙපා වෙවුලන කලා කාරයො පිළිබඳව අප අසා තිබෙනවා. ගිරෙන් ගිරට පනින්නට නොහැකි කලා කරුවන් සිටිනවා. ඇවිදගන්නට බැරි ධාවකයන් දෙපාවාරු නැතිව සිටිනවා. පන්දුවක් දැක්කත් එම පන්දුව අත උඩ තබාගෙන සිටිය නොහැකි වියපත් ක්‍රීඩකයො අපි දැක තිබෙනවා. හඬක් නොනැගෙන තරමටම උගුර වියැළී ගිය ගායක ගායිකාවන් අප අතර සිටිනවා. කේශ කල්‍යාණයෙන්ද, ඡවි කල්‍යාණයෙන්ද, මාංශ කල්‍යාණයෙන්ද අනූන වූ පංචකල්‍යාණියො අද වැහැරිලා, ඇඟ රැලි වැටිලා , කොණ්ඩය සුදුවෙලා බලාසිටිනවා. සියලු දෙනාගේම නෙත් සිත් පැහැරගත් ඔවුන්ගේ පින්තූරයවත් පුවත්පතක පළනොවන තැනට තමන්ගේ දුර්වල වුණ, කේඩෑරී වුණ, දුුර්වර්ණ වුණ,ප්‍රසන්න නොවුන ශරීරයෙහි ඡායාරූපයක් වත් නොගන්නැයි ඉල්ලාසිටින තැනට පත්වෙලා. ඒ මෙම ශරීර ස්වභාවයයි. අමරදේවයන් අපට ගයන්නේ එම ශරීර ස්වභාවය කියන්නයි. කබාය ඉරිලා මීවිතක් තොල ගෑවට එයින් වැඩක් නොවන බව ඔහු කියයි. ඇවිද ගන්න බැරි තරම් අපහසු වූ විට එය මී විතකින් සනසාගත යුත්තක් නොවන බව ඔහු කියයි. වියපත් වුණාට පසු බලන්න කෙනෙක් නැතිව තනිවෙන බව ඔහු කියනවා. මේ ජීවිතයේ මරණයෙන් පසුනොවී ජීවතුන් අතර සිටින කාලය තුළ අප ලබන අද්දැකීම් අමරදේවයන්ගේ බණ හඬයි. ඉපදිලා මැරෙන බවත්, මැරිලා නැවත ඉපදෙන බවත් තවදුරටත් ඔහු කියනවා.ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ මේ සංසාර සාගරේ කවදාවත් ස්ථිර නැහැ. එය හරියට දිය කඳු රැල්ලකින් වතුර වැටෙන තැනක හටගන්න දිය බුබළු වගෙයි. දිය බුබුළුක් හටගන්න ස්ථානයක දිය බුබුළු සිය ගණනක් තිබෙනවා.එම දිය බුබුළු සිය ගණනෙන් කිහිපයක් ටිකක් දුර ගලාගෙන යනවා. ගලාගෙන යන දිය බුබුළු අතර මඟදී පුපුරා යයි. . පුපුරන දිය බුබුළු නැති වෙලා යයි.දියබුබුළු වල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. නැතිවන දිය බුබුළු නැවත ඇතිවෙයි. ඇතිවෙන දිය බුබුළු අනිවාර්යෙන්ම නැතිවෙයි. නොතිර සසර සාගරේ.....

මේ කියන්නේ බණක්ද? නැතහොත් ගීතයක්ද? යන ප්‍රශ්නයත් නැගෙනවා.බණක් ගීතයකින් කියනා බවයි අපට දැනෙයි. නිසල නෙතේ සසළ වෙතේ ... ඒ ඔහුගේ ප්‍රකාශයයි.අපි නිශ්චල නැහැ චංචලයි. සිත එකතැනක තබාගන්න බැහැ. සිත බොහෝ වෙලාවට සසළ වෙමින් පවතින තත්වය අමරදේවයන්ගේ ගැඹුරු බණක තවත් එත්කරා අවස්ථාවක්.

මරුට නොමැත කිසිවිට බාධා...... ඒ අමරදේවයන් විසින් අප බියගැන්වීමට කරනු ලබන ප්‍රකාශයක් නොවෙයි. ඒ එහි ස්වභාවයයි.අවුරුදු තුනෙන්ද, අවුරුදු දහතුනෙන්ද, අවුරුදු විසිතුනෙන්ද, අවුරුදු හතළිස් තුන, පනස් තුන, හැට තුන, හැත්තෑ තුන, අසූ තුන, අනූතුන, එකිසිය තුනෙන්ද මිය යන්නේ කියා කිව නොහැකියි. සෑම භාණ්ඩයකටම කල් ඉකුත්වීමේ දිනයක් තිබෙන බව අපට පෙනෙන්නට තිබුණත් ශරීරයට කල්ඉකුත් වීමේ දිනයක් පෙනෙන්න නැහැ.මාරයාට එය බාධාවක් නොවෙයි. කුමන තනතුරක සිටියත් එම තනතුරේ සිටියදීත් තනතුර අතහැර රැගෙන යාමට තරම් ශක්තියක් මාරයාට තිබෙනවා. මහා රාජරාජ මහාමාත්‍යයාදින්ගේ සිට ඉතා සාමාන්‍ය ගොවියා කම්කරුවා දක්වා සත්‍ය එයයි.

මේ අනුව බලාගෙන යන විට මරුට නොමැත කිසිවිට බාධා යන්න අමරදේවයන්ගේ ප්‍රකාශයක් වුවත්,එය මහා සත්‍යයේ ප්‍රකාශයක් ලෙස සඳහන් කළ හැකියි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කරන යන්ට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ යන ප්‍රකාශය මුද්‍රණයකර නිතර දැකීමට තබා ගත යුතු ප්‍රකාශනයක්. කුණුකය නිසරුයි නැත පවතින්නේ කළ හොඳ පමණයි මෙලොව දැනෙන්නේ සැබවින්ම මෙය ධර්ම දේශනාවක මාතෘකා පාඨයක් විය යුතුයි. ධර්ම දේශනාවක මූලාශ්‍රයක් ලෙස ගත හැකි බුද්ධ ප්‍රකාශනයක් . මේ අනුව බලාගෙන යන විට අමරදේවයන් ධර්ම දේශකයෙකු වශයෙන් කී දෙය ඉතාම වටිනා කාරණාවන් වෙයි . එපමණටම මේ මහා ගාන්ධර්වයා හෙළයට ගීතයේ මතක සුවඳ ඉතිරි කර ගියාසේ සසර අනිත්‍ය සහ යහපත, මනුෂ්‍යකම වැනි කරුණු පිළිබඳවද ගැඹුරින් සලකා ගී ගැයූ ප්‍රයෝජනවත් වාක්‍යයන් පමණක් ගීතයට එකතු කළ ගායකයකු ලෙස අගය කළ හැකියි. ඔහුට අමාමහ නිවන් සුව ලැෙබිවා.