ඉල් පුර අටවක 2016.11.07
මනසේ පාලනය
හොඳ සහ නරක වෙන් කර හඳුනාගත හැකි වන්නේ මනසින් උසස් වූ තරමටය.මිනිස් සිතට සිතිවිලි
නිරායාසයෙන් ගලා ඒම ස්වාභාවිකයි. එහෙත් එසේ ගලා එන සිතිවිලි පාලනය කර ගැනීමට ශක්තිය
ඇත්තේ මනුෂ්‍යයාටය. එබඳු සුවිශේෂී වූ හැකියාවක් මනුෂ්‍යයා වෙත විශේෂයෙන් සතු වනුයේ
හොඳ නරක දෙක වෙන්කර හඳුනා ගැනීමට මනුෂ්‍යයාට හැකියාවක් පවතින හෙයිනි. මොහොතක් පාසා
සිතට ගලා එන සිතිවිලි පාලනය කරගත නොහැකි වූ විට මිනිස් සිත විවිධ අයහපතට පෙළඹේ.
මනුෂ්‍යයා මෙලොවට බිහි වූදා සිට නිසි වියෙහිදී පාසල් අධ්‍යාපනය ලබන තෙක් හොඳ නරක
පහදා දෙන මුල්ම ගුරුවරු ස්වකීය මව්පියවරුය. ඕනෑම දෙයක හොඳ නරක මව්පියවරු පළමුව
දරුවන්ට පහදා දෙමින් ඔවුන් පාසල් අධ්‍යාපනයට යොමුකරවනු ලැබේ. අනතුරුව පාසලේ දී විෂය
දැනුම මෙන්ම ගුණ නැණද පාසල මගින් දරුවාට කියා දෙනු ලැබේ. මෙසේ දරුවා ක්‍රමයෙන්
සමාජගත වන විට ඔහුගේ වයස් ප්‍රමාණයද දැනුම ද හොඳ නරක දෙකද යම්තාක් දුරකට හෝ
සමාජයෙන් ලැබන අත්දැකීම් මගින්ද අවබෝධ කර ගනු ලැබේ. ජීවත්වීම යනු එක් අතකින් සමාජයේ
අත්දැකීම්ද ලබා ගැනීමකි. හොඳ නරක දෙක පහසුවෙන් අවබෝධ කර ගැනීමට සමාජ පරිසරයද
බෙහෙවින් ඉවහල් වේ. තිරිසන් ගත සත්ත්වයන් පවා පරිසරයේ බලපෑමෙන් හොඳ නරක දෙකට යොමු
වූ ආකාරය බෞද්ධ සාහිත්‍යය මගින් පෙන්වා දෙයි. හොඳ නම් තමාට පමණක් නොව සමාජයටද
එමගින් යහපතක්ම විය යුතු ය. සමාජයටත්, තමන්ටත් වන යහපත ගැන පමණක් ම සිතීමෙන් වුවද
හොඳ නරක වෙන් කර ගත හැකි වේ.
සිත නරකට යොමුවුවහොත් මනුෂ්‍යයාට සිදුවන විපත මෙතෙකැයි ගණනින් කිව නොහැකි තරම්ය.
එසේ විපතට පත් වූ විට සිතට ගලා ආ ආවේග පාලනය කර ගත නොහැකිවීමෙන් තමන්ට සිදුවූ විපත
මේ යැයි සුසුම් හෙළීමට ඉඩ නොතැබිය යුතුය. දුක, සැප, සතුට, අසතුට සමව විඳ දරා ගත
හැකි මනසකින් යුක්ත වූ විට සිත නොමඟට යාමෙන් වළක්වා ගත හැකිවේ. සිතිවිලි ගලා ඒම
නිසාම මනස නිදහස්ව නොපවතී. පෙර කී පරිදි ගලා එන සිතිවිලිවලට සිත වහල් කර ගත යුතු
නොවේ. සිතට වහල් වූ විට සිතිවිලි හොඳ නරක ලෙස තෝරා බේරා ගැනීමද පහසු නොවේ.
මිනිස් ලොව උපතක් ලැබීම දුර්ලභය. එසේ දුලභව ලබාගත් මිනිසත් භවය නැවත දුගතියකට යොමු
කළ යුතු නොවේ. අවාසනාවකට හෝ සුගතිගාමී විය නොහැකි වුවහොත් සසර පුරා නිමක් නොවන දුක්
ගිනිවලට මුහුණ පෑමට සිදුවන බව අවබෝධ කරගත යුත්තකි. ජීවන ගමනෙහි හොඳ නරක හඳුනාගත්
මනුෂ්‍යයා දුසිරිත දුරුකර සුසිරිතට යොමුවේ. එමෙන්ම එවැන්නා ඇසුරු කරන සමාජය පවා
දුසිරිතෙන් වළක්වා ගනු ලැබේ.
අනන්ත කාලයක් පුරා ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සංසාරය පුරා තමා පසුපස එන සෙවනැල්ල
මෙන් යහපත තමා පසුපසම එයි. එබඳු පුරුදුතා සසර පුරා වර්ධනය කරගත යුත්තේ සසර කතරින්
එතෙරවීමේ අපේක්ෂාවද සහිතවය. අයහපතෙහි යෙදෙන්නාට ගොනුගේ පය අනුව අදිනා කරත්තය මෙන්
සසර පුරා මහා බරක් ඇදගෙන යාමට සිදුවන හෙයින් අයහපතෙන් ඈත් විය යුතු යැයි කල්පනාවට
ගත යුතුය.
නොමගට හෝ සුමගට යන විට එහි ආදීනව සිතා බැලීමට හෝ විමසා බැලීමට යොමු වන්නේ නම් හොඳ
නරක දෙක විමසා බලා නරක දෙයින් ඈත් වෙයි. එසේ සිතා විමසා නොබලනතාක් යහපතට යොමු නොවේ.
මනුෂ්‍යයාට හොඳ නරක දෙක පිළිබඳ සිතීමට විමසා බැලීමට උසස් මනසක් හිමිව ඇත්තේ මිනිසත්
භවයෙන් උසස් ඵල අත්පත් කර ගැනීමටය. ක්‍රියාව මෙහෙය වනු ලබන්නේ මනස මුල් කර ගෙනය.
බාහිරෙන් පැමිණෙන අකුසල මූලයන්ගෙන් මනස පවිත්‍රව තබා ගැනීමෙන් ක්‍රියාවද පාලනය කර
ගත හැකි වේ. |