සොඳුරු ගෘහස්ථ ජීවිතයෙන් ආර්ය මාර්ගයට
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
"දහම් කතාවකින් සුවපත් වූ හදක් හා කයක් ඇති නකුල පිතාවන්ට තම ස්වාමි දියණිය වූ නකුල
මාතාවන් සමඟින් භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට යාමේ අවශ්‍යතාවය මතු වුණා. ජීවිතය
මුලින් ම හමු වූ දවසේත් දෙදෙනාම එකතුව භාග්‍යවතුන් වහන්සේට කළ ප්‍රකාශය ඔවුනොවුන්ගේ
මතකය අවදිවීමක් වෙන්නට ඇති. නකුල මාතා තමන්ගේ දහමින් පෝෂණය වූ ආර්ය මාර්ගය ඉලක්ක
කරගත් ජීවිත කතාව මතක් කර දෙමින් කළ අනුශාසනාව ඔස්සේ සිත සුවපත්වීමෙන් ගතත් සුවපත්
කරගත් නකුල පිතා භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට සැරයටියේ ආධාරයෙන් ද ගමන් කරනවා."
නකුල පිතු සූත්‍ර දේශනා ලිපියේ අවසන් කොටස මෙය වන අතර, මෙහි
තුන්වන කොටස වප් අමාවක
පෝදා (ඔක්තෝබර් 30) පත්‍රයේ පළවිය.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ එනම් තදගතිය, වැගිරෙන බව, උෂ්ණය සහ වායුව නම් වූ ධාතු කොටස්
හතරෙන් මේ ශරීරය සමන්නාගත වේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණය එනම් පඨවි ආදී
ධාතූන්ගෙන් හැදුණු මේ රූපය සැප, දුක්, මධ්‍යස්ථ නම් වූ විඳීම් හඳුනා ගැනීම නම් වූ
සංඥාව කර්ම රැස්කිරීම් නම් වූ සංස්කාර හා අරමුණ මනාකොට දැන ගැනීම හා තීරණය කිරීම
නම් වූ විඤ්ඤාණය නම් වූ ස්කන්ධ පංචකය ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණ
ධර්මයට යටත් කොට නුවණින් විමසා බැලීමයි.
චිත්ත සමථය
එමෙන් ම ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ආයතනයන් පිළිබඳවත් විදර්ශනා නුවණින්
මෙනෙහි කිරීමයි. චිත්ත සමාධියක් ඇත්තාහට විදර්ශනාවෙන් මේ කය පිළිබඳවත්, කයෙහි
හැසිරීම පිළිබඳවත් ඒ වගේ ම සියලු වේදනා හෙවත් විඳීම් පිළිබඳවත් සිත හා සිතිවිලි
පිළිබඳවත් පරමාර්ථ ධර්ම නම් වු පංච නීවරණ ධර්ම බැහැර කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම
අවබෝධය පිණිස තෘෂ්ණාවට උපාදානය නොවීමට මනස මෙනෙහි කළ හැකියි. ධාතු ස්කන්ධ ආයතනයන්
මුල් කොටගෙන හෝ සම්බන්ධ වී යම් තැනක
තෘෂ්ණාව පහළ වන්නේ නම් එය හඳුනාගනී. යම් තැනක තෘෂ්ණාව බැහැර වන්නේ නම් එයත්
හඳුනාගනී. ඒ තෘෂ්ණාවට හේතුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි නම් වූ සියලු
ආරම්මණයන් හට ගත්තා වගේ ම භංගයට උරුම බව විදර්ශනා නුවණට හසුකර ගනී.
ඒ අනුව ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක ස්වභාවයට පත්වෙමින්, ඇස කෙරෙහිත්, රූපය කෙරෙහිත්,
චක්ඛු විඤ්ඤාණය කෙරෙහිත්, ස්පර්ශය කෙරෙහිත්, විඳීම් කෙරෙහිත්, සංඥා කෙරෙහිත්,
සංචේතනා කෙරෙහිත්, තණ්හා කෙරෙහිත්, විතක්ඛ විචාර කෙරෙහිත්, සංවේගයට පත්වෙයි. ධර්ම
සංවේගයට පත්වෙයි. බොහෝ තැනක කළකිරෙනවා යැයි සඳහන් කළේ ඒ අදහසයි. අවබෝධයෙන් යුතුව
කළකිරීමක් හෙවත් ධර්ම සංවේගයක් ඇතිකර ගන්නා වූ මේ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව මේ
කිසිදු සංඛතයක් මමත්වයෙන් නොසලකයි. ආත්ම සංඥාවට හසු නොකර ගනියි. එනම් සක්ඛාය
දෘෂ්ටිය බැහැර කරයි. මෙයම මේ නිවන් මාර්ගයයි.
නකුල මාතා තොමෝ බලවත් ලෙස ගිලන්ව සිටින තම ස්වාමියා වූ නකුල පිතාට පවසන තමාගේ චිත්ත
සමථය පිළිබඳ කතාව මේ අදහසම නොවේ ද? නව යෞවනයේ පටන් ජීවිත ගමනේ දිගු ගමනක පැමිණි මේ
දෙදෙනා ඔවුනොවුන්ගේ සිත් හා සිතිවිලි පිළිබඳවත් ඔවුනොවුන්ගේ හැසිරීම් රටා පිළිබඳවත්
ධර්ම මාර්ගය පිළිබඳවත් මනා කොටම දැන හඳුනාගත්තෝ ලෙස කාලය ගත කළ අයයි.
සිතේ අවබෝධය
ඔවුන්ගේ ජීවිත කතාවල ඔවුන් සඳහන් කළේ
“ඛීරෝදකී භූතා
අඤ්ඤං මඤ්ඤං
වියඛක්ඛූහි
සම්පස්සන්තා විහරාම” යනුවෙනි. එනම්, කිරියි වතුරයි එකට එකතු වුණා. වගේ ඔවුනොවුන්
කෙරෙහි ප්‍රිය දෑසින් බලමින් එනම් අවබෝධයෙන් යුතුව වාසය කළෙමු යනුවෙනි.
එසේ නම් ඔවුන්ගේ බාහිර කායික හැසිරීම් රටාව පිළිබඳව පමණක් නොව සිතෙහි සකස් වුණා වූ
සමථයන්, ධමනයන් පිළිබඳවත් ඔවුනොවුන්ට පැවතුණේ මනා අවබෝධයකි. නකුල මාතාවන් විසින්
ගිලන්ව සිටින තම ස්වාමියාට මතක්කර දුන්නේ ඒ අදහසයි. සොඳුරු ගෘහස්ථ ජීවිතයක් ගත කළත්
ආර්ය මාර්ගයට ඇතුල් වු ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක් ඔවුන්ගේ සිත ගැන ආවර්ජනා
කරන්නේ මොනතරම් සැනසිල්ලක් ඇතිව දැයි අපට වැටහේ.
නකුල මාතා තොමෝ නැවතත් තම ස්වාමි පුත්‍රයා වූ නකුල පිතාවන්ට මෙසේ සඳහන් කරනවා.
ගෘහපතියනි, ඔබගේ ස්වාමි දියණිය වූ නකුල මාතාවන් ගැන ඔබ කිසිදු තෘෂ්ණාවක් එනම්
අපේක්ෂාවක් ඇතිකරගෙන කළුරිය කරන්නට එපා. සැකයක් හෝ විමතියක් ඇතිකරගෙන කළුරිය කරන්නට
එපා. මාගේ මනස පවතින්නේ මේ ආකාරයෙනුයි.
තමා තමාට පිහිටවන්න
“ඉමස්මිං ධම්ම විනයෙ ඔගාධප්පත්තා, පතිගාධප්පත්තා, අස්සාසප්පත්තා, තිණ්ණවිචිකිච්ඡා,
විගත කථං කථා වෙසාරජ්ජප්පත්තා අපරපච්චයා, සත්ථුසනසනෙ විහරති” එනම් නකුල මාතාව මේ
උතුම් පරමාර්ථ ධර්මයට ප්‍රවේශවෙලා එනම් ඇතුළුවෙලයි සිටින්නේ. එහි මනාකොට පිහිටා
නකුල මාතාව සිටිනවා. ධර්මයෙන් ලබන සොම්නසින් යුක්තව කාලය ගත කරනවා. විචිකිච්ඡාව
බැහැර කර තියෙන්නේ. ප්‍රහීණකොට ඇති සැක පවතින්නේ, මේ උතුම් ධර්මයේ වෛශාර්ද්වයට එනම්
බලවත් වූ දැනුමත්, අවබෝධයටත් පැමිණ පවතින්නේ. බාහිර හේතූන් මුල්කරගෙන ‘සක්ඛාය
දිට්ඨියට’ හසු වෙන්නට තරම් නකුල මාතාව සිත සකස් කරගෙන නැහැ. තමා තමාටම පිහිට කොටගෙන
ජීවිතය පවත්වන්නටත් කර්මයේ බලපෑමට හසුව භවය සකස් වෙන්නටත් ඉඩ නොදෙන්නට තරම් නකුල
මාතාව අවබෝධය පවත්වාගෙන තිබෙනවා.
මේ පිළිබඳව ඔබට සැකයක් තිබෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් විමසා දැනගන්නට
පුළුවනි. මේ නිසා නකුල මාතාවන් කෙරෙහි සැකයක් හෝ විමතියක් ඇති කරගෙන හෝ අපේක්ෂා
ඇතිකරගෙන ඔබ කළුරිය කරන්නට එපා. අපේක්ෂා රහිතවම කළුරිය කරන්නට යැයි නකුල මාතාවන්
විසින් දැහැමි ජීවිතයක සොඳුරු ජීවිත පැවැත්මක් ගත කොට දැන් බලවත් සේ ගිලන්ව සිටින
තම ස්වාමියා කෙරෙහි මනාකොට අවබෝධයෙන් යුතුව දහමින් සැනසුණු හදවතකින් යුතුව අවවාද
කරනු ලැබුවා.
මේ අවවාද පෙළ අවසන් වෙනවාත් සමඟම නකුල ගෘහපතියාගේ ආබාධය එනම් රෝග ස්වභාවය
සංසිඳෙන්නට පටන් ගත්තා. එනම් සුවපත් වුණා. නකුල ගෘහපතියා ඒ රෝගයෙන් සුවපත්ව
නැගිටින්නට පටන් ගත්තා.
මහත් වූ ලාභයකි
දහම් කතාවකින් සුවපත් වූ හදක් හා කයක් ඇති නකුල පිතාවන්ට තම ස්වාමි දියණිය වූ නකුල
මාතාවන් සමඟින් භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට යාමේ අවශ්‍යතාවය මතු වුණා. ජීවිතය
මුලින් ම හමු වූ දවසේත් දෙදෙනාම එකතුව භාග්‍යවතුන් වහන්සේට කළ ප්‍රකාශය ඔවුනොවුන්ගේ
මතකය අවධිවීමක් වෙන්නට ඇති. නකුල මාතා තමන්ගේ දහමින් පෝෂණය වූ ආර්ය මාර්ගය ඉලක්ක
කරගත් ජීවිත කතාව මතක් කර දෙමින් කළ අනුශාසනාව ඔස්සේ සිත සුවපත්වීමෙන් ගතත් සුවපත්
කරගත් නකුල පිතා භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට සැරයටියේ ආධාරයෙන් ද ගමන් කරනවා.
භාග්‍යවතුන් වහන්සේට වන්දනාකොට දෙදෙනාම එකත් පසෙක වාඩි වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙරදා හමු වූ දවසේ සඳහන් කළ අයුරින් ම මේ මොහොතේදීත් මෙසේ සඳහන්
කරනවා.
“ලාභා තෙ ගහපති, සුලද්ධං තේ
ගහපති, යස්ස තේ නකුල මාතා
ගහපතානි, අනුකම්පිකා අත්ථකාමා
ඕවාදිකා අනුසාසිකාති”
ගෘහපතිය, නුඹට මනා වූ ලාභයක් ගෘහපතිය යම් බඳු වූ නුඹට නකුල මාතා ගෘහපතිය, ගෘහපතිනිය
අනුකම්පා ඇත්තේ නම් අර්ථය කැමැත්තේ වේ නම් අවවාද දෙනු ලබන්නේ වූයේ නම් අනුශාසනා
කරන්නේ නම් බවට පත්වූයේ නම් එයම තොපට මහත් වූ ලාභයකුයි. ගෘහපතියනි, ගිහිගෙයි වාසය
කරන සුදුවත් අඳිනා යම් පමණ මාගේ ශාසනයෙහි, ශීලයෙහි පරිපූර්ණ බවට පත් වූ අය වෙත්නම්
නකුල මාතා ගෘහපතිනියත් ඔවුන් අතරේ එක්තරා අයෙකි.
ගෘහපතියනි, ගෘහස්ථ ජීවිතය ගත කරන සුදුවස්ත්‍ර හඳිනා යම් පමණ මාගේ ශ්‍රාවිකාවෝ
ආධ්‍යාත්මයෙහි සමාධි කර්මස්ථාන ලබන්නා හු වෙත්නම් නකුල මාතා ගෘහපතිනියත් ඔවුන්
අතුරෙන් අන්‍යතර වූ කාන්තාවක් වෙයි. ගෘහපතිය ගෘහස්ථ ජීවිත වාසය කරන සුදුවත් හඳිනා
යම් පමණ මාගේ මේ ශාසනයේ ධර්ම විනයට ඇතුළත්ව මනාකොට පිහිටා දහමෙන් සොම්නස් ලබා තරණය
කළ සැක ඇති බැහැර කළ විමති ඇති වෛසාරදත්වයට පත්ව ශාස්තෘ ශාසනයෙහි වෙනත් බාහිර
තත්ත්වයන්ගේ උපකාරයක් එනම්, හේතූන්ගේ උපකාරයකින් තොරව වාසය කරන යම් පිරිසක් වෙත්
නම් ඒ අය අතර නකුල මාතා ගෘහපතිනියත් තවත් අයෙක් වෙයි. ගෘහපතිනිය නුඹට ලාභයක්
ගෘහපතිය යම් බඳු නුඹට නකුල මාතා ගෘහපතිනිය අනුකම්පා කරන්නේ නම් අර්ථය කැමැති වන්නේ
නම් අවවාද කරන්නේ නම් අනුශාසනා කරන්නේ නම් නුඹට එය මහත් වූ ලාභයකි. මේ සොඳුරු
ගෘහස්ථ ජීවිතයේ ධර්මයෙන් සුවපත්ව ආර්ය මාර්ගයේ ගමන් කරමින් සැනසෙන ජීවිත කතාව
ඔබගේත් ජීවිත කතාව නම් ඔබ ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැනසුණු අය බවට ම පත්වන්නේ ය.
තෙරුවන් සරණයි!
- දීපා පෙරේරා |