Print this Article


චපල සිත් ඇත්තාගේ නුවණ නොවැඩෙයි

ධර්ම දේශනාව:

චපල සිත් ඇත්තාගේ නුවණ නොවැඩෙයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අනවට්ඨිත චිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලව පසාදස්ස
පඤ්ඤාණ පරිපුරතිති.

පින්වත්නි,

ධම්මපදය බෞද්ධ අත්පොතට අයත් මෙම ගාථා රත්නයේ සරල තේරුම එක් අරමුණෙක්හි ස්ථිරව පිහිටි සිතක් නැති, බණ නොදන්නාවූ, ඉල්පෙන චපල සැදැහැත්තාගේ ප්‍රඥාව නොපිරෙයි යනුයි. මෙම ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදූනේ “චිත්තහත්ථ” නම් රහතන්වහන්සේ අරමුණු කරගෙනයි.

සැවැත්නුවර ගොවියෙක් සිටියා. මොහු ජීවත්වුනේ ගොවිතැනින් සහ ගවපාලනයෙන්, දිනක් මොහුගේ ගවයෙක් නැතිවුණා. ගවයා සොයාගිය ඔහු ඉතාම පීඩාවට පත්වුණා. විඩාවට පැන්ටිකක් බොන්න ඔහු අසල පිහිටි අසපුවකට ගියා. ඒ අවස්ථාවේ භික්ෂූන්වහන්සේ සිටියේ දන්වළඳමිනුයි. භික්ෂූන්වහන්සේ තමන් වහන්සේලාගේ පාත්‍රයෙන් බත් මිට මිට ගෙන මෙසේ කුසගින්නේ සිටි ගොවියාට දුන්නා. එකතු කළ මෙම දානය කෙරෙහි ගොවියාට කෑදරකමක් ඇතිවුණා. ඔහුට පැවිදිවීමට සිතුනා. බිරිඳටද මේ බව දැන්වූවා. බිරිඳගේ කැමැත්ත ඇතිව මොහු තම වැඩකරන උදැල්ලද රැගෙන අසපුවට යන්න පිටත්වුණා. කුඹුරට ගිය ඔහු උදැල්ල කටු පඳුරක් තුළ සැ‍ෙඟව්වා. අසපුවට ගිය ගොවියා පැවිදිව භාවනා කමටහන් ලබාගෙන සතියක් භාවනා කළා. ඔහුට බිරිඳ සහ උදැල්ල සිහිපත් වුණා. තමා නැති නිසා බිරිඳ නොමනා ලෙස හැසිරේවි යැයි සිහියට නැගුණා. උදැල්ල කවුරු හෝ සොරාගනීවිදැයි සිතුනා. ඔහු උපැවිදිව නැවත ගෙදර ගියා.

පැවිද්දට ගිය සැමියා නැවත ආපසු පැමිණීම ගැන බිරිඳ ගොඩක් සතුටු වුණා. හොඳට කෑම බීම දීල උපස්ථාන කළා. ටික දිනක් යනවිට බිරිඳ ඇනුම්පද කියන්නට වුණා. සැළකීම නැතිවුණා. ‘නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පැවිද්ද හොඳයි’ කියල උදැල්ලත් රැගෙන ගොස් උදැල්ල කටුපඳුරේ සඟවා නැවත පැවිදි වුණා.

ටික කලක් ගතවුණා. නැවතත් ගිහි ජීවිතය මතක් වුණා. බිරිඳ උයන කෑමවල රස මතක් වුණා. බිරිඳගේ ආදරය මතක් වුණා. ‘මොනවාවුනත් මගේ බිරිඳ හැරදමා මට ඉන්න බැහැ. එනිසා මම උපැවිදි වන්න ඕන’ යනුවෙන් සිතා නැවත ගිහි බව ලබාගෙන උදලු කෙටියත් රැගෙන ගෙදර ගියා. මෙලෙස හයවතාවක්ම මේ අන්දමින් පැවිදිව උපැවිදි වුණා.

හයවන වාරයේ ගෙදර පැමිණි මෙම ගොවියා දිනක් කුඹුරට ගොස් පැමිණෙන විට බිරිඳ පැදුරක් එලාගන ගේ මැද නිදා සිටියා. ඇයගේ හිසකෙස් අවුල් වෙලා. කටින් කුණුකෙල පෙරෙනවා. ගොරව ගොරවා නිදියමින් සිටියා. ගොවියාට මෙම දර්ශනයෙන් විශාල සංවේගයක්, පිළිකුලක් ඇතිවුණා. එමගින් සසර ගැන කලකිරීමක් ඇතිවුණා. සියල්ලෙහි අනිත්‍ය ස්වභාවය මෙනෙහිවුණා. ඔහු බිරිඳටත් නොදන්වා නැවත පැවිදිවීම සඳහා උදැල්ලත් රැගෙන පිටත්වුණා. මේ උදැල්ල දිරල විනාශවන දෙයක්. මගේ අවිද්‍යාව නිසා මෙය මට අයිති ස්ථිර දෙයක් ලෙස සැලකුවා. මගේ බිරිඳත් ක්ෂණයක් පාසා විනාශවන රූප කොට්ඨාසයක් පමණයි. මගේ කුණු ශරීරයද මැරෙමින්, ඉපදෙමින් පොළවට, පස්වනවා. මේ ශරීරයත් සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් පමණයි. මගේ යයි සැලකූ බිරිඳත්, මෙම උදැල්ලත් මා උපාදානය කරගත්තා. මම සියල්ල අතහරිනවා. මෙසේ සිතූ ගොවියා උදැල්ල මිටෙන් අල්ලා නොපෙනෙන ලෙස ඈතට විසිකළා.

ගොවියාට හරි සතුටක් ඇතිවුණා. බිරිඳ යනු පෙනපිඬුවකට සමාන, මොහොතින් විනාශවන රූප කොට්ඨාසයක් බව කමටහන් දුන් භික්ෂූන්වහන්සේ කියාදුන් බව ගොවියාට මතක්වුණා. මොහුට බාධාවක් වූ උදලුකෙටිය කෙරෙහි තුබු ආසාවද නැති කරගත් නිසා හිතට හරි සැහැල්ලුවක් දැනුණා. මොහු නැවත ආරාමයට ගොස් පැවිදි වුණා. හිතට වීරියගෙන අතහැරීම පුරුදුකර භාවනා කළා. සතර සතිපට්ඨානයේ සිත පිහිටුවාගත්තා.චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවී රහත්ඵලයට පත්වුණා. සිත දමනයට අපහසුව නිතර උපැවිදිව නිවසට යන නිසා මෙම තෙරුන්වහන්සේ “චිත්ත හත්ථ” නමින් ප්‍රසිද්ධ වුණා. චිත්ත හත්ථ රහතන් වහන්සේ දැන් ඉතාම සැහැල්ලුවෙන් සතුටින් කල්යවනවා. ඇයි නැවතත් ගෙදරයන්න හිතෙන්නෙ නැද්ද,? අනෙක් ස්වාමීන් වහන්සේලා ඇසුවා. ගෙදර විතරක් නොවෙයි නැවත මම සසරේවත් යන්නෙ නැහැ. චිත්ත හත්ථ රහතන් වහන්සේ ප්‍රකාශ කළා. චිත්ත හත්ථ තෙරුන් වහන්සේ තමන් රහත්යැයි ප්‍රකාශ කරන බව භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. චිත්ත හත්ථ තෙරුන්වහන්සේ සියලු කෙලෙසුන් නසා රහත් ඵලය ලබා ඇති බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ,

අනවස්සුත චිත්තස්ස
අනන්වාහත චේතසෝ
පුඤ්ඤපා පහීනස්ස
නත්ථි ජාගරතෝභයං

රාගයෙන් තෙත් නොවූ සිත් සතන් ඇති, ද්වේශයෙන් පහර නොලැබූ සිත්සතන් ඇති පින් පව් දුරුකළා වූ අවදිව සිටින රහතුන්හට කෙලෙස් බිය නැත. යනුවෙන් ධර්මදේශනා කළා.

‘චිත්තහත්ථ’ තෙරුන්වහන්සේට හයවරක්ම උපැවිදිවන්න සිදුවූයේ තම බිරිඳ මෙන්ම උදැල්ල වන රූප කොට්ඨාසය කෙරෙහි ත්‍රිලක්ෂණ අවබෝධයක් නොවීමයි. මෙම රූප කොට්ඨාස නිත්‍යයයි, සැපයි, ආත්මයි වශයෙන් තමාවසඟයේම රඳවාගත හැකියයි ඔහු තුළ වූයේ අවිද්‍යාවකි. බිරිඳ සහ උදැල්ල සැප වේදනාවක් ලෙස ඔහු දුටුවේ ය. හයවරක්ම උපැවිදිවූයේ ඒවා කෙරෙහි වූ කැමැත්ත නිසාය. පංචස්කන්ධය නිත්‍යයයි, සැපයයි, ආත්මයි වශයෙන් ඔහු එය උපාදාන කරගෙන සිටී. අවිද්‍යාව නිසා ඔහුට මෙම රූප කොට්ඨාස අනිත්‍ය භාවය වැටහුනේ නැහැ. වේදනා, සංඥා, සංඛාර, තුළින් විඤ්ඤාණය විසින් මෙම රූප කොට්ඨාස පංචකාමයට සුදුසු සදාකල් පවතින ස්ථානයක් බව පෙන්වීමට දරණ මිථ්‍යාවට ඔහු රැවටුණා. රූපය යනු ක්ෂණයක් පාසා වෙනස් වෙමින් මැරි මැරී උපදින දෙයක් බවට ඔහුට ඒත්තු ගැන්වීමට කාය, වචී, චිත්ත සංඛාර ඉඩ දුන්නේ නැහැ. මෙනිසා ඔහු පංචස්කන්ධය උපාදාන කරගෙන එය නිත්‍ය, සැප, ආත්ම වශයෙන් සැළකුවා.

කුණුකෙල පෙරාගන බිම වැතිරසිටින බිරිඳ නමැති එම රූප කොට්ඨාසය තුළින්ම ඔහු අනිත්‍ය ස්වභාවය දුටුවා. රූපය පෙනපිඬුවක් මෙන් ක්ෂණයක් පාසා විනාශවන දෙයක් බවත්, වේදනාව යනු දිය බුබුළක්මෙන් එකින් එක වෙනස්වන බවත්, සංඥාව යනු මිරිඟුවක් මෙන් රැවටීමක් බවත්, සංඛාර යනු හරයක් නැති කෙසෙල් කඳක් බඳු බවත්, විඤ්ඤාණය යනු විජ්ජාකාරයෙක් මෙන් බවත් බුදුපියාණන් වහන්සේගේ දේශනාව සිහිපත්වුණා. විඤ්ඤාණය නමැති විජ්ජාකරු රූපය නිත්‍ය, සැප, ආත්මවශයෙන් තමන් රැවටූබව චිත්ත හත්ථ තෙරුන් වහන්සේ අවබෝධ කළා. පංචස්කන්ධය උපාදාන කරගන සිටි චිත්තහත්ථ තෙරුන්වහන්සේ ති‍්‍රලක්ෂණ මෙනෙහි කර පංච උපාදානස්කන්ධ නමැති විජ්ජාකාරයා තේරුම්ගෙන උපාදානය ඉවත්කර රහත්ඵලයට පත්වූවා. මුළු ලෝකයම පංචස්කන්ධයක් බව තේරුම්ගෙන එය උපාදානය කර නොගෙන භව දුක නිවා ගැනීමට උත්සාහ ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.