Print this Article


සංහිඳියාවේ කෙම්බිම වව්නියාවේ සාම පාසල

සංහිඳියාවේ කෙම්බිම වව්නියාවේ සාම පාසල

දිගු කලෙකින් වැටුණු වැසි දියෙන් පණ ලැබු තුරු ලතාවන්හි ළා දළුපත් මතින් පෙරී එන උදා හිරු කිරණ, කවුළු පියන් අතරින් සිප්හල තුළට එබිකම් කරයි. ජීවිතයේ කඩ ඉමක් ජය ගන්නට අප්‍රමාණ බලාපොරොත්තු රැඳුණු නෙතිත් එහි උගන්නා දූ පුතුන්ගේ මුව මඬල ඒ හිරු කිරණින් ප්‍රභාමත් වෙයි. සිංහලද, දෙමළද,මුස්ලිම්ද? බෞද්ධ, හින්දු, කතෝලිකද? කිසිදු සටහනක් ඒ මුහුණු මත නොවේ. අපූර්ව සෙනෙහසකින්, සුන්දරත්වයකින් ඒ යෞවන යෞවනියෝ එහි එකාවන්ව අකුරු කරති.

තවත් නොබෝ දිනකින් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. මේ දරුවන්ගේ උත්සාහය ඊට හොඳින් මුහුණ දීමටය. ඒ ධෛර්යයට අත්වැලක් වෙමින් ඔවුන් පිරිවරාගෙන විභාග ඉලක්ක ගැටලු විසඳන්නට මඟ පෙන්වන්නේ කරුණාබර බුද්ධ පුත්‍රයෙකි. ඒ සිංගප්පූරුව මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක කේ. ගුණරතන හිමියන් ය. බුදු හිමියන් දෙසූ දම් මඟෙහි වඩිමින් පටු වාද භේද නොසලකා මෙත් සිතින්, උන්වහන්සේ මේ දරුවන්ට ශිල්ප දෙති. වත්මන්හි උතුරුකරයේ ජාතීන් අතර මනුස්සකම දළුලන්නට, එකමුතුකම, සහජීවනය ගොඩනඟන්නට වෙහෙස මහන්සිය නොබලා කැප කරන උන්වහන්සේගේ කාලයටත්, ශ්‍රමයටත් මිලක් නියම කළ නොහැකි ය. වව්නියාව ප්‍රදේශයේ පාසල් රැසක සිංහල, දමිළ දූ දරුවන් පන්සියයක් පමණ එක් රැස් කරමින් ඇරඹි මේ සම්මන්ත්‍රණය එදින වෙන්වී තිබුණේ ‘ඉංගී‍්‍රසි’ විෂයය වෙනුවෙනි. දේශකයන් වහන්සේ ගුණරතන හිමියන්ය. අරුණු නැගුණු වේලේ පටන් සරලව, සිත්ගන්නා ලෙස වසරේ සියලු පාඩම් ආවරණය කරන්නට වෙහෙසෙන උන්වහන්සේට වේලාව ඉක්ම යනු නොදැනේ. ගිලන්පස ටිකක් හෝ වළඳන්නට උන්වහන්සේට ඉස්පාසුවක් නැත. දෙපා රිදුම් නොවේයැයි සිතන්නට නොහැකිය. එහෙත් ගුණරතන හිමියෝ තත්ත්පරයකට හෝ අසුන් ගන්නට කාලය වෙන් නොකරති. දවල් දාන වේලාවද ඉක්මවා හෝරා දෙක තුනක් ගිය පසුවය විරාමයක් ලැබුවේ. ඒද, විනාඩි පහළොවකට විස්සකට තරම් සුළු වේලාවකටය. සිසු දරුවන් වෙනුවෙන් වෙන්කළ යුතු කාලය උන්වහන්සේට එතරම් වටිනා බැවිනි.මේ අපූර්ව දසුන නෙත ගැටුණේ පසුගියදා වව්නියාව ‘ෂෙන් සුලාන්’ අධ්‍යාපන මධ්‍යස්ථානයේදීය. සෑම වසරකම විභාග ඉලක්ක ගැටලු සාකච්ඡා කරමින් ප්‍රදේශයේ සිංහල දෙමළ, මුස්ලිම්, දරුවන්ට ඉහළ සාමාර්ථ ලබා දෙන්නට උන්වහන්සේ දක්ෂ ගුරුවරුන් ලවා විවිධ විෂයයන් අළලා සම්මන්ත්‍රණ සූදානම් කරති. ඉංගී‍්‍රසි විෂයෙහි වගකීම උන්වහන්සේම බාර ගනිති.

මේ අධ්‍යාපන බිමේ ප්‍රධාන ශාලාවෙන් එහා තවත් කුඩා ශාලාවක වූ පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයෙහි පොඩිත්තන්, පොඩිත්තියන් පිරිවරාගත් ගුරු මෑණි කෙනෙකි. පුංචි ගවුම්, පොඩි, සරම් කමිස පොඩිවලින් හැඩ වැඩ වුණු මේ පුංචි මල් පොහොට්ටු අග හිඟකම් පරදා හෙට දිනයේ ලොවට පිපෙන්නේද ගුණරතන හාමුදුරුවන්ගේ කරුණාවටය.

සම්මන්ත්‍රණය අවසානයේ ලැබෙන පුංචි විරාමයේ දී මේ පැටවුන් වෙනුවෙන් සංවිධානය කළ අලංකාර දීපවාලී උළෙලකි. ඒ වෙනුවෙන් අම්මගේ දෑතින්, තාත්තගේ සුරතින් වත්සුණු තවරා හැඩ ගැන්වෙන මේ දරු දැරියන් අතර සමහරකගේ අම්මා තාත්තා මිය ගොසිනි. වැඩි පිරිසක් අග හිඟකම්වලින් පීඩා විඳින්නෝද වෙති.

ගුණරතන හිමි (මැද) දරුවන්ගේ අවුරුදු උළෙලකදී

 

ෂෙන් සූලාන් අධ්‍යාපන මධ්‍යස්ථානයේ පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තිස් දෙකක දරු පැටව් හැත්තෑවක් පමණ හැදෙති. වැඩෙති. ගී කියමින් තාලයට නටමින් ළමා විය විඳිති. සංහිඳියාවකට පිවිසෙති. එහි අනුශාසකත්වය සේම සියලු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා බරපැන ද ගුණරතන හාමුදුරුවන්ගෙනි.

“සිංහල අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මගේ ළදරු පාසලේ වැඩිපුරම ඉන්නේ දෙමළ ළමයි. මේ පුංචි දරුවන්ගේ ලෝකයේ වාද බේද නෑ. හරිම සුන්දරයි. මම උත්සාහ කරන්නේ ඒ පිරිසුදු සිත් හෙට දවසටත් රැක ගන්නටයි. අපේ රටේ අනාගතය බාර ගන්න මේ දරුවන්ට ජාති භේද නැති ගමනකට, සංහිඳියාවකට පාර පෙන්වන්නයි.”

ගුණරතන හිමියෝ බලාපොරොත්තු රැඳුණ දෑසින් පවසති. “මම ඉපදුණේ තේ වතුවලින් පිරුණු කෑගල්ල ප්‍රදේශයේ. මගේ තාත්තා කංකානි කෙනෙක්. මම වැඩිපුරම හැදුණේ වැඩුණේ වත්තේ දරුවන් සමඟ. ඒ හිත්වල තියෙන අහිංසකකම, මිනිස්කම පුංචි කාලෙදීම මට හඳුනා ගන්න ලැබුණා. උස් පහත්කම්, වාද භේද නැතිව මිනිස්සු සමඟ සමගියෙන් ජීවත්වෙන හැටි ඉගැන්නුවේ මගේ තාත්තා. ජාතික සංහිඳියාව ගැන මුල්ම පාඩම මට කියා දුන්නේ මගේ තාත්තා.”

උන්වහන්සේ අතීතය ආවර්ජනය කළේ එලෙසිනි. පැවිදි බිමට පත්වීමෙන් පසු 1986 දී සිංගප්පූරුවට වැඩම කළ උන්වහන්සේගේ සිතෙහි ජාතික සංහිඳියාව පිළිබඳ කුඩා කල තාත්තා රෝපණය කළ පුංචි බීජය අතු ඉතිලා වැඩෙන්නට වූයේ සිංගප්පූරුවේ ඉක්වාන් වී මහතාගේ ඇසුරත් සමඟ ය. සියලු ජාතීන් එකාමෙන් එකට ජීවත් විය යුතු බවට, කිසිදු හේතුවක් නිසා කිසිවෙකු කවර ජාතියක් හෝ කවර ආගමක් හෙළා නෙැදැකිය යුතු බවට ඔහු තුළ වූ දැඩි ස්ථාවරයක් විය.

සිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගේ උපකාර, ධන පරිත්‍යාග නිසි ලෙස මෙහෙයවමින්, සක සුරුවමින් භාවිතයේ යොදවමින් ජාති, ආගම්, උස් පහත්කම් භේදයකින් තොරව මෙරට දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය හා සුබ සාධනය වෙනුවෙන් වෙන් කරන්නට උන්වහන්සේ ඇප කැප වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඒ අතරින් දිගු කාලයක් පුරා යුද්ධයෙන් අසරණ වූ සිංහල මෙන්ම දමිළ ජනතාව ද සොයා යමින් උන්වහන්සේ උතුරු ප්‍රදේශයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ද්‍රව්‍යමය ආධාර ඉක්මවා ගිය අධ්‍යාත්මික බවකින් ඒ ජනතාව සුවපත් කරනු සඳහා ය. කැඩුණු සිංහලයෙන්, නොව නිවැරැදි සිංහලයෙන් ‘අපේ හාමුදුරුවෝ’ යැයි අමතන්නට, බුද්ධ චීවරය දුටු වනම ඊට ගරු කරන්නට උන්වහන්සේගේ මඟ පෙන්වීම් ලබන කිසිදු හින්දු භක්තිකයෙකු, මුස්ලිම් ජාතිකයෙකු අමතක නොකරති. වෙනදා ඔවුනොවුන් දෙස සැකයෙන් බලන්නට පුරුදු වූ ඇස්වල දැන් විශ්වාසය තහවුරු වී ඇත. ඔවුන්ට ඇවැසි එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගන්නට නොව නිදහසේ සතුටින් ජීවත් වන්නටය. අත පය වෙහෙසා කුලියක් කර හෝ දරු පැටවුන් සමඟ ජීවත්වන්නටය. ඒ විශ්වාසය, එකමුතුකම තහවුරු කරන්නට ගුණරතන හිමියෝ ඔවුන්ට ශක්තියක් වෙති.

ෂෙන් සුලාන් අධ්‍යාපන මධ්‍යස්ථානය ඇසුරේ හැදෙන වැඩෙන දූ දරුවෝ ද, වැඩිහිටියෝ ද ආගම් භේද නොහඳුනති. සැවොම එක්ව පන්සල් යති. හින්දු කෝවිලට, පල්ලියට යති. ආගමික වතාවත්වලට උදවූ උපකාර කරති. අවුරුදු උත්සව, තෛපොංගල්, දීපවාලි, නත්තල් උත්සව පවත්වමින් ආගමික සහයෝගය පෙන්වති. ඔවුන්ගේ සිත් සංහිඳියාවකින් අපූර්වත්වයට පත්වෙමින් තිබේ. මේ සියල්ල නොමසුරුව සංවිධානය කරමින්, සියලු බරපැන දරමින් වෙහෙසෙන ගුණරතන හිමියන්ගේ බලාපොරොත්තු එහි ප්‍රතිඵල අනාගතයට ගෙන යනු දැක්මය.

ප්‍රදේශයේ සාමාන්‍යපෙළ සිසු දරුවන් සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආදී මේ සියලු අධ්‍යාපන කටයුතු නොමිලයේ ලබා දෙන අතරම ඒ දරුවන්ගේ පොත්පත්, ඇඳුම් පැළඳුම්, මෙන්ම ඇතැම්විට ආහාර ද සැපයෙන්නේ මේ මධ්‍යස්ථානයෙනි. පාසල් හැර යන තරුණ තරුණියන් සඳහා පරිගණක පුහුණුව ඉංගී‍්‍රසි භාෂා පුහුණුව, වෙනත් වෘත්තීය පුහුණු ආදී පහසුකම් රැසක් ලබා දෙන්නට ද ගුණරතන හිමියෝ ඇප කැප වෙති. ජීවිතය ජීවත් කරවන්නට ජීවන මාර්ග විවර කරන අතරේ මිනිසත් කමින් මේ තාරුණ්‍යයේ සිත් පෝෂණය කිරීමට ද විවිධ වැඩ සටහන් මෙහි සංවිධානය කෙරේ.

“අපිට බලාගන්න දරුමල්ලො නෑ. යාන වාහන, ඉඩකඩම් බලා කියාගන්නම කාලෙ ගත කරන්න ගියොත් මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න කාලයක් ඉතිරි වෙන්නේ නෑ. මම හරි ආඩම්බර වෙනවා, මෙතෙක් එන්නට ලැබුණු ගමන ගැන. ලැබෙන ආධාර උපකාර කිසිම ලෙසකින් අනර්ථයේ යෙදවෙන්නට, නුසුදුස්සන් අතට පත්වෙන්නට මම ඉඩ තියන්නේ නෑ. මේ රටේ ගොඩ ගන්නට ඕනෑ, අත දෙන්නට ඕනෑ අසරණ මිනිස්සු, දරුවෝ ඕනෑ තරම් ඉන්නවා.’

උතුරෙන් නොනැවතී ලංකාව පුරා විවිධ පළාත්වල ආධාර උපකාර ඇවැසි මිනිසුන්ට පිළිසරණ වන්නට, ගැබිනි මාතාවන්ට අවශ්‍ය ආධාර උපකාර පිරි නමන්නට, රෝහල් උපකරණ පරිත්‍යාග කරන්නට, ආබාධිතයන්ට ශක්ති ප්‍රමාණයෙන් උපකාර කරන්නට, ආගමික ස්ථාන සඳහා වැසිකිළි කැසිකිළි තනා දෙන්නට උන්වහන්සේ අමතක නොකරති. මේ බොහෝ ආධාර උපකාර සිංගප්පුරුවේ බෞද්ධ ජනතාව වෙතින් ලද පරිත්‍යාගයන් ය.

අලව්වේ උඩුමුල්ලේ ධර්මාපාලාරාමයේ වැඩ සිටිය ද ගුණරතන හිමියන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කෙරෙන්නේ සිංගප්පූරුවේය. එහි සිට නිතර මෙහි වැඩමවමින් රට පුරා විවිධ ප්‍රදේශයන් හි සැරි සරමින් ධර්ම ප්‍රචාරයෙහි, අසරණ සරණයෙහි නිරත වුවද සිංගප්පුරුවේ ඉරුදින දහම් පාසලට වැඩම කරන්නට කිසිදු හේතුවක් නිසා හෝ උන්වහන්සේ අමතක නොකරති.

“ගෙවෙන හැම තත්ත්පරයක්ම ලෝකය වෙනුවෙන් කැප කරන්නට අවංකවම සිතනවා නම් ඒ ශක්තියත් ධෛර්යයත් සොබා දහමින් අපට ලැබෙනවා. මිනිස්කම හඳුනන්නේ නැති මනුෂ්‍යත්වයෙන් පලක් නෑ. මොන තරම් ධන සම්පත් තිබුණත් ඒ මනුස්සයා ගති ගුණවලින් දුප්පත්.” උන්වහන්සේ පවසති.

“මම ඉල්ලා සිටිනවා. සියලු ජාතීන්ගෙන් ආගමිකයන්ගෙන්, මේ පින්කමට උදවු කරන්න කියලා, ආගමික සිද්ධස්ථාන, වෙහෙර විහාර, පෙති පිළිම හදනවාත් සමඟම ගම්වල ඉන්න මේ පුංචි පිළිම ටික (කුඩා දරු දැරියන්) බලා ගන්න වැඩ පිළිවෙලක් ඕනෑ. එහෙම නැතිව අපි පිළිම විතරක් හැදුවොත් ඒවාට වන්දනාමාන කරන්නට පිරිස් පිටරටින් ආනයනය කරන්න වෙයි.”

උන් වහන්සේ පවසන්නේ සෝදා පාළුවට යන අපේ දරුවන්ගේ ගුණ යහපත්කම්, වටිනාකම් රැක ගන්නට යම් වැඩ පිළිවෙළක් ඇවැසි බවය. පුංචි සිත් සතන්හි සංහිඳියාවක් ඇති කරමින් අනාගතයේ සමාජ සහජීවනයේ දොරටු විවර කළ යුතු බවය.