Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය- තථාගතයන් වහන්සේ ගොඩනැගූ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජය නම් සංඝ සංස්ථාවයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක්ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ශනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් විමසීමට ලක් කරන්න

පිළිතුර: "සංඝ" යනු සාමුහිකත්වයයි. සාංඝික ක්‍රමය යනු සමූහයාට පවරන අයිතියයි. සංඝ යන පොදු නාමයෙන් හඳුන්වන මෙහි භික්ෂු , භික්ෂූණී යනුවෙන් කොටස් දෙකකි. සංඝ සාමාජිකත්වය ලබා ගැනීමට විශේෂිත කිහිප දෙනෙකුට හැර ඕනෑම පුද්ගලයෙකුට වාරණ කිසිවක් නැත. විවිධ සමාජ කරුණු සැලකිල්ලට ගෙන විශේෂිත පුද්ගලයන් තිස් නව දෙනෙකුට ඊට ඇතුළත් වීමට අවස්ථාව ලබාදි නොමැත. එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ. ඒ අයට ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරතවීමට කායික හා මානසික වශයෙන් යහපත් තත්ත්වයක් නොමැති වීම නිසා ගත් පොදු තීරණයකි.

බුදුරදුන් ආරම්භ කළ ශාසනය විධිමත් සංවිධානයකි. එහි සෑම ඉරියව්වක්ම විනයානුකූලව පැවැත්විය යුතු වේ. සාමාජිකයන් බඳවා ගැනීමෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග හා ඔවුන්ගේ සුදුසුකම් ද , ඔවුන් ස්ථීර සාමාජිකයන් බවට පත් කර ගැනීමෙහිදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගද, විනය පිටකයේ දක්වා ඇත.

දිනක් ආනන්ද හිමියන් වහන්සේ පිරිසක් සමඟ “සොබ්බ” නම් ස්ථානයට වඩින විට එහි විසූ “සන්දක” පිරිවැජියා සිය අතවැසියන් සමඟ කොක් හඬලමින්, සිනාසෙමින් නොයෙකුත් අවිචාරශීලී කතාවල යෙදී සිට ඉදිරියට පැමිණේ. ආනන්ද තෙරුන් දුටු ඔහු තම පිරිසට පැවැසුවේ,”කෑගහන්න එපා, සිනාසෙන්න එපා. නිශ්ශබ්ද වන්න, ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් සමඟ ආනන්ද තෙරහු පැමිණෙති. ඒ තෙරවරු නිශ්ශබ්ද බව, ශාන්ත බවට, විනීත බවට බෙහෙවින් කැමැති අය වෙතියි” යනුවෙනි.

සංඝ ශාසනය – සංඝයා විසින් සංඝයා සඳහා ඇති කර ගැනුණු, සංඝයාගේම පාලන ක්‍රමයකි. වැරැදි කරන්නන්ට ද¾ඩුවම් දීමේ ක්‍රමයද වඩාත් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණවලින් යුක්තය. මානුෂික ද වේ. සාධාරණීකරණයෙන් යුක්තය. දඬුවම් ඒක පුද්ගල අභිමතය මත සිදු නොවේ. චෝදනාව චෝදක පසින් පැහැදිලිවම සාධක මඟින් තහවුරු කරන තුරු චූදිතයා නිදහස් පුද්ගලයෙකි.

ප්‍රශ්නය- “ඍෂීන් විසිනුත් ලෙහෙසියෙන් නොලැබිය හැකි ඒ උතුම් තත්ත්වය දෑඟුල් නුවණක් ඇති ගැහැනියන් විසින් කෙසේ ලැබිය හැකිද? (සං.නි.1 භික්ෂුණිසං.)

අන්ධ වනයෙහි දිවා විහාරගතව සිටි සෝමා මෙහෙණිය වෙත මහ මද්දහනෙහි පැමිණි මාරයා කළ ප්‍රකාශයකි. ඉහත දැක්වෙන්නේ, බුද්ධ කාලය වන විට කාන්තා නිදහස, ශක්තිය හා අයිතිය සීමා කිරීමට හේතු වූ සමාජ ආකල්පය “ ද්්වංගුල පඤ්ඤා”යනුවෙන් අවමානි හැඳින්වීමක් දැක්වේ. එය කාන්තාවක් උදෙසා යොදන ලද්දේ ඒ අනුවය. බෞද්ධ භික්ෂුණී ශාසනයෙහි ආරම්භය නිසා මේ සංකල්පය වෙනස් වූ අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර: භික්ෂූණී ශාසනය ඇරැඹීමෙන් මෙම ගතානුගතික කාන්තාව පිළිබඳ ආකල්පය බිඳ වැටුණු අයුරු – මහා ප්‍රජාපතී ගෝතමියගේ ප්‍රකාශකින් කියැවෙයි. පිරිනිවන් පෑමේ පුවත ඇසීමෙන් කනස්සල්ලට පත් ආනන්ද තෙරුන් අමතා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ මෙසේ පවසති. “පුතණුවනි, ඔබ වහන්සේගේ ආයාචනය පරිදි තථාගතයන් වහන්සේ අපට ස්ත්‍රීන්ට පැවිද්ද අනුමත කළ සේක . පුතණුවනි, දුක්වන්න එපා . ඔබ වහන්සේගේ උත්සාහය සඵලයි. පෞරාණික තීර්ථක ඇදුරන් විසිනුත් නුදුටු ඒ උතුම් තත්ත්වය, සත් හැවිරිදි සුකුමාර කුමරියන්ට ලබා දෙන ලදී.”

භික්ෂූණී ශාසනය ආරම්භවීමෙන් සමාජයේ මුල් බැසගෙන පැවැති මිථ්‍යා ආකල්පය, බිඳ වැටුණු අතර ශාසනික පැවිද්ද ලබා ගත් දහස් සංඛ්‍යාත කාන්තාවෝ පුරුෂයන් මෙන්ම මාර්ග ඵලාධිගමය කළහ. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයෙහි සමාන අන්දමින් කොටස්කරුවෝ වූහ. අග තනතුරු ලැබූහ.

කාන්තාවන් පිළිබඳ බෞද්ධ සංකල්පය ඔවුන්ට සමාජයේ සමාන අයුරින් වරප්‍රසාද භුක්ති විඳීමට දොර විවර වීමකි. එමඟින් කාන්තා සමාජයේ ඇති වූ මහත් ප්‍රබෝධයත් ආශ්වාදයත්, සෝමා මෙහෙණිය විසින් මාරයාට පළ කරන ලද්දේ මෙසේය.

”සිත සමාහිත වූ විට, යථාර්ථ ඥානය පහළ වූ කල, ධර්මය මැනවින් දන්නා තැනැත්තාට ස්ත්‍රීභාවය කුමක් කරයිද? මාරය මම ස්ත්‍රියක් වෙමි. පුරුෂයෙකු වෙමි. කවරකු හෝ වෙමි. යන අහංකාරය ඇත්තවුනටම ඔබේ ඔය කතාව කියන්න.

ප්‍රශ්නය- ධර්මයෙන් හා චරණයෙන් සමන්තාගත තථාගතයන් වහන්සේට අනුගාමික ශ්‍රාවකයන්ගෙන් ලැබුණේ අපමණ සාදර ගෞරවයකි. මිහිපිට මිනිසෙකුට අකම්පිතව නොසැලී විශාරද ව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය උන්වහන්සේට ලැබුණේ යහපත් චර්යාව, උත්තරීතර ආත්ම ශක්තිය හේතු කොට ගෙනය. බුදු සිරිතේ අවස්ථා පදනම් කොට ගෙන සාකච්ඡා කරන්න.

පිළිතුර: කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ දැකීම ඇසුරු කිරීම අනිවාර්යංගයක් කොට ගත්තේය. හෙතෙම දින කීපයක් රාජකාරි කටයුතු නිසා බුදුරදුන් දැකීමට අවස්ථාව නොලැබ මාලිගයට පැමිණි විගසින් මධ්‍යාහ්නයෙහිම විහාරයට ගියේය. ඔහු ඇතුළු ගඳ කිළියෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ ලඟ වැඳ වැටී දෙපතුල සිඹ දෑතින් පිරිමදිමින් “ ස්වාමීනි, මම කොසොල් රජු වෙමි. තමන් පැමිණි බව දැන්වීය.

”මහරජ ඔබ කුමක් නිසා මෙවැනි පරම ගෞරවයක් මෛත්‍රී උපහාරයක් කරන්නේදැ” යි විමසූ භාග්‍යවතුන් වහන්සේට රජතුමා මෙසේ පිළිතුරු දෙයි.

ස්වාමීනි” මම කෘතඥතාව කෘතවේදී බව වටහාගෙන මෙසේ කරමි. භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණ ධර්මතාවයෙන් බහු ජනතාවගේ හිත සැප පිණිස ක්‍රියා කරන සේක. ආර්ය මාර්ගයෙහි පිහිටුවන සේක. භාග්‍යවතුන් වහන්සේ ආර්යශීල සම්පන්න සේක. විවේක සේනාසන භජනය කරන සේක. ලද පමණින් සිවුපසයෙන් සතුටුවන සේක. ලොවට පින්කෙත වන සේක. අර්හත් වන සේක. එබැවින් මෙවැනි උපහාර දක්වමි. තථාගතයන් වහන්සේ වෙත ජනතාව ඇදී යෑමට හේතු වූ කරුණු මෙබඳුය.

ඒවා තේරුම් ගත් සමාජයේ ඉහළ පහළ සෑම තලයකටම අයත් ජනතාව මහත් ප්‍රසාදයක් දැක්වූහ. ඉසිදන්ත – පුරාණ යනු වඩුවෝ දෙදෙනෙකි. තථාගත ගුණ දැකීමෙන් වටහා ගැනීමෙන් උපාසකත්වය ලබා සිටි ඔවුහු දිනක් බුදුරජාණන් වහන්සේ හමුවෙහි මෙසේ කීහ.

”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් රටට වඩින සේක’යි කියා අසන්නට ලැබුණු විගසම භාග්‍යවතුන් වහන්සේ අපෙන් ඈත්වෙතැ’යි අපට මහ දුකක් දොම්නසක් නොසතුටක් ඇති වෙයි. භාග්‍යවතුන් වහන්සේ මගධයෙන් කොසොල් රටින් සැවැතට චාරිකාවේ වඩින සේක. කියා අසන්නට ලැබුණු විගසම භාග්‍යවතුන් වහන්සේ අපට ළංවන සේක කියා මහා සොම්නසක් සතුටක් ප්‍රීතියක් ඇති වෙයි.

මේ අන්දමින් පොදු ජනතාව තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවාදරණීය හැඟීම් බහුලවන සේ නික්ලේශී ශාස්තෘත්වය නිසාය.

ප්‍රශ්නය- නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම ප්‍රචාරය කිරීම , බෞද්ධයන්ගේ සචාතනික ප්‍රතිපත්තියයි. බුද්ධ චරිතයෙහි සිදුවීම් පසුබිම් කොට ගෙන මෙම බෞද්ධ පිළිවෙත අගය කරන්න.

පිළිතුර: සුනක්ඛත්ත නම් ලිච්ඡවී – භික්ෂු තම බුදුරජාණන් වහන්සේ තමන්ට ඍද්ධි ප්‍රාතිහාරය නොපෙන්වන නිසාත්, ලෝකෝත්පත්තිය නොදක්වන නිසාත්, නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශය කළහ. ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ සුනක්ඛත්ත කැඳවා මෙසේ පැවසූහ. “සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න කියා මම ඔබට කීවෙම්ද?

නැත. ස්වාමීනි,

සුනක්ඛත්ත– මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි කියා ඔබ මට කීයෙහිද? නැත, ස්වාමිනි,

සුනක්ඛත්ත , මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමි’යි කීම කොතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?

මෙයින් පැහැදිලි වන්නේ යම් යම් ප්‍රතිඥා දීමෙන් ධර්ම සමාදානයට පුද්ගලයන් පොළඹවා ගැනීමක් බුදු දහමෙහි නොමැති බවයි. මිනිසාගේ (උපසමාය) ව්‍යපසමය – (අභිඥය) අවබෝධය (සම්බෝධාය) සම්බුද්ධත්වය (නිබ්බාණය) නිර්වාණය සඳහා (අක්ඛාතරෝ තථාගතා) මඟ දැක්වීම, තථාගතයන්ගේ කාර්යයි. එම නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම ප්‍රචාරය කිරීම බෞද්ධයන්ගේ සාදාතනික පිළිවෙත වී තිබේ.