දානය පිළිබඳ මහායානික ආකල්පය
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අලුතෑපොල ගණේකන්ද
පුරාණ රජමහා විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි
ථේරවාද බෞද්ධ සම්ප්‍රදායට අනුව බෝධිසත්වයන් විසින් බුද්ධත්වයට පත්වීම (සම්බෝධි)
සඳහා පුරන ලද බෝධි සම්භාරක ධර්ම පාරමිතා ලෙස නම් කෙරේ. ඒවා දසපාරමි නමින් හැඳින්වේ.
බුද්ධ කාරකධර්ම යනුද ඊට පෙර නාමයකි. ආත්මාර්ථය නොසලකා මිනිසුන් ඇතුළුව මහත් වූත්
ඉතා කුඩා වූත් සියලු සතුන් උදෙසා කරුණාව හා මෛත්‍රිය පෙරදැරිව මෙම පාරමිතා පිරූ බව
අනාවරණය වේ. දාන පාරමිතාව මෙම දසපාරමිතාවන්හි පළමුවැන්න වේ. අනුන්ගේ යහපත උදෙසා
ජීවිතය ඇතුළුව තමන් සතු සියලු දේ දීම පරිත්‍යාග කිරීම ,පූජා කිරීම, හෝ අතහැරීම
මෙයින් අදහස් කෙරේ. දීම හෙවත් දානය හුදු කායික ක්‍රියාවෙක් නොවේ. එය කායික මෙන්ම
මානසික ක්‍රියාවලියක්ද වේ. මහායාන බෞද්ධ සම්ප්‍රදායයෙහි දාන පාරමිතාව ගැඹුරු
දාර්ශනික පදනමක් සහිතව විස්තර වේ.
එය ඉතා සංක්ෂේපයෙන් කිවහොත් දානය දෙන්නා, එය ලබන්නා සහ දෙනු ලබන දෙය යන ත්‍රිත්වයම
ශූන්‍යය. එසේත් නැතහොත් අනාත්මය.අහංකාර, මමායන දෙකෙන් විනිර්මුක්තය, එබැවින් අප
විසින් දානයක් දීමේදී අවබෝධ කොට ගත යුතු වැදගත්ම දෙය නම් එකී දානය දෙනු ලබන
තැනැත්තා ශූන්‍යය හා අනාත්ම වේ. දීම ලබන්නා ද ශූන්‍ය අනාත්ම වේ. එසේම දෙනු ලබන
වස්තුව ද ශූන්‍යය හා අනාත්මය වේ. තවද එහි ලා එකී උසස් යැයි සම්මත දානය පවා නිස්සාරය
හැඟීම වැටහීම හෝ ප්‍රඥාව ඇති කරගත හැකි නම්, කිසිවක් නොසිතා එනම්, ලාභ අලාභ දෙක ගැන
නොසිතා එය දිය හැකි නම් එය දානය දීමේ උසස්ම පිළිවෙතයි. මහායානයේ ඉගැන්වෙන පරිදි
ඉන්ද්‍රියන් අපට ලබා දෙන්නේ අනිත්‍ය ලෝකයෙහි අත්දැකීමක් පමණකි. කිසිම දෙයක් සත්‍ය
නොවේ. හැම මොහොතකම එය අනෙකක් බවට පත්වේ. එසේම යමක් දෙන්නා ද, දීම ලබන්නාද, දෙනු ලබන
වස්තුවද යන තුනම සංස්කාර ධර්ම ගුණයට ඇතුලත් වන හෙයින් ඒවා ශූන්‍ය ලෙස සලකා
බෝධිසත්ත්ව චර්යාව පුරුදු පුහුණු කළ යුතුය. වජ්‍රච්ඡේදිකා ප්‍රඥා පාරමිතා සූත්‍රය
නම් මහායාන ධර්ම ග්‍රන්ථයෙහි දැක්වෙන මෙම කියමන දෙස බලන්න.
“තාරකාවන් මෙන් අන්ධකාරය මෙන් ප්‍රදීපයක් මෙන් මායාව මෙන් සුදු හිම මෙන් නොහොත්
බුබුලක් මෙන් සිහිනයක් මෙන් නොහොත් විදුලි කෙටීම මෙන් යමකු සියලුම සංස්කාරයන් දෙස
බැලිය යුතුය.”
මහායානයට අනුව බෝධිසත්ව චර්යාවෙහි දානය යනු අවබෝධාත්මක දීමකි. එය ශූන්‍යතා
අභ්‍යාසයක් ලෙසද සැලකිය හැකිය. මහායානයේ පාරමිතා සමඟම සමගාමීව යන දශභූමි සංකල්පයක්
ද වේ. එනම් බෝධිසත්ව චර්යාව ප්‍රගුණ කරන අවස්ථා දශයකි. මෙම අවස්ථා දියුණුවන තරුණ
භටයෙකු උපමා කොට විස්තර කොට ඇත. පළමුව දුප්පත් වන ඔහු පසුව ධනවත් වී උත්සාහය නිසා
උපසෙනෙවි, සෙනෙවි, ප්‍රාදේශීය නායක, උප ඇමැති හා ඇමැති ආදි වශයෙන් චක්‍රවර්ති රජකම
දක්වා දියුණුවන පරිදි බෝධිසත්ව යානයෙහි භූමිවලට පැමිණෙන තැනැත්තා අනුක්‍රමයෙන්
බුද්ධත්වය පිළිබඳ අදහස ඇතිකර ගන්නා බව දක්වයි. එහිදී ඔහු දාන ශීලාදී පාරමී සය
ප්‍රගුණ කරයි.
ප්‍රමුදිතා , විමලා, ප්‍රභාකරී, අර්චිස්මතී, සුදුජීයා,අභිමුඛී, දූරංගමා, අචලා,
සාධුමතී ,ධර්මමෙඝා යනු පිළිවෙළින් එම භූමි දශයයි. ප්‍රමුදිතා අවස්ථාවේ කරන ලද කුශල
මූල ඇති බෝසතාණේ බුද්ධත්වය පිළිබඳ අදහස උපදවා ගනිති. පෘථග්ජන භූමිය ඉක්මවා
තථාගතවරුන්ගේ කුලයට පිවිසෙන ඔහු බුදුවරුන් බෝසතුන් අධිගමයන් ආදිය ගැන සිතා මෙහි දී
සතුටට හා ප්‍රමෝද්‍යයට පැමිණේ. ජීවත්වීම, නින්දාව, බිය, මරණය, දුගතිය හා සබකෝළය යන
පහ පිළිබඳ බියක් මෙම අවස්ථාවේ දී ඔහුට නැත. දෙවන භූමිය විමලා (පිරිසුදු) නමි. මෙම
අවධියේ දී සීල පාරමිතාව ප්‍රබලව වඩයි. තෙවන ප්‍රභාකරී (බබළන) භූමියේදී
බ්‍රහ්මවිහාර, ධ්‍යාන, අභිඥා ආදිය වඩමින් ලෝකය අනිත්‍ය ලෙස දකිමින් ශාරිරික හා භව
බන්ධන සිඳිමින් වෙසේ. ක්ෂාන්ති පාරමිතාව බහුල වශයෙන් වඩනුයේ මෙම අවස්ථාවේදීය. සිවු
වන භූමිය අර්චිස්මතී (දීප්තිමත්) නම් වේ. බෝධ්‍යංග හා ආර්ය අෂ්ටාංගික මාර්ග වඩමින්
සැක දුරුකරමින් සිත පිරිසුදු කොට ජීවත් වේ. මෙම භූමියේදී අභිනිෂ්ක්‍රමණය කොට වීර්යය
පාරමිතාව බහුලව වඩයි. පස්වන සුදුර්ජයා (දිනීමට ඉතා අපහසු) නමැති භූමියට පැමිණි
කල්හි පොදු ජනයාට හිතෛෂී වූ සාහිත්‍ය කලා ඡ්‍යොතිෂ වෛද්‍යාදී විෂයන් හදාරන අතර
චතුරාර්ය සත්‍යයද අවබෝධ කර ගනී. ධ්‍යාන පාරමිතාව පුරන්නේ මේ කාලයේදීය. අභිමුඛී
නමැති ඊළඟ භූමිය මුහුණපෑම් යන අරුත් ඇත්තේ වේ. ද්‍රව්‍යයන් පිළිබඳ විවිධ නයින් දකින
ඔහු දශාකාරයකින් භාවනා කරයි. ශූන්‍යත්වයට ඒකත්වය අනපේක්ෂකත්වය ත්‍රිවිධ විමෝක්ෂයට
පැමිණේ. මෙම අවස්ථාව වන විට රහත් තත්ත්වයට පත්වීමට අවශ්‍ය සියලු අධ්‍යාත්මික
තත්ත්වයන් සාධනය වී ඇති බව මෙම භූමි භය පිළිබඳ මහායානික විග්‍රහයන් කියැවීමෙන්
පැහැදිලි වේ. එහෙත් අර්හත් හා පසේබුදු යන භූමිවලින් ඉවතට හැරී ඉදිරියට යයි. සත්වන
දුරගමා (ඈත යන) භූමියේදී එම බෝසත්හු උපාය කෞශල්‍ය පාරමිතාව පුරති. එසේම දශ පාරමිතා
ද පුරති. ජනපි‍්‍රයතාව සඳහා ඉවහල් වන බ්‍රහ්මවිහාර මෙම අවස්ථාවේදී මැනවින් ප්‍රගුණ
කෙරේ. මෙම දුරංගමා භූමියෙහිදී පාරමිතා නමැති නෞකාවට නැඟී සර්වඥතාඥානය නමැති මුහුදට
පිවිසෙයි. එහෙත් නිර්වාණය අත්පත් නොකරගනී.අටවැනි භූමිය අචලා ( නො සැලනෙ නම් වේ.
තථාගතයන්ගේ දශබලයන් ලබා ගැනීමට හා චතුර්විශ්වසනීය ධර්මයන් ලබා ගැනීමට බුදුවරුන්ගේ
අනුශාසනා ලැබෙනුයේ මෙම අවස්ථාවේදීය. නව වැන්න සාධුමතී (යහපත් භූමිය) නම් වේ.
සත්වයන් පහදවා ගන්නා තවත් ක්‍රම අවබෝධ කරගන්නා මෙම අවස්ථාවේ දී ධර්ම දේශනා කිරීම්
ආදිය කෙරේ. අවසාන භූමිය ධර්මමේඝා (දහම් වළාකුල්) යන්නයි. සුවිශාල නෙළුම් මලක්
පහළවීම හා බෝසත් තෙමේ ඒ මත්තෙහි වැඩ හිඳ සර්වඥතා ඥානය නමැති සමාධියට සමවැදීම
මහාපෘථිවිය චලනය වීම වැනි අද්භූත දේ රාශියක් සිදුවීම මෙම අවස්ථාවේ සිදුවේ.
බෝධිසත්ව චර්යාව බුද්ධත්වය දක්වා ගොඩනැඟෙන ආකාරය දශභූමි පිළිබඳ මහායානික විස්තරයෙන්
අනාවරණය වේ. ථේරවාදීන්ගේ දශපාමිතාවලට මෙහි කිසියම් සමානත්වයක් ඇත. පාරමිතා පිළිබඳ
ථේරවාද හා මහායාන අදහස් මෙන්ම මහාසංඝිකාදීන්ගේ ඉගැන්වීමේ ද විමසන විට පෙනී යන
කාරණයක් වන්නේ ඒවා පසුකාලීනව කිසියම් ක්‍රමවේදයකට පෙළගස්වා ඇති බවයි. නිදසුනක් ලෙස
මහායානයට අයත් මහාසංඝික නිකායන්ගේ කෘතියක් වන මහාවස්තුවෙහි බෝධිසත්ව චර්යාව විස්තර
වන්නේ බොහෝ දුරට ථේරවාදී පිළිගැනීම්වලට සමානවය.
සාමාන්‍ය ලෝකය තුළ දන් දීමේ දී විවෘත සහ සැගවුනූ අරමුණූ ඇත. ඊළඟ ආත්මයේ දී පොහොසත්
වී ඉපදීම, දිව්‍යලෝකවල ඉපදීම, ලබන්නා ප්‍රසාදයට පත්කොට ඔවුන් මාර්ගයෙන් තමා වර්ණනා
කරවා ගැනීම, තමා ත්‍යාගශීලි කෙනෙකු හෝ හොඳ කෙනෙකු ලෙස ප්‍රකට කරවා ගැනීම යනාදි
අරමුණු ඇත. මහායානිකයන්ගේ විග්‍රහය අනුව දෙන්නා මෙන්ම ලබන්නා ද දීමේ හා ලබාගැනීමේ
ක්‍රියාවලියේ දී හඳුනා ගැනීමක් අවශ්‍ය නොවේ. මහායානයේ ප්‍රඥාපාරමිතා සූත්‍රය අනුව
දෙන්නෙක් නැත. ලබන්නෙක් නැත. සිදුවන්නේ දීම නමැති ක්‍රියාව පමණකි යන සිතිවිල්ල
පාරමිතා පූරණයේදී පැවතිය යුතුය. ප්‍රඥාව මූලික වන දානය නම් එයයි. අෂ්ට සාහශි‍්‍රකා
ප්‍රඥාපාරමිතා සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ සුභූති තෙරුන් අමතා කරනු ලබන දේශනාව
ඇතුළත් පහත දැක්වෙන උද්ධෘතය මහායානයෙහි දාන පාරමිතාව විස්තර කරන ආකාරය පිළිබඳ
අවබෝධයක් ලබා ගැනීමට ප්‍රයෝජනවත්ය.
“තවද සුභූති බෝධිසතුවයකු වස්තු කාමයෙන් යුතුව (සිත වස්තුවෙහි පිහිටුවා) දානය නො දිය
යුත්තේය. සිත කිසිවක පිහිටුවා දානය නො දිය යුත්තේය. සිත රූපයෙහි පිහිටුවා (රූප
තෘෂ්ණාවෙන්) දානය නො දිය යුත්තේය, ශබ්ධ , ගන්ධ රස, ස්පර්ෂ යන ධර්මයන්හි සිත
පිහිටුවා දානය නො දිය යුත්තේය. සුභූති මහසත් බෝධිසත්වයකු විසින් දානය දිය යුත්තේ
මෙසේය. කෙසේද යත්? සිත නිමිත්ත සංඥාවක (අරමුණක) පිහිටුවා නො දිය යුත්තේය. එයට හේතුව
කුමක්ද? සුභූති සිත කිසිදු තැනක නොපිහිටුවන ලදුව යම් බෝධිසත්වයෙක් දන් දෙන්නේ නම්
එයින් ඔහු ලබන පින ප්‍රමාණ කිරීම ඉතා අපහසු වන්නේය. සුභූතිය ඔබ කුමක් සිතන්නේද? රෑ
පෙරදිග අහසෙහි ප්‍රමාණය මැන පෙන්විය හැකිද? සුභූති තෙමේ මෙසේ කීය. භාග්‍යවතුන්
වහන්ස එසේ කළ නො හැක්කේමය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. දකුණ බටහිර උතුර උඩ යට
හෝ මේවාට අන්තර් පවත්නා දිශා යන මේ සියලුම ආකාරයේ දශදිශා භාගයන්හි ආකාශ ප්‍රමාණ
කොටගත හැකිද? ආයුෂ්මත් සුභූති තෙමේ මෙසේ කීය. භාග්‍යවතුන් වහන්ස, එසේ කළ නො
හැක්කේමය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. එසේම යම් බෝධිසත්වයෙක් සිත කිසිදු තැනක
නො පිහිටුවනු ලදුව යමෙක් දන් දෙන්නේ නම් එයින් ඔහු ලබන පින ප්‍රමාණ කිරීම ඉතා අපහසු
වන්නේය. සුභූතිය, බෝධිසත්වයානිකයා විසින් දානය දිය යුත්තේ මෙසේය. නිමිති සංඥාවක
(සලකුණක) නො පිහිටුවා නො දිය යුත්තේය.”
මහායානිකයන්ගේ ප්‍රඥාපාරමිතා සූත්‍රයෙහි විස්තර වන්නේ ප්‍රඥාපාරමිතාව ගැන පමණක්
නොවේ. ෂඩ් පාරමිතාවම එහි විස්තර වේ. |