Print this Article


දහමෙන් සුවපත් වූසොඳුරු ජීවිත

දහමෙන් සුවපත් වූසොඳුරු ජීවිත

නකුල මාතා, නකුල පිතා ගෘහපති යුවළ සම්ප්‍රදායිකව විවාහ ජීවිතයක් ගත කළත් පසු කලෙක පරිණත වූ ගතින් පමණක් නොව මනසින් ද ඔවුනොවුන්, ඔවුනොවුන් කෙරෙහි ධර්මයට අනුව අවබෝධයට පැමිණ මතු මත්තෙහි සසර පැවැත්ම දුකකට යා නොදී සුගතියම අරමුණු කරමින් ජීවිත පවත්වන නකුල මාතාවන් තුන්වනුවත් බලවත් සේ ගිලන්ව සිටින නකුල පිතාවන්ට මෙසේ සඳහන් කරනවා.

මෙහි තවත් එක් කොටසක් වප් අව අටවක ( ඔක්තෝබර් 22 )දින පත්‍රයේ පළවිය.

ගෘහපතියනි, නකුල මාතා එනම්, මම ඔබගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට, භික්ෂු සංඝයා දකින්නට නොකැමැති වේ යැයි ඔබ සිතනවාද? එසේ සිතන්නට එපා. ඔබේ වියෝවෙන් පසුව මම වඩාත් ම භාග්‍යවතුන් වහන්සේ මෙන් ම භික්ෂූ සංඝයා දකින්නට කැමැත්තෙමි.

ඔබ අප එදා මතු දවසක එක්ව භාග්‍යවතුන් වහන්සේ හා සමඟ භික්ෂු සංඝයා දක්නට එක මඟක පියමං කළ ආකාරය ඔබට අපට ඉතාම පැහැදිළියි. මතකයි. අපේ ජීවිතවල පැවතුණු දහමෙන් සුවපත් වූ සොඳුරු අදහස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැවසූ බවත් ඔබට ඉතාම හොඳින් මතකයි. ධර්මයෙන් තොර ජීවිතයේ සැබෑ සැනසිල්ලක් අපට නැති බව අප අවබෝධ කොටගෙන සිටි බවත් ඔබට ඉතා හොඳින් පැහැදිළියි. එසේ නම් ඔබගේ ඇවෑමෙන් පසුව මම භාග්‍යවතුන් වහන්සේ හෝ භික්ෂු සංඝයා දකින්නට අකැමැති වේ යැයි ඔබ කිසිවිටකවත් සිතන්නට එපා. ඔබේ සිත සනසා ගන්න, සංසිඳුවා ගන්න. එනම් ඇලීම, බැඳීම, තෘෂ්ණාව බැහැර කරගෙන අපේක්ෂා රහිතවම කළුරිය කරන්න. තෘෂ්ණාව ඇතිව කළුරිය කිරීම දුකකි, දුක සාදා දෙන්නකි. භාග්‍යවතුන් වහන්සේත් ඒ බව දේශනාකොට තිබේ.

කෙලෙස් සිතිවිලිවල ප්‍රබල බව

මෙම කරුණෙත් අප විසින් පැහැදිළි කරගත යුතු දහම් කොටසක් පවතියි. යම් කෙනෙක් ඔවුනොවුන්ගේ ජීවිතවල පැවැති ප්‍රිය අය වෙන්වීමෙන් අනතුරුව ඇලීමෙන් හා ගැටීමෙන් යුක්තව හුදකලා වන්නට පටන් ගනී. ඇලීම සහ ගැටීම ලෙස සඳහන් කළේ ප්‍රිය වස්තුව කෙරෙහි පවතින මතකය ඇලීමක් හැටියටත් ඒ ප්‍රිය වස්තුව නැතිව යාමෙන් ඇති වූ සිතේ හටගත් ශෝකය පටිඝයක් හැටියටත්, ගැටීමක් තරහවක් හැටියටත් මෙහි සඳහන් කළෙමු. ප්‍රිය වස්තුව හා ප්‍රිය වස්තුව හා සමඟ පැවැත් වූ කාලය පිළිබඳව සිහිපත් වන විට වඩ වඩාත් මතක සටහන් ලෙස කෙලෙස් සිතිවිලි ප්‍රබල ලෙස මතුවෙන්නට පටන්ගනී.

වර්තමානයේ ඒවා තමාට අත්විඳීමට නැතැයි කියන හැඟීම නිසා තනිකම, පාළුව, හුදෙකලාව, චිත්ත සංතාපය වැනි ආවේග මතුවෙන්නට පටන් ගනී. එමෙන් ම ඒවා නැතිවී යාම පිළිබඳව ඇති අකැමැත්ත පටිඝයක් හෙවත් තරහවක්, ක්‍රෝධයක් හැටියට මතු වෙන්නට පටන් ගනී. දහමෙන් සකස් නොකරගත් සිත් ඇති යම් වූ අයෙක් එහි දී හුදෙකලාවීමට පටන් ගනී. එනම් ධර්මයෙන් බැහැර වීමට පටන් ගනී. අතීතය ගැන සිතා හඬමින් කාලය ගත කිරීම හෝ ක්‍රෝධයෙන් යුතුව මේ ජීවිතයේ ඉදිරි කාලයත් ගත කරනවා කියන හැඟීමෙන් යුක්තව පසුවෙන්නට පටන් ගනී.

එහෙත් නකුල මාතා සඳහන් කරන්නේ වඩ වඩාත් ධර්මයට සමීපව තමා පුරුදු කරන ලද සිතට අනුව වඩාත් ඒ පිළිවෙත් මාර්ගය අනුගමනය කරමින් ම සසරේ ස්වභාවයත්, ජීවිතයේ ඇති යථාර්ථයත් දැක ගනිමින් මේ භවකතරෙන් නිදහස් වීමට එනම් තෘෂ්ණාව නැති කර ගැනීමට ව්‍යායාමය කිරීමට සුදුසුම අවස්ථාවක් බවයි.

සීලයෙන් පරිපූර්ණ ජීවිතය

මීළඟට නැවතත් නකුල මාතාව බලවත් සේ ගිලන්ව සිටින තම ස්වාමියාට මෙසේ සඳහන් කරනවා. ගෘහපතියනි, මම එනම් මේ නකුල මාතා ගෘහපතිනිය ඔබගේ ඇවෑමෙන් සීලයේ පරිපූර්ණබවට පත්නොවන්නීය යනුවෙන් සිතක් ඔබ ඇති කර ගන්නට එපා. එසේ මනසින් නොදැකිය යුතුයි. ගෘහපතියනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ශාසනයෙහි, සුදු වස්ත්‍ර හඳිනා ගිහි ගෙදර වාසය කරන සීලයෙන් පරිපූර්ණ වූ යම් පමණ ශ්‍රාවිකාවෝ වෙත්නම් එවැනි ශ්‍රාවිකාවන් අතර මමත් එක්තරා ශ්‍රාවිකාවක් වෙමි. යමෙකුට මේ පිළිබඳ සැකයක් හෝ විමතියක් පවතිනවා නම් භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාර ගිරි අසළ භේසකලා වන නම් මිගදායේ වැඩ වාසය කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ප්‍රශ්න කරන්නට පුළුවනි.

ගෘහපතියනි, මේ නිසා මේ කරුණෙත් නුඹ තාෂ්ණාවක් ඇති කරගෙන කළුරිය කරන්නට එපා. මම සීලයෙන් පරිපූර්ණව ජීවිතය පවත්වනවා. යම් විටක අපේක්ෂා සහිතව කළුරිය කිරීම එය දුක් පිණිස හේතු වෙනවා. අපේක්ෂා සහිත කළුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසා නොකරන ලද්දකි.

නැවතත් නකුල මාතා තම ස්වාමියාට මෙසේ සඳහන් කරනවා. ගෘහපතියනි, මම එනම් මේ නකුල මාතා ගෘහපතිනිය ආධ්‍යාත්මීය චිත්ත සමථයක් ලබන එකක් නැහැ කියා ඔබේ සිතෙහි සිතිවිල්ලක් ඇතිකර ගන්නට එපා. ඔබ එසේ මනසින් නොදැකිය යුතුයි. ගිහිගෙයි වසන, සුදු වස්ත්‍ර අඳින ආධ්‍යාත්මයේ චිත්ත සමථයක් ලබන යම් පමණ ශ්‍රාවිකාවෝ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වෙත්නම් මමත් ඒ අය අතර තවත් එක් ශ්‍රාවිකාවක් වන්නෙමි.

යම් කෙනෙකුට මේ පිළිබඳව සැකයක්, විමතියක් පවතිනවා නම් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් ඒ ගැන විමසා බැලිය හැකියි. ඒනිසා නුඹ එවැනි සැකයක් හෝ අපේක්ෂාවක් සිතේ පවත්වාගෙන කළුරිය කරන්නට එපා. ගෘහපතියනි, අපේක්ෂා, බලාපොරොත්තු සහිතව එනම්, කෙලෙස් සහිතව කළුරිය කිරීම දුකකි. එය දුක් පිණිස හේතුවෙනවා. බලාපොරොත්තු සහිතව, අපේක්ෂා සහිතව තෘෂ්ණාවෙන් යුක්තව කළුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් ගරහා කරන ලද්දකි.

ආධ්‍යාත්මයේ චිත්ත සමථය

නකුල මාතාවන්ගේ මේ ප්‍රකාශය පිළිබඳවත් අප විසින් විමසා බැලිය යුතුමය. එතුමිය තමාගේ සිත පරමාර්ථ ධර්මයට අනුව මනා කොට පුරුදුකොට ඇති බව මේ ප්‍රකාශයෙන් පැහැදිළිවෙනවා. එනම්, ආධ්‍යාත්මයේ චිත්ත සමථයක් ඇති කරගෙන ඇති බවයි. සරල දහම් පෙළ ආරම්භය ලෙස මෙසේ සඳහන් කළ හැකිය.

එනම් “චිත්තං ධංතං සුඛා වහං” සිතෙහි ඇතිකර ගන්නා වූ දමනය සැප පිණිස හේතු වන්නේ ය යනුවෙනි. එම සරල තැනින් ආරම්භ කළ දහම් කතාව විදර්ශනාවට අනුව අපට මෙනෙහි කළ හැකියි. යම් වූ ද ගිහි වූ හෝ පැවිදි වූ හෝ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් භවයෙහි ඇති දුක පිළිබඳව මැනවින් විමසා බලා දුකින් පිරුණු භවයෙන් නිදහස්වීම පිණිස චිත්ත දමනය කරගත යුතුමයි.

“සීලේ පතිට්ඨාය නරො සපඤා්ඤෝ

චිත්තං පඤ්ඤංතං භාවයං” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ජටා සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කරනු ලැබූයේ ඒ ධර්ම කොට්ඨාසයයි. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා විසින් ශීලයේ පිහිටා සිතත්, ප්‍රඥාවත්, වැඩිය යුතු බවයි. මෙහි දී සිතත් ප්‍රඥාවත් හැටියට දක්වන්නේ, සමථය හා විදර්ශනාව පිළිබඳවයි. සමථයෙන් සිත වැඩීමත් විදර්ශනාවෙන් ප්‍රඥාව දියුණු කර ගැනීමත් පැහැදිලි කරනවා. චිත්ත සමථය යනුවෙන් අදහස් කරන්නේ ද සිතේ එකඟ බවත්, දියුණුවක් ඇති කරගෙන දියුණු කරගත් සිතින් එනම්, සිතේ ඇති කරගත් සමාධියෙන් විදර්ශනා කළ යුතු බවයි. එනම් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ ශරීර පුංජය පිළිබඳව විදර්ශනා නුවණින් බැලිය යුතු බවයි.