Print this Article


දුදන ඇසුරට වඩා තනිව විසීම සැපතකි

දුදන ඇසුරට වඩා තනිව විසීම සැපතකි

සමාජයක ජීවත් වීමේදී මිනිසුන් කොටස් දෙකකින් යුක්ත වේ. එය අඩු වැඩි වශයෙන් සත්වයා තුළ නිතැතින්ම පවතී. එයට හේතුව පුහුදුන් ස්වභාවයයි. නමුත් උසස් මනසක් ලැබූ සත්වයාට තම බුද්ධිය තුළින් එය අවම කර ගත හැකි වේ. ඒ පිළිබද විමසීමේදී ධම්ම පදය, ජාතක පොත් වහන්සේ අපට ඉතා වැදගත් වේ.

දුර්ජනයින් ලෙස සැලකෙන්නේ සිත, කය ,වචනය යන තිදොරින්ම තමනටත්, –අනුනටත්, මෙලොවටත් පරලොවටත් අවැඩක් සිදු කරන අයයි. එවැනි අය නිතරම සිතන්නේ, කතා කරන්නේ, වැඩ කරන්නේ, අයහපතකටමය. චන්න හිමියන්ගේ කතා පුවතින්ද, පැහැදිලි වන්නේ එවැනි දෙයකි. චන්න හාමුදුරුවන් ගුණ නුවණින් වැඩි, වයසින් වැඩි සැරියුත් – මුගලන් අග්‍ර ශ්‍රාවකයින්ට බැණ වදිමින් වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කිරීම හේතුවෙන් බුදුරදුන්ගේ උපදෙස් මත තෙවන ධර්ම සංගායනාවෙන් පසු චන්න හිමිට බ්‍රහ්ම දණ්ඩනය පවා ලැබුණි. එවැනි දුෂ්ට චරිත ඇති අය බුදුන් කලද සිටියහ. එවැනි පිරිසට ලැබෙන විපාකද සුළුපටු නොවේ. එවැනි දුර්ජනයින්ට උපදෙසක්, දැනුමුතු කමක් දුන්නද කවදාවත් එය පිළිපදින්නේද නැත.

පාප දුර්ජන අය යහපත් පුද්ගලයෙකු දිවි ඇති තෙක් ආශ්‍රය කළත් යහපත් පුද්ගලයෙකු වන්නේ නැත. එය හරියට ව්‍යඤ්ජන කාල් ගාන හැන්ද කොච්චර හැඳි ගෑවත් හොදි රසය නොදන්නා හැන්ද මෙනි.

ඒ අනුව සිතීමේදී දුර්ජනයින්ගේ ස්වභාවය පැහැදිලි වන අතර තිරිසන් සත්වයෙකුට තිබෙන ගුණවත් දුර්ජනයින්ට නොමැත. තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නාම එයට එම සතා සෙනෙහසක් ආදරයක්, ස්වාමි භක්තියක් දැක් වුවද , දුර්ජනයින්ට ගුණ කොතරම් කළද එය හරියට වතුර තුළ ඇදි ඉරක් මෙන් අමතක කරනු ඇත.

අප මහ බෝසතාණෝ එක් කාලයක ගඟක් සමීපයෙහි භාවනානුයෝගීව කාලය ගත කරන අවස්ථාවක බරණැස් රජුගේ පුතෙකු දුෂ්ඨ කුමරු නමින් රජ නිවස තුළ සේවකයින්ට පවා බැණ වදිමින් නොයෙක් දුෂ්ඨකම් කරමින් ජීවත් විය. රජ ගෙදර සිටි කිසි කෙනෙකුට ඔහු පිළිබඳ පැහැදීමක් නොවීය. දිනක් ගඟට නෑමට ගිය වෙලාවක රාජ සේවකයින් එම දුෂ්ඨ කුමරා ගඟ මැදට ගෙන ගොස් අතහැරීය. පසුව එම දුෂ්ඨ කුමරු කොටයක ආධාරයෙන් ගඟේ පාවී පහළට ගසාගෙන යන අතර එම දිය පහරට හසු වූ නයෙක්, මීයෙක් හා ගිරවෙක්ද එම කොටයට එකතු විය.

අප මහ බෝසතාණෝ රාත්‍රියෙහි ඔහුගේ දුක් ගැනවිලි හඬ අසා ඔහු ගොඩට ගෙන සීතලෙන් මිදවීමට ගිනි තප්පවා ආහාරද ලබා දුනි. නමුදු කුමරු සිතන්නේ සතුන්ට මුලින් සැලකිලි දක්වා ඔහුට පසුව සැලකිලි සම්මාන දැක්වූවා. මේ තාපසයා යනුවෙන් සිත තුළ වෛරයක් ඇති කර ගනු ලැබූහ. රජ වූවාට පසු පළිගන්නා සිතක් ඇති කරගන්නට විය. එම කුමරු රජ වූවාට පසු බෝසතාණෝ නගරය තුළ සැරිසැරීමේදී, රජවූ කුමරු ඇතුපිටින් යන අතර තාපසතුමා දැක තාපසතුමා මැරීමට අණකළා. පසුව බෝසතාණෝ එම රාජ පුරුෂයින්ගෙන් දඬුවම් ලබන සෑම මොහොතකම “දියෙහි යන දණ්ඩක් ගොඩ දැමීම යහපතැයි යන නැණවතුන්ගේ කීම සැබෑය. එය බතක් ආදිය පිසගැනීමට, සීතල වළකා ගැනීමට උපකාරි වනු ඇත. පාපියා දියෙහි ගසාගෙන යන විට ගොඩ නඟාලීම එසේ නොවන්නේය යනුවෙන් ප්‍රකාශ කළේය. පළමුව රාජ පුරුෂයින් ඇත්ත නැත්ත දැන වටහාගෙන දුෂ්ට කුමරා ඇතුපිටින් බිම දා මරා බෝසත් තාපසයා රජ කරවීය.

මිනිස් සමාජය තුළ යහපත් සිත් තිබෙන මිනිසුන් ඉතා අල්පය. නිරන්තරයෙන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම ආදී නපුරු සිතිවිලි සමඟ ජීවත් වීමට ඇතැම් දෙනෙක් පුරුදුව සිටී.නමුදු සත්වයින් තුළ එසේ නොමැත. සදාකාලික ජීවිතයක් ගත කරන්නන් සේ නිතර භෞතික සම්පත් උදෙසා සටන් කරති. එක බඩවැල කඩාගෙන පැමිණි සහෝදර සහෝදරියන් අතර පවා විවිධ ගැටුම් කෝලාහල ඇති කර ගනු ඇත. බිම් අඟලට , පොල් ගෙඩියට පවා සදා වෛරයෙන් බැඳී සිටීමට තරම් මිනිසුන් අනුවණ වී ඇත.

දුර්ජනයන්ගේ එක්වීම හැර සත්පුරුෂයන්ගේ එක්වීම සේවනය කරව. රෑ දවල් දෙකෙහිම පින් කරව.සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව නිරන්තරයෙන් සිහි කරව.

සත්පුරුෂයින්ගේ ඇසුර තුළින් පින් කිරීමටත්, ලෝක ධර්මතාවය අවබෝධ කර ගැනීමටත් ලැබෙනු ඇත. සත් පුරුෂ ඇසුර තුළින් තමන්ගේ ජීවිතය බබළනු ඇත.

දුර්ජන ඇසුරක් ලැබුනොත් මුළු ජීවිතයම කාලකණ්නි වනු ඇත. එතුළින් අනන්ත අප්‍රමාණ පව්කම්වලටද උරුමකම් කියනු ඇත.

ඒ අනුව මිනිසුන් වශයෙන් අප තේරුම් ගත යුත්තේ මිනිසුන් හඳුනාගෙන අපේ ජීවිතයට අහිතක් අවැඩක් සිදු නොකරන, සිදු නොවන මිනිසුන් ඇසුරු කිරීමටය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේද යහපත් පුද්ගලයන් ඇසුරු කර ජීවිතය යහපත් කර ගන්නා ලෙසයි. එහිදී නරක, අධම, දුෂ්ඨ,දුර්ජන අය ජීවිතයට සමීප කර නොගැනීමත්, ඔවුන් ඇසුරු නොකිරීමෙන් කළ යුතුය. තමනට ගුණ නුවණින් වැඩි අය ඇසුරු කළ යුතුය. එවැනි අය නොමැතිනම් තමා හා සමාන අය හෝ ඇසුරු කළ යුතුය. එම කොටස් දෙකම හසු නොවේ නම් දුර්ජනයින්ගේ ඇසුර ලබනවාට වඩා තනිව සිටීම සැපදායකය.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝති

යාව නිබ්බාණ පත්තියා

උපදින ආත්මයක් පාසා යහපත් සත්පුරුෂ, කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුරම ලැබේවා. කිසිදා දුර්ජන, දුෂ්ඨ පුද්ගලයින්ගේ ඇසුරක් නම් ජීවිතයට නිවන් දකිනා තුරා නොලැබේවා. ඉහත ගාථා ධර්මය ,ප්‍රාර්ථනාවක් වශයෙන් තබමින් තම ඤාණ ශක්තියෙන් දුර්ජන දුෂ්ට අය හඳුනාගෙන ඒ අය ජීවිතයට සම්බන්ධ නොකොට ගෙන දුර්ලභව ලැබු මිනිසත් භවය ජය ගැනීමට සෑම දෙනෙකුටම ශක්තිය, ධෛර්ය ,වාසනාව ලැබේවා