Print this Article


බුදුපිළිමයේ උපත - 39: දෙව්දත් සහ නාලාගිරි දමනය

බුදුපිළිමයේ උපත - 40: 

දෙව්දත් සහ නාලාගිරි දමනය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

බෝධිසත්ව කාලයේදී පවා දේවදත්ත බොහෝ අවස්ථාවලදී ආත්මවලදී විරුද්ධ වූ චරිතයක් ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන කරුණකි. විශේෂයෙන්ම ජාතක කතාවල මේ බව ඉතා මැනවින් නිරූපණය වී ඇත. බෝධිසත්වයින් වහන්සේට හතුරුකම් කළ දේවදත්ත පිළිබඳ බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

“බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට අට වසරකට පමණ පෙර දෙව්දත් තෙරහු ලාභ සත්කාර කීර්ති ලෝභයෙන් මත් වූවෝ අජාසත් රජුන් පහදවා ගැනීමට අදිටන් කළහ. අජාසත් රජු තම පියාණන් වූ බිම්බිසාරගෙන් පසු රජකමට පත් වූයේ ක්‍රිස්තු පූර්ව 491 දී ය. දෙව්දත් තෙරුන් ධර්මාවබෝධය සඳහා භාවනා ප්‍රගුණ කරන කාලයේ සෘද්ධි බල ලබාගෙන තිබිණ. ඔහු නාගයින් ඉනේ ඔතාගත් ළදරුවෙකුගේ වෙස් ගෙන අජාසත්තගේ උකුළේ පහළව ඔවුන් භය සන්ත්‍රාසයට පත් කළෝ ය. එවිට දෙව්දත් තමන්ගේ සැබෑ රූපය දැක්වූහ. මහත් විස්මයට පත් වූ අජාසත්හු මහත් හරසර දේවදත්ත තෙරුන්ට දැක්වූහ. මෙයින් දෙව්දත් තෙරුන්ගේ ඉමහත් ආඩම්බරය ඉහළ ගියේ ය. සංඝයාගේ නායකයා ලෙස බුදුරජාණන් වහන්සේගේ තැන ගැනීමේ අදහස දෙව්දත් තෙරුන්ගේ සිතේ ඇති විය. එහෙත් ඒ සිතිවිල්ල දෙව්දත් තෙරුන්ගේ සිතේ මතුවීමත් සමගම දෙව්දත් තෙරුන්ගේ තිබූ සෘද්ධි බල අතුරුදන් විය.

බුදුරජාණන් වහන්සේ වරක් රජගහනුවර දම්දෙසමින් සිටින විට එහි පැමිණි දෙව්දත්හු බුදුන් මහලු හෙයින් සංඝයා තමනට භාර දී සංඝයා මෙහෙයවීමට පරිහරණය කිරීමට තමන්ට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියෝ ය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දෙව්දතුන් යළිත් වරක් මෙය අවධාරණය කරද්දී මෙසේ කීහ.

“මම ශාරිපුත්‍රයන්ට හා මොග්ගල්ලානයන්ට පවා සංඝයා භාර නොදෙමි. ඔබ වැනි අයෙකුට භාර දෙම්ද?”

එවිට කෝපයට හා අසතුටට පත් දෙව්දත්හු යන්නට ගියහ. බුදුරජාණන් වහන්සේ සංඝයා ලවා නිවේදන කර්මයක් නිකුත් කළහ. එයින් කියැවුණේ දෙව්දතුන් කරන කිසිම දෙයකට ඔවුන්ම විනා, බුදුන් හෝ දහම් හෝ සඟුන් හෝ ගාවා නොගත යුතු බවයි.

ගිජුුකුළු පව්ව

අනතුරුව අජාසත් රජුන් වෙත ගිය දෙව්දත්හු තමන් බුදුන් මරණ බවත් අජාසතුන් තම පියා වූ බිම්බිසාරයන් මැරිය යුතු බවත් යෝජනා කළහ. අජාසත් හු හෙල්ලක් ගෙන එසේ කිරීමට ගියෝ ය. එහෙත් ඇමැතිවරුන්ගේ අතට අසුවූ විට තම අරමුණ ගැන පාපොච්චාරණය කළෝ ය. ඔවුන්ද අනෙක් සියලු කුමන්ත්‍රණකරුවන් ද මරා දැමිය යුතු යැයි ඇමතිවරු උපදෙස් දුන්හ. එහෙත් සැබෑ කුමන්ත්‍රණකරුවා කවුරුන්දැයි දැනගත් පියරජාණෝ තම පුතුනට සමාවා දී රාජ්‍ය පවරාදුන්හ. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 324 – 325 – 2006)

බුදුරජාණන් වහන්සේ සමඟ වෛරී වූ දේවදත්ත වරෙක දුනුවායන් යෙද වූයේ ය. එයද සාර්ථක නොවූ නිසා තමා විසින්ම උපායක් ක්‍රියාත්මක කළ යුතු යැයි සිතා බුදුරජාණන් වහන්සේට ගිජු කුළු පව්වේ සිට මහගල් පෙරලුයේ ඒ පාමුල භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් සිටියදීය. එයින් බිඳුණු ගල්පතුරක් වැදී බුදුරජාණන් වහන්සේගේ පාදයෙන් ලේ ගැලුවේ ය. පාපී පුරුෂය! තථාගතයන්ගේ ඇඟ ලේ සොල්වා මහා පාපයක් කරගත්තේ යැයි බුදුරජාණන් වහන්සේ පැවසූහ. භික්ෂුහු බුදුරජාණන් වහන්සේට ආරක්ෂකයන් යොදනු රිසි වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ එය අනුමත නොකළහ. තථාගතයින් වහන්සේ මරණු නොහැකිය. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 226)

ඉන්පසුව දේවදත්ත තෙර බුදුරජාණන් වහන්සේ වඩින මගට ‘නාලාගිරි’ නම් හස්ථි රාජයා එවු පුවත පූජාවලිය ග්‍රන්ථයේ මෙසේ සඳහන්වේ.

‘එකෙණෙහි ඇත්ගොව්වෝ ඇතු සොළොස් කළයක් රා පොවා මත්කොට නිය පිට ගල් ගසා කොහොලින් ඇන කුප්වා සක් සින්නම් ඩවුර බෙර, ඩහර බෙර එකවිට අතෙව මහත් වූ අගිල් කොට ගිණිපිට තෙල්, නැටුවා සේ ඇතු ඉඳ වූහ. එකෙණෙහි ඇත් කල්පාන්ත ගිණිකඳක් සේ කිපී මහ හඬින් ගුගුරා එක පහරින් මා මැසුදම කඩා ඇත් හළ ඇන හෙළා සුණු විසුණු කොට යමුගුරෙන් පොළව අපොළන්නා සේ සොඬබිම ගසගසා කඹය කඩා, සොඬ හස්සෙන් හොසවාගෙන ගැසු පයින් පස් කඳු කඩාපිට දම දමා දුටු දුටුවන් ලුහු බඳවා හසු හසුවූවන් දළඟින් අණ දමා

එකෙනෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දීර්ඝ කාලයෙහි සිට තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිනෂ්ටව කළා වූ මහපෙමවතුරු රඳවා ගත නොහී දෑස් පිරුණු කඳුලෙන් මේ ඇත්මා පළමුව මරා මුත් මාගේ බුදුන් නොමරවයි කියාකියා ඇතුටත් බුදුන්ටත් මධ්‍යයෙහි ගොස් සිට ගත්සේක. බුදුහු ආනන්දය ! ඇලවයා ඇලවයා ඇතෙක් මට කුමක් කෙරේද නා බොළඳ ඇයිද මා බල නුදුටුවී දැයි වදාරණ සේක. බුදුන් එසේ වදාරතත් අනඳ මහ තෙරුන් වහන්සේ ඇල නොවන සේක්මය. එකෙනෙහි බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් පොළව කුඹල් සකක් සේ පෙරළී උන්වහන්සේ පසු කොට බුදුරජාණන් වහන්සේ පළමුව කළේ ය. නැවත අනඳ මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පළමු වූ සේ දැක ඇතු ළංවනසේ දැක ඉදිරියට දිව බුදුරජාණන් වහන්සේ පසුකොට පියා ඇතු ඉදිරියෙහි සිටගත් සේක. තුන්වාරයෙහිම පොළවම සී සැරී උන්වහන්සේ පසුකොට බුදුරජාණන් වහන්සේ පළමු කෙළේය.

එකෙනෙහි පුතෙකු වඩාගෙන ඇත්කෙළ බලමියි වීථියට බට ස්ත්‍රියක් ඇතු දිවත් දිවත් ඇතු කෙරේ කළ බයින් වෙවුලා, මරණ සංඥාවෙන් පුත්‍ර සංඥාව සිහිකොටගෙන නොහී බුද්ධ පූජාවට මල් දමක් දැමුවා සේ පුතු බුදුන් හා ඇතු මැදට දමා තොමෝ කොවේයකට වැදගියාය. එකෙනෙහි කුමරු අන්සරණක් නොදැක බුදුන් දිසාව බල බලා මහඬින් හඬන්නට පටන් ගත්හ.

ඇත් ගිණි කඳක් සේ කිපි, කිපී බුදුරජාණන් වහන්සේ කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවීය. එකෙනෙහි ස්වාමිදරුවෝ (බුදුරජාණන් වහන්සේ) මිණිරුවනකට තුඩු දිගු කරන නා රජෙකු සේ කුමරහු කරා අත දිගු කරනු ඇත් රජු දැක ‘මා පැමිණියාවූ මේ වීථියෙහි ඛේමද නැගි ඇතා කිහිඹියෙකු ගහටා මරයි නමුත් මාගේ කවර නම් බුද්ධානුභාවයක් දැයි සිතා වදාරා තමන් වහන්සේගේ කරුණා නමැති අකුස්සෙන් (හෙණ්ඩුවෙන්) පැහැර ඇතු රඳවාලා නාලාගිරිය තා මේ වීථියට හළුයේ (එව්වේ) තෙල (මේ) කුමරා නිසා නොවෙයි. අප නිසාය. ඌ කරා නොගොස් අප කරා වරුයි වදාළ සේක.

(පූජාවලිය පි. 650 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, සංස්කරණය 2010 )

ඉන්පසු නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේ අබියස වැඳ වැටුණේ ය.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 39: ආනන්ද බෝධින් වහන්සේරෝපණය