Print this Article


ආධ්‍යාත්මය යනු සිත සහ සිතිවිලියි

ආධ්‍යාත්මය යනු සිත සහ සිතිවිලියි

ආධ්‍යාත්මක ගුණ වගාව අප සමාජයෙන් අදවන විට බොහෝ ලෙස පිරිහෙමින් පවතී. බුදු දහම මඟින් සමාජයට නිරන්තරයෙන් දෙන පණිවුඩය වන්නේ ආධ්‍යාත්මික බවින් පෝෂණය වියයුතු බවයි. එය කතිකාවක් ලෙස අද සමාජයේ ප්‍රසාරණය විය යුතු අවධියක ආධ්‍යාත්මය ලෙස බුදුදහම තුළ නිර්වචනය කරන්නේ කුමක්ද? කියා විමසා බලමු.

සංසාරය යනු සැරිසැරීමයි. මනුෂ්‍ය භාවයක් ලැබීම ඉතාමත් දුර්ලභයි කියා දේශනාවේ සඳහන් වෙනවා. නමුත් මේ දුර්ලභභාවය කුමක්ද කියා දන්නේ නැතිනම් එය ඔහුගේ අවාසනාවක්ද වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ආධ්‍යාත්මය යනු කෙනෙකුගේ සිත තුළ පවතින මානසික ශක්තියයි. එය අපේ ශරීරයෙන් බැහැරව තිබෙන දෙයක් නොව අප තුළම තිබෙන දෙයකි. අප කවුරුත් ඉපදෙමින් මැරෙමින් දීර්ඝ සංසාරයක ගමන් කරන්නේ. ඒ ගමනේදී අප උසස් හෝ පහත් ආත්මභාවයකට යනවාද? කියන කාරණය තීරණය වන්නේ අපේ ආධ්‍යාත්මය අනුවය.ඒ අධ්‍යාත්මික ශක්තිය දියුණු වූ තැනදී උසස් ආත්මභාවයක්ද, අධ්‍යාත්මය පිරිහුණ විටදී පහත් ආත්මභාවයක්ද ලැබේ. ආධ්‍යාත්මය දියුණු තැන මනුෂ්‍ය, දිව්‍ය,මෙන්ම බ්‍රහ්ම ලෝකවල උපත සැකසෙන්නේ. ඒ ආධ්‍යාත්මය පිරිහී ගිය විට තැන අයත් වන්නේ සතර අපායයි.

මේ ආධ්‍යාත්මක දියුණුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඇති සැබෑම දියුණුවයි. සාමාන්‍ය ලෝකවාසී කල්පනා කරන්නේ ආධ්‍යාත්මික දියුණුව නොවේ. භෞතික දියුණුවයි. සමහර යුරෝපීය රටවල මිනිසුන් තමන්ගේ මොළය යොදවා විවිධ දේ සොයාගෙන මුදල් උපයා විශාල ධනපතියන් වී සිටිනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ඒ දේ එපා වී බුද්ධ ධර්මය ඉගෙන ගන්නටත්, භාවනාවටත් යොමු වී සිටිනවා. ආධ්‍යාත්මය ගොඩනඟා ගැනීම නිවැරැදිව තමා තුළ ඇතිකර ගතයුතු සංවර්ධනය කියා ඔවුන් අවබෝධ කොට සිටිනවා.

අප සමාජයේ බොහෝ අය කියනවා අද සමාජය පිරිහීමකට පත්වෙලා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සමාජය පිරිහෙනවා කියන්නේ ඒ මනුෂ්‍යයන්ගේ මානසික ශක්තිය පිරීහීමයි. අප යම් මානසික ශක්තියක් ඇතිකර ගන්නවානම් එය ආධ්‍යාත්මික ශක්තියයි. අප නිර්වාණය අවබෝධ කර ගන්නටත් මේ ආධ්‍යාත්මික ශක්තිය බලපානවා. ආධ්‍යාත්මය දියුණු කර ගැනීමට අප කවුරුන්ද කියා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ධර්මයේ ප්‍රතිපදාවට අනුව තේරුම් ගත යුතු වෙනවා. ඒ සඳහා ධර්මය හොඳින් ඉගෙන ගෙන ධර්මය අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. ආධ්‍යාත්මිකව දියුණු නම් තමන් වෙනුවෙන් මෙන්ම ලෝකවාසීන් වෙනුවෙන්ද යමක් කිරීමට උත්සාහ කරනවා. මේ ජීවිතයේ ආධ්‍යාත්මය සමඟ බැඳී පවතින අවස්ථා තුනක් තිබෙනවා. මව්කුසයේ පිළිසිඳ ගැනීම (ප්‍රතිසන්ධිය) ජීවිතයේ අවසාන මොහොත (චුති චිත්තය), සහ මැද අවස්ථාව (ඨිතිය). මේ අවස්ථා තුනේදී ජීවිතයේ ප්‍රතිසන්ධිය සහා චුතිය අපට තීරණය කළ නොහැකියි. එය තීරණය කරන්නේ කර්මය විසින්. නමුත් ඨිති අවස්ථාව ඊට වෙනස්. අපට ඒ අවස්ථාව නිවැරැදි මාවතකට යොමු කරන්න පුළුවනි.

තවත් ආකාරයකට දක්වනවානම් ආධ්‍යාත්මය සිත සහ සිතිවිලි කියා නිර්වචනය කළ හැකියි. අපේ මේ සිත ස්වභාවයෙන්ම පිරිසුදුයි. මිනිසුන්ගේ මනස අපිරිසුදු වන්නේ ලෝභ, දෝස, මෝහ කියන බාහිරව ඇතුල් වන සිතිවිලි නිසයි. ලෝභ, ද්වේෂ, මෝහ සිතක වැඩිදියුණු වීම ලෝක ස්වභාවය යි. ධර්මයට අනුව මේ චෛතසික සිතිවිලි පනස් දෙකකි. එය ලෝභ, ද්වේෂ, මෝහ ලෙසත්, අලෝභ, අද්වේෂ, සහ අමෝහ ලෙසත්, පින, පව කවලම් කරගත් සිතිවිලි ලෙසත් බෙදේ. අකුසල් සිතේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිකර ගන්නේ කෙසේද?. එහිදී සිත සහ සිතිවිලි එකක් නොව දෙකක් කියා පැහැදිලි කර ගත යුතුයි. මේ සිතට බාහිරෙන් ලක්ෂ කෝටි ගණනක් සිතිවිලි එනවා. ඒ එන සෑම සිතිවිල්ලක්ම අප බාරගත යුතු නැහැ. ඒ නිසා සිතට එන සිතිවිලි හඳුනාගෙන සිත පිරිසුදු කර ගැනීම තම තමාට අයත් කරුණක්.

ලෝකයේ සිටින මිනිසුන් සියලුම අපරාධ කරන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහය නිසාය. අප සංසාරයේ වැඩිපුරම කර ඇත්තේ ලෝභ, ද්වේෂ, මෝහ වැඩෙන දේයි. මේ සිතිවිලි පාලනය කරගෙන ඉදිරියට යාමට අත්‍යවශ්‍ය කාරණය අපේ ආධ්‍යාත්මික ගුණවගාව වැඩිදියුණු කර ගැනීම. මෙයින් තමාගේ ක්‍රියාකාරීත්වය තමාට පාලනය කරගත හැකි වෙනවා. රහතන් වහන්සේ පමණයි සම්පූර්ණයෙන් ආධ්‍යාත්මය පිරිසුදු කර වැඩ වාසය කරන්නේ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරු කරගෙන, තණ්හාව, ලෝභය, ආශාව දුරුකර ගන්න අප උත්සුක වියයුතුවාක් මෙන්ම ඒ සඳහා උපකාර වන්නේ ශ්‍රී සද්ධර්මය සහ කල්‍යාණ මිත්‍ර ඇසුරයි. අප මොන කාර්ය කරමින් ජීවත් වුවත් අපේ ආධ්‍යාත්මය නොපිරිහෙන වැඩපිළිවෙළකට පිවිසිය යුතු වෙනවා.

ඒ නිසා තමාගේ පිරිසුදුභාවය තමා ඇතිකර ගැනීම මෙන්ම චිත්ත ශක්තිය දියුණු කරගැනීමත්, කළ යුතු වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දාන, සීල, භාවනා මෙන්ම, සීල සමාධි, ප්‍රඥා, සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී දේ අපට දේශනා කොට වදාළා.