Print this Article


සොඳුරු ලෙසම පිළිගැනීම ද?

සොඳුරු ලෙසම පිළිගැනීම ද?

නකුල මාතා, නකුල පිතා ඉදිරියේ සඳහන් කළ අදහස් පෙළ භාග්‍යවතුන් වහන්සේ නිවන අරමුණු කරගෙන පෙන්වා දෙන ආර්ය මාර්ගයේ මංසලකුණු බව පැහැදිලි කොට දෙයි. එනම් තෘෂ්ණා සහිතව කළුරිය කරන්න එපා. තෘෂ්ණාව ඇතිවෙන්න අප නම් හේතුවක් වන්නේ, අප ගැන ඔබේ සිත තුළ බියක් හෝ සැකයක් ඇති කර ගන්නට එපා. එයට හේතුව අපට ඔබෙන් පසුව වුවත් මනා කොට ගෘහස්ථ ජීවිතය පවත්වා ගත හැකියි. දීර්ඝ සංසාර ගමනේ භව චක්‍රය පවතින්නේ කර්මානුරූපවයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නතුම්හ’ සූත්‍ර දේශනාවේ දී මනාකොට පෙන්වා දී තිබේ.

මෙහි පළමු කොටස වප් පුර පසළොස්වක (ඔක්තෝබර් 15) දින පෝදා පත්‍රයේ පළවිය.

‘නායං භික්ඛවේ කායෝ තුම්හාකං
නාපි අඤ්ඥේසං
පුරාණ මිදං භික්ඛවේ කම්මං

මහණෙනි, ඔය ශරීරය නුඹලාගේ නොවේ අන් අයකුගේ ද නොවේ. පෙර කර්මය විසින් සකස් කරන ලද්දකි. මේ පාඨයට අනුව පැහැදිලි වන්නේ කර්මානුරූපව භවය සකස්වෙන බවයි. භවය සකස්වන්නේ නම් ඒ අනුව ජාති හෙවත් ඉපදීම ද සකස්වන බවයි.

පරමාර්ථ ධර්ම දැකීම

මෙසේ උපත ලද මනුෂ්‍යයන් විසින් සම්මුතියෙහි පිහිටා ධර්මානුකූලව හා සිල්වත්ව ගෘහස්ථ ජීවිතය පවත්වා ගත යුතු බව සැබෑවකි. ගෘහස්ථ ජීවිතය සීලයේ පිහිටා ධර්මානුකූලව පවත්වා ගන්නා විට පරමාර්ථ ධර්මය දැක ගැනීමට ඉතාම පහසු වෙයි. කායික හා වාචසික සංවරය නිසා චිත්ත දමනය ඇතිවේ. දමනය වූ සිතට ඇලීම ගැටීම මුලාව නිවර්තක කරුණු බව ඉතාම පැහැදිලි වේ. තමාගේ ම ශරීරයෙන් ඒ බව තේරුම් ගන්නට හැකිවෙයි. මොනතරම් කවා, පොවා, නහවා, පිරිසුදු කරමින් පවත්වාගන්නට උත්සාහ කළත් ලෙඩවීම, දිරාගෙන යෑම ඔස්සේ මරණය වෙතටම පියමං කරන බව ඉතාම පැහැදිලියි. සිතෙහි කෙලෙසුන්ගේ දමනයක් ඇතිකර ගැනීමට ඒ කරුණුම නුවණින් සලකාගත යුතුවේ. එනම් පරමාර්ථ ධර්මයට අනුව විස්තර කරන සියලු සංඛත සංස්කාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණයට යටත් කොට දැක ගන්නට හැකිවෙයි. මේ අවබෝධයෙන් යුතුවම ගෘහස්ථ ජීවිතය ගත කරන ස්වාමි දියණියක් හෝ ස්වාමි පුත්‍රයෙක් ඔවුනොවුන් කෙරෙහි ප්‍රියශිලීව හා සොඳුරුව ජීවිතය පැවැත්වූවත් දෙදෙනාගේ වෙන්වීම, දිරාගෙනයෑම, ලෙඩදුක්, මරණය ඕනෑම මොහොතක උරුම වී පවතින බව අවබෝධයෙන් ම ඇති කරගෙනම ජීවිත පවත්වයි. හමුවීම තුළ ද ඔවුන් දකින්නේ භව චක්‍රය තුළ හමුවීමක් මිස භව චක්‍රය තුළ සදාකාලික එකතුවීමක් හැටියට නොවේ. ඒ හමුවීම ඔවුන් දකින්නේ වෙන්වීමක ආරම්භයක් බවත්, වෙන්වන්නට මත්තෙන් ඔවුනොවුන්ගේ ජීවිත පැවැත්ම පිණිස සීලයෙහි ම පිහිටා ජීවිතයෙහි ඇති යථාර්ථය දැක ගනිමින් ම එනම්, සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකිමින් ම ජීවිත පවත්වාගත යුතු බවයි.

ලෞකික සතුට

මින් අදහස් කරන්නේ ත්‍රිලක්ෂණ ධර්මය මෙනෙහි කරමින් ගෘහස්ථ ජීවිතයේ පවත්නා ලෞකික සතුට නැතිකර ගැනීම කියන අදහස නොවේ. ලෞකික සතුට පවා ලබන්නේ ඒ සතුටට හේතුවන අරමුණුවල ගැබ්ව ඇති වෙනස්වීම හෙවත් අනිත්‍යතාවය පිළිබඳව සැබෑ අදහසක් ඇතිකරගෙනමයි. එහි දී පරමාර්ථ ධර්ම විස්තරයට ගළපා දකින ධර්ම කරුණු තුන මතකයට නැංවේ. එනම් අස්සාදය, ආදීනවය සහ නිස්සරණය කියන කරුණු තුනයි. ඔවුනොවුන්ගේ ජීවිත ස්වාමියා, බිරිඳ, දෙමාපියන්, දරුවන් ආදී වශයෙන් සොම්නසින් යුතුව පවත්වාගත හැකියි. නිදසුනක් ලෙස මගේ කියන වචනය ගළපා බලන්න.

ගුණබර දෙමාපියන්, ස්වාමියා, බිරිඳ ආදී ලෙස ‘ඔබ මගේ’ කියන වචනය සම්මුතියෙහි පවත්නා කතාවකි. එනමුත් ජීවිතාවබෝධය පිළිබඳව ඇති ශ්‍රාවක, ශ්‍රාවිකාවන් ගෘහස්ත ජීවිතයේ මගේ යැයි පවසා ජීවිත පැවැත්මට ඔවුන් කටයුතු කළත් සියල්ල හටගත්තා වගේ ම නැතිවෙන බව ඔවුන්ගේ සිත් පුරුදුකොට තිබෙන නිසා කිසිවෙක් හෝ කිසිවක් කෙරෙහි උපාදානයන් ඇති කර නොගනී. එනම් ‘මගේ ය’ ‘මම වෙමි’ ‘මගේ වසඟයෙහි’ මේ සියල්ල පවත්වනවා කියන අදහස ඔවුන් බැහැර කොට ඇත්තේ ය. මේ නිසා ම ඔවුන් වඩ වඩාත් ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන්, ලෙන්ගතුකමින් හා අනුකම්පාවෙන් යුක්තව ඔවුනොවුන්ට පිහිට වෙයි. ඔවුනොවුන් රැක බලාගනී. හේතුව ඕනෑම මොහොතක සියල්ල අවසන්වීමේ ලෝක ස්වභාවය හැම ජීවිතයකම වගේ ම හැම සංඛතයකම ගැබ්ව පවත්නා නිසාය. මේ තරම් දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් කරනු ලැබූයේ, ගෘහස්ත ජීවිතයක් ගත කළ ස්වාමි දියණියක් වූ නකුල මාතාවන් ගිලන් වූ තම ස්වාමියාට තෘෂ්ණා රහිතව කළුරිය කරන්නට යැයි කළ ප්‍රකාශය අප විසිනුත් අවබෝධ කර ගැනීම පිණිසය. සාමාන්‍ය ජීවිතයේ බලවත් ලෙස ගිලන්ව මරණාසන්න කෙනෙකුට නකුල මාතාවන් පැවසූ අදහස වැනි කතාවක් අසාගැනීම හෝ දැක ගැනීම ඉතාම අපහසු අවස්ථාවකි.

නකුල මාතාවන් කරන ලද ප්‍රකාශය එවැනි කෙනෙකුට එවැනි මොහොතක නොකිය යුතු, නොපැවසිය යුතු කතාවක් හැටියට ධර්මාවබෝධය නැති කෙනෙකුට සිතිය හැකිය. එහෙත් ජීවිතයේ සොඳුරුම ජීවිතයක් ගත කොට ඔබ වැනි කෙනෙක් මුණ ගැසීම සැනසිල්ලකි කියන අදහසට අනුව ජීවිතය පැවැත් වූ ඔවුනොවුන් ට වෙන්වීම හෝ මරණය වුවත් සොඳුරු ලෙසම පිළිගැනීම අපහසු කරුණක් නොවේ. මෙය කියවන ඔබටත් එවැනි අදහසක් සිතෙහි ඇති කර ගැනීමට තරම් ජීවිතාවබෝධයක් ඇතිකරගත හැකිවන්නේ දැයි ඔබම විමසා බලන්න.

ධර්මයෙන් පෝෂිත වූ ජීවිත

ගෘහස්ථ ජීවිතයක් ගත කළත් පරමාර්ථ ධර්ම අවබෝධය ඔස්සේ ධර්මයෙන් ජීවිතය පෝෂණය කරගත් ශ්‍රාවිකාවක් වූ නකුල මාතාව බලවත් ලෙස ගිලන්ව සිටින තම ස්වාමියාට නැවතත් මෙසේ සඳහන් කරනවා. ගෘහපතියනි, ඔබ මෙසේ සිතන්න එපා කුමක් ද? මාගේ ඇවෑමෙන් නකුල මාතා ගෘහපතිනිය අන් සැමියෙකු වෙත යන්නීය යනුවෙනි. එසේ සිතන්නට එපා. එසේ මනසින් දකින්නටත් එපා. ඔබ ඉතා හොඳින් දන්නවා අප දෙදෙනා පසුගිය සොළොස් වසක් එනම් දහසය අවුරුද්දක් පුරා බ්‍රහ්මචරියාව සමාදන්ව ගත කළ ජීවිතය පිළිබඳව ඔබ ඉතාම හොඳින් දන්නවා. ඒ බව මමත් ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා සිතෙහි තෘෂ්ණාවක් හෝ ඇලීමක්, බැඳීමක් නැතිව ඔබ කළුරිය කරන්න. තෘෂ්ණාව හා සමඟ කළුරිය කිරීම මහත් වූ දුකකි. භාග්‍යවතුන් වහන්සේ විසිනුත් තෘෂ්ණාව සහිතව කළුරිය කිරීම ගරහා කරන ලද්දේ ය. සාමාන්‍ය ජීවිතයක ස්වාමියකුට බොහෝවිටක සැකයක් ඇතිවිය හැක්කේ තම ස්වාමි දියණිය වෙන අතක සිත පවත්වාගන්නේ දැයි යන හැඟීමයි. ඒ වගේ ම ස්වාමි දියණියකට ඇති විය හැකි සැකය වන්නේ තම ස්වාමියා වෙන මඟක සිත බැඳගෙන ගමන් කරන්නේ ද යන්නයි.

බුදුරජාණන් වහන්සේගේ දහමෙන් පෝෂණය වූ ගෘහස්ථ ජීවිතයක් ගත කරන ශ්‍රාවිකාවක වූ නකුල මාතාවන් සඳහන් කළ වදන් පෙළ මනා නුවණින් කියවා බලන්න. ඔවුන්ගේ සැදෑ සමය ඔවුන් ආවර්ජනා කරනු ලබයි. නව යෞවනයේ විවාහයට පත් වූ එම දෙදෙනා ඉතාම සොඳුරු වූ ජීවිතයක් පවත්වාගෙන පැමිණ මේ කියන අවස්ථාව වන විට අවුරුදු දහසයක පමණ කාලයක් ඔවුනොවුන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ බව පැවසේ. ගුණබර පියාණන් කෙනෙක්, තම වැඩිමහල් දියණිය දෙස දක්වන ආකල්පය සෙයින් ද ගුණබර අම්මා කෙනෙක් තම වැඩිමහල් පුතණුවන් කෙරෙහි දක්වන ආකල්පය සෙයින් ද ඔවුන් ජීවිතය පවත්වා ඇත්තේ ය. යම් විටක ස්වාමි දියණියක් ස්වාමි පුත්‍රයෙක් දක්වන ආකල්පයටත් වඩා පාරිශුද්ධ වූ සිත් පෙළකින් දෙම්පියන්ට දරුවන් කෙරෙහි සිත් පවත්වාගත හැකි වන්නේ ය. දෙමාපියන් විසින් දරුවන් කෙරෙහි පවත්වන සිත් බොහෝ විටක රාගයෙන්, ද්වේෂයෙන්, විනිර්මුක්තව පවතී. එසේ නම් සාම්ප්‍රදායිකව විවාහකව, විවාහ ජීවිතයක් ගත කළත්, පසු කලෙක පරිණත වූ ගතින් පමණක් නොව මනසින් පවා ඔවුනොවුන්, ඔවුනොවුන් කෙරෙහි අවබෝධයට ඇති කරගන්නේ ඉන්ද්‍රියන් පිනවීමට වඩා ඔවුනොවුන් කෙරෙහි පවත්නා වූ ලෙන්ගතුකමයි, අනුකම්පාවයි, කරුණාවයි, හා මතු මත්තෙහි සසර පැවැත්ම දුකකට යා නොදී සුගතියම අරමුණු කිරීමයි. ඒ වෙනුවෙන් ඔවුන් ඔවුනොවුන් කෙරෙහි පරිත්‍යාගශීලිව කටයුතු කොට තිබෙන බව ඉතාම පැහැදිලියි. නකුල මාතා, පිතා ඔවුනොවුන්ගේ ජීවිත පිළිබඳව මතු කොට දක්වන්නේ එවැනි කතාවකි.

තවත් කොටසක් වප් අමාවක (ඔක්තෝබර් 30) දා පත්‍රයේ පළවේ.