සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 10:
විඤ්ඤාණයේ
මූලිකම කෘත්‍යයවේදනාව
දැන ගැනීම
පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන්
විද්‍යායතනයේ
විහාරාධිකාරී දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි
අද පැහැදිලි කර දෙන්නේ නාම රූප කියන්නේ කුමක්ද කියලා. මීට ඉහත විඤ්ඤානය කියන්නෙ
වෙනස් වෙමින් යන ශක්තියක් බව සඳහන් කළා. ඒ වගේම එහි ඇති මායාකාරි බවත් ඔබට පැහැදිලි
කර දුන්නා. පටිච්ච සමුප්පාද දේශනාවේදී ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ ලෙස දැක්වුවත් මේ
දෙකම එකට බැඳුණු ධර්මතා දෙකක් , මෙතැන් සිට ඔබට වැටහෙන ආකාරයට නාම රූප කියන්නේ
හරියටම කුමකටද කියලා අවබෝධ කර දෙන්න උත්සාහ කරනවා. නාමධර්ම කියා කියන්නේ වේදනා,
සඤ්ඤා , චේතනා , ඵස්ස මනසිකාර කියන අතේ ඇඟිලි පහයි කියා හිතාගනිමු. වේදනාව
සුළැඟිල්ල කියා සිතාගන්න.
වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම මොකද මේවාට නාමධර්ම කියා
කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකයා යමක් හඳුනාගන්නේ සම්මුති වශයෙන් ලෝකයා දීපු නාමයකින්.
නමුත් අත පොඩි දරුවෙක් හඳුනාගන්නා වගේ යමක්, අන්ධයෙක් ගැන සිතලා බලන්න, අන්ධයා යමක්
හඳුනා ගන්නේ අතපත ගාලා නේද? ඒ එන වේදනාව අනුව සංඥාවක් දෙනවා. සංඥාව තුලින් චේතනාවක්
මතු වෙනවා. චේතනාව තුලින් යම් තැනකට යොමු කරනවා. අන්න සර්පර්ශය , ඊළඟට මෙනෙහි කිරීම
අගට තියෙනවා. ඉතින් වේදනාව නාමධර්ම අතර මුලට ගන්න හේතුවත් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.
ඒ වෙනුවට අප අර කිව්ව සමහර අවස්ථාවල පැරණි විධියට ධර්මය තෝරන අය කරන්නේ ඵස්ස
ඉදිරියට දානවා’ කියලා. මොකද ඵස්ස මුලට නොදැම්මේ. සැරියුත් ස්වාමින් වහන්සේට
වැරදිලාද? බුදුරජාණන් වහන්සේට වැරදිලාද? නැහැ විඤ්ඤාණය ඔන්න විඤ්ඤාණය ගැන යමක්
කියන්න ඕනෑ මේ අවස්ථාවේදී.
ඒකත් සාරිපුත්ත ස්වාමින් වහන්සේ එක් අවස්ථාවක – ඔය පොත් බලා කියවන පින්වතුන්ට
බලාගන්න පුළුවන්. ‘මහාවේදල්ල සූත්‍රයේ’ මහා කොට්ඨිත ස්වාමින් වහන්සේ නොදන්නවා වගේ
සාරිපුත්ත ස්වාමින්වහන්සේගෙන් අහනවා අප සඳහා. ‘විඤ්ඤාණං විඤ්ඤාණං කියලා කියනවා
මොකක්ද මේ විඤ්ඤාණය කියලා කියන්නේ? එතකොට සාරිපුත්ත ස්වාමින්වහන්සේ කියනවා.
‘විජානාති විජානාතීති ඛො ආවුසො’ වෙන්කර දැන ගන්නවා. වෙන් කර දැනගන්නවා කියන
අර්ථයෙනුයි විඤ්ඤාණය කියා කියන්නේ. ඊළඟට සාරිපුත්ත ස්වාමින් වහන්සේ පෙන්නුම් කරනවා
විඤ්ඤාණය මගින් කෙරෙන මූලිකම වෙන් කිරීම. ඔන්න හොඳට අහන්න. මොකක්ද මූලික වෙන්
කිරීම, ‘සුඛන්තිපි විජානාති දුක්ඛන්ති විජානාති අදුක්ඛම සුඛන්තිපි විජානාති. එතකොට
විඤ්ඤාණයේ පළමුවෙනි කෘත්‍යය වේදනාව දැනගැනීම. එතනදී තමා අවදි වන්නේ. ගස් කොළන්වලට
නෑ නේ වේදනාවක්. සිතලා බලන්න. රබර් ගහක කිරි ආවට ඒක අඬන්නේ නැහැ නේ. ඒ වගේ
විඤ්ඤාණයේ මූලිකම කෘත්‍යය තමයි වේදනාව. වේදනාව තුළිනුයි ආත්මය අවදි වන්නේ. ඒකත්
බොහෝ අවස්ථාවල පෙන්නුම් කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ
අහනවා. යම් තැනක වේදනාව, කිසිම ආකාරයකින් නැත්නම් එතන ආත්මයක් කියන හැඟීමක්
තියෙනවාද? නැත. ‘ඔන්න ඕකයි හේතුව. අර ඵස්ස මුලට දානවා වෙනුවට වේදනාව ඉස්සරහට දාලා
තියෙන්නේ මොකද? විඤ්ඤාණයේ මූලිකම කෘත්‍යය සැප, දුක්, නොදුක්, නොසුව කියන ඒ වේදනා
තුන වෙන්කර දැනගැනීමයි. දැන් මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේ අනික් පැත්තට හැරෙන්නේ මොකද?
අර වේදනාව නිසා නේ. අන්න හැම එකක්ම ඔය වේදනාවෙන් සංඥාවක් දෙනවා. ඊළඟට චේතනාව. බණ
ඇහුවට කමක් නැහැ. ටිකක් හැරෙන්න ඕනෑ. චේතනාව. ඊළඟට සිත යන්නේ කොතෙන්ටද? මං කිව්වොත්
වරදවා තේරුම් ගන්න එපා. ඵස්ස ඊළඟට මනසිකාරය යෙදිලා.
ඔන්න එතකොට නාමධර්ම තේරුම් ගත්ත නේ දැන්. ඊළඟට රූපය කියන්නේ මොකක්ද? එතනත්
පටලවාගෙන, රූපය කියලා කියන්නේ ‘චත්තාරි ච මහභූතානි චතුනන්ඤව මහාභූථානං උපාදාය රූපං.
උපාදාය කියන වචනය වෙන පැත්තකට හරවාගෙන, සතර මහා භූත ධර්මයන් අඳුනාගන්න බැරි භූතයෝ
හතර දෙනෙක් වගේ. හඳුනාගන්නේ නාමධර්ම තුළින්. මහා භූතධර්ම ආශ්‍රයෙන් ඇති කරගන්නා රූප
සංඥාව කියලා හිතාගන්න. මේ කියන අර විද්‍යාඥයින් සිතාගෙන තියන භෞතික දෙයක් නොවේ මෙතන
තියෙන්නේ. ඒ ටික තේරුම් කරන්න අප බොහෝ අවස්ථාවල වචන යෙදුවා. ‘නාම රූපයෙහි නාමය නාම
ස්වරූපයකි. නාමරූපයේ එන රූපය නාම මාත්‍ර රූපයකි. හොඳට සිතට කාවද්දගන්න නාමරූපයේ එන
නාමය නාම ස්වරූපයකි. කියා කිව්වේ ඔය අප ලෝකයා කියන ඔරලෝසුව, පුටුවය කියන ඒ විදියේ
නම් නොවේ. නමක ස්වරූපය මුල් ස්වරූපය විතරයි. ප්‍රාථමික ස්වරූපය මොකක්ද අර අන්ධයා
හඳුනා ගන්නවා වගේ වේදනාව නිසා සංඥාව ඔය ආදී වශයෙන් දැන් කිව්ව නේ, ඊළඟට ඔන්න නාම
රූපයෙහි එන රූපය අප කිව්වා නාමමාත්‍ර රූපයක් කිව්වේ ඒකත් අර විධියට වෙන්කරලා
සිතාගෙන තියෙන ලෝකයේ තියෙන දෙයක් හැටියට නොවේ. මේ නාම ධර්ම ආශ්‍රයෙන් නාමධර්ම
ආශ්‍රයෙන් දැන් දන්නවා නේ පඨවි. තද ගතිය, බුරුල් ගතිය අනුවයි පඨවි හඳුනාගන්නේ. ඊළඟට
උණුසුම් ගතිය සිසිල් ගතිය ඔය ආදී වශයෙන් මහා භූතධර්මයන් හඳුනා ගන්නෙත් නාමවලින්. ඒක
රූප සංඥාවක් පමණයි. ඒ නිසයි අප කිව්වේ ‘නාම මාත්‍ර රූපයක්. ඉතින් මේ නාමරූප කියන
වචනය හරියට තේරුම් ගත්තා නම් ඒක තේරුම් ගන්න ඕනෑ. අන්න අර විඤ්ඤාණයේ වැටෙන
පිළිබිඹුවක් පමණයි. දැන් සිතල බලන්න. දැන් ඇහැට වැටෙන දේ කැමරාව පටන් ගත්තෙත් ඇහේ
බබාගෙන් නේ? ඇහේ වැටෙනවා නේ ඡායාවක්. එතකොට ඇහේ බබාගේ වැටෙන ඡායාවට තමා අප මේ මොළයේ
ලස්සනට පෙනෙනවා කියන්නේ. ඒක තමා බුදුරජාණන් වහන්සේ සංඥාව මිරිඟුවක් කීවේ. අතන
ලස්සනට පෙනෙන්නේ ඒක එතන තියෙන නිසා නොවෙයි නේ. ඒ කීවේ ඇස ප්‍රත්‍යය කරගෙන ඇසේ යම්
කිසි ස්වභාවයක් නිසා පාට කණ්නාඩි දාලා තියෙනවා නම් ඒ විධියට පෙනෙනවා. අන්න ඒ ඒ
විධියේ දෙයක් එතකොට. මේවා හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව අර නාමරූපයත් විඤ්ඤාණයත්. අප
විශේෂ වචනයක් යෙදුවා අපේ වචනයක් නොවේ. අතීතයේ ධර්මයේ සඳහන් වනවා ද්වතාව. දෙකක්
අතරෙයි පැවැත්ම තියෙන්නේ. දෙකක් අතර පැවැත්ම තමා වට්ටය’ නමින් හඳුන්වලා තියෙන්නේ.
ඒකත් අප යථා කාලයේ විස්තර කරනවා. වෙළෙඳ වට්ටම් වගේ. වෙළෙඳ වට්ටය මේ පින්වතුන්
දන්නවා නේ? සැපයුමයි ඉල්ලුමයි අතර තමා මිල ගණන් තියෙන්නේ. ඒ වගේ මුළු මහත් ලෝකයම
තියෙන්නේ ඔන්න ඔය විඤ්ඤාණයත් නාමරූපයත් අතර කෙරෙන වට්ටයෙන් . |